කවිය හෝ කවිය යනු කුමක්ද වගේ නිර්වචන ගැන කතා කරන්න මට තියෙන්නෙ කම්මැලිකමක්. සහ ඒක දැනටමත් ගොඩක් කෙරිල තියෙන නිසා ඒක ගැන අමුතුවෙන් අවධානය යොමු කරන්න ඕන ද කියලත් හිතෙනවා. කොහොම නමුත් රයිනර් මරියාගේ Letters to young Poet පොතේ ඔහු දක්වා තිබෙන කරුණු නිරන්තරයෙන් මට කවිය සම්බන්ධව හිතන්නත් පොදුවේ කලාව ගැන මගේ මතවාදය පෝෂණය කරන්නත් ඉවහල් වුණා. කවිය ගැන වගේම කලාව සම්බන්ධව විචාරකයන් හෝ නිර්මාණකරුවන් විසින්ම දක්වන ලද ඇතැම් අදහස්වල වැදගත්කමක් තිබෙන්නේ ඒ හරහා නිර්මාණකරණය කෙරෙහි නව මානයකින් එලඹෙන්න අපට බලපෑමක් කරන නිසයි.
විලියම්
එම්ප්සන් කවිය සම්බන්ධයෙන් පල කර ඇති අදහස් මම මීට පෙරාතුව සිංහලෙන් කියවලා හෝ
අහලා නැහැ. නමුත් අන්තර්ජාලයේ කවිය හෝ නිර්මාණකරණය සම්බන්ධයෙන් සොයා බලද්දී ඇහැ
ගැටුණු නමක් තමයි එම්ප්සන්. ඔහු කවිය සම්බන්ධව ගේන සමහර අදහස් ඉතාම විප්ලවීය බවක්
උසුලනවා.
අර්ථමය
ඝනත්වය
එම්ප්සන්ගේ
ප්‍රසිද්ධම පොත තමයි Seven Types of Ambiguity කියන්නෙ.
සිංහලෙන් කිව්වොත් නොපැහැදිලි බවේ ආකාර හතක්. සරලව කිව්වොත් එම්ප්සන් කියන්නේ
කවියක අර්ථය ඍජු හෝ තනි සරල අදහසකින් කියන්න නොහැකි බවයි. ඒ වෙනුවට කවිය මගින් සිදුකරන්නේ
යම් නොපැහැදිලිතාවක්. නොපැහැදිලිතාව ලෙස මෙතනදී හඳුන්වන්නේ පැහැදිලි නැහැ හෝ
තේරෙන්නේ නැහැ කියන අදහස නෙමෙයි. අර්ථය නිශ්චිත හෝ එක් නාභියකට ගන්න බැහැ කියන එක.
සාර්ථක කවිය තුළ කොයි වෙලෙත් අර්ථමය තෙරපුමක් ඇති බවත් එය කියවන වාරයක් පාසා එම
අර්ථමය සංකීර්ණත්වය තුළ අපට ඇතිකරන නවතාවය වැදගත් බවත් ඔහුගේ අර්ථකතනය බවයි මම
තේරුම් ගත්තෙ. හරියටම කිව්වොත් කවියක් කියල කියන්නේ වචන ගොනු කරන ලද අර්ථමය
උල්පතක් බව ඔහු ප්‍රකාශ කරනවා.
එම්ප්සන්
එය අර්ථය සම්බන්ධයෙන් ප්‍රකාශ කළත් කිවියක් තුළ සෑමවිටම අර්ථය හෝ තේරුම සාදන්නේ
නැති නිසා මෙය හැඟුම්මය තෙරපුමක් ලෙස විග්‍රහ කරන්න පුලුවන් බව ද මට හිතෙනවා. මානව
හැඟුම් ගත්තාම ඒවා කොහොමටත් සංකීර්ණ හෝ
නිශ්චිතාර්ථ ගැන්වීමකට යටත් වෙන්නේ නැහැ. නිදසුනක් ලෙස අපේ එදිනෙදා හැඟුම් ගත්තොත්
ඒවා නිශ්චිත තේරුමකට කොටු කරන්න බැහැ. හැඟුමක් කියන්නෙම තේරුමක් හෝ තර්කයක් මත ස්ථානගත කළ නොහැකි දෙයකට.
උදාහරණයක්
විදිහට යම් කිසි උත්සවයකට ඔබ සහභාගී වනවා යයි සිතමු. ඔන්න එතකොට ඔබට ආරංචි වෙනවා
ඔබේ පැරණි පෙම්තිවයක් ද එහි පැමිණෙන්න නියමිත බව. මෙතනදී ඔබට නැගෙන්න පුලුවන්
සංකීර්ණ මනෝභාවයන් ගැන සිතමු. ඇය පැමිණෙනවාට ඔබ කැමති ද කියා ඇසුවොත් සමහර විට ඔබ
අකමැති යයි සිතෙන්න පුලුවන්. නමුත් ඊට යටින් යම් කැමැත්තක් ද ඇතැයි ඔබට සිතෙනවා
ඇති. කැමැත්ත හා අකමැත්ත යන ද්විඝටනාත්මක සිතිවිලි එකම මොහොතක ඔබේ මනසේ හටගන්නවා.
එතැන නොසිට නික්මෙන්නත්, ඇයව මුණගැසෙන තෙක් තාවර වෙන්නත් යන දෙවිදිහම ඔබේ මනසේ එක
විට හටගන්නවා. මීට අමතරව තව හැඟුම් ගොඩක් එකිනෙක තෙරපෙනවා. මේක සිදුවිය හැකි දෙයක්.
ඉතින් මෙන්න මේ හැඟුම් ගට්ටනය තෙරපුම කවියකට ගන්න එක යම් ආකාරයක නිර්මාණාත්මක
වැඩක්. කවිය ඇතුලෙත් මේ හැඟුම් සංකීර්ණතාව වචන ඇසුරෙන් නිපදවන්න කවියාට පුලුවන්.
එම්ප්සන්ගේ
මතවාදයේ අවිනිශ්චිතතාව හෝ නොපැහැදිලිතාව නොතේරෙන කමට එහා ගිය අර්ථමය හෝ හැඟුම්මය
තෙරපුමත් ලෙස මම දකින්නේ මෙන්න මේ හේතු නිසයි.

