රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන්
කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු
සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත කියවීමට නිදහස් මොහොතක් සොයාගැනීම දුෂ්කර වූ හෙයිනි ඒ.
මා වැනිම ඔටිසම් විවිධත්වයෙන් යුතු දරුවෙක් සහිත රමේෂා මේ පොත ලියන්නට ගත් කාලය හා
පරිශ්‍රමය ගැන තක්සේරුවක් මා එයින්ම ලබා ගතිමි. පොත කියවා අවසන් කළ වහාම මා කිසිත්
කියාගත නොහැකි තරමට නිරුත්තර වූයෙමි. නිශ්චිතව මේ යයි කිව නොහැකි තරමට සිතිවිලි
ඝනත්වයකට පත් වූ බවක් මට හැඟිණි. මහ රෑ නිදි වරමින්ද, බස් එකේ යමින් ගමන්ද, නිවසේ ඉඩක් ලද ඇසිල්ලේ
ද පොතේ පිටුවක් දෙකක් කියවමින්, එහි වූ වැදගත්
තැන් සලකුණු කරගනිමින් ද මා ගත කළ කාලය මට දැනුනේ මා මගේ පුතු උරිස්සේ රඳවාගෙන බලාපොරොත්තු සහගත
නිදහස් ලෝකයක් වෙත පියනගන ලෙසිනි. පියෙකු ලෙස මා මෙතෙක් මගේ පුතු වෙනුවෙන් ගත්
වෙහෙසට වඩා ඔහුගේ මානසිකත්වය ඛණ්ඩනය කරන ආකාරයේ අකටයුතුකම් දැනුවත්ව හෝ නොදැනුවත්ව
මා කොතෙක් කරන්නට ඇත්දැයි නැවත නැවතත් මා හට පසක් කරවමිනි.
මේ පොත ‘INSIDE ඔටිසම්‘ යනුවෙන් නම් කරන ලද වුව මෙය හුදෙක්
ඔටිසම් දරුවන් සහිත මව්පියන් පමණක් කිවයුතු පොතක් නොවන බව මා මේ වෙනුවෙන් තබන පළමු
සටහන විය යුතුය. මෙය දරුවන් රැක බලාගන්නා ලොව ඕනෑම තරාතිරමක මනුෂ්‍යයෙක් අනිවාර්යයෙන්
කියවිය යුතු කෘතියක් ය. ඔටිසම් විවිධත්වය සහිත වූවත් එසේ නොමැති වූවත් කවර ආකාරයක
හෝ දරුවන් රැකබලා ගැනීමේදී එම දරුවන්ට මේ මිහිතලය මත නිකැලැල් මානසිකත්වයක් සහිතව
නිදහසේ සහ බාධාවකින් තොරව ගමන් කිරීමට අවකාශ තනන්නේ කෙසේ ද, එම දරුවන්ගේ උවමනාවන්
අප වටහාගන්නේ සහ ඔවුන්ට ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය කරගනු වස් සහාය දානය කරන්නේ කෙසේද
යන සාරගර්භ පණ්විඩය මේ පොතෙන් ලබා දෙන උත්කෘෂ්ඨ පණිවිඩය යයි මා ප්‍රත්‍යක්ෂයෙන්
කියමි.
එසේම මෙය රමේෂා නම් අරුම සහගත ආදරයක් හා ධෛර්යයක්
කැටිකරගත් ‘අම්මා‘ ගැන කතාවක් නොවේ, තවද ඒ අම්මාගේ ආදරනීය දියණිය ‘එමලි‘ ගැන කතාවක් ද නොවේ.
මෙය ඔටිසම් දරුවෙක්ගේ සංවේදනා ලෝකය සහ ස්නායු විවිධත්වය හේතුවෙන් එම දරුවා අභ්‍යන්තරයේ
හටගන්නා වූ හැඩයන් මොනතරම් විශාලදැයි සහ එය අවබෝධ කරගන්නට, තේරුම් ගැනීමට මෙන්ම
එය වරදක් හෝ නපුරක් නොව ඔවුන්ගේ අනන්‍යතාවය බව ඒත්තු ගන්වන්නට අපව ගෙනයන්නා වූ
චාරිකාවක් බවට පරිවර්තනය වී ඇත. එබැවින් මේ පොත රමේෂා ස්වකීය පෞද්ගලික ලාබාපේක්ෂාව
හෝ කීර්තිය වැනි සිල්ලර මානසික උවමනාවන් පසෙකලා පුලුල් අර්ථයකින් හා පුලුල් මනසකින් ලෝකය හමුවට තිළිණ කරන්නා වූ
මාහැඟි දායදයකි.
මේ පොත හරහා මම ඔටිසම් පුද්ගලයන් මෙන්ම
වෙනත් ඕනෑම තරාතිරමක බහුතරයෙන් වෙන්වූ සුලුතර ප්‍රජාවක අනන්‍යතාව බහුතරය ඉදිරියේ
බිදී සුනුවිසුණු වී යන ආකාරය සුපැහැදිලිව දුටුවෙමි. බහුතරය විසින් එකී සුලුතරයගේ
විචිත්‍ර වූ අනන්‍යතාවක් සුන්නද්දූලි කරමින් තම බහුතර අනන්‍යතාව සහිත හැඩයකට
නිර්මාණය කිරීමේ බලහත්කාරී සාහසික ක්‍රියාවලිය විනිවින්දෙමි. ඇතැම්විට එය බාහිර
සමාජයෙන් නොව පුද්ගලයාගේ ආරක්ෂාව හෝ ගෞරවය ලබාදෙන පවුල අභ්‍යන්තරයෙන්ම හෝ මව
පියාගෙන්ම සිදුවන තරමටම තත්වය භයංකර වී ඇති සැටි ගැන අවබෝධ කරගතිමි. මෙය රමේෂා
විසින් පුන පුනා ඍජුව ප්‍රකාශ නොකරන නමුත් පොත කියවන සෑම වතාවකම වඩාත් දැඩිව මා
සලිත කරවමින් මා හට සන්නිවේදනය වූ කාරණා අතරින් ප්‍රමුඛ කාරණයකි.
‘‘එමලිගේ ළමා කාලයට ඇයගේ විවිධත්වය කිසිසේත්ම බාධාවක් නොවිය යුතුය. ඇයට ජීවිතය පුරාම මතක සිටිනා ප්‍රීතිමත් වූත් නිදහස් වූත් ළමා කාලයක් ලබා දිය යුතුය. ඒ හරහා ඇයට ඇයගේ අභියෝග කළමනාකරණය කරගන්නත් කුසලතා සංවර්ධනය කරගන්නත් සහය ලැබිය යුතුය. මේවා මා මනසේ නිරන්තරයෙන් එහා මෙහා ගිය සිතුවිලිය.‘‘ (පිටු අංක 50)
‘‘ඔබ බහුතරය මෙන් හැසිරිය යුතුත් ජීවත් විය
යුතුත් නැත. පියාඹන්නෙ නැති වුව ද පෙන්ගුවින් ද කුරුල්ලෙකි. ඉතින් මේ කුඩා දරුවා
අම්මාට මනුෂ්‍ය ජීවිතයේ ස්වාභාවික හැඩතලයන් ඇති බවත් ඒ සෑම හැඩයකටම අනන්‍ය වූ
වටිනාකමක් ඇති බවත් ඉගැන්වීය. ජීවිතයේ ප්‍රථම වරට මා මගේ දරුවාගෙන් මින් පෙර
හඳුනානොගත් ලොවක් හඳුනාගනිමින් සිටින බව මට පසක් විය.‘‘
‘‘මා කාලයක් පුරා එමලිගේ හැඩය තුළ වටහාගත්
එකක් නම් ඇය තමන්ව අන්ධකාර කුහර තුළ අතුරුදහන් වී යන බව දැනුන විට මොන යම් ක්‍රමයක්
හරහා හෝ උත්සාහ කර පිටතට පැමිණෙන බවයි. එය මට ඇයගේ අනාගතය සම්බන්ධයෙන් සැනසිලිදායක
හැඟීමක් ඇති කළ නමුත් මා නිරන්තරයෙන් කල්පනා කළේ ජීවිතය යනු හුදෙක්ම එහි කෙසේ හෝ
පැවතීමට උත්සාහ දැරීම ද යන්නයි.‘‘
රමේෂා මේ පොත ලියන්නේ තමන් එමලි හරහා
පුද්ගලිකව අත්දුටු අත්දැකීම් හා ඒ ඔස්සේ ලොක දැනුම ගවේෂණයෙන් හා එම දැනුම
භාවිතයෙන් තමා ස්වයංව අවබෝධ කරගත් සත්‍යයන් ප්‍රකාශ කිරීම යන තෙවිදියකම සංකලනයෙනි.
විටෙක අප එමලිගේ චර්යාවන් හා ඇයගේ ස්නායු විවිධත්වයේ ස්වරූපයන් තේරුම් ගනිමින් ද
තවත් විටක ඈ එසේ හැසිරෙන්නේ ඇයි, ඇය එවැනි කාර්යයන් සිදුකිරීමට ඇගේ අභ්‍යන්තර ලෝකය ඇයව
පොළඹවන්නේ ඇයිද යන අතිසංකීර්ණ ගැටලු එකින් එක ලිහමින් දිග හැර පෙන්වයි.
ඒ හරහා මෙතෙක් ලංකාවේ පමණක් නොව මුලුමහත්
ලෝකයේම ඔටිසම් පිළිබඳව ගොඩනැගී ඇති මිත්‍යා මත මෙන්ම අතිශය සාවද්‍ය දැනුම විවාදයට
ලක් කරයි. ප්‍රශ්න කරයි. එසේම එමගින් ඔටිසම් දරුවන්ගේ ළමා කාලය කොතරම් නරුම
ආකාරයකින් විනාශ මුඛයකට ඇද දමන්නේදැයි සාක්ෂි සහිතව ඔප්පු කරයි. රමේෂා මෙය
දැනුමින් හා කරුණු වශයෙන් පමණක් ගෙන හැර පා පැත්තකට වන්නේ නැත. ඇය එමලි හරහා තමා
අත්දුටු දෙයක් ඊට තමා දැක්වූ ප්‍රතිචාරයත්
හරහා එය වඩාත් සාධනීයව අපට තහවුරු කර පෙන්වයි. මේ පොත වැදගත් වන්නේ ඒ කාරණා කිහිපයම
එකිනෙක අත්වැල් බැඳගෙන යන බැවිනි
මගේ වඩාත් අවධානය යොමු වූයේ Stimming ගැන ලියා ඇති
පරිච්චේදයටයි. මෙය මා දැක ඇති බහුතරයක් ඔටිසම් දරුවන් සිදුකරන්නා වූ චර්යාවකි. මගේ
පුතා ද නිරන්තරයෙන් අතේ ඇඟිලි මකුළුවෙක් මෙන් දඟලවමින් හා ඇස් බෝල කරකවමින් වැනි
නොයෙක් ආකාරයේ ඒකාකාර වූ චර්යාවන් දෛනික ජීවිතයේ කරනු ලබන බව මට පසක් වී ඇත. ඇතැම්
විට එය ශාරීරික ඉරියව්වක්ම නොව ශබ්ද කිරීමකි. කෑ ගැසීමකි. යම් දෙයක් දෙස බොහෝ
වේලාවක් බලාසිටීමකි. මෙවැනි Stimming හරහා ඔටිසම් දරුවන්
කරනු ලබන්නේ මනස සන්සුන් කරගැනීමක් හෝ තම ආවේග කළමනාකරණය කරගැනීමක් බව මා අවබෝධ
කරගත්තේ රමේෂා දැක්වූ කරුණු අධ්‍යයනය
කිරීමෙනි. ඒ බැව් පොතේ සඳහන් වන්නේ මෙසේය.
‘‘ඔටිසම් පුද්ගලයින්ගේ Stimming නතර කරන්නැයි විධාන
දීම කෙනෙකුට හඬන්නට හෝ සිනාසෙන්නට එපා යැයි කියන්නාක් මෙනි. Stimming යනු ඔටිසම් දරුවන්ගේ
සහ ප්‍රජාවගේ අයිතියකි. Stimming යනු ඔවුන් මනස සන්සුන් කරගන්නා උපක්‍රමයකි. අවට ලෝකය හා
සම්බන්ධ වීමට උත්සාහ ගන්නා මාර්ගයකි.
Stimming නතර කළ යුත්තේ හෝ වෙනත් Stimming එකකට, මනස සන්සුන් කරගැනීමේ
ක්‍රමවේදයකට මාරු කළ යුත්තේ එකී Stimming දරුවාට හෝ දරුවාගෙන් අනෙකාට හිරිහැරයක්, බාධාවක් වනවා නම්
පමණි. එහෙත් ඉලක්කය විය යුත්තේ Stimming නතර කිරීම නොව, එය පිටුපස ඇති හේතුව, අවශ්‍යතාවය සොයාගෙන
එකී අවශ්‍යතාවය වෙනත් ක්‍රමයක් හරහා සම්පූර්ණ කිරීමය.‘‘ (පිටු අංක 95)
මේ පොත හරහා රමේෂා තම නිවසේ අභ්‍ය්න්තරයටත්,
නිවසේ වත්ත වටාත්, එමලිව ද සමඟ අපව කැඳවාගෙන යයි. එමලිව තේරුම් ගැනීම, එමලිට සහාය
දීම මවක් වශයෙන් තමාට කොතරම් දුෂ්කර හා වෙහෙසකර කාර්යයක්දැයි පසක් කරයි. එකී
අතිදුෂ්කර කාර්යය පවා තමා කරන්නේ අතිශය පාරිශුද්ධ හැඟීමකින් බව සපථ කර පෙන්වයි.
‘‘දරුවාට සහය දීමට නම් මට මා කෑලි වලට බිඳී
යාමට ඉඩ නොදී මා තුළම සියල්ල දරාගෙන යථාර්ථයට මුහුණ දිය යුතු යැයි මා මටම කියා
ගත්තෙමි. මා මේ දකින්නේ සිහිනයක් නොවන බව මටම පසක් කර දිය යුතුය. මා දරුවන්ට
නොපෙනෙන්නට හඬන්නට තෝරාගත්තේ නාන කාමරය යි. කුඩා රවුම් කණ්ණාඩිය තුළින් පෙනෙනා මා
දෙස මා බලා සිටියෙමි. සැමියා සුපර්මාකට් එකට ගොසිනි. ඉසබෙල් සහ එමලි සාලයට වී තනි
තනිවම සෙල්ලමේ ය. දිග හුස්මක් ගත් මා දෙවරක් නොසිතා සැමියාගේ කොණ්ඩය trim කරන මැෂිම ගෙන ඉදිරිපස
නළල ආසන්නයෙන් තබා හිස පිටුපසට රැගෙන ගියෙමි. කොණ්ඩයේ මැදින් කොටසක් කැපී සින්ක්
එක තුළට වැටුණි. පිට මැද්දට දික්ව තිබූ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දැමුවෙමි. මට අත
පොවන්නට අපහසු හිස පිටුපස කොණ්ඩය අසමබරව තැනින් තැන එල්ලා වැටුණි.‘‘ (පිටු අංක
107)
‘‘දරුවාගේ විවිධත්වය හඳුනාගත් පසු නිවස අඳුරකින් වැසී
යනවා වෙනුවට අපේ නිවස තව තවත් ආලෝකයකින් සහ උත්තේජනයකින් පිරී ගියේය. එසේ වුවද අප
දෙදෙනාගේ හදවත් තුළ නිරන්තරයෙන් දරුවන්ට නොපෙන්වූ ගින්නක් බුර බුරා ඇවිළිණි. එයට
හේතුව කිසිදු සහයක් නොමැතිව අප හුදකලාවී මේ අරගලය අරගෙන ගිය බැවිනි. එසේම ලංකාවේ
දරුවාගේ විවිධත්වය පිළිගන්නා ඉඩක් නිර්මාණය වේ දැයි අපට තිබූ දැඩි සැකයයි.‘‘
මෙසේ අවිනිශ්චිතත්වය සහ බලාපොරොත්තු බිඳවැටීම් මෙන්ම අපේක්ෂාවෙන්
බරවීම් ද සහිත අවිවේකී ගමන තුළ මානසිකව නොබිඳී තම දරුවාටත්, සුවහසක් ලෝකවාසීන් වෙනුවෙනුත්
අරගල කිරිමට උනන ශක්තිය විටෙක මායාකාරී බව මට සිතෙයි. ඒ නොනැසෙන හා නොසැලෙන ශක්තිය
අභියස මා කුදු මිනිසෙකුයි සිතෙයි.
රමේෂා මේ ලියන භාෂාව සජීවීය, හැඟුම්බරය. හැඟුම්බර බවින් නොනැවතී
සබුද්ධික වන්නැයි අපට ආරාධනා කරන සුළුය. අපගේ දරුවා මේ ලෝකයේ ඔහුටම අනන්‍ය
වූ පැවැත්මක් ඉල්ලා සිටින බවත් අප ඒ පැවැත්මට බාධා නොකොට ඔහුගේ කැදැල්ල තනා
ගැනීමට සුව පහසු වටපිටාව සැකසීමට සහාය දිය යුතු බවත් අවධාරණය කරයි.
මේ පොත හරහා අපට මාතෘත්වය යනු කුමක්දැයි පසක් කරයි.
පීතෘත්වය යනු කුමක්දැයි පසක් කරයි. ඒ සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය යනු කුමක්දැයි
මතක් කර දෙයි. අපේ හැඩයෙන් සම්පූර්ණ වෙනස් අනෙකාගේ ලෝකය තේරුම් ගන්නා සැටිත් එසේ වීමෙන් ලෝකය
කොතරම් විචිත්‍ර විය හැකිද යන්න මතක් කර දෙයි.
මේ පොත හරහා මා උකහා ගත් දැනුම හා අවබෝධය මෙතෙකැයි කිව නොහැක.
පොතෙහි ඇතැම් සටහනක් කියවමින් හා පොත වසා බොහෝ වේලාවක් කල්පනා කරමින්, හැඬෙන්නට
තරම් ආවේගයන් හිරකරගනිමින් ගතවූ නිමේෂයන් දිවි ඇති තුරුම හැම මොහොතකම ආධාර
වනු නියතය. රමේෂා මේ ගත් ප්‍රයත්නයට හිස නමා ආචාර කරමි. මේ සටහන හමාර කරන්නට රමේෂාගේම
සටහනක් උපුටනයක් ලෙස යොදමි.
‘‘ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවා වෙනුවෙන් නොයෙක්
සේවාවන් සිදු කරයි.සමහරුන් ආගමික ස්ථාන වෙතට මහා පරිමාණයෙන් ආධාර ලබා දෙයි. දෙමාපියන්
නොමැති දරුවන්ට මාස් පතා ආහාර ඇඳුම්, පොත් ලබා දෙයි. සුර දමයි. දෙහි කපයි, බෝධි
පූජා කරයි.
ඒ සියල්ල අතරින් මා තෝරාගත්තේ දරුවා වෙනුවෙන් සමාජය
දැනුවත් කිරීමයි. අනෙකා සමඟ ඔටිසම් සම්බන්ධයෙන් සොයා ගන්නා නව දැනුම මූලාශ්‍ර බෙදා
ගැනීමයි. මාස් පතා ගෙවමින් ඔටිසම් සම්බන්ධව දැනුවත් කිරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන
යාමයි. මේ පොත ලියවෙන්නේ ද එමලි වෙනුවෙන් ආරම්භ කළ සමාජ දැනුවත් කිරීමේ අරමුණෙහි
තවත් එක් දිගුවක් ලෙසිනි. මතුයම් දිනෙක මේ කාර්යය මා එමලිට බාර කරනෙමි. ඒ දිනය
දක්වා අපගේ සමාජ දැනුවත් කිරීම පැහැදිලිව, විනිවිදව සහ පාරිශුද්ධව ඉදිරියට ගෙන යා
යුතුය‘‘ (පිටු අංක 213)
.jpg)






.jpg)



