The Gypsy Hart නවකතාව කියවනව කියන අපේක්ෂාව ආවෙ රසිකගෙ ලියවිම්
ඇතුලේ ආදරය සම්බන්ධ අර්ථකතන සෑහෙන වෙනස් තැනක තිබුණ නිසා සහ රසිකගෙ ලිවීමේ ශෛලිය මාව ආසක්ත කරන තරම් දියුණු මට්ටමක තිබුණා කියල
මට දැනුනු නිසා වෙන්න ඇති.
මේ කතාවේ කතකයා ආදරය කරන්නේ මිහිකා කියල ගැහැණු ළමයෙක්ට. මිහිකා සහ
කථකයා අතර ඇති ගනුදෙනුවේ අන්තිම මොහොත වෙනකම්ම ආදරයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. පොතේ තියෙන විදිහට කතකයාටත් මිහිකාටත් අවුරුදු
ගානක ඉඳන් ඒ කියන්නේ උසස් පෙළ විද්‍යා පන්තිකාමරයේ එකිනෙකා දැන හඳුනාගත් මුල්
කාලයේ ඉඳන්ම එකිනෙකා ගැන උනන්දුවක් ආකර්ෂණයක් තිබිලා තියෙනවා.
මිහිකා සහ කථකයාගේ ජීවන අපේක්ෂා දිහා බැලුවාම පවා මේ ගැහැනු පිරිමි චින්තනයන්හි පරස්පරතාවයන් කැපී පෙනෙනවා.
මුල ඉදන්ම මිහිකාගෙන් පෙනෙන්නේ ජීවිතයේ සරල රේඛාවක ගමන් ගන්නා, ජීවිතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු සහිත පවුල් ජීවිතය ගැන අපේක්ෂාවෙන් පසුවන නිකැලැල් යුවතියක් විදිහට. නමුත් කතකයා එසේ නොවෙයි. ඔහු නිශ්චිතව පවුල් ජීවිතයට කොටුකරගත හැකි කෙනෙක් නොවෙයි. ඔහු අයාලේ යන්නෙක්. සැරිසරන්නෙක්. සංචාරකයෙක්.
ආදරයක් වෙනුවෙන් මේ යුවළ මුණ ගැසුනත් මිහිකාගේ යටිහිත දන්නවා ඈ අපේක්ෂා කරන ජීවිතය මෙය නොවන බව. ජීවිතයේ මේ තාක් සිදුවුණු අත්වැරදීම් තවදුරටත් වරද්දා ගන්න මිහිකා කැමති නැහැ. මිහිකා කතකයාට කොතරම් ආදරය කළත් ඒ වෙනුවෙන් වසඟ වී එහි නතර නොවෙන්නට ඈ ඇගේ සිත සමඟම ගිවිසුමක් ගසා ගත්තා වැනියි. තම චිත්යභ්යන්තරයෙන් මොන තරමේ ආදරයක් කතකයා වෙනුවෙන් උද්වේගයෙන් පොලා පැන්නත් මිහිකා එය ගිලගෙන, අභ්‍යන්තරයේ තෙරපවාගෙන ගතකරන විලාසය තමයි මේ කතාවේ අවසානය වන තෙක්ම පෙනෙන්නේ.
මිහිකාගේ ආදරය නිසා සරල, නිදහස්කාමී ජිවිතයකට කැමතිව සිටී කතකයා පවුල් ජීවිතයටක කොටු වෙලා ඉන්න පවා සූදානම් මොහොතක මිහිකා කරන්නේ මේ ආදරය ඇරඹෙන්නට පෙරම එය නටුවකින් කඩා ඉවත් කලාක් මෙන් චකිතයකින් තොරව ඉවත් කිරීමයි. සැත්කමකින් කටුවක් ඉවත් කරන්නාක් මෙන් ඍජුව හා දැඩි හදකින් එය සිදු කිරීමට දෙවරක් නොසිතීමයි.
තම සිත ඇතුලෙන් ආදරයක් මෝදු වෙමින් එද්දී පවා අනාගතය පිළිබඳ පූර්ණ
අපේක්ෂාවකින් ඒකී බන්ධනය ඛණ්ඩනය කරන්නට තරම් ඍජු තීරණයක් ගන්නට මිහිකාට පහසු වෙන්න ඇත්තේ ඇයි? අවුරුදු දාස් ගාණක් තිස්සේ පරිණාමය විසින් සුරක්ෂිත පවුල් ජීවිතයක් වෙනුවෙන් ස්ත්රියව නාබිගත
කළ නිසාද?

No comments:
Post a Comment