දිනිතිගේ ඇසින් දැකල පුරුදු කෙනෙක්...
දැකල පුරුදු කෙනෙක් නිසැක වශයෙන්ම මෑත කාලීන
සිංහල සිනමාවෙ දැකල පුරුදු නැති ඉසව්වක් වෙත පියවර තැබීමක් බව අවිවාදයෙන්ම
පිලිගන්න පුලුවන්. එසේම සමස්තයක් විදිහට එය මාව කම්පනය කල, මාව තිගැස්සුව
සිනමාපටයක්. කතා පුවත ඇතුලත චරිත හැසිරීම්, රූප, දෙබස් ආදී සියල්ල තුල එක්තරා
නැවුම් බවකුත්, එසේම ඒ එකිනෙක හා බැඳුනු අවියෝජනීය බවකුත් තිබෙන බව කිව හැකියි.
නමුත් මගේ මේ සූදානම චිත්‍රපටය නරඹා මාතර
සිට ගාල්ල තෙක් පැයක පමන බයිසිකල් දුර ගමන අතරතුර මගේ සිහියට නැගුනු හා බිරිඳ සමඟ
සාකච්ඡා කල හා මෙතෙක් බොහොමයක් සිනමා විචාර වලින් දැකල පුරුදු නැතැයි මට පෙනුනු
අදහස් කිහිපයක් ලියා තැබීමටයි. සාමාන්‍යයෙන් මට දැනෙන හෝ මාව කලඹවාලූ කලා කෘතියක්
පිලිබඳ වින්දන මාත්‍රයන් ලියා තබනු මිස මගේ සිත් නොගත් නිර්මාන ගැන විචේචන
ඉදිරිපත් කිරීම මගේ අතින් මෙතෙක් සිදු වූයේ අති විරල මට්ටමින් වුවත් දැකල පුරුදු
කෙනෙක් වෙනුවෙන් මේ සිදු කිරීමට උත්සාහ කරන්නෙත් ඒ අති විරල කාර්යයම තමයි. කෙසේ හෝ
වේවා මගේ විවේචන, මතිමතාන්තර වලින් මතු සිදුකෙරෙන අදහස් නිර්මානයට හෝ යම් රුකුලක්
වේ නම් එය මට යම් සන්තෝසයක් ලබා දෙනු ඇති.
චිත්‍රපටයේ කතා පුවත අනූව දිනිති යනු මින් පෙරාතුව විවාහය ඇතුලේ සිට
යම් අනියම් සම්බන්ධතාවයකට ගොස් එය ස්වාමිපුරුශයාට හෙලිදරව් වීමෙන් පසු නැවත පවුල්
ජීවිතයටපිවිසීමට වෙර දරමින් සිටින්නියක්. චිත්‍රපටය මූලාරම්භයේ සිටම එකී සිදුවීම
නිරාවරනය වන දිනිතිගේ තාත්තා සචිත්‍රගේ නිවසට පැමින සචිත්‍ර සමඟ දොඩමලු වන අවස්ථාව
කදිමයි. නරඹන්නා තිගස්සන සුලුයි. එතැන් සිට දිගහැරෙන කතාවේ දිනිතිගේ පාර්ශවය වෙත
අපට අනන්‍ය විය හැකි වුවත් සචිත්‍ර ගේ පාර්ශවය තිබෙන්නේ ඊට වඩා අඳුරු හෝ කෘතිම
තැනක බව මම ගෙනෙන පලවෙනි විචේචනයයි. සචිත්‍ර සිය බිරිඳගේ නැවත පැමිනීමට සමාව දීමට
හෝ ඇගේ ක්‍රියාව අභ්‍යන්තරයෙන්ම භාර ගැනීමට හෝ එය අමතක කර දැමීමට අසමත්/ පරාජිත
චරිතයක් බව අපට පැහැදිලියි. නමුත් චිත්‍රපටය අවසානය තෙක් දිග හැරෙන්නේ ඒ පැතලි, අප
දක්නා ස්වරූපයෙන්ම පමනයි. මට සිතෙන ආකාරයට සචිත්‍රගේ චේතනාව හෝ ක්‍රියාව අසාධාරන
විය හැකි වුවත් ඊට හිමි විය යුතු හැඩයක්, සංකීර්න මනෝ භාවයක පැටලීමකින්
වෙහෙසෙන්නෙක් ඔහුගේ චරිතයෙන් මතුකෙරෙන්නේ ඉතා අඩුවෙන්. සචිත්‍ර අභියස ඇති අර්බුදය
හුදෙක් ඔහුගේ පුද්ගලිකත්වයේම ගැටලුවක් හෝ සමාජ සංස්කෘතික විලාසය ඔස්සේ ඔහුගේ හදට
කඩාපාත් වූ එකක් වුවත් ඔහු මුහුනදෙන
අර්බුදයේ සැබෑ සාහසිකත්වය( අභ්‍යන්තරිකව ඔහු පැටලී ඇති සංකීර්න අවුල් ජාලය) මේ
සිනමාපටය මගින් අල්ලා ගන්නේ මතුපිටින්. නැත්නම් සිනමා කෘතිය හරහා අප එකී කලාපය වෙත
ඇතුලු වන්නේ ආධ්‍යහාරයෙන්. ඊට මූලික හේතුව ලෙස මා දකින්නේ නිර්මානකරුවා දිනිතිගේ
ඛේදවාදකය වෙත හෝ ඇගේ කලාපය වෙත දක්වන ලෝලයයි. නැත්නම් අවිඥානිකව හෝ සවිඥානිකව
නිර්මානකරුවා දිනිතිගේ ඛේදවාචකයේ උගුලට හසු වෙනවා. දිනිතිගේ ඛේදවාචකය කලමනාකරනය
කරගන්නවා වෙනුවට නිර්මානකරුවා අබිබවා දිනිතිගේ රූපකාය මතු වීමක් ලෙස එය මා දකින්නේ
එනිසයි. ඒ අනූව ඉතා සූක්ශම ලෙස දිනිති වෙනුවෙන් පෙනී සිටීමේ/ සිටගැනීමේ කාර්ය
නිර්මානකරුවා අතින් සිදුවන බවක් ද මට හැඟෙනවා.ඊට හේතු කිහිපයක් චිත්‍රපටය
ඇතුලතින්ම මතුකරගත හැකියි.චිත්‍රපටයේ කියවෙන ආකාරයට දිනිති අසම්මත සම්බන්ධයක්
ඇතිකරගත් පෙම්වතා සමඟ කායිකව එක්වී නැහැ. එය සචිත්‍ර ගෙන් නොලැබුනු (ආදරනීය)
පාර්ශවයක් ඇයට ලබා ගැනීමට ඈ ගත් අහිංසක උත්සාහයක් බව නිරූපනය වෙනවා. එසේම ත්‍රීවිල්
රියදුරා, ඥාති මල්ලී හෝ ෆුඩ් සිටියේ දී දකින වෙනත් තරුනයන් දෙස දිනිති බලන්නේ හෝ
ඔවුන්ට ලොල් වන්නියක් ද නෙමෙයි. ඥාති මල්ලී සමඟ පවත්වන සම්බන්ධය පවා ඈ කෙරෙහි
අනුකම්පාව ඉපදවීම වෙනුවෙන් කල මතුපිට රංගනයක් බව පෙනෙන්නේ ඔහු පැමිනි මොහොතේ
සිදුවන අධිනාටකීය ගනුදෙනුව ඉන් අනතුරුව දලු ලා වැඩීමක් හෝ සුලු ඉඟි බිඟියක් වත්
නොලැබෙන නිසයි. ඇඳුමින් පැලඳුමින් හෝ වෙනත් ලක්ශනයන්ගෙන් ඈ එවැනි සම්බන්ධයක් වෙත
එලඹිය හැකි ලක්ශන පෙන්නුම් කලත් ඇගේ හැසිරීම් රටාව තුල ඈව සූක්ශම හෝ සම්භාව්‍ය
ආකාරයට සුද්ද කිරීමක්,ඇයට 'ලකුනු ලබා
දීමක්'කෘතිය තුලින්
මට පෙනෙන බව කියන්න සිදුවෙනවා. එක්තරා ආකාරයකට නිර්මානය අපේ ඇසට කඳුලක් උනන තැන
දක්වා අපව කම්පනය කරන හැඟීම මතුකරන නාබිය වන්නේද මේ ස්ත්‍රීවාදී සූක්ශම වියමන විය
හැකි බවද මට යලිත් සිතෙනවා.
නමුත් වඩා පුලුල්ව අර්ථකතනය කරන විට දිනිතිට
වඩා හෝ දිනිති තරම්ම සංකීර්න මනෝභාවයන්හි සිරවෙන සචිත්‍ර දිනිති වෙනුවෙන්
දික්කසාදය ලබා දෙන්නේ නැහැ. ඔහු එය නොදෙන්නේ ඇයි? ඒ වෙනුවෙන් දිය හැකි පිලිතුරු
ඕනෑතරම් විය හැකි වනවා සේම සචිත්‍ර ගේ අර්බුදයේ සැබෑ මුහුනුවරත් ඒ තරම්ම දිගු විය
හැකි බව උපකල්පනය කරන්න පුලුවන්. ඔහු දික්කසාදය නොදීම සරල නොවන්නා සේම දිනිති
දික්කසාදය ඉල්ලා සිටීමට මැලි නොවීම ද එක්තරා සංකීර්නත්වයක් නිරූපනය වන බව කියන්න
පුලුවන්. මේ අනූව එකිනෙකාගෙන් සැබෑවට ගැලවීමට නොහැක්කේ මේ දෙදෙනාගෙන් කවුරුන්ට ද?
නැතිනම් මේ දෙදෙනාම මේ වියවුලේ සිරවීමට තරම් සංස්කෘතික මූලයන් විසින් තෙරපවන ආධ්‍යාත්මික
ගැටය හිර වැඩි ද?
මෙවැනි ප්‍රශ්න වෙත අති සංකීර්නය යොමුවිය
හැකි කවුලු විවර කරගැනීම මේ කතා පුවතේ ගලන දිශාව අනූව ඉතා පහසු වන නමුත්
නිර්මානකරුවා ඒ වෙත එලඹෙන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නැහැ. අති සංකීර්න මොහොතවල්
අතරින් ලිස්සමින් හෝ පරිස්සමින් අඩිය තබමින් කතාව අවසානය වෙත ගමන් කරන්නේ දිනිතිගේ
විශාල සෙවනැල්ලකට යටත්ව බව මට යලි යලිත් සිතෙන්නේ ඒ නිසයි.
අනෙක් කාරනය වන්නේ මොවුන්ගේ ඛේදවාදකය අතර
මොවුන් තවත් ඒ මතම තෙරපවන කාරකය විය හැකි දුවගේ සම්බන්ධය මෙයට අදාල කරගන්නේ ඉතා
අල්ප වශයෙන් වීමයි. නැතිනම් දුවගේ සම්බන්ධය මීට හේතුකාරයක් නොවන තරමට සරල තැනක
ස්ථානගත වී ඇති බවයි හැඟෙන්නේ. දෙමාපියන් ලෙස ඇයට ඇති සම්බන්ධයේ ස්වරූපය ඉතා අජීවී
සේම දුරස්ථ එකක්. එය ආසියාතික පවුල් පසුබිමක් තුල විස්වසනීය යයි බාරගත හැකි
තත්වයකුත් නෙමෙයි. පවුල් සංස්ථා අර්බුද ඇසුරින් නිමැවුනු ලෝක මට්ටමේ (බටහිර/ජනප්‍රිය)
සිනමා කෘති වන රිවලූශනලි රෝඩ්, බ්ලූ වැලන්ටයින්, අන්ෆේත්ෆුල් වැනි චිතපටවල ඔවුන්ගේ
අර්බුදයට දරුවන් සම්බන්ධ වූ ප්‍රමානය කොතෙක්දැයි නිකමට මං සිතන්න ගත්තේත් මේ
නිසයි. අන්ෆේත්ෆුල් හැරෙන්නට අනෙක් සිනමාපට දෙකේදීම දරුවන් ඔවුන්ගේ ඛේදවාචකය
මිරිකවන හේතුකාරකයක් නොවන බව ආපස්සට මට පිලිගන්න වෙනවා. නමුත් දැකල පුරුදු කෙනෙක්
තුලට මීට වඩා කල්පනාකාරී වූවා නම් දරුවා
මේ සංකීර්නත්වය උපරිමත්වයකට පත්කල හැකි කාරකයක් වීමෙන් නිර්මානකරුවාට මොනම
වාදයකටත් පක්ශග්‍රාහී නොවන තැනක සිට උපේක්ශාවෙන් නිර්මානය දෙස බැලීමේ කවුලුවක්
විවර කර ගත හැකිව තිබූ බව යලි යලිත් සිතෙනවා.
ඥාති තරුනයාගේ(මල්ලීගේ) ආගමනය සිදුවන පලමු
මොහොත තුල දිනිතියේ හැසිරීම අධිනාටකීය හෝ පමන ඉක්මවා ගිය අස්වාභාවික ස්වභාවයක්
ගන්නා බව මට දැනුනා. එසේම දිනිතිගේ නැගනිය, ත්‍රීවිල් රියදුරා, සචිත්‍ර ගේ මිතුරා
වැනි චරිත නිරූපනයන් බොහෝ පැතලි ස්වරූපයක් අරගන්නවා. ඉතා අල්ප චරිත වුවත් ඔවුන්ට
හිමි ජීවය රංගනයන් තුලින්වත් මතුකරගන්නට උත්සාහ ගෙන නැති බවයි මා දකින්නේ.
මගේ අදහස පුරාවට චිත්‍රපටයේ මා දකින දොස්
මෙසේ ලියා තැබුවේ සමස්තයක් ලෙස කෘතිය සාර්ථක බව මා පිලිගන්නා අතරම බව යලි සිහිපත්
කල යුතුයි. සැබවින්ම ඒ කාර්යයට, ඒ නව්‍ය සිනමා විලාසිතාවට මා ගරුකරනවා. එය සාර්ථක
ආරම්භයක්. සචිත්‍රත්, දිනිතිගේ දෙමාපියනුත්, දිනිතිත් අතර ඇතිවන දෙබස්, මත ගැටුම්
ඉතා සියුම් තලයන් විවරනය වන විදිහට මේ කෘතිය තුල ගොඩනගා ඇති ආකාරය අපූරුයි. පුදුම
සහගතයි. එසේම මුල සිට එය ප්‍රේක්ශකයා වෙත දිගහැරෙන ආකාරයත් විශේශිතයි. පවුල්කාරයෙක්
විදිහට නැවත මාවම ප්‍රශ්න කරන සුලුයි. තිගස්සන සුලුයි. වෙනත් කෝනයක් පවුල වෙත
එලඹෙන්නැයි මාව දිගු නින්දකින් අවදි කිරීමක් වැනියි. ඒ අතින් මේ සිනමා ප්‍රයත්නය
වෙත මා අත්පොලසන් දෙන අතරේම මෙවැනි විවේචන අදහස් ලියා තබන්නේ ද ඒ ලැබූ කම්පනය
ඔස්සේ හටගත් සැබෑ ආදරය ප්‍රකාශ කිරීමක් විදිහටමයි. නැවත ඒ නිර්මානකරුවන්ගෙන් වඩා
හොඳ සිනමාවක් දැකීමේ අපේක්ශාව පෙරදැරිකරගෙනයි.