Wednesday, January 29, 2025

ඉඟි නැති ප්‍රෙහේලිකාවක් - ජයතිලක කම්මැල්ලවිර

 කෙටිකතාවක අන්තර්ගතය හා ව්‍යුහය අතර සම්බන්ධය පැහැදිලි කිරීමක්.


නන්දිකාගේ වයස දැන් අවුරුදු තිස් දෙකයි. නන්දිකා කසාද බැඳල දැන් අවුරුදු හයක් වෙනව. නන්දිකාගේ පුතාට දැන් වයස අවුරුදු තුනයි. වැඩට එන බස් එකේදී මිනිහෙක් එක්ක යාළුවෙලා නන්දිකා ඊයෙ ඒ මිනිහා නැවතිලා ඉන්න කාමරේට ගියා.

කෙටි කතාකරුවා කෙටිකතාවේ සමස්ථාර්ථය සාරාංශගත කරන්නේ එහෙමයි.

 

බැලූ බැල්මට මේක සාමාන්‍ය ලෝකයේ සුලබ  සිදුවීමක් ඇසුරින් ගොඩනුගුණු ඉගි නැති ප්‍රෙහේලිකාවක්කෙටිකතාව අපූර්වත්වයට පත්වන්නේ කම්මැල්ලවිර  ඊට භාවිත කරන දුලබ ව්‍යුහය නිසා බව පැහැදිලියි. ඉඟි නැති ප්‍රෙහේලිකාවක්රස විදීමට එහි ව්‍යුහය කියවීමට ද අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසයි.

             

            පිටු 04 ක් 05ක් පුරාවට දිවෙන කෙටිකතාවේ සමස්ත සිදුවීම සාරාංශ කරල කියල තියෙන නිසාම දැන් අපි සිදුවීම දන්නවා. නමුත් අපි නොදන්නේ සිද්ධිය සිදු වූ ආකාරයයි. කම්මැල්ලවිරගේ  අභිප්‍රාය කෙටිකතාව මඟින් පාඨකයාගේ දෘෂ්ටිය සාම්ප්‍රදායික බැම්මෙන් ඔබ්බට ගෙනගොස් නව මානයක ස්ථාපිත කිරීම කියල්ල පුලුවන්. ඔහු ඒ වෙනුවෙන්  ප්‍රබලම උපකරණය විදිහට භාවිතා කරන්නේ කතාවේ  ව්‍යුහයයි.

 

            මෙම සරල කතා පුවත මතුපිටට නොපෙනෙන නමුත් අන්තර්ගතය හා මනාව බැඳුනු සියුම් ව්‍යුහීය ලක්‍ෂණ 02 ක් මතින් ගලා යන බව හඳුනා ගන්න පුලුවන්.

            01.පාඨකයා හා කථකයා අතර ගොඩනඟන ප්‍රශ්තෝත්තර සබඳතාව ඇසුරින් කතාව කීම.

            02.නන්දිකා ගැටලුවට ලක්වූ අයුරු නන්දිකාගේ මනස කථකයා මඟින් පිළිබිඹු කතාව කීම.

                       

කවුරු කොහොම කිව්වත් නන්දිකා ඉන්නෙ ලොකු අවුලක මම ඒක හොඳටම දන්නව.

            කතාව පටන් ගනිද්දිම ප්‍රෙහේලිකාත්මක ප්‍රකාශනයක් මඟින් පාඨකයා කුතුහලය පිරුණු ලෝකයක් වෙතට අද ගැනීමට රචකයා උත්සාහ ගන්නවා. මෙතනදී කථකයා නැත්නම් මමමතුවීම වැදගත් ප්‍රවේශයක්. කථකයා නොහොත් ‘මම‘ සිදුවීම අපූරුවට දන්නා පුද්ගලයෙක් බවයි පෙනෙන්නෙ. කතුවරයාගේ සෙවනේ වැඩෙන කථකයා ‘බහුතර‘ සාමාන්‍ය දෘෂ්ටියෙන් මිදී  නව දෘෂ්ටියකින් නන්දිකා දෙස බලන බව පාඨකයාට වැටහීමට එතරම් කාලයක් ගත වෙන්නෙ නැහැ.

           

කතාව කෙටියෙන් කිව්වොත් ඔබත් කියාවි නන්දිකා වල් ගෑනියෙක් කියල.......... කොහොම හරි පටස් ගාල තීන්දුව දෙන්න කැමති අය වෙනුවෙන් නන්දිකාගෙ කතාව කෙටියෙන් කියනව නම් මෙහෙමයි.

 

            මෙතන  ඔබයන්න භාවිතය කෙටිකතාවේ ප්‍රබලත්වයේ තීරණාත්මක සාධකයක් බව මම නැවතත් කියනව. කතුවරයා උත්සාහ ගන්නේ මම සහ ඔබ කල තල දෙකක් මත ස්ථානගත කරන්නයි.

සමස්ත සිදුවීමක් පමණක්ම නෙමෙයි ඒක සිදුවෙච්ච ආකාරය ද හොඳින්ම දන්නා කථකයා (මම), සිදුවීම විතරක් දැනගෙන පටස් ගාතීන්දුව දෙන ඔබට වඩා උච්චස්ථානයක ස්ථානගතවීම සිදුවන්නේ නිරායාසයෙන්.

 

            කෙටිකතාවේ ව්‍යුහයේ ප්‍රබලම වෙනසක් මෙහිදී සිදු වෙනව. ඒ කෙටිකතාවේ සමස්තාර්ථය හකුළුවා දැක්වීමයි. (මා මුලින් උපුටා දක්වා ඇත්තේ ඒ ඡේදයයි) කථකයා පමණක් නෙමෙයි දැන් කියවන පාඨකයාත් කතාව දන්නවා. එහෙත්  තව දුරටත් සම්පූර්ණ සිදුවීම සිදු වූ ආකාරය දන්නේ කථකයා පමණයි . එබැවින් පාඨක - කථක ගනුදෙනුවකට මෙය කදිම අවස්ථාවක්. ඒ වගේම වැදගත් වන්නේ සිද්ධිය විතරක් නෙමෙයි, සිද්ධිය සිදුවෙච්ච ආකාරයත් වැදගත් කියන පණිවිඩයත් මේ හරහා අපිට අඟවනව වෙන්න පුලුවන්.

 

            ඔන්න දැන් මේ කෙටිකතාවේ ඔබ (කථකයා) සහ මම (කථකයා) ව්‍යුහගත වන්නේ ස්ථාන දෙකකයි. එයින් පස්සේ  කතාව දිවෙන්නේ කථක - පාඨක ප්‍රශ්නෝත්තර ක්‍ර මයක් මඟින්. කතුවරයා ඒකට  ප්‍රවේශය ලබාගන්නේ ප්‍රබලතම මොහොතකින්.

            දැන් වහාම තීන්දුව දුන්නොත්

                        නන්දිකා මහ වල් ගෑනි

                        නන්දිකාට මදන විසේ

                        නන්දිකා වේසි - පට්ට වේසි 

මේ වෙනසත් එක්ක පාඨකයා නව  දෘෂ්ටියක් වෙත ළඟාවෙතැයි අපේක්‍ෂා කරන්න පුලුවන්.

            ඒ මිනිහ නන්දිකාව රවව්ටගත්තා ද   එසේ පාඨක සිතෙහි නැගෙතැයි සිතෙන ප්‍රශ්නයකුත් දැන් ඉදිරිපත් වෙනවා.   පැනයට  මම නම් කථකයා සාධනීය පිළිතුරක් ලබා දෙන්නේ මෙහෙමයි.

            තමන් ඒ ගමන ගියේ බය වෙලාවත් - රැවටිලාවත් නොවන බව නන්දිකා දන්නව

            මෙලෙස පාඨක - කථක ප්‍රශ්නෝත්තර සම්බන්ධය කතුවරයා පියවර කිහිපයක් ඉදිරියට ගෙනයන්නෙ රසවත් ආකාරයකට. මේ එයින් කිහිපයක්.  

 

(පාඨක ප්‍රශ්නය)      එහෙනම් නන්දිකාගේ විවාහ ජීවිතේ ආසාර්ථක වෙන්න ඇති. මිනිහ   බොනව ඇති. ලෙඩක් නැත්නම් ලිංගික වශයෙන් නොගැලපීමක් ඇති. ඒ අනික් මිනිහගෙන් නන්දිකාට ඒ අඩුව සම්පූර්ණ වෙනව ඇති.

(කථක පිළිතුර)       නන්දිකා තම විවාහක සැමියත් එක්ක සතුටින් ජීවත් වෙනව. සුසන්ත එහෙම බොන මිනිහෙකුත් නෙමෙයි. ඉදහිට බියර් එකක් බිව්වට පවුල් වල ලොකු ලොකු ප්‍රශ්න ඇත්තෙත් නෑ. දෙන්නටම වෙනම ගෙයක් තියෙනව. තමන්ට ඕන විදියට බඩු මුට්ටු තියාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න ලැබුණු එක ගැන නන්දිකාගෙ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්. සුසන්තගෙ මහගෙවල් තියෙන්නෙ බොහොම ළඟ පාත නිසා දැරුව බලාගන්න එකත් ප්‍රශ්නයක් නොවෙයි.

(පාඨක ප්‍රශ්ණය) එහෙනම් සුසන්තට වඩා අර මිනිහ ලස්සන ඇති.

(කථක පිළිතුර)       ඒකත් එහෙම කියල නන්දිකාගෙ හිත පිළිගත්තෙ නෑ. මෙන්ඩිස්ගෙ මුණෙ ඇගපතේ සුසන්තට වඩා කැපී පෙනෙන ලස්සනකුත් නෑ.

 

            නන්දිකා නිවැරදියයි නිදහසට හේතුවන යම් හෝ සාධනීය පිළිතුරක් පාඨකයාට ලැබෙන්නෙ නෑ. ඒත් කථකයා කියන විදිහට  නන්දිකා සිටින්නේ ලොකු අවුලකයි. ඒනිසා ම පාඨකයා සිත තුළ

            එහෙනම් මොකද වුනේ යන පැනය නැග ඒම සහේතුකයි.

 

            කෙටිකතාවේ ව්‍යුහීය වෙනස පළමු ව්‍යුහයෙන් මිදිල  දෙවැන්න වෙතට  මාරු වන්නේ මෙතැන ඉඳලයි.

 

            මට මොනව වුනා ද කියල මටම තේරෙන්නේ නෑ  යනුවෙන්  නන්දිකාගේ මනස පිළිබිඹු කිරීම කෙටිකතාවේ දෙවැනි අර්ධයේ දැකිය හැකි මූලිකම ව්‍යුහමය වෙනස කියල අපිට හිතන්න පුලුවන්.

 

            නන්දිකා වරදකාරියකි. ඈ අනියම් සබඳතාවක් පවත්වයි. එසේ ම ඈ එක්දරු මවකි. මෙවැනි තර්ක මේ දක්වාත් පාඨකයා සිත තුළ හිස ඔසවා නොසිටින්නේ මුල් සැකසුමේ පාඨක - කථක විවෘත ප්‍රශ්නෝත්තර ගනුදෙනුවක් සිදු වූ නිසයි. මේ වනතෙක්ම පාඨකයා නොදන්නා සිදුවීම සිදු වූ ආකාරයේ වෙනස් බව මේ වන විට ඔහුට/ඇයට හැගී අවසානයි. කතුවරයා ඊළඟට උත්සාහ ගන්නේ නිර්භයවත් නිර්ව්‍යාජවත් එය සිදු වූ ආකාරය පාඨකයා හමුවේ තියන්නයි. මෙය සිදුකරන්නේ ව්‍යුහයේ වෙනසක්  එක්ක. මෙතැන්සිට කථකයා සිටින්නේ පාඨකයා (ඔබ) සමඟ නොව නන්දිකා සමඟයි.  ඒ කියන්නෙ මෙතැන් සිට කථකයා කෙලින්ම කතාව කියාගෙන යනවා.

            මෙන්ඩිස්ගෙ බැල්මට යටින් තිබුණු වුවමනාවක් නන්දිකා මුලදීම ඇඳින ගත්ත.

            තවත් දවස් හතර පහකට පස්සෙ මෙන්ඩිස් නන්දිකා වැඩකරන කන්තෝරුවට ටෙලිෆෝන් කළා.

            .........................

            මම කතා කරපු එක කරදරයක් ද

            නෑ

            ඇයි මම නෑ කියල කිව්වේ?’ ඒ තනි අකුරෙ වචන පිටවෙච්ච ගමන්ම හිතන්න පටන් ගත්ත. අදත් නන්දිකා ඒ ගැන හිතනව.

            එක දවසක් මෙන්ඩිස්ගෙ පුරුදු කෝල් එක ආවෙ නෑ. නන්දිකාට අඩුවක් දැනුන. මොකක්ද ඒ අඩුව ? ඒක තමයි තේරුම් ගන්ඩ බැරි

 

            මේ මොන විකාරයක් දනන්දිකට හිතුන. මං මොකටද ඒ මිනිහ කෝල් කරනකං බලන් ඉන්නෙ. මට පිස්සු ද. මම මොකටද ඒ ටෙලිෆෝන් නම්බර් එක ලියාගත්තෙ. නන්දිකා පස්සෙ හිතන්න පටන් ගත්ත. උත්තර හොයාගන්න බැරි ප්‍රශ්ණයක්

            ඇයි මම එදා එහෙම කකුල් ගැහෙද්දී ඒ ගමන ගියේ. චිහ් මට මොනවද ඒකෙන් ලැබුනෙ. ඒක තමයි තේරුම් ගන්න බැරි. 

 

කෙටිකතාවේ දෙවන ව්‍යුහමය වෙනස ඔන්න ඔය ආකාරයට ගලාගෙන යනවා. මේ සියුම් වියමන වෙනස් ආකාරයකින් නන්දිකා දෙස බලන්නට  පාඨකයා කැඳවාගෙන යාමක් කියල හිතන්න පුලුවන්. එක් මොහොතක නන්දිකාත් තවත් වෙලාවක  කථකයාත් මතු වී සිදු වූ ආකාරය අපට කියනවා.

 

                        නන්දිකාගේ මනස පිළිඹිබු කරන  උදෘත මඟින් පාඨකයා තව තවත් ප්‍රෙහේලිකාව ඇතුලේ  සිරවීමක් දක්නට ලැබෙනවා . නන්දිකා දැන - නොදැන ගිය ඒ ගමන එක්තරා ආකාරයකට නන්දිකාට තමන්වම පාලනය කළ නොහැකි රාගික හැඟීම් ඉස්මතු වීමක් දෝයි විටෙක පාඨක සිතෙහි නැගෙන දැවැන්තම ප්‍රශ්නයක්. කොහොම වුණත්  නන්දිකා වල් ගෑනියක් ද, ඈ කළේ වරදක් ද, එසේත් නැත්නම් ඈ කිසිත් වරදක් නොකළ නිවැරදිකාරියක් ද විවාහක යුවතියක් මෙලෙස වෙනත් පුරුෂයකු සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම අනුමත කළ හැකි ද මෙවැනි ප්‍රෙහේලිකාත්මක ප්‍රශ්න කෙටිකතාව කියවා අවසන් වූ පසුත් පාඨක සිතෙහි හරහටත් පහළටත් එකිනෙක හරහා ඡේදනය වෙමන්  ගමන් කරන එක වලක්වන්න බැරි වෙයි.

            කෙටිකතාවේ තේමාව ඉඟිනැති ප්‍රෙහේලිකාවක්වීමත්  විශේෂිත දෙයක්. ඒනිසා කෙටිකතාව කියවීමට පාඨකයා පෙළඹෙන්නේ ප්‍රෙහේලිකාවක දළ ව්‍යුහයක් (හරහටත් පහළටත් හිස් කොටු පේළි ඇති) මනසෙහි රඳවා ගනිමින් වෙන්න ඕන . මෙහි සඳහන් කළ පළමු ව්‍යුහීය වෙනස හා දෙවන ව්‍යුහීය වෙනස මෙලෙස හරහටත් පහළටත් ඡේදනය වෙමින් ගමන් කරන කොටුපේලි යැයි අපට නිගමනය කරන්න පුලුවන්. ඒවා පිරවීම පහසු දෙයක් නෙමෙයි.  

            මෙලෙසින් ඉඟි නොමැති ප්‍රෙහේලිකාවක් මත තව දුරටත් පාඨකයා රඳවාගත හැකි වන්නේ කතුවරයා ඊට භාවිතා කළ ව්‍යුහීය වෙනසෙහි හාස්කම නිසා කියල මම නිගමනය කරනව . ව්‍යහයක් අන්තර්ගතයක් ලස්සනට කවළම් කරමින් කම්මැල්ලවීර කෙටිකතාවේ ව්‍යුහය එක්තරා අරුත් නිර්මිත උපකරණයක් බවට පත්කරන බවට ඉඟි නැති ප්‍රෙහේලිකාවක් ඉඟි සපයන්නේ ඒ නිසයි.

 

No comments:

Post a Comment

ඉඟි නැති ප්‍රෙහේලිකාවක් - ජයතිලක කම්මැල්ලවිර

  කෙටිකතාවක අන්තර්ගතය හා ව්‍යුහය අතර සම්බන්ධය පැහැදිලි කිරීමක්. “ නන්දිකාගේ වයස දැන් අවුරුදු තිස් දෙකයි. නන්දිකා කසාද බැඳල දැන් අවුරුදු ...