Wednesday, July 8, 2026

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

 

රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත කියවීමට නිදහස් මොහොතක් සොයාගැනීම දුෂ්කර වූ හෙයිනි ඒ. මා වැනිම ඔටිසම් විවිධත්වයෙන් යුතු දරුවෙක් සහිත රමේෂා මේ පොත ලියන්නට ගත් කාලය හා පරිශ්‍රමය ගැන තක්සේරුවක් මා එයින්ම ලබා ගතිමි. පොත කියවා අවසන් කළ වහාම මා කිසිත් කියාගත නොහැකි තරමට නිරුත්තර වූයෙමි. නිශ්චිතව මේ යයි කිව නොහැකි තරමට සිතිවිලි ඝනත්වයකට පත් වූ බවක් මට හැඟිණි. මහ රෑ නිදි වරමින්ද, බස් එකේ යමින් ගමන්ද, නිවසේ ඉඩක් ලද ඇසිල්ලේ ද පොතේ පිටුවක් දෙකක් කියවමින්, එහි වූ වැදගත් තැන් සලකුණු කරගනිමින් ද මා ගත කළ කාලය මට දැනුනේ  මා මගේ පුතු උරිස්සේ රඳවාගෙන බලාපොරොත්තු සහගත නිදහස් ලෝකයක් වෙත පියනගන ලෙසිනි. පියෙකු ලෙස මා මෙතෙක් මගේ පුතු වෙනුවෙන් ගත් වෙහෙසට වඩා ඔහුගේ මානසිකත්වය ඛණ්ඩනය කරන ආකාරයේ අකටයුතුකම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මා කොතෙක් කරන්නට ඇත්දැයි නැවත නැවතත් මා හට පසක් කරවමිනි.

 

මේ පොත ‘INSIDE ඔටිසම්‘ යනුවෙන් නම් කරන ලද වුව මෙය හුදෙක් ඔටිසම් දරුවන් සහිත මව්පියන් පමණක් කිවයුතු පොතක් නොවන බව මා මේ වෙනුවෙන් තබන පළමු සටහන විය යුතුය. මෙය දරුවන් රැක බලාගන්නා ලොව ඕනෑම තරාතිරමක මනුෂ්‍යයෙක් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියක් ය. ඔටිසම් විවිධත්වය සහිත වූවත් එසේ නොමැති වූවත් කවර ආකාරයක හෝ දරුවන් රැකබලා ගැනීමේදී එම දරුවන්ට මේ මිහිතලය මත නිකැලැල් මානසිකත්වයක් සහිතව නිදහසේ සහ බාධාවකින් තොරව ගමන් කිරීමට අවකාශ තනන්නේ කෙසේ ද, එම දරුවන්ගේ උවමනාවන් අප වටහාගන්නේ සහ ඔවුන්ට ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය කරගනු වස් සහාය දානය කරන්නේ කෙසේද යන සාරගර්භ පණ්විඩය මේ පොතෙන් ලබා දෙන උත්කෘෂ්ඨ පණිවිඩය යයි මා ප්‍රත්‍යක්ෂයෙන් කියමි.

 

එසේම මෙය රමේෂා නම් අරුම සහගත ආදරයක් හා ධෛර්යයක් කැටිකරගත් ‘අම්මා‘ ගැන කතාවක් නොවේ, තවද ඒ අම්මාගේ ආදරනීය දියණිය ‘එමලි‘ ගැන කතාවක් ද නොවේ. මෙය ඔටිසම් දරුවෙක්ගේ සංවේදනා ලෝකය සහ ස්නායු විවිධත්වය හේතුවෙන් එම දරුවා අභ්‍යන්තරයේ හටගන්නා වූ හැඩයන් මොනතරම් විශාලදැයි සහ එය අවබෝධ කරගන්නට, තේරුම් ගැනීමට මෙන්ම එය වරදක් හෝ නපුරක් නොව ඔවුන්ගේ අනන්‍යතාවය බව ඒත්තු ගන්වන්නට අපව ගෙනයන්නා වූ චාරිකාවක් බවට පරිවර්තනය වී ඇත. එබැවින් මේ පොත රමේෂා ස්වකීය පෞද්ගලික ලාබාපේක්ෂාව හෝ කීර්තිය වැනි සිල්ලර මානසික උවමනාවන් පසෙකලා පුලුල් අර්ථයකින්  හා පුලුල් මනසකින් ලෝකය හමුවට තිළිණ කරන්නා වූ මාහැඟි දායදයකි.

 

මේ පොත හරහා මම ඔටිසම් පුද්ගලයන් මෙන්ම වෙනත් ඕනෑම තරාතිරමක බහුතරයෙන් වෙන්වූ සුලුතර ප්‍රජාවක අනන්‍යතාව බහුතරය ඉදිරියේ බිදී සුනුවිසුණු වී යන ආකාරය සුපැහැදිලිව දුටුවෙමි. බහුතරය විසින් එකී සුලුතරයගේ විචිත්‍ර වූ අනන්‍යතාවක් සුන්නද්දූලි කරමින් තම බහුතර අනන්‍යතාව සහිත හැඩයකට නිර්මාණය කිරීමේ බලහත්කාරී සාහසික ක්‍රියාවලිය විනිවින්දෙමි. ඇතැම්විට එය බාහිර සමාජයෙන් නොව පුද්ගලයාගේ ආරක්ෂාව හෝ ගෞරවය ලබාදෙන පවුල අභ්‍යන්තරයෙන්ම හෝ මව පියාගෙන්ම සිදුවන තරමටම තත්වය භයංකර වී ඇති සැටි ගැන අවබෝධ කරගතිමි. මෙය රමේෂා විසින් පුන පුනා ඍජුව ප්‍රකාශ නොකරන නමුත් පොත කියවන සෑම වතාවකම වඩාත් දැඩිව මා සලිත කරවමින් මා හට සන්නිවේදනය වූ කාරණා අතරින් ප්‍රමුඛ කාරණයකි.

 

‘‘එමලිගේ ළමා කාලයට ඇයගේ විවිධත්වය කිසිසේත්ම බාධාවක් නොවිය යුතුය. ඇයට ජීවිතය පුරාම මතක සිටිනා ප්‍රීතිමත් වූත් නිදහස් වූත් ළමා කාලයක් ලබා දිය යුතුය. හරහා ඇයට ඇයගේ අභියෝග කළමනාකරණය කරගන්නත් කුසලතා සංවර්ධනය කරගන්නත් සහය ලැබිය යුතුය. මේවා මා මනසේ නිරන්තරයෙන් එහා මෙහා ගිය සිතුවිලිය.‘‘ (පිටු අංක 50)

‘‘ඔබ බහුතරය මෙන් හැසිරිය යුතුත් ජීවත් විය යුතුත් නැත. පියාඹන්නෙ නැති වුව ද පෙන්ගුවින් ද කුරුල්ලෙකි. ඉතින් මේ කුඩා දරුවා අම්මාට මනුෂ්‍ය ජීවිතයේ ස්වාභාවික හැඩතලයන් ඇති බවත් ඒ සෑම හැඩයකටම අනන්‍ය වූ වටිනාකමක් ඇති බවත් ඉගැන්වීය. ජීවිතයේ ප්‍රථම වරට මා මගේ දරුවාගෙන් මින් පෙර හඳුනානොගත් ලොවක් හඳුනාගනිමින් සිටින බව මට පසක් විය.‘‘

 

‘‘මා කාලයක් පුරා එමලිගේ හැඩය තුළ වටහාගත් එකක් නම් ඇය තමන්ව අන්ධකාර කුහර තුළ අතුරුදහන් වී යන බව දැනුන විට මොන යම් ක්‍රමයක් හරහා හෝ උත්සාහ කර පිටතට පැමිණෙන බවයි. එය මට ඇයගේ අනාගතය සම්බන්ධයෙන් සැනසිලිදායක හැඟීමක් ඇති කළ නමුත් මා නිරන්තරයෙන් කල්පනා කළේ ජීවිතය යනු හුදෙක්ම එහි කෙසේ හෝ පැවතීමට උත්සාහ දැරීම ද යන්නයි.‘‘

 

රමේෂා මේ පොත ලියන්නේ තමන් එමලි හරහා පුද්ගලිකව අත්දුටු අත්දැකීම් හා ඒ ඔස්සේ ලොක දැනුම ගවේෂණයෙන් හා එම දැනුම භාවිතයෙන් තමා ස්වයංව අවබෝධ කරගත් සත්‍යයන් ප්‍රකාශ කිරීම යන තෙවිදියකම සංකලනයෙනි. විටෙක අප එමලිගේ චර්යාවන් හා ඇයගේ ස්නායු විවිධත්වයේ ස්වරූපයන් තේරුම් ගනිමින් ද තවත් විටක ඈ එසේ හැසිරෙන්නේ ඇයි, ඇය එවැනි කාර්යයන් සිදුකිරීමට ඇගේ අභ්‍යන්තර ලෝකය ඇයව පොළඹවන්නේ ඇයිද යන අතිසංකීර්ණ ගැටලු එකින් එක ලිහමින් දිග හැර පෙන්වයි.

 

ඒ හරහා මෙතෙක් ලංකාවේ පමණක් නොව මුලුමහත් ලෝකයේම ඔටිසම් පිළිබඳව ගොඩනැගී ඇති මිත්‍යා මත මෙන්ම අතිශය සාවද්‍ය දැනුම විවාදයට ලක් කරයි. ප්‍රශ්න කරයි. එසේම එමගින් ඔටිසම් දරුවන්ගේ ළමා කාලය කොතරම් නරුම ආකාරයකින් විනාශ මුඛයකට ඇද දමන්නේදැයි සාක්ෂි සහිතව ඔප්පු කරයි. රමේෂා මෙය දැනුමින් හා කරුණු වශයෙන් පමණක් ගෙන හැර පා පැත්තකට වන්නේ නැත. ඇය එමලි හරහා තමා අත්දුටු දෙයක් ඊට තමා දැක්වූ ප්‍රතිචාරයත් හරහා එය වඩාත් සාධනීයව අපට තහවුරු කර පෙන්වයි. මේ පොත වැදගත් වන්නේ ඒ කාරණා කිහිපයම එකිනෙක අත්වැල් බැඳගෙන යන බැවිනි

 

මගේ වඩාත් අවධානය යොමු වූයේ Stimming ගැන ලියා ඇති පරිච්චේදයටයි. මෙය මා දැක ඇති බහුතරයක් ඔටිසම් දරුවන් සිදුකරන්නා වූ චර්යාවකි. මගේ පුතා ද නිරන්තරයෙන් අතේ ඇඟිලි මකුළුවෙක් මෙන් දඟලවමින් හා ඇස් බෝල කරකවමින් වැනි නොයෙක් ආකාරයේ ඒකාකාර වූ චර්යාවන් දෛනික ජීවිතයේ කරනු ලබන බව මට පසක් වී ඇත. ඇතැම් විට එය ශාරීරික ඉරියව්වක්ම නොව ශබ්ද කිරීමකි. කෑ ගැසීමකි. යම් දෙයක් දෙස බොහෝ වේලාවක් බලාසිටීමකි.  මෙවැනි Stimming හරහා ඔටිසම් දරුවන් කරනු ලබන්නේ මනස සන්සුන් කරගැනීමක් හෝ තම ආවේග කළමනාකරණය කරගැනීමක් බව මා අවබෝධ කරගත්තේ රමේෂා දැක්වූ කරුණු අධ්‍යයනය කිරීමෙනි. ඒ බැව් පොතේ සඳහන් වන්නේ මෙසේය.

 

‘‘ඔටිසම් පුද්ගලයින්ගේ Stimming නතර කරන්නැයි විධාන දීම කෙනෙකුට හඬන්නට හෝ සිනාසෙන්නට එපා යැයි කියන්නාක් මෙනි. Stimming යනු ඔටිසම් දරුවන්ගේ සහ ප්‍රජාවගේ අයිතියකි. Stimming යනු ඔවුන් මනස සන්සුන් කරගන්නා උපක්‍රමයකි. අවට ලෝකය හා සම්බන්ධ වීමට උත්සාහ ගන්නා මාර්ගයකි.

 

Stimming නතර කළ යුත්තේ හෝ වෙනත් Stimming එකකට, මනස සන්සුන් කරගැනීමේ ක්‍රමවේදයකට මාරු කළ යුත්තේ එකී Stimming දරුවාට හෝ දරුවාගෙන් අනෙකාට හිරිහැරයක්, බාධාවක් වනවා නම් පමණි. එහෙත් ඉලක්කය විය යුත්තේ Stimming නතර කිරීම නොව, එය පිටුපස ඇති හේතුව, අවශ්‍යතාවය සොයාගෙන එකී අවශ්‍යතාවය වෙනත් ක්‍රමයක් හරහා සම්පූර්ණ කිරීමය.‘‘ (පිටු අංක 95)

මේ පොත හරහා රමේෂා තම නිවසේ අභ්‍ය්න්තරයටත්, නිවසේ වත්ත වටාත්, එමලිව ද සමඟ අපව කැඳවාගෙන යයි. එමලිව තේරුම් ගැනීම, එමලිට සහාය දීම මවක් වශයෙන් තමාට කොතරම් දුෂ්කර හා වෙහෙසකර කාර්යයක්දැයි පසක් කරයි. එකී අතිදුෂ්කර කාර්යය පවා තමා කරන්නේ අතිශය පාරිශුද්ධ හැඟීමකින් බව සපථ කර පෙන්වයි.

 

‘‘දරුවාට සහය දීමට නම් මට මා කෑලි වලට බිඳී යාමට ඉඩ නොදී මා තුළම සියල්ල දරාගෙන යථාර්ථයට මුහුණ දිය යුතු යැයි මා මටම කියා ගත්තෙමි. මා මේ දකින්නේ සිහිනයක් නොවන බව මටම පසක් කර දිය යුතුය. මා දරුවන්ට නොපෙනෙන්නට හඬන්නට තෝරාගත්තේ නාන කාමරය යි. කුඩා රවුම් කණ්ණාඩිය තුළින් පෙනෙනා මා දෙස මා බලා සිටියෙමි. සැමියා සුපර්මාකට් එකට ගොසිනි. ඉසබෙල් සහ එමලි සාලයට වී තනි තනිවම සෙල්ලමේ ය. දිග හුස්මක් ගත් මා දෙවරක් නොසිතා සැමියාගේ කොණ්ඩය trim කරන මැෂිම ගෙන ඉදිරිපස නළල ආසන්නයෙන් තබා හිස පිටුපසට රැගෙන ගියෙමි. කොණ්ඩයේ මැදින් කොටසක් කැපී සින්ක් එක තුළට වැටුණි. පිට මැද්දට දික්ව තිබූ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දැමුවෙමි. මට අත පොවන්නට අපහසු හිස පිටුපස කොණ්ඩය අසමබරව තැනින් තැන එල්ලා වැටුණි.‘‘ (පිටු අංක 107)

 

‘‘දරුවාගේ විවිධත්වය හඳුනාගත් පසු නිවස අඳුරකින් වැසී යනවා වෙනුවට අපේ නිවස තව තවත් ආලෝකයකින් සහ උත්තේජනයකින් පිරී ගියේය. එසේ වුවද අප දෙදෙනාගේ හදවත් තුළ නිරන්තරයෙන් දරුවන්ට නොපෙන්වූ ගින්නක් බුර බුරා ඇවිළිණි. එයට හේතුව කිසිදු සහයක් නොමැතිව අප හුදකලාවී මේ අරගලය අරගෙන ගිය බැවිනි. එසේම ලංකාවේ දරුවාගේ විවිධත්වය පිළිගන්නා ඉඩක් නිර්මාණය වේ දැයි අපට තිබූ දැඩි සැකයයි.‘‘

 

මෙසේ අවිනිශ්චිතත්වය සහ බලාපොරොත්තු බිඳවැටීම් මෙන්ම අපේක්ෂාවෙන් බරවීම් ද සහිත අවිවේකී ගමන තුළ මානසිකව නොබිඳී තම දරුවාටත්, සුවහසක් ලෝකවාසීන් වෙනුවෙනුත් අරගල කිරිමට උනන ශක්තිය විටෙක මායාකාරී බව මට සිතෙයි. ඒ නොනැසෙන හා නොසැලෙන ශක්තිය අභියස  මා කුදු මිනිසෙකුයි සිතෙයි.

 

රමේෂා මේ ලියන භාෂාව සජීවීය, හැඟුම්බරය. හැඟුම්බර බවින් නොනැවතී සබුද්ධික වන්නැයි අපට ආරාධනා කරන සුළුය. අපගේ දරුවා මේ ලෝකයේ ඔහුටම අනන්‍ය වූ පැවැත්මක් ඉල්ලා සිටින බවත් අප ඒ පැවැත්මට බාධා නොකොට ඔහුගේ කැදැල්ල තනා ගැනීමට සුව පහසු වටපිටාව සැකසීමට සහාය දිය යුතු බවත් අවධාරණය කරයි.

 

මේ පොත හරහා අපට මාතෘත්වය යනු කුමක්දැයි පසක් කරයි. පීතෘත්වය යනු කුමක්දැයි පසක් කරයි. ඒ සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය යනු කුමක්දැයි මතක් කර දෙයි. අපේ හැඩයෙන් සම්පූර්ණ වෙනස්  අනෙකාගේ ලෝකය තේරුම් ගන්නා සැටිත් එසේ වීමෙන් ලෝකය කොතරම් විචිත්‍ර විය හැකිද යන්න මතක් කර දෙයි.

 

මේ පොත හරහා මා උකහා ගත් දැනුම හා අවබෝධය මෙතෙකැයි කිව නොහැක. පොතෙහි ඇතැම් සටහනක් කියවමින් හා පොත වසා බොහෝ වේලාවක් කල්පනා කරමින්, හැඬෙන්නට තරම් ආවේගයන් හිරකරගනිමින් ගතවූ නිමේෂයන් දිවි ඇති තුරුම හැම මොහොතකම ආධාර වනු නියතය. රමේෂා මේ ගත් ප්‍රයත්නයට හිස නමා ආචාර කරමි. මේ සටහන හමාර කරන්නට රමේෂාගේම සටහනක් උපුටනයක් ලෙස යොදමි.

 

‘‘ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවා වෙනුවෙන් නොයෙක් සේවාවන් සිදු කරයි.සමහරුන් ආගමික ස්ථාන වෙතට මහා පරිමාණයෙන් ආධාර ලබා දෙයි. දෙමාපියන් නොමැති දරුවන්ට මාස් පතා ආහාර ඇඳුම්, පොත් ලබා දෙයි. සුර දමයි. දෙහි කපයි, බෝධි පූජා කරයි.

 

ඒ සියල්ල අතරින් මා තෝරාගත්තේ දරුවා වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමයි. අනෙකා සමඟ ඔටිසම් සම්බන්ධයෙන් සොයා ගන්නා නව දැනුම මූලාශ්‍ර බෙදා ගැනීමයි. මාස් පතා ගෙවමින් ඔටිසම් සම්බන්ධව දැනුවත් කිරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමයි. මේ පොත ලියවෙන්නේ ද එමලි වෙනුවෙන් ආරම්භ කළ සමාජ දැනුවත් කිරීමේ අරමුණෙහි තවත් එක් දිගුවක් ලෙසිනි. මතුයම් දිනෙක මේ කාර්යය මා එමලිට බාර කරනෙමි. ඒ දිනය දක්වා අපගේ සමාජ දැනුවත් කිරීම පැහැදිලිව, විනිවිදව සහ පාරිශුද්ධව ඉදිරියට ගෙන යා යුතුය‘‘ (පිටු අංක 213)



Wednesday, June 17, 2026

රාමුගත පැවැත්මකට එරෙහි අරගලය Divergent

 


Divergent කියන්නේ මම නිතර බලන ප්‍රවර්ගයක චිත්‍රපටයක් නොවුණත් මේක බලලා අවුරුදු ගානක් ගිහිල්ලත් මේ කතා තේමාව මගේ හිතේ වරින් වර සැරිසරන එක නැවතිලා නැහැ. මේක තරමක් ප්‍රසිද්ධ හෝ වාණිජ ධාරාවේ චිත්‍රපටයක් කිව්වත් වැරදි නැහැ. කොහොම වුණත් මේ කතා තේමාව හඳුන්වන්න වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් ලෙසයි.

මේ කතා තේමාව සුවිශේෂී එකක්. අනාගතයේ තාක්ෂණයෙන් අති නවීන වූ නගරයක මිනිසුන් ප්‍රධාන ප්‍රවර්ග 5කට බෙදා දැක්වීම තමයි මේකෙ මූලික කතාව. මෙතනදි සිදුවෙන්නෙ මේකයි. අවුරුදු 16 වෙද්දී සියලුම මිනිසුන්ට තමන් අයත් වන්නේ කුමන ප්‍රවර්ගයකට ද යන්න තීරණය කරන පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා.

අපේ කතා නායිකාව බියට්‍රිස් ටද මේ පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. මෙසේ එක් එක් හැකියා මත වර්ග කරන ලද සමාජ කණ්ඩායම් 05ක් තියෙනවා. ඒවා සිංහලෙන් කිව්වොත් මෙහෙමයි.

·         ත්‍යාගශීලී

·         නිර්භීත

·         බුද්ධිමත්

·         අවංක

·         සාමකාමී

 

මේ පරීක්ෂණයට මුහුණ දෙන බියට්‍රිස්ගේ පරීක්ෂණය අනූව ඇය නිශ්චිත එක කණ්ඩායමකට අයත් වෙනවා යයි නිගමනය කරන්න අසීරු වෙනවා. ඇය එක් එක් කණ්ඩායමේ ලක්ෂණවල සංකලනයක් වගේ. මේක සුපිරි තත්වයක් වුණත් මෙසේ වර්ග කරන නියාමකයන් හිතන්නේ මෙසේ සුපිරි වර්ගයකට අයත් වන්නන් සමාජයේ පැවැත්මට තර්ජනයක් වන බවයි. ඒ අනූව බියට්‍රිස්ට තර්ජනයක් තියෙනවා. ඒ නිසාම ඇය ස්වයංව කණ්ඩායමක් තෝරා ගන්නවා. ඒ කණ්ඩායම තමයි නිර්භීත කණ්ඩායම.

මෙන්න මේ ආකාරයට සමාජයේ ආකෘතිකගත පාලන සැලැස්ම සංකේතාත්මකව ප්‍රශ්න කරමින් සහ එහි විභේනයන් ගැන සාකච්ඡා කරමින් වඩාත් හැඟුම්බර සහ කුතුහලය දනවන කතාවක් ලෙසින් මේ චිත්‍රපටය විකාශය වෙනවා.

මේ චිත්‍රපටයේ තවත් කොටස් දෙකක් හෝ තුනක් තියෙනවා. ඒවාත් විවිධ මට්ටම් වලින් රසවත්. නමුත් මම තදින්ම කැමති පළවෙනි එකට. එනම් Divergent එකට.

Friday, June 12, 2026

ආදර කතාවක් නෙමෙයි ආදරය ගැන කතාවක්

 





500
DAYS OF SUMMER චිත්‍රපටයේ ආරම්භයේදී අපට කියන්නේ මේක ආදරය ගැන කතාවක් මිස ආදරනීය කතාවක් නොවන බවයි. දින 500ක් පුරාවට දිවෙන කතාවේ දින දසුන අපේ ඉදිරිපිට දිග හැරෙන්නේ අපිළිවෙළකට. අතනින් මෙතනින්. පලවෙනි දවස් කිහිපයෙන් අනතුරුව දින 290 වෙන්න පුලුවන්. ආයෙත් 500 වෙනි දිනයට යන්නත් පුලුවන්. ඔය වගේ කතාව ගලාගෙන යාමේදී අපේ පිළිවෙළ සහිත ආකෘතිය බිඳ හෙලනවා.

ටොම් කියන්නේ සාමාන්‍යෙයන් අපි වගේ පෙම්වතෙක්. මම වගේ කෙනෙක් විදිහටයි මට දැනුනේ. එයා ආදරය දකින්නේ සදාතනික දෙයක් විදිහට. ස්ථාවර හෝ ස්ථිර දෙයක් විදිහට. අචල දෙයක් විදිහට. නමුත් ටොම්ගේ පෙම්වතිය ( සමර) එසේ නැහැ. ඇය ටොම් එක්ක ආදරයෙන් බැඳුණත් ඇය නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ අපි නිකං යාළුවෝ විතරයි. මා ගාව බරපතල හැඟීමක් නැහැ. කියලයි. ආදරය ආරම්භ කරද්දී මේ ප්‍රකාශය බරසාරත්වයකින් තොරව භාරගත්තත් ටොම්ට ක්‍රියාත්මක තලයේදී මේ අස්වාභාවික ගනුදෙනුව දරාගත නොහැකි වෙනවා.

කාලයත් එක්ක සමර්ට (පෙම්වතියට) ටොම් ගැන තියෙන උනන්දුව දියවෙලා යනවා. අවම වෙලා යනවා. 290දී ටොම්ගෙන් වෙන් වෙලා සමර් තනි වෙන්න බලනවා. ඒකට නිශ්චිත තනි හේතුවක් සමර් ගාව නෑ. 

සමර් වෙන් වෙලා ගියාට ටොම් ගාව තවමත් ආදරය නොනැසී තියෙනවා. කල්පනා ලෝකෙ ඇතුලේ සමර් ජීවත් වෙනවා. ටොම් නිරන්තරයෙන් විශ්වාස කරන්නේ සමර් ආයෙ කවදාක හෝ තමන් සොයා පැමිණේවි කියලයි.

ඔය අතරේ දවසක අහම්බෙන්  ටොම්ට සමර්ව මුණ ගැසෙනවා. තම නිවසේ උත්සවයක් වෙනුවෙන් සමර් ටොම්ට ආරාධනා කරනවා. ටොම් මෙයින් මුසපත් වෙනවා. උද්යෝගිමත් වෙනවා. ටොම්ගේ ඇතුල් හද දැල්වෙන්නේ සමර්ව යළි දිනාගැනීමේ අරමුණෙන්. සමර් යළි තමාට ආදරය කරාවිය යන අපේක්ෂාවෙන්.

නමුත් ටොම්ට මුහුණ දෙන්නට සිදුවන්නේ බලාපොරොත්තු නොවන දෙයක්.

මේ කතාව ඇතුලේ ආදරය පිළිබඳ යථාර්ථවාදී කතාවක් අසම්මත ආකෘතියක් ඇතුලේ ලස්සනට ගලපනවා. ආදරය කියන්නේ මොකක්ද සම්බන්ධතා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට පිළිතුරකටත් වඩා ඒ පිළිබඳ නැවත වටයකින් සිතන්න අපිව පොළඹවන ආකාරයේ නැවුම් සිනමා කෘතියක්

Tuesday, April 7, 2026

පිස්සු පවුල - Little miss SUNSHINE


පවුල් ජීවිතයේ කචල්, අර්බුද කේන්ද්‍ර කරගත් චිත්‍රපට බොහොමයක් බිහිවෙලා තියෙනවා. ඒ අතරින් රෙවලූෂනලි රෝඩ් සහ ඇමරිකන් බියුටි තමයි මට මේ වෙලාවෙ මතක් වෙන වැදගත්ම චිත්‍රපටි දෙක. ඒ දෙකම ගොඩක් වෙලාවට පවුල් ජීවිතයේ අවුල හෝ ඛේදයන් තමයි තේමාව කරගෙන තිබුනේ. ඒ අතින් Little miss Sunshine කියන්නෙ වෙනස් ආකාරයක චිත්‍රපටයක්. මොකද මේකෙත් සාකච්ඡා වෙන්නෙ පවුල් ජීවිතයේ අවුලම ද කියල නිශ්චිතව කියන්න අමාරු නිසා. නමුත් චිත්‍රපටය පුරාම දිවෙන්නේ විකාරරූපී පවුලක් කේන්ද්‍ර කරගත්තු කතාවක්.

සිංහලෙන් මට මේකට දෙන්න පුලුවන් හොඳම නම කියල හිතුනේ පිස්සු පවුල යන නම. මොකද මේ චිත්‍රපටය ගලාගෙන යන ආකාරය අනූව මේ තරමේ විකාරයක්, පිස්සුවක් නටන පවුලක් කියල අපිට හිතෙන නිසයි.

මේ චිත්‍රපටයේ කතාව පසුබිම් වෙන්නෙ හූවර් පවුලේ සාමාජීකයන් එකතුවෙලා යන ගමනක් පිළිබඳව. ඒ ගමන සුවිශේෂී එකක්. හූවර් පවුලේ ලාබාලතමයා වෙච්ච ඔලිවර් නැමති දියණිය ඒ කාලේ ඇමරිකාවෙ සුප්‍රසිද්ධම රියලිටි වැඩසටහනට යන්න හීන දකිනවා. ඇත්තටම හරිම අහම්බෙකින් මේ හීනයට යන්න එක් අවස්ථාවක් ඇයට හිමි වෙනවා. චිත්‍රපටය පටන් ගන්නේ එතැනින්.

කලින් කිව්වත් වගේ මේ පවුල සුවිශේෂී පවුලක්. බාහිරින් බැලුවාම පේන්නේ කිසිම ආකාරයකින් පෑහෙන්නේ නැති බවක්. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ආශාවන්, ආකල්ප, අදහස් මතිමතාන්තරවලින් පිරිච්ච පවුලක්. ඔවුනොවුන් ඉන්නේ ඔවුනොවුන්ගේ හීනවල. විශේෂයෙන් ඔලිව්ගේ පියා මේ පවුලේ ප්‍රධානියා ලෙස ගතකරන භූමිකාව විකාරරූපීයි. ඔහු මන්ත්‍රයක් මෙන් නිරන්තරයෙන් කියන්නේ සාර්ථකත්වය පසුපස යන ධනාත්මක චින්තනයේ උදාන වාක්‍යයක්. ඔහුගේ බිරිඳ එනම් ඔලිව්ගේ මවත් නිරන්තරයෙන් කෑ ගසන, කියවන නමුත් පවුල එකට එකතු කිරීමට උත්සාහ ගන්නා වීර්ය කාන්තාවකගේ ලක්ෂණත් පෙන්නුම් කරනවා. ඔලිව්ගේ සීයා නම් තනිකරම විකාර ආකරයක්. ඔහු කිසිසේත්ම මේ පවුලේ අදහස් හා සමපාත වන අදහස් දරන්නෙක් ද නෙමෙයි. බ්ලූ පත්තර බලන, කුඩු ගසන ඔහු ඔහුගේ වයසට අනූව යල්පැන ගිය චින්තනයක් සහිත අයෙක් ද නෙමෙයි. ඔලිව්ගේ අයියා තමයි අනෙක් සුවිශේෂීම චරිතය. ඔහුගේ නම ඩොවේන්. ඩොවේන් සහජයෙන් කතා කිරීමට නොහැකියාව ඇති තරුණයෙක් නොවුණත් මේ චිත්‍රපටයේ හතරෙන් තුනක් යනතුරුත් ඔහු සිටින්නේ ගොළුව. හේතුව ඔහු තම ඉලක්කයට ගමන් කරනා තෙක් කිසිවෙකු සමඟ කතා නොකරන්නට ස්වයං තීරණයකට යොමුව තිබීම. මේ නිසා ඔහු තමන්ට අවශ්‍ය දේ කියන්නේ කොලයක ලියලා පෙන්වීමෙන්. නිට්ෂේ වැනි දාර්ශනිකයන් අනුගමනය කරන ඔහුත් නිසා මේ පවුලේ විකාරය උග්‍ර අතට පෙරලෙන බවකුත් පෙනෙනවා.

මේ විකාරරූපී පවුලට බාහිරින් එකතුවෙන්නා තවත් එවැනිම පිටස්තරයෙක්. සම්බන්ධතාවයක් බිඳවැටීම නිසා කලකිරීමෙන් ජීවිතය නැති කරගන්නට උත්සාහ කර එය ව්‍යර්ථ වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අන්කල් ෆ්‍රෑන්ක් කෙලින්ම පැමිණෙන්නේ මේ උමතු ගෙදරට. ඔහු මේ හූවර් පවුලේ මවගේ මල්ලී ලෙසයි අප දන්නේ.

කෙසේ හෝ මේ පවුල විවිධ වූ හැලහැප්පීම්, ගැටුම්, පරස්පරතා ඔස්සේ මේ විකාර පවුල Little miss Sunshine තරඟය වෙත ගමන් කරන ආකාරය තමයි මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ. ඉතින් මේ පවුල ඔබේ පවුලට කොයිතරම් දුරට සමානයිද? කොයිතරම් දුරට වෙනස් ද? විකාරය ඇත්තේ පවුල ඇතුලේ ද නැත්නම් ඊට ඔබ්බෙහි වූ සමාජය ඇතුලේ ද? පවුලක් වුණාම සියලු දෙනාගේ අදහස් සමපාත වෙන්න ඕන ද? නැත්නම් ගැටුම්, හැලහැප්පීම් සහිත පවුලක් ඇතුළත පවා එකට එකතුවීමේ හුයක් තියෙන්න බැරිද? මේ සියල්ලක්ම චිත්‍රපටය ඇතුලෙන්ම විසඳගන්න පුලුවන් බවයි මට හිතෙන්නෙ.

කොහොම වුණත් මේ සියල්ල විකාශය වන්නේ ආරම්භයේ ඉඳන්ම මතුවන හාස්‍යයක් ද සහිතවයි. ඒ හාස්‍යය එක්තරා යථාර්ථයක් ද සලකුණු කරනවා. 

 

Sunday, March 22, 2026

යුද්ධයේ අන්ධකාර ආගාධය - Apocalypse Now

 


ඇමරිකාව මූලික වෙලා වෙනත් රටකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු අවස්ථා ඉතිහාසයේ බොහෝ තියෙනවා. ඇමරිකාව අපකීර්තිමත් ආකාරයට මතවාදීව හා යුධමය වශයෙන් පරාජයට පත් වූ ප්‍රකට අවස්ථාවක් වන්නේ වියට්නාම යුද්ධයයි.

මේක  එම යුද්ධය පාදක කරගෙන  හැදුණු  ඉතාම ආන්දෝනාත්මක සිදුවීම් රැසක් සමග ලොවට දායාද වුණු චිත්‍රපටයක්. නම  Apocalypse Now. චිත්‍රපටය හැදෙන්නෙ 1979 අවුරුද්දෙ. යුද්ධයේ බිහිසුණුකම හෝ විකෘතිභාවය මේ චිත්‍රපටය හරහා ලෝකයට කියන්නේ වෙනස්ම වූ විදිහකට.

චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇමරිකාව විසින් අත්තනෝමතික විදිහට හෝ අසාධාරණ ආකාරයෙන් වියට්නාමයට එරෙහිව ගෙනයනු ලබන යුද්ධය. මේ යුද්ධයට ඇමරිකාවෙන් යොදවන ලද එක් නායක සෙබලෙක් (කර්නල් වෝල්ටර් කර්ට්ස්) යුද්ධය පැත්තකින් තබා තමන්ගේ සෙබල කණ්ඩායම සමඟ වියට්නාමයේ එක්තරා ප්‍රදේශයක විකාරරූපී රහසිගත ජීවිතයක් ගත කරන්නට යොමු වෙනවා. කොටින්ම වෝල්ටර්ගේ මේ මාවත වෙනම පෞර රාජ්‍යයක් වගේ  එකක්. ඔහු නායකයා වෙමින් තමන්ගේ කණ්ඩායම යොදාගෙන ඔහු ගෙනයන විකාරරූපී ජීවිතය එක්තරා ආකාරයට ඇමරිකාවේ යුධමය භූමිකාවට කළු පැල්ලමක්. යුද්ධයට යොමුව සිටින අනෙකුත් සෙබලුන්ගේ ධෛර්යය බිඳවැට්ටවීමක්. මේ හේතුවෙන් ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ වෝල්ටර්ගේ මේ විකාර රාජ්‍යය බිඳ වට්ටන්න. ඇමරිකාව ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ එතනින්. ඇමරිකානු බුද්ධිඅංශ ප්‍රධානියෙකු වන කපිතාන් බෙන්ජමින් විලාඩ් යොදාගෙන වෝල්ටර් ඇතුළු සෙබල කණ්ඩායම මර්ධනය කිරීමයි ඇමරිකාවේ සැලැස්ම. මේ චිත්‍රපටයේ අපට දක්නට ලැබෙන්නේ බෙන්ජමින් විලාඩ් ආරම්භයේ සිට වෝල්ටර් සොයාගෙන යන මෙහෙයුමේදී ඔහුට අහන්න දකින්න ලැබෙන සිදුවීම්වල පෙළ ගැස්මක්.

                                                    
කර්නල් වෝල්ටර් කර්ට්ස් ලෙස රඟන මාලන් බ්‍රැන්ඩෝ

බෙන්ජමින් විලාඩ් ලෙස රඟන මාර්ටින් ෂීන් 


යුද්ධයේ බිහිසුනු බවත්, එය මිනිසුන්ගේ භෞතික පරිසරය පමණක්ම නොව අධ්‍යාත්මික ජීවිතය මුළුමනින්ම විනාශකොට ඇති බවත් බෙන්ජමින්ට අත්දකින්න සිදුවෙනවා. එතකොට වෝල්ටර් නායකත්වය දෙන වෝල්ටර්ගේ සෙබල කණ්ඩායමත් ගෙවන මේ වියවුල් සහගත හෝ අන්ධකාර ගෝත්‍රික ජීවිතය දකින බෙන්ජමින්ගේ මනස මේ විකෘතිවලින් දූෂිත වෙමින් තියෙනවා.

ඇත්තටම වෝල්ටර් මේ ගෙවන ජීවිතය විකෘතියක් ද? මනෝ මූලික අන්ධකාරයක් වෙතට ඔවුන් තල්ලු වී ඇති ද?   ඇමරිකාව තම සෙබලුන් යොදාගෙන සිදුකරන මර්දනීය යුද්ධය ඊට වඩා විකෘතියක් නොවන්නේද? යුද්ධයේ සාහසිකත්වය මානව ධර්මතා විනාශ කරමින් ඇදෙන ආකාරයේ බිහිසුණු බව අපගේ ඇස්පනාපිට දිග හැරෙන්නේ කොහොමද? Apocalypse Now අප ඉදිරියේ දිග හරින්නේ මෙම සත්‍යයයි.

මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ නවකතා පොතක්. පොතේ නම Heart of Darkness. මේ නවකතාවට පසුබිම් වෙලා තියෙන්නේ අප්‍රිකානු රාජ්‍ය්‍යක් වෙච්ච කොංගෝ රාජධානිය තුළ බෙල්ජියම පාලනය කරද්දී බෙල්ජියමේ සොල්දාදුවන් විසින් ගෙනගිය අන්ධකාර ජීවිතය පිළිබඳ කතාන්තරයක්. යුරෝපීය ජාතීන්ගේ යටත්විජිතවාදයේ නිරුවත පෙන්වීම මෙහි මූලික අරමුණක්. මෙම නවකතාවේ පදනම ඇමරිකා වියට්නාම් යුද්ධයට ගලපා ගැනීමේදී නොයෙක් වෙනස්කම් සිදුකිරීමට පවා සිද්ධවෙලා තියෙනවා.




කොහොම වුණත් මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ පිලපීන් දූපත්වල. වසර ගණනාවක් දැඩි දුෂ්කරතා මධ්‍යෙය් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු අවසන් කරද්දී නිෂ්පාදන කණ්ඩායම අකරතැබ්බ බොහොමයකට ගොදුරු වෙලා තියෙන බව සඳහන්. කොච්චර අකරතැබ්බ ගොඩකට මුහුණදුන්නා ද කියනවා නම් ඒ ගැන වෙනම වාර්තා චිත්‍රපටයක් පවා Hearts of Darkness: A Filmmaker's Apocalypse නමින් නිෂ්පාදනය කොට තිබෙනවා.

යුද්ධයේ බිහිසුණු බව මිනිසාගේ මානසිකත්වය එහි ගොදුරක් බවට පත් වෙමින් අන්ධකාරයට තල්ලු වන අයුරු පෙන්වන්නට යාමේ දී අධ්‍යක්ෂකවරයා පවා එවැනි අන්ධකාරයකට ගොදුරු වෙමින් සිටි බව සිනමා ලෝකයේ ප්‍රසිද්ධයි. කොහොම නමුත් මේ සියල්ල අවසානයේ චිත්‍රපටය එදා මෙදා සිනමා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ චිත්‍රපටයක් ලෙස විචාරකයන් විවාදයකින් තොරව පිළිගැනීම මෙහි ඇති විශිෂ්ටත්වය ගැන අපට දිය හැකි හොඳම සාක්ෂිය බව කියන්න පුලුවන්.

 

Thursday, March 19, 2026

වහලක් නැති මාලිගාව - Of Mice and Men









ජෝන් ස්ටයින්බෙක් ඇමරිකාවේ පමණක් නෙමෙයි ලංකාවෙත් අපි අහල තියෙන නමක්. ඇත්තටම ඔහු ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක්. සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පවා ලැබූවෙක්.  ඔහුගෙ නවකතා බොහොමයක් සිංහලටත් පරිවර්තනය වෙලත් තියෙනවා. ස්ටයින්බෙක්ගෙ වෛරයේ මිදි ඵල කියන්නෙ දීර්ඝ නවකතාවක්. ඇමරිකානු සමාජය හා මිනිසුන්ගේ බලාපොරොත්තු වෙත මත දෘෂ්ටිය යොමු කරන ලේඛකයා එහි ඇති සමාජ දේශපාලන සංකීර්ණතාවන් ඉතා හොඳන් අල්ලා ගන්නා බවක් ද පේනවා.

මේක ස්ටයින්බෙක්ගේ ඉතාම සුප්‍රසිද්ධ නවකතාවක්. ලංකාවේ මේ නවකතාව ගැන ගැඹුරින් කතා වෙනවා මම අහල හෝ දැකල නැහැ. පොතේ නම Mice and Men. මීයෝ සහ මිනිස්සු වගේ අර්ථයක් දුන්නත් මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ වහලක් නැති මාලිගාව නමින්.


මෙය ස්ටයින්බෙක්ගේ වඩාත් කතාබහට ලක් වුණු කෙටි නවකතාවක්. කතා ආකෘතිය අතින් බැලුවොත් අපිට මතක් වෙන ළඟම උදාහරණය කූඹියෝ. කූඹියෝ එකේ ජෙහානුයි ප්‍රියන්තයි කියන යුගල දෙක ස්ථාපිත වෙලා තියෙන ආකෘතියට තරමක් සමාන ආකෘතියක් තමයි මේ නවකතාවෙත් අඩංගු වෙන්නේ.

ජෝර්ජ් තමයි මේ කතාවෙ නායකයා. ඔහු සිහිනයක් සහිතව චාරිකාවක නිරත වන්නෙක්. තමන් කවදා හෝ හොඳ ගොවිපලක් හදලා ඒ ගොවිපල දියුනු කරගෙන ජීවිත් වෙන්න සිහින දකිමින් වගේම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සැලසුම් සකසන්නෙක්. ඔහුගේ සුවච කීකරු මිත්‍රයාගෙ නම ලෙනී. ලෙනී සාමාන්‍ය මනුස්සයෙක් විදිහ නෙමෙයි. යම් ආකාරයක බුද්ධිමය ඌනතාවකින් පෙලෙන්නෙක් වගේ. ඔහුට සාමාන්‍ය සමාජයේ කපටිකම්, සංකීර්ණතා ග්‍රහණය කරගන්න අමාරුයි. ළමා මනසක් වැනි ඔහුගේ මනස ඉතා නිර්ව්‍යාජයි කියන්නත් පුලුවන්. කොහොම හරි ජෝර්ජ්ගෙන් තොරව ලෙනීට පැවැත්මක් නෑ. සහ ලෙනී නිර්න්තරයෙන් ජෝර්ජ්ට පක්ෂපාතීයි. එක කුස උපන් සහෝදරයෝ නොවුණත් ඔවුන් ජීවත් වෙන්නේ එවැනි බන්ධයක් සහිතව. වැඩි වගකීමක් එන්නේ ජෝර්ජ්ට. මොකද ලෙනීව බලාගන්න එකත් තමන්ගේ ගැඹුරු සිහිනය වෙනුවෙන් ලෙනීව බාධාවකින් තොරව රැගෙන යන්නත් වෙන්නේ ජෝර්ජ්ට තමයි.

ජෝර්ජ් හා ලෙනී එකිනෙකා අතර ඇති පරස්පරතාවන් සහ එකිනෙකා අතර ඇති සමානකම් ඔස්සේ තම සිහිනය පසුපස හඹා යාමේ කතාව තමයි අප අතරේ දිග හැරෙන්නෙ. මේ කෙටි නවකතාවේ වඩාත් අනුවේදනීයත්වයට පත්වන්නේ එහි ඇති තීරණාත්මක අවසානය නිසයි. පාඨකයාව කම්පිත කරවන තරමේ අවසානයකින් යුක්ත මේ කතාව අපව නැවත නැවත හිතන්න පොළඹවන්නෙත් ඒ කැලඹෙන සුලු අවසානය නිසාමයි.

මේ කතාව කියවා හමාර කළාට පස්සේ මට නැවත නැවතත් හිතුනේ ලෙනී යනු හුදු මානව පැවැත්මක් ද එසේත් නැතිනම් ජෝර්ජ්ගේම ඇතුළු හදවත පෙන්වන රූපකාත්මක යෙදුමක් ද කියායි. එය නිශ්චිතව කිව නොහැකි වුවත් ලෙනී ඒ දෙක අතර දෝලනය වෙමින් තිබෙන බවක් අපට සිතන්න පුලුවන්. මේ උච්ච අවසානය ඒ සඳහා අපව යොමු කරවනවා වැනියි.  

සිංහලට පරිවර්තනය කළ නවකතාවේ පිටකවරය



පොත ඇසුරින් 1992 දී නිෂ්පාදනය කළ චිත්‍රපටයේ පෝස්ටරයක් 

Monday, March 2, 2026

කවියේ අර්ථමය තෙරපුම - විලියම් එම්ප්සන්ගේ අදහස් ඇසුරින්

කවිය හෝ කවිය යනු කුමක්ද වගේ නිර්වචන ගැන කතා කරන්න මට තියෙන්නෙ කම්මැලිකමක්. සහ ඒක දැනටමත් ගොඩක් කෙරිල තියෙන නිසා ඒක ගැන අමුතුවෙන් අවධානය යොමු කරන්න ඕන ද කියලත් හිතෙනවා. කොහොම නමුත් රයිනර් මරියාගේ Letters to young Poet  පොතේ ඔහු දක්වා තිබෙන කරුණු නිරන්තරයෙන් මට කවිය සම්බන්ධව හිතන්නත් පොදුවේ කලාව ගැන මගේ මතවාදය පෝෂණය කරන්නත් ඉවහල් වුණා. කවිය ගැන වගේම කලාව සම්බන්ධව විචාරකයන් හෝ නිර්මාණකරුවන් විසින්ම දක්වන ලද ඇතැම් අදහස්වල වැදගත්කමක් තිබෙන්නේ ඒ හරහා නිර්මාණකරණය කෙරෙහි නව මානයකින් එලඹෙන්න අපට බලපෑමක් කරන නිසයි.

විලියම් එම්ප්සන් කවිය සම්බන්ධයෙන් පල කර ඇති අදහස් මම මීට පෙරාතුව සිංහලෙන් කියවලා හෝ අහලා නැහැ. නමුත් අන්තර්ජාලයේ කවිය හෝ නිර්මාණකරණය සම්බන්ධයෙන් සොයා බලද්දී ඇහැ ගැටුණු නමක් තමයි එම්ප්සන්. ඔහු කවිය සම්බන්ධව ගේන සමහර අදහස් ඉතාම විප්ලවීය බවක් උසුලනවා.

අර්ථමය ඝනත්වය

එම්ප්සන්ගේ ප්‍රසිද්ධම පොත තමයි Seven Types of Ambiguity කියන්නෙ. සිංහලෙන් කිව්වොත් නොපැහැදිලි බවේ ආකාර හතක්. සරලව කිව්වොත් එම්ප්සන් කියන්නේ කවියක අර්ථය ඍජු හෝ තනි සරල අදහසකින් කියන්න නොහැකි බවයි. ඒ වෙනුවට කවිය මගින් සිදුකරන්නේ යම් නොපැහැදිලිතාවක්. නොපැහැදිලිතාව ලෙස මෙතනදී හඳුන්වන්නේ පැහැදිලි නැහැ හෝ තේරෙන්නේ නැහැ කියන අදහස නෙමෙයි. අර්ථය නිශ්චිත හෝ එක් නාභියකට ගන්න බැහැ කියන එක. සාර්ථක කවිය තුළ කොයි වෙලෙත් අර්ථමය තෙරපුමක් ඇති බවත් එය කියවන වාරයක් පාසා එම අර්ථමය සංකීර්ණත්වය තුළ අපට ඇතිකරන නවතාවය වැදගත් බවත් ඔහුගේ අර්ථකතනය බවයි මම තේරුම් ගත්තෙ. හරියටම කිව්වොත් කවියක් කියල කියන්නේ වචන ගොනු කරන ලද අර්ථමය උල්පතක් බව ඔහු ප්‍රකාශ කරනවා.



එම්ප්සන් මෙය ආකාර හතක් යටතේ හඳුන්වනවා. මේ ආකාර හත ගැන වෙන වෙනම සඳහන් නොකළත් කවියක හෝ සාර්ථක නිර්මාණයක් මගින් එය රසවිඳීමෙන් අනතුරුව අප තුළ අනිර්වචනීය හැඟුම් කැලැත්තුමක් කරන්න පුලුවන් වෙනව නම් ඒක සුවිශේෂී තත්වයක්.  විශේෂයෙන් කවියා තෝරාගන්නා වචන සමහර වෙලාවට කවිය ඇතුලේ අර්ථමය ප්‍රතිරෝධයන් හෝ ගැටුම් ඇති කිරිමට සමත් වන බව එම්ප්සන් අදහස් කරනවා.

එම්ප්සන් එය අර්ථය සම්බන්ධයෙන් ප්‍රකාශ කළත් කිවියක් තුළ සෑමවිටම අර්ථය හෝ තේරුම සාදන්නේ නැති නිසා මෙය හැඟුම්මය තෙරපුමක් ලෙස විග්‍රහ කරන්න පුලුවන් බව ද මට හිතෙනවා. මානව හැඟුම් ගත්තාම ඒවා  කොහොමටත් සංකීර්ණ හෝ නිශ්චිතාර්ථ ගැන්වීමකට යටත් වෙන්නේ නැහැ. නිදසුනක් ලෙස අපේ එදිනෙදා හැඟුම් ගත්තොත් ඒවා නිශ්චිත තේරුමකට කොටු කරන්න බැහැ. හැඟුමක් කියන්නෙම තේරුමක් හෝ තර්කයක් මත ස්ථානගත කළ නොහැකි දෙයකට.

උදාහරණයක් විදිහට යම් කිසි උත්සවයකට ඔබ සහභාගී වනවා යයි සිතමු. ඔන්න එතකොට ඔබට ආරංචි වෙනවා ඔබේ පැරණි පෙම්තිවයක් ද එහි පැමිණෙන්න නියමිත බව. මෙතනදී ඔබට නැගෙන්න පුලුවන් සංකීර්ණ මනෝභාවයන් ගැන සිතමු. ඇය පැමිණෙනවාට ඔබ කැමති ද කියා ඇසුවොත් සමහර විට ඔබ අකමැති යයි සිතෙන්න පුලුවන්. නමුත් ඊට යටින් යම් කැමැත්තක් ද ඇතැයි ඔබට සිතෙනවා ඇති. කැමැත්ත හා අකමැත්ත යන ද්විඝටනාත්මක සිතිවිලි එකම මොහොතක ඔබේ මනසේ හටගන්නවා. එතැන නොසිට නික්මෙන්නත්, ඇයව මුණගැසෙන තෙක් තාවර වෙන්නත් යන දෙවිදිහම ඔබේ මනසේ එක විට හටගන්නවා. මීට අමතරව තව හැඟුම් ගොඩක් එකිනෙක තෙරපෙනවා. මේක සිදුවිය හැකි දෙයක්. ඉතින් මෙන්න මේ හැඟුම් ගට්ටනය තෙරපුම කවියකට ගන්න එක යම් ආකාරයක නිර්මාණාත්මක වැඩක්. කවිය ඇතුලෙත් මේ හැඟුම් සංකීර්ණතාව වචන ඇසුරෙන් නිපදවන්න කවියාට පුලුවන්.

එම්ප්සන්ගේ මතවාදයේ අවිනිශ්චිතතාව හෝ නොපැහැදිලිතාව නොතේරෙන කමට එහා ගිය අර්ථමය හෝ හැඟුම්මය තෙරපුමත් ලෙස මම දකින්නේ මෙන්න මේ හේතු නිසයි.

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...