Monday, September 21, 2020

අරනකට පෙම් බඳින - මෞනේය

 



මෞනේය කියන වචනෙ දැක්ක ගමන් මට හිතුනෙ මේක අමුතු නමක් වගේ අදහසක්. ඇත්තටම මම මෞනේය කියන වචනෙ තේරුමවත් දැ‍නගෙන හිටියෙ නෑ. ඒක බෞද්ධ ආගමට සම්බන්ධ මොකක් හෝ ගැඹුරු අදහසක් තියෙන නමක් බව විතරක් දැනගෙන උන්නා.

මේ පොත ඇතුලෙ ගංග තමන්ටම අනන්‍ය කවි මාවතක ගමන් කරන බවක් පේනවා. විශේශයෙන්ම නිරායාසයෙන්ම නිර්මානය ඇතුලෙ තමන්ගෙ මුද්‍රාව සලකුනු කරන කවියන්ගෙ ගොඩට ගංග ඇතුලත් වෙනව කිව්වොත් ඒක වැරදි නෑ. ගංගගෙ කවි ගලාගෙන යන්නෙ තමන් විදින එහෙමත් නැත්නම් තමන් හද අභ්‍යන්ත‍රයෙන්ම ආශ්වාදනය කරන ඉම් පෙදෙස් ඔස්සේ. මේ කවි කියවද්දි මූලිකවම මට මතකයට නැගුනෙ ලාල් හෑගොඩ කවියව. ඒ හෑගොඩගෙ කවි ගංගගෙ කවි වලට සමාන ලක්ශන පෙන්නුම් කරන නිසා‍ම නෙමෙයි. කොහොම නමුත් මේ දෙන්නම තමන්ගෙ කවි ඇතුලෙදි තම අවට වටපිටාවෙ අපට නොපෙනෙන, පෙනි පෙනිත් අපෙන් ගිලිහෙන ස්වභාවික සෞන්දර්යයක් දිහා ක්ශූද්‍ර ඇසකින් / භාවනාත්මක සමාධියකින් එලඹෙන බවක් පේනවා. මම ගංගගෙ කවිවල කැමතිම වෙන්නෙ මේ සමාධි ගුනයට. සියුම් වින්දනීය ගුනයට. ඇත්තෙන්ම ඒක ධ්‍යානයක් වගේ එකක්. ස්වභාවික පරිසරයට ආත්මීයවම නොබැදී එහෙම කවි නිර්මානය කරන්න කොහොමටමත්ම බැරි බවයි මගේ අදහස. 

 

නිවහල් යුවතිය

වැසි වනය මැද ගලන

නිල් දොලකි ඔබ මෙමට

ලොබි ලොබින් ඩැහැ ගත්තද

ලිහි ලිහී යයි මගෙන්

 

සතුකරගත නොහැකි

අරුමැසි රුසිරු ද්‍රව බවකි

හැම ගල් කුලකටම පැන

නටමින් දුවන්නේ පහලට

 

වරෙක නිල් තඩාගෙක

නිහඬව නිසොල්මන් වී මොහොතට

පෙන්වයි ඔබ මට

ඔබ සතු මිනි අරලු ලැම මත

 

තියුනු රිවි හී සර

‍සියොලඟම විනිවිදින විට

ඔබ නැතැයි සිතෙන තරමට

සැඟවෙයි ඔබ ඔබ තුල

 

කිමිදෙමි ඔබ කුස - මතුවෙමි

නිහඬ බව අසා නැවත නික්මෙමි

දින දින නැවත එලඹෙමි

මා නිවා සනසන

ඔබයි නිවහල් යුවතිය

 

මේ කවිය ඇතුලෙ මහ කැලයක් මැද ගලන නිල් දිය පහරක් මවන්න කවියා සමත්වෙන අතරේ ආදරය, බැඳීම් සම්බන්ධව හෘදයාංගම සංවේදනා රොත්තක් අරගෙන එන්නට සූක්ශම වෙනවා. ඒ බැඳීම් අස්සෙම සැබෑ බැඳීමක් යනු කුමක්දැයි යන සන්නිවේදනයද හෙමින් ගලන්නට සලස්වා තිබෙනවා.

 ‍මේ කවි හැමකක් තුලින්ම මතුවෙන්නෙ අසීමිත ලෙස මෙන්ම බැ‍ඳෙමින් නොබැ‍ඳෙන අප්‍රමාන ස්නේහයකින් උපේක්ශාත්මකව ලෝකය දිහා බැලුම් හෙලන්නෙක්ව.

 

කෙටි ගීය

සයුරු රල නගන

ඉපැරනි මහා ගීතය අරත

ඇසෙයි යන්තමින්

මැකෙයි සැ‍නෙකින්

තම කෙටි දිවිය තුල

ලිහිනියෙකු ගයන

කෙටි ගීය

 

කෙටි ගීය නම් ලද මේ කවිය තුල සොබාදහම ඇතුලේ සියුම් අංශුවක රස පදාසයක් මතු කරන අතරම ඒ හා බැඳුනු මහා දාර්ශනික ගැඹුරක් වෙතටද කවියා එලඹෙන බවක් පෙනෙනවා. ඒ කවිය ඇතුලෙන්ම නිසඟයෙන් මතුවෙන දර්ශනයක් තරමටම ඒක කවිය ඇතුලත එතී තියෙන හැටි අපූරුයි.

 

 හසරක් නොමැති ගමනක්  හිසින් යුතු කෙටි කවිය තුලත් ‍කවියා ස්වකීය වින්දනය, පරිසරය තුලින් තමා අත්දකින අප්‍රමාන ආස්වාදය ජීවන ගැඹුරක් වෙත විතැන් කරන්න උත්සහ දරා තිබෙනවා.

හසරක් නැති ගමනක්

කුරුල්ලන් ලවා ගී ගයවන

ස්ඵේට සතුටකින් සිටියමුත්

නිහඬයි නිසලයි ඔබ ගුල්මය

වන තුරුල

අතරමං වෙන්න පුලුවන් ද

හසරක් නැතිව ඔබ එක්ක

 

හසර දැන ගිය මගවල

අවසාන නැවතුමකි නැවතෙන

නිමක් නැති ගමනක් ද ඔබ තුරුල

අලුත් කුරුලු හඬකින් අමතා

කැඳවන්න මා ඒ ගමන

 

ගංගගෙ කවි මහා දේශපාලනික අරුත් අඟවන පන්නයේ කවි නොවන නිසාම ඒවා එකින් එක අරගෙන විචාර වාද කරන්නටත් අසීරුයි. ඒ තරමින්ම ඒ කවි තියෙන්නෙ ඒක ඇතුලෙම විනිවිදිමින් අනන්තමය සොම්නස් ගමනක් කරා ඇදෙන්න. අපට මග හැරුනු වින්දනයක් වෙත අපව පා කර හරින්න.

කවි වෙන වෙනම අරගෙන විචාරය කරන්න අසීරු නිසාම ඒ කවි ගෙඩි පිටින්ම අරගෙන නිදසුන් දැක්වීමට හිතෙන තරමට ඒ කවි අපව උද්දීපනය කරනවා.

ගංග කවි තේමා සකසා ගැනීම ගැන මේ සමස්ත කාව්‍ය කෘතිය දිහාම බැල්මක් හෙලද්දි අපට පෙනෙන්නෙ ඒව සියුම් හදකින් හා අපූර්ව වින්දන ශක්තියකින් පිරි හදකින් පමනක් පෙරි පෙරී එන තේමා ආත්ම කියලයි. සමහරවිට එදිනෙදා ජීවිතයේ අපේ ඇස්පනාපිටම අපේ සියොලඟ ගැටෙමින් තිබෙන දෙයක් අපට ආස්වාදයක්, වින්දනයක් ලබා නොදුන්හැටි මතක් කර අපි අපිට අප ගැනම පසුතැවීමක් ඇති කරන්න මේ කවි අපට බලපෑම් කරවනවා. කුරුල්ලෙකුගෙ නාදයක්, වැහි බිඳුවක්, මැඩියෙක්ගෙ ඇස් දෙකක්, ‍දියසෙවෙල බැඳුනු ගසක්, වේයන් බඳින ලද ලීයක් වගේ සුලබ දේවල් ඇසුරින් සුලබ නොවන චමත්කාරලෝකයක් ගංග අපේ සන්තානය වෙතට කැඳවලා තියෙනවා.

මෙහෙව් වින්දන හදවතක් !.

‍මේ කවියක් කවියක් පාසම මාව තිගස්සවමින්, චමත්කාරයෙන් මත් කරවමින් මේ ලෝකෙ ඇතුලෙම තියෙන අමුතුම ලෝකෙකට මං ඇදි ඇදී යනවා.

 

 

1 comment:

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...