ඇනිමල් කියන්නෙ මෑතක තිරගතවුනු ඉන්දියාවම කලඹපු ෆිල්ම් එකක්. කොහොම උනත් ලංකාවෙ ප්‍රේක්ෂකාගාරය ඉන්දියාව තරම්ම කැලඹුනු නැති බවයි මගේ පෙනෙන්නෙ. ඒකත් එක්තරා විමතියක් නම් තමයි. මේ සටහන ඇනිමල් බලල දැනුනු සතුට ප්‍රකාශ කරන්නත් එක්කයි.
මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ මොකක් ගැනද කියල කවුරුම හරි
ඇහුවොත් මට එකපාරටම එන උත්තරය පිරිමි ලෝකය ගැන කියල. ඒක අංග සම්පූර්ණම උත්තරය
නොවෙතත් නැවත නැවතත් මගේ ඇතුළාන්තය කැලඹිලා ගියේ නම් විජෙයි නැමති පුද්ගලයාගේ
ජීවිතය දිග හැර ඇති විශ්මිත ආකාරයටයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත්, පිටපත
ලියන්නෙත්, සංස්කරණය කරන්නෙත් සංදීප් රෙඩ්ඩි විසින්. සන්දීප් රෙඩ්ඩිගෙ පළවෙනි සහ
වසගකාරී පළමු චිත්‍රපටය මේක නෙමෙයි. අර්ජුන් රෙඩ්ඩි තමයි පලවෙනි වෙඩි මුරය. ඒ වෙද්දිත් අර්ජුන් රෙඩ්ඩි ඇනිමල් ෆිල්ම් එක
තරම් ප්‍රේක්ෂකාගාරය කැලඹුවේ නැතත් චරිතයේ අමුත්ත අතින් ඇනිමල් චිත්‍රපටයේ
විජෙයිට බොහෝ සමානකම් අර්ජුන් රෙඩ්ඩි තුලත් සංකලනය වෙලා තිබුණා.
ඇනිමල් චිත්‍රපටය ඇතැම් විචාරකයන් බොහෝ අගය කරන්නත්
තවත් විචාරකයන් අතින් පතුරු හරින්නටත් හේතුවෙන මූලික කාරණා කිහිපයක් තියෙනවා. මේ
චිත්‍රපටය කතාවක් විදිහට ගොඩනැගිල තියෙනවට වඩා සිද්ධවෙලා තියෙන්නෙ විජෙයිගෙ චරිතය
ඉතා සූක්ෂම ආකාරයට හා අතපය දිගහැරල නිදහසේ දිග අරන්න බව පේනවා. විජෙයි කියන්නෙ
ඇල්ෆා මේල් චරිතයක්. මේ මොහොතේ ඇල්ෆා මේල් චරිතයක් කරලියට අරගෙන එන එකම මවිතයෙන්
මත් කරවන වැඩක් බවයි මම විශ්වාස කරන්නෙ. පිරිමි බව හෝ පිරිමි සංකල්පය ලෝකය තුළ
එන්න එන්නම හැකිලෙමින්, දියවෙමින් හෝ වෙනස් මුහුනුවරක් ගනිමින් පවතින වෙලාවක තමයි සන්දීප්
රෙඩ්ඩි හැමෝගෙම ඔලු උඩට ටොක්කක් අනින ගමන්ම ඇල්ෆ මේල් චරිතයක් අපි ඉදිරියට පතිත
කරන්නෙ.
පුද්ගලයෙකුගෙ චරිතය හැඩගැහෙන්නෙ වැඩියෙන්ම බලපාන්නෙ
ළමාවියේ ඔවුන් වෙත ලැබෙන මානසික සංතෘප්තීන්ගේ අඩුලුහුඩුතා ද, නැත්නම් ඔවුන්ගේ ජාන
හෝ හෝමෝන ශක්තියේ ප්‍රබලත්වය ද?. ඇනිමල් චිත්‍රපටය ඇතුලේ තර්ක දෙකම සර්පයන්
දෙනෙනෙක් එකිනෙකා වෙලාගෙන එකිනෙකා එති එතී පොරබදමින් මේ චිත්‍රපටය පුරා අවසානය
තෙක් දිවෙන බවක් පෙනෙන්න තියෙනවා. එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නැහැ. දෙදෙනාම එක
වගේ ප්‍රබලයි. දරුණුයි. විසගෝරයි.
විජෙයි යනු කෝටිපති පවුලක ඉපදුනු එකම පුතා. ඔහු ළමාවියේ
කොතරම් සත්කාර මැද ඇතිදැඩි වුව ද ඔහුගේ චර්යාවන් නිරන්තරයෙන් කිසිවෙකුට පාලනය කළ
හැකි මානයක ඇත්තේ නැහැ. ඔහු අසීමිතව සිය පියාට ආදරය කරන නමුත් පියාගෙ ආදරය ඔහුට ඒ
කුඩා අවදිය තුලදී අල්ප වශයෙන්වත් ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. විජෙයිගේ දැඩි ජානමය
ප්‍රබලත්වයත්, සිය පියාව අහිමි වීමේ
මානසික විපරීතයත් කවලම් වෙමින් ඔහු ඇතුලත ගොඩනැගෙන්නේ අමුතුම සතෙක්. කාටවත් පාලනය
කළ නොහැකි සංස්කෘතික සීමා බන්දන කිසිවක් අදාළ නැති සතෙක්. ආරම්භයේ සිට අවසානය තෙක්
මේ සතාගේ ස්වරූපය මතුකිරීම තමයි ඇනිමල් චිත්‍රපටයේ කතා පුවත ලෙස මම නම් දකින්නේ.