ආයු කියන්නේ හේතු ගොඩක් හින්දා අපේ සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන සිනමාපටයක්. මූලිකවම මේ ශෛලයෙන් මේ සෞන්දර්යාත්මක ආකාරයේ සිනමාත්මක රිද්මයකින් චිත්‍රපටිය කරන්න යොමුවීමම සිංහල සිනමාවට අලුත්. සිංහල චිත්‍රපට අතරින් මෙවැනි කාව්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක සිනමා භාවිතයක් සහිත චිත්‍රපටයක් මට මුණගැසිලා නැති තරම්. මේ සියලු අංශ අතින් ගත්තාම ආයු කියන්නේ සිංහල චිත්‍රපට අතරින් මා වඩාත් කැමති චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.
ආයු චිත්‍රපටය ඇතුලේ මම දැකපු සුවිශේෂතා තේමා කිහිපයක් යටතේ කතා කරන්න මට හිතුනා.
ක්ෂුද්‍ර බව/සියුම් බව
පළවෙනි රූප රාමුවේ ඉඳලම චිත්‍රපටියේ දර්ශන ඉතාම සියුම් සහ වෙන චිත්‍රපටයක දැකලා නැති තරමේ ක්ෂුද්‍ර අංශු වෙත යොමුවෙන බවක් පේන්න තිබුණා. මට හිතෙන්නේ මේ සියුම් බව නිර්මාණකරුවා අතරින් ඉතා බහුලව ගොඩනැගෙන්නේ රූපරාමු ඇතුලේ විතරක් නෙමෙයි. මානව හැසිරීම් ඉරියව්, අංග චලනයයේ ස්වභාවය සිනහවක් වැනි සියුම් පෙදෙස් වෙතත්, ඇතැම් හඬවල් වෙතිනුත් දෙබස් මතිනුත් මෙකී සියුම්භාවය මතුකරන්න උත්සහ දරල තිබුණා.
සචිත්‍රව හඳුන්වා දෙන පළවෙනි දර්ශනයේ සිපගැනීම, රිය අනතුරෙන් පසු නිශ්මිගේ ඉරියව්, ඇයට සිහිය පැමිණි මොහොත, වෙරලේ ගිනිබෝල කරකවන්නා, මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීන් මත ගස්වල සෙවනැලි වැටෙන රූප, නිශ්ගේ අතේ බැන්ඩේජ් එක මත ආයු චිත්‍ර අඳින දර්ශනය,නිශ් රෝහලට රැගෙන යන දර්ශනය, නිශ් වෙරලේදී වෙරිවී ඇද වැටෙන මොහොත වැනි මොහොතවල්වල අති සියුම් සිනමා රිද්මයක සේයාව මට මේ මොහොතේ මතකයට නැගෙනවා.
කෙසේ නමුත් ආයු චිත්‍රපටයේ රූපරාමුවල මෙකී සියුම් භාවය චරිතවල අභ්‍යන්තර වේදිතයන් නිරූපයන කිරීම වෙත වන නැඹුරුතාවය අවම තැනක තිබුණු බවයි මට නිරීක්ෂණය වුණේ. වෙනත් විදිහකින් කියනවා නම් නිශ් හා සචිත්‍ර අතර ඇතිවන බන්ධනය ඔවුන්ගේ මනෝභාවයන් සිතිවිලි ගලන ආකාරය, ආදරය පණ ගැහෙන මොහොතවල් මුල සිට අගට සියුම්ව වර්ධනය වන ආකාරය අපි කලින් කතා කළ රූප රාමුවල සියුම් භාවයට සාපේක්ෂව අවම මට්ටමක තිබුණු බවක් පෙනුනා. නිශ් හා සචිත්‍ර වෙරලේ හෝ වෙනත් හුදකලා තැනක කතා කර කර සිටින අවස්ථා හැරෙන්නට බන්ධනයක ඇති සියුම් භාවය මතුවුණේ නැති බවයි මම දැක්කෙ.
කාව්‍යමය බව
ආයු ඉහළ කාව්‍යමය ගුණයක් සහිත චිත්‍රපටයක් බව බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රකාශකර තිබුණා. ඇත්ත. විශේෂයෙන්ම මේ තාක් අපි දැක ඇති බහුතරයක් චිත්‍රපට එක්කෝ සම්භාව්‍ය බරක් සහිත ඒවා. නැත්නම් වාණිජ ශානරයට බර රූප රාමු. ආයු මේ ශානරයන්ගෙන් වෙන්ව භාවනාවක් වැනි හැඟීමක් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන්නට උත්සාහ දරනවා. මිහිරි වාදනයක්, තනුවක් අසන්නාක් වැනි කාව්‍යමය ගුණයකින් සිදුවීම් ගලාගෙන යනවා. මම දැකපු ආකාරයට මෙකී කාව්‍යමය භාවය කොටස්වලට කඩා බැලුවොත් ඒවා රූප කාව්‍ය, හඬ කාව්‍ය හා දෙබස් කාව්‍ය ලෙස වර්ග කර පෙන්වන්න පුලුවන්.
කැමරා කෝණ, වෙනස් රූප, සිදුවීම් ඡේදනය වන ආකාරය වැනි රූපමය වශයෙන් ඇති කාව්‍යමය ගුණය ආයු චිත්‍රපටයේ අප වසඟයට ගන්නා ප්‍රමුඛතම අවියයි. සංගීතය, මුහුදු රළ ගැටෙන හඬ, හෝ ශබ්දය, දොරවල් ඇරෙන වැසෙන හඬ, ලයාන්තව පද හා සංගීතය මුසු වූ ගීත තවත් කාව්‍යමය ගුණය තීව්‍ර කරන කාරකයක් විදිහට මතු වෙනවා. නිශ් හා සචිත්‍ර අතර ඇතිවන සංවාදවල ඇති කාව්‍යමය ගුණය තවත් මුහුණුවරකින් මතු කරන්න දරපු උත්සාහයක් වගෙයි. නමුත් මේ දෙබස් කාව්‍යමය බව අනෙකුත් කාව්‍යමය ගුණයන් හා සසඳද්දී චිත්‍රපටයට රැගෙන එන්නේ අනවශ්‍ය බරසාරත්වයක් බවයි මගේ හැඟීම. අනෙකුත් අංශයන් වෙතින් ගෙනෙන සරල හා චාම් ස්වභාවික භාවනාමය කාව්‍යමය ගුණය සංකේතාත්මක හෝ ව්‍යංගාත්මක දෙබස් වෙතින් සම්භාව්‍ය ව්‍යාජත්වයක් වෙත ඔසවා තබනවා වැනියි.
කතා කලාව
කතන්දර කීමේ විලාසය අතින් ගත්තම ආයු කියන්නේ සිංහල සිනවාවේ සාම්ප්‍රදායික ආඛ්‍යානයන් බිඳ හෙලන චිත්‍රපටයක්. සමහරවිට මේ ආඛ්‍යානමය පටලැවිල්ල නොතිබුණා නම් ආයු චිත්‍රපටයේ කතාව අමුතු හෝ අලුත් කතාවක් ලෙස නොදැනෙන්ට ද ඉඩ තිබුණා. ඒ අතින් අවසානය තෙක්ම ප්‍රෙක්ෂකයාව පුදුම කරවමින්, රහස් එකිනෙක රකිමින් හා හෙළිදරව් කරමින් කෙරෙන මේ කතා කලාව සුවිශේෂි භූමිකාවක් නිරූපනය කරනවා. සහ එකී කතා වින්‍යාසය පෙලගැස්වීම වියවුල් සහගත තත්වයක තිබුණා යයි කියන්නත් බැහැ. මේ වියමන චිත්‍රපටය ඇතුලේ හොඳින් ගෙත්තම් වී තිබෙනවා.
කෙසේ නමුත් චිත්‍රපටය අවසන් වෙද්දී සුවිශේෂී කම්පනයක් හෝ වෙනයම් අභ්‍යන්තර කැලඹුවක් ආයු විසින් ශේෂ කලේ නෑ. ඒකට හේතුව විය හැක්කේත් කතන්දර කීමේ කලාවේ යම් යම් මගහැරීම් නිසා විය හැකි බවයි නැවතත් මට හිතෙන්නේ. ආඛ්‍යාන ඛණ්ඩනය මගින් කතාවේ සිදුවීම් පෙළගැස්මේ වෙනස් මුහුණුවර අතික්‍රමණය කරමින් ඒ ඒ චරිත අභ්‍යන්තරයේ භාවයන්වල ගමන හෝ කැලඹුම මුල සිට අගට හොඳින් ගෙත්තම් වී තිබුණා ද යන ප්‍රශ්නය අප හමුවේ ඉතිරි වෙනවා. නිශ් හෝ සචිත්‍රගේ ලෝකය මෙකී කතන්දරය ඇතුලේ අපව හැඟුම්බර කරන තරමේ තීව්‍රතාවයකට පත් නොවුණු බවක් මට නිරන්තරයෙන්ම දැනුනා. එසේම ආයු නම් කුඩා දියණියගේ චරිතය ඍජු රූපකාර්ථයෙන් කතාවට සම්බන්ධ කරගන්නේ නැතිව රූපකය හා ඇත්ත දෙක අතර පරතරය ඉතාම අවම කොට ගොඩනැගුවා නම් වඩා හොඳ බවයි මට සිතුනේ.

