පෙමතො ජායති සොකො - ක්‍රොයිට්සර් සොනාටා.
පෙමතො ජායති සොකො.. මේ
නම ඇසුව ගමන් හිතෙන්නෙ සරච්චන්ද්‍රගෙ නාට්‍යයක් කියල. නමුත් මේක කෙටි නවකතාවක්. පරිවර්තනයක්. කොයිට්සර් සොනාටා. ලියෝ තෝල්ස්තෝයි විසින් රචිත ක්‍රොයිට්සර් සොනාටා කෙටි
නවකතාව සිරිල් සී පෙරේරා අතින් අනුවාදනය වෙන්නෙ පෙමතො ජායති සොකො නමින්.
නවකතාව ගැන සටහනක්
ලියන්න සූදනම් උනත් පොතේ තියෙන ආකර්ශනීය පෙරවදන නිසා පොත ගැන තිබුනු උනන්දුව වෙනත්
දිශාවකට ගමන් කරන්න පටන් ගත්තා. ලොව සුපතල ලේඛකයන් තමන් කෘතියක් රචනා කරන කාලය
අතරතුර ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් කෘතියක් රචනා කිරීමට ලේඛකයන්
ගන්නා තමන්ටම ආවේනික ක්‍රියා පිලිවෙත් මොනවද කියල ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයන්ගේ ජීවිත
කතා ඇසුරින් අවබෝධ කරගන්න පුලුවන්. ඇත්තෙන්ම මේක ගවේශනයක් කරන්න හිතෙන තරමේ
ආකර්ශනීය තේමාවක්. මෙහි පෙරවදනේ ඒව සඳහන් කරල තියෙන්නේ සරලව කෙටියෙන් උනත් ඒක
සොයාගෙන යන්න හිතෙන තරමේ උත්තේජනයක් දෙන්න හැකි මට්ටමේ මූලාරම්භයක්.
නිර්මාන කාර්යයෙහිදී
අනුගමනය කල පිලිවෙත් මතු පරපුර වෙනුවෙන් ඉතා සුලු වශයෙන් හෝ සඳහන් කොට ඇත්තේ
ලේඛකයන් අතලොස්සක් පමනි. තමන් නිරත වී සිටින සාහිත්‍ය හා කලා කටයුතු ගැන නිතර
හමුවී සකච්ඡා කිරීම පැරීසියේ විසූ ලේඛකයන් හා කලා කරුවන අතර පැවති සිරිත විය.
සමහරු මේ කතාබහ සටහන් කොට තැබූහ. නිතර හමුවී සාකච්ඡා කිරීම පැරනි රුසියන් ලේඛකයන්
අතර පමනක් නොව සෝවියට් ලේඛකයන් අතරද පැවති චාරිත්‍රයක් විය. සමහරු නිර්මාන
කාර්යයෙහි දී මතුවන ප්‍රශ්න මිතුරන් සමඟ ලියුම් මගින් සාකච්ඡා කළහ. දිනපොත්
ලියා තැබූහ. පොතක් පලවීමෙන් පසු කරන විවේචනයට වඩා පොත ලියන විට කරන විවේචනය
වැඩදායක විය. ප්ලෝබෙයාර්(1821-80) තමා විසින් ලියා අවසන් කරන ලද පලමු නවකතාව
මිතුරන්ගේ විවේචනය නිසා ඉවත දැම්මේය. පොතක් ලියා පලවන තුරු එය රහසක් ලෙස රැකගන්නා
ලේඛකයෝ දැනුදු සිටිති. සමහරු ලියන පොත් ගැන කල් තියා සාකච්ඡා කිරීම අසුබ දෙයක් ලෙස
සලකති. (පෙමතො ජායති සොකො. පෙරවදන. සිරිල් සී පෙරේරා)
යුරෝපය ආශ්‍රිතව කලා
කටයුතු දියුනු මට්ටමින් සිදුවන කාලයේදී නිර්මානකරුවන් අතර තදබල ගනුදෙනුවක් තිබුනු
බව එකල කලා කටයුතු පිලිබඳව එක එල්ලේම ලියා නැති කෘතිවලින් උනත් දැන ගන්න බැරිකමක්
නැහැ. නිර්මානයේ මහා ශෝකය වින්ස්ටන් වෑන්ගෝ ගේ ජීවිතය අලලා සකසන ලද කෘතියේදී පවා
එකල චිත්‍ර ශිල්පීන් අතර කොතරම් සමීප ඇසුරක් තිබුනාදැයි පැහැදිලි කරගත හැකියි.
වැන්ගෝ, ගොගෑන්,සෙසාන් වැනි චිත්‍ර
ශිල්පීන් මෙන්ම එමිල් සෝලා වැනි සාහිත්‍ය කරුවන් ද සබඳතා පැවැත්වූ අය අතර වීම කැපී
පෙනෙන දෙයක් විදියට සලකන්න පුලුවන්. මේ පොතේම එක්තරා තැනක යම් චිත්‍ර ශිල්පියෙක්
ඔහු චිත්‍ර අඳින දිනවල කිසිවෙකුත් මුන නොගැනී තම නිවසටම වී වාසය කරන ආකාරයේ
චර්යාවක් පවත්වාගෙන ගිය බවත් පෙනෙන්නට තිබෙනවා.
පිකාසෝගේ ජීවන තතු හෙලි
කරන මගේ පිකාසෝ කෘතිය මගින් පවා චිත්‍ර ශිල්පියෙක් ලෙස පිකාසෝ තුල නිර්මාන
කිරීමේදී පැවති සූදානම් වගේම පිටස්තර පුද්ගලයන් නිර්මාන කාර්යය අතර තුර හමුවීම
පිලිබඳව දක්වන වෙනස්ම විදියේ ආකල්ප ගැන සඳහන් වෙනවා. ඇතැම් අය තමන්ට කොඩිවින කරන
අය බව ඔහු සිතා සිටි බව දැක්වෙන ආකාරයේ සටහන් ඒ කෘතියට ඇතුලත්. පොත මේ වෙලාවේ මං
ලඟ නැති නිසා උපුටාගැනීම් යොදන්න විදියක් නැහැ. (කැමති අය අරගෙන බලන්න ඒ පොත. මගේ
පිකාසෝ- ප්‍රංශුවා ශිලෝ? - පරිවර්තනය මාලිනී ගෝවින්නගේ. විජේසූරිය ප්‍රකාශන) මේ
වෙලාවෙ පොතේ නම මතක නැතත් එක්තරා නිර්මානකරුවෙක් කුනුවූ ඇපල් තම මේස ලාච්චුවේ
දමාගෙන ඒ ගන්ධය ආග්‍රහනය කරමින් ලැබූ උත්තේජනයෙන් ලියූ බව සඳහන් වෙනවා.
අර්නස්ට් හෙමින් වේ
නවකතා රචනා කලේ සිටගෙන බව මේ පොතේම සඳහන්. ඒ සඳහා ඔහු උස කකුල් සහිත මේසයක් භාවිත
කල බවත් ප්‍රකට කරුනක්. ඒ විතරක් නෙමෙයි ගුස්ටාව් ප්ලෝබෙයාර් එමාබෝවාරි කෘතිය රචනා
කල කාලයේ ගනිකාවන් ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කල බවත් එමා මී පාසානම් කා
ජීවිතය නැතිකර ගැනීමේ වේදනාව අත්විඳිමට ඔහු ද මී පාසානම් කෑමෙන් විශාල කරදරයකට
මුහුද දුන් අයුරුත් සඳහන් වෙනවා.
ක්‍රොයිට්සර් සොනාටා.
දැන් නවකතාව දෙසට
හැරුනොත් ක්‍රොයිට්සර් සොනාට කියන්නෙ වෙනස්ම විදියේ නමක් බව පේනවා. ඒ වගේම මේ පොතට
මේ නම ලැබීම පිලිබඳවත් රසවත් සිදුවීමක් පසුබිම් වෙලත් තියෙනවා. පෙරවදනේ කියවෙන
පරිදි සොනාටා(සංගීත සන්ධ්වනියක්) වලට ක්‍රොයිට්සර් නම ලැබී තිබෙන්නේ බිතොවන් තමා
විසින් රචනාකල උසස්ම සොනාටාව ඒ කාලයේ දක්ශතම වයලීන වාදකයා ලෙස ප්‍රකට වූ රුඩොල්ෆ්
ක්‍රොයිස්ටර්ට පිලිගැන්වීමෙන් පස්සෙයි. එක්තරා දවසක ටෝල්ස්ටෝයි සමඟ ප්‍රසිද්ධ චිත්‍ර
ශිල්පියෙකු වූ ඉලියා රිපින්, සහ නලුවෙක් වූ ඇන්ඩ්‍රියෙව් බුල්ක සමඟ ක්‍රොයිට්සර් සොනාටාවට සවන්දීමෙන් අනතුරුව ඉන්
ඇති වූ උද්යෝගයෙන් තම තමන් විසින් තමන්ගේ මාධ්‍ය තුලින් එම ඉතිරී ගිය හැඟීම ප්‍රකාශ
කිරීමට ගිවිස ගත් බව සඳහන් වෙනවා. ක්‍රොයිස්ටර් සොනාටා නවකතාව තුල සඳහන් වන්නේ
සොනාටාවක් හෝ සංගීතය ආශ්‍රිත සිදුවීමක් නොවුනත් මෙම නවකතාවේ මූලික සිදුවීම
පසුබිමෙහි ක්‍රොයිට්සර් සොනාටාවක වාදනය ප්‍රතිරාවය වන බව දැකිය හැකියි.
පවුල් සංස්ථාවක් තුල
සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීමෙහි ස්වභාවය මෙන්ම විවිධ වූ මානසිකත්වයන් මත සැමියා
බිරිඳව සැක කිරීම මගින් පවුලක් තුල සිදුවන විශාල ඛේදයක් මනෝමූලික සංකීර්නතා
ඇසුරින් හුවා දක්වන කෘතියක් ලෙස හඳුන්වන්න පුලුවන්. තත්කාලීන රුසියන්
සමාජය තුල මෙය මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියක්. කෙටි කාල සීමාවක් තුල වුවත් මෙය
එකල රජය විසින් තහනමට ලක් කිරීමෙන් පවා එය පැහැදිලි කරගන්න පුලුවන්. විශේශයෙන් එකල
විසූ ප්‍රසිද්ධ ලේඛකයන් මෙය උසස් වර්ගයේ කෘතියක් බව පිලිගෙන තිබෙනවා.
ක්‍රොයිට්සර් සොනාටා වාර කිහිපයකදීම සිංහලට පරිවර්තනය වී ඇති කෘතියක්. 1963 දී එස්.ජී සමරසිංහ
මහතා විසින් ගැහැනු කවුරුද වරදෙ නෙබැඳෙන? නමින් එක් පරිවතර්නයකුත්,කේ.ඩී.පී වික්‍රමසිංහ
විසින් ප්‍රේමය හා ශෝකය නමින් වූ තවත් පරිවර්තනයකුත් සිදුවී තිබෙනවා. කෙසේ නමුත්
පේමතො ජයතී සොකො සිරිල් සී පෙරේරා 2002 වසරේදී අනුවාදනය කිරීමෙන් ඒ පිලිබඳ නව
මානයකින් බලන්නට අවස්ථාව ලැබීම සතුටට කරුනක්. සෙසු කෘති දැක නැතත් මේ කෘතිය මගින්
ටෝල්ස්ටෝයිගේ අගනා කෘතියක් රසවිඳීමට හැකිවීමම එක්තරා භාග්‍යයක්.
No comments:
Post a Comment