Thursday, December 20, 2018


වික්‍රමසිංහ කතිකා 01 
 සිංහල නව පද්‍ය කල්පනා ලෝකෙන් මෙතෙරට




(මේක පුද්ගලිකව හුවමාරු වුන ලිපි පෙලක් උනත් පොදු අවකාශයට මුදා හැරීමෙන්  මොකක් හෝ හොඳක් වෙන්න පුලුවන් නිසා මේ ලිපි පෙල පල කරනවා. මේ එහි පලමු ලිපිය. පුද්ගලික ලිපියක් පොදු අවකාශයට මුදා හැරීම පිලිබඳ  ඈ මා සමඟ උරන නොවන බව විස්වාසයි.) 


මේ සාකච්ඡාව කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න අපහසු පසුබිමකයි තියෙන්නෙ. නමුත් වික්‍රමසිංහ පිලිබඳව ඔබ ගැඹුරින් හදාරා ඇතැයි මම සිතන නිසා සහ පසුගිය කාල සීමාවේ ඔහු ගැන සහ ඔහුගේ භාවිතාවන් ගැන අප අතර සිදුවූ අවිධිමත් හා විසිරුනු සංවාදය නිසා මෙය ඔබ සමඟ කතිකා කිරීමේ ඇති වැදගත්ගම ගැන යලි සිහිවුනා.


නමුත් මේ සඳහා මගේ පෙලඹවීම ඇති වන්නේ ඒ ලිපි පෙල නිසාමමත් නෙමෙයි. ඒකට බලපෑ එක් ප්‍රධාන කරුනක් තියෙනවා. ඇතැම් විට ඔබත් දන්නවා පසුගිය කාලය තිස්සේ මම ජපන් නවකතාවක් සිංහලට පරිවර්තනය කල ජපන් ලේඛකයෙක් ගැන උනන්දු උන හැටි. ඒකට මුල් උනේ නත්සුමෙ සෝසෙකි කියන ජපන් ලේඛකයගෙ කොකොරෝ කියන නවකතාව තදශි නොගුචි නම් ජපන් ජාතිකයා විසින් සිංහලෙන්ම පරිවර්තනයට ලක් කිරීම. එහි පෙරවදනේ තදශි මෙහෙම කතාවක් කියල තියෙනවා.

ශ්‍රී ලංකාවේ සිටි කාලයේ දී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවනැල්ල නම් කෘතිය මට කියවන්නට ලැබුනි. යුද්ධයෙන් පැරදුනු ජපන් සමාජය නැමති අලු ගොඩ උඩ පහල වූ ක්ශනභංකුර අපරිනත සාහිත්‍ය එම කෘතියෙන් දැඩි විවේඩනයට ලක් වෙයි. එම ග්‍රන්ථකරනයේ පරමාර්ථ ඉටුකරගැනීම සඳහා එබඳු දැඩි විවේචනයක් කිරීමට මාර්ටින් වික්‍රමසිංහ පෙලඹුනා විය හැකිය. කෙසේ වුවත් එම කෘතිය කියවීමේදී මාතෘ භූමියට මෙන්ම ශ්‍රී ලංකාවටත් ඉතා ආදරය කරන්නා වූ ජපන් ජාතිකයෙකු වන මා සිතේ කිසියම් ශොකයක් උපන්නේය. වික්‍රමසිංහගේ කෘතිය මැනවින් වටහා නොගන්නෝ ජපන් සාහිත්‍ය එකම කාම සාහිත්‍යයක් ලෙස සිතතියි සැකයක් මා සිතට පිවිසියේය. එතුමන්ගේ කෘතියට පිලිතුරක් ලිවීම මට අදාල කාරියක් නොවේ. එහෙත් උසස් ජපන් නවකතා කිහිපයක්වත් සිංහලයට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මා සිත තුල ඇති වුනේ ජපන් කාමකතා හෙවනැල්ල කියවීමෙන් පසුවය. .....(කොකොරො පෙරවදන - තදශි නොගුචි)

මේ පෙරවදන නිසාම මට මාර්ටින් වික්‍රමසිංහගේ ජපන් කාම කතා හෙවනැල්ල කියන පොත කියවන්න උවමනාවක් ඇති වෙනවා. තදශි නොගුචිගේ හදවතේ සියුම් වේදනාත්මක සිතිවිල්ල පෙරවදනේ දී ඔහු දොසකින් තොරව කියූ විලාසය එක් පැත්තකින් මගේ හිත ගත්තා.

පහුගිය සැප්තැම්බර් පොත් සල්පිලේදි වික්‍රමසිංහගෙ ජපන් කාම කතා හෙවනැල්ල වගේම නව පද්‍ය සිංහලය කියන පොතත් මිලදී ගන්න හැකි වුනා. නව පද්‍ය සිංහලය මිලදී ගත්තේ ලියනගේ සර්ගෙ අලුත්ම කාව්‍ය විචාර කෘතියේ නව පද්‍ය සිංහලය ගැන සුලු මතක් කිරීමක් දැක්කට පස්සෙයි.

මගේ මූලික කියවීම ජපන් කාම කතා හෙවනැල්ලයි. ඒකට අර කලින් කියපු හේතු සියල්ලම වගේ අඩු වැඩි වශයෙන් බලපාන්න ඇති. ජපන් කාම කතා හෙවනැල්ල ගැන තදශි නොගුචි සඳහන් කල කතාව හැරෙන්නට යන්තම්වත් හඳුනාගැනීමකින් තොරව සිටි මට ඒ පොත කියවීමෙන් පස්සෙ හිතුනෙ ඒක සරච්චන්ද්‍ර මූලික කරගත් ඔහුගේ පාක්ශික (වික්‍රමසිංහ හඳුන්වන ආකාරයට පේරාදෙනි ගුරුකුලය) කන්ඩායමක් වෙත නිර්දය විදියට කරපු සාහසික ආකාරයේ විවේචනයක් කියලයි. පලවෙනි වතාවෙ කියවපු නිසා ඒකෙ සමහර ඡේද ඔහු ලියූ අරමුනින්වත් වෙනයම්ව විදියකටවත් පුලුල් ලෙස විග්‍රහකරගන්න පුලුවන් උනේ නැහැ. නමුත් දල අදහසෙහි සාරය උරා ගන්නට මට නොහැකි උනේ නැහැ.

ඊට පස්සෙ නව පද්‍ය සිංහලය කියවීමෙන් මගේ සිතිවිලි අතර තිබුනු අපැහැදිලි බොඳ සිතුවම ක්‍රමිකව පැහැදිලි වේගෙන එන ආකාරය මට අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ අතර තුරම ඔබත් මමත් කල කෙටි අවිධිමත් සංවාදය ඇතුලේ වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර අතර ඇතිව තිබූ ද්විඝටනය ගැනද මගේ මතකය ඇදි ඇදී යන්න පටන් ගත්තා. ජපන් කාම කතා හෙවනැල්ලෙන් මේ ද්විඝටනයේ විසාල ප්‍රෙද්ශයක් එලිකරගන්න මට පුලුවන් උනා කියල හිතෙනවා.

ඒ හන්දාම සරච්චන්ද්‍ර මේවාට ලබාදෙන පිලිතුරු මොනවගේ වෙන්න ඇත්ද යන්න ගැන කුහුලක් මට ඇති උනා. එතෙක් කියවා නොතිබූ සරච්චන්ද්‍ර ගේ කල්පනාලෝකය මම කියවන්න සොයාගත්තේ මගේ පැරනි සැමරුම් ගොඩක් අස්සක දමා තිබෙද්දීයි.

ඒ නිසා මෙම විචාරාත්මක කතිකාවේ මූලික පියවර සරච්චන්ද්‍ර සහ වික්‍රමසිංහ අතර ඇතිවුනු සාහිත්‍ය සංවාදය කල්පනා ලෝකය හා නවපද්‍ය සිංහලය ඇසුරින් විග්‍රහකරන්න මට අවස්ථාව දෙන්න. ඔබ තුලත් මේ ගැන අධ්‍යනයක් ඇති බැවින් කියන්නට විශාල කරුනු ඇති. ඉතින් ඒවා මගේ මතවාදයට ප්‍රතිපක්ශව ඉදිරිපත් කරන ප්‍රතිප්‍රහාර ලෙස දැන්මම එකතු කොට මාවෙත එවන්න. මම ඒවා අපේක්ශා කරන්නේ දැඩි ලෙන්ගතුකමකින් බව කීම අවශ්‍යත් නැහැ.

සිංහල නව පද්‍ය කල්පනා ලෝකෙන් මෙතෙරට

වික්‍රමසිංහ නව පද්‍ය සිංහලය ලිවීමේ අරමුන ඔබත් සමඟ කල කෙටි සංවාදයේ දී අප අදහස් කල වික්‍රමසිංහගේ සමස්ථ මතවාදයෙන් වෙනස් වෙන්නේ නැති බව මට සිතෙනවා. ඒ කියන්නෙ මෙහෙමයි. වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයේදී තරමක් සංකීර්න වගේම තමන්ට අවශ්‍ය කරන ආස්ථානයක් වෙත එහි අරමුන දිශානතිගත කරනවා. වික්‍රමසිංහගේ අරමුන එකිනෙකට සම්බන්ධිත ප්‍රධාන කරුනු දෙකක් ඔස්සේ ඇඳී යන බවක් පේනවා. එකක් තමයි ඔහුට අවශ්‍යයි නූතන සිංහල කවිය සංස්කෘත කාව්‍ය අනුකරනයෙන් බිහිවූ පැරනි -නොගැඹුරු -සිංහල කවියේ සෙවනැල්ලෙන් මුදවා ගන්නට. එසේ මුදවාගන්නා සිංහල කවියට බටහිර අනුකාරක වලින් තොර අපේ ශිශ්ටාචාරය ඇසුරින් ගොඩනැගුනු නූතන දේශීයත්වයක් ආරෝපනය කිරීමටත් ඔහුට අවැසියි. මේ කාරනා දෙක මතුපිටින් බැලුවාම එකිනෙකට ප්‍රතිපක්ශයි කියල හිතුවත් වඩා ගැඹුරින් සලකලා බැලුවාම මේවා එකිනෙක අතර සහසම්බන්ධය සියුම්ව ගවේශනය කල හැකියි.

වික්‍රමසිංහගේ මේ අවශ්‍යතාවය පිලිබඳ මගේ මේ මතවාදයට ඔබ එකඟ නොවේ යයි සිතන්නට නොහැකි උනත් මගේ මතය සනාථ කිරීමක් විදියට යම් උපුටන කිහිපයක් දෙන්නම්.

උගත් යතිවරයන් පවා තවම සකු කවියත් සකු කවිය  අනුකරනයෙන් උපන් සිංහල කවියත් මහත් කොට සලකන්නේ එහි සැඟවී ඇති ගුභ්‍ය ධර්මය තර්කානුකූලව වටහා ගැනීමට වෑයම් නොකල හෙයිනියි හැඟේ. ක්ශත්‍රීයයන්ගේ කාම ජීවිතයට පිලිකුල් කල පඬිවරයෝ පවා සකු කවියෙහි සැඟවී ඇති ලෝකායත වාදය තර්කානුකූලව විවේචනයට වෑයම් නොකලෝය. ( නව පද්‍ය සිංහලය - 162 පිටුව)

මගේ නිබන්දනය වර්තමාන සිංහල පද්‍ය පැරනි පද්‍යෙයහි වහලින් මුදන්නට තරුන කවීන් කල තැතෙහි අවස්ථා කිහිපයක් හඳුන්වනු පිනිස ලියවුනකි. (නව පද්‍ය සිංහලය - 163 පිටු)

මානව භක්තිය නිසා උපන් උතුම් දෘශ්ටියක පිහිටි කවියකු, තැන්පත් මිනිසෙකු තුල පිලිකුල උපදවන තරම් ශෘංගාර වර්නනා සහිත කාව්‍යයක් රචනා කලත් එය පාඨකයා කලකිරවන ශෝකාර්ථයෙන් හා දුක්ඛාර්ථයෙන්ද තොර නොවන්නේය. කාව්‍යෙශ්ඛරය එවැනි දුක්ඛාර්ථයක් හා ශෝකාර්ථයක් ගැප්කොට ගත් ගෘංගාර කවියකි. හංස සන්දේශය හැර අනිත් සන්දේශ කාව්‍ය සෝක දුක් අරුතින් තොර වූ වර්නනාත්මක කාව්‍ය වෙයි. කවි කල්පයන්ට හරවන ලද ගැඹුරු විචාර චින්තාවන්ගෙන් පවා ඒ කාව්‍ය තොරවෙයි. ( නව පද්‍ය සිංහලය - 163)

ඉහතින් දැක්වූ උපුටන වලින් වැඩි වශයෙන් මතුවන්නේ පැරනි නොගැඹුරු සිංහල කවියෙන් නූතන සිංහල කවිය බේරා ගැනීමට වික්‍රමසිංහට තිබුනු උවමනාවයි. එසේම පැරනි කවියෙන් ගැලවුනු පමනින්ම එය නූතනවාදී විශිශ්ට කවියක් බව පවසන්නට වික්‍රමසිංහ ඉක්මන් වන්නෙත් නැහැ.

මේ දෙගොල්ලොම (පැරනි හා නූතන) ස්ත්‍රිය අද්භූතයක් කොටගෙන ඈ උදෙසා විසිතුරු බොලඳ ලෝකයක් මැවූහ. පැරනි කවීන් ඒ සඳහා පන ලැබුවේ සකු කවියෙනි.තරුන කවීන් පන ලැබුවේ සිනමා චිත්‍රයෙනි. නොඑසේනම් ආලය වර්නනා කල බටහිර ඇතැම් නවකතාකාරයන්ගෙනි. (158 පිටුව)

මුලු කෘතිය පුරාම වික්‍රමසිංහගේ ඇගයීමට ලක්වන බහුතරයක් කවීන් පැරනි පද්‍ය විලාසය අතහරින අතරේ නූතන කවියට දේශීය මුහුනුවරක් දෙන කවීන් බව පේනවා. සිරී ගුනසිංහ, ගුනදාස අමරසේකර, ජී.බී සේනානායක වැන නිසඳැස් ආකෘතිය අනූව කවි ලියූ කවියන්ද මීමන ප්‍රේමතිලක, පී.බී අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය වැනි සඳැස් කවීන්ද වික්‍රමසිංහගේ පැසසුමට ලක්වන බව පේනෙන පැහැදිලි කාරනයක්. නමුත් ඔහු මේ සියලුදෙනාම වර්නනයට ලක් කරන්නේ කොන්දේසි සහිතව බවක්ද දක්නට පුලුවන්.

එනම් නව පද්‍යවලට විශය වන කාරනා බොලඳ තේමාවන් හෝ නොගැඹුරු අරුත් ඇති සාමාන්‍ය තේමාත්මක කාව්‍ය නොව යම් සංකීර්න ගැඹුරක් මතුකරන ඒවා විය යුතු බව වික්‍රමසිංහ ඇදහූ බවක් පැහැදිලියි. වික්‍රමසිංහ තම කෘතිය පුරාවටම නියමින් හෝ අනියමින් සිදු කරන්නේ ගැඹුරු අරුතන් නිපද නොවන වර්නනා අංශයට බර වූ නිර්මාන බැහැර කිරීමට හා ඒවාට පහර ගැසීමටයි.

ව්‍යාජ සිතුම්වලින් පුම්බන්ට නොතකා තම අත්දැකීමක් කියන කල අමරසේකරගේ බස් වහර අපරිනත ලක්ශනයන්ගෙන් අඩු වෙයි. ඔහු සිතුවමක් භාවාත්මක කොට කියන්නට හෝ තම අත්දැකීමකට අනුචිත හැඟීමක් පිවිසන්නට හෝ වෑයම් කරන ඇතැම් විටක ඔහුගේ අපරිනතභාවය හෙලි වෙයි. ( නව පද්‍ය සිංහලය -130)

පැරනි කවි සමයත් ඔවුන්ගේ කෝශයත් බැහැර කල ඇතැම් තරුන කවීහු කාව්‍යයන් විමසා උගැන්මක් නුවනක් ලැබීමට නොසිතූහ. පින් ඇති ගනදෙවි නුවනක් දෙන් මට යි කන්නලව් කල දරුවන් මෙන් ඔවුහු උතුරන ආලය ඇති ගැහැනිය සරසවියකොටගෙන ඈට කන්නලව් කරන්නෝ වූහ. සමහර කවීහු නොගැඹුරු හැඟීම් හා සිතුම් වර්නනා කිරීමෙන් ලත් සන්තෘශ්ටිය පරම ධනය කොට ගත්හ. කල්පනා ලෝකයක ජීවිත්වන කවියාගේ පරම ධනය අසන්තෘශ්ටිය විය යුතුය. (නව පද්‍ය සිංහලය -  105)

මේ ආකාරයට ඔහු තම කෘතියේ කිහිප විටකදීම ගැඹුරු අරුත් නොනගන කල්පනාලෝකයට බරවූ නිර්මානකෘති හෝ පද්‍ය පන්ති බැහැර කරනු ලබයි. ඇතැම්විට ඒවා නූතන බටහිර කෘතීන් ඇසුරින් ලියවුනු බව සිතමින් ඔහු ඒවා උසස් කෘති ලෙස නොසලකා හරියි.

මතක වස්තුව පද්‍යය ද ගැහැනිය මහත්කොට සලකන්නෙකු හැඳින්වෙන්නකි. ගුනසිංහගේ මේ පද්‍යාවලීන්ට වස්තු වන්නේ ලක්දිව ජීවිතය පිලිබඳ අත්දැකීමක් සිතුවකමක් නොව ඔහු බටහිර පොතින් පතින් ලත් අත්දැකීම් හා සිතුම්ය. (157 පිටුව)


කල්පනා ලෝකය බැහැර කරනු ලැබීම

වික්‍රමසිංහ නොගැඹුරු (බොලඳ) නූතන පද්‍ය කෘති විචේචනය කිරීම තුලින් අවිඥානිකව හෝ සවිඥානිකව කල්පනාලෝකයට පහර ගසන බවක් පේනවා. මෙතනදී කල්පනා ලෝකය කියල අර්ථ දැක්වුවේ සරච්චන්ද්‍රගෙ පොත නෙමෙයි. සරච්චන්ද්‍ර ගෙ කල්පනා ලෝකය ලියවෙන්නෙ නව පද්‍ය සිංහලයටත් වසරකට පසුව නිසා මේ කෘතියෙහි ඒ කෘතියට විචාරයත් තිබෙන්න කොහොමටත් බැරි බව අපි දන්නවා.(පුවත්පත් ලිපි ඇසුරින් එහෙම උනාද කියන්නත් බැහැ) මෙතනදී වික්‍රමසිංහ කල්පනාලෝක කියන අර්ථය භාවිත කර තිබෙන්නේ පියවි ලෝකයේ දෙපා නොරඳා ප්‍රේමය ගැන, හෝ වෙනස් සෞන්දර්යාත්මක වස්තු ගැන කෙරෙන වර්නනා බව පේනවා. වික්‍රමසිංහට අනූව අපේ දේශිය සිතුම් පැතුම් පිලිබිඹු නොකරන, බොදු සංකෘතිය විසින් හෝ අපගේ සංස්කෘතිය විසින් සුපෝශිත අංග ඇතුලත් නිර්මාන මිස අනෙක් ඒවා බටහිර අනුකාරක පුස් අරුත් සුන් නිර්මාන වන බවයි.

මෙතැනදී වික්‍රමසිංහ දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ කුඩලිගම කවියාටයි. විශේශයෙන් කුඩලිගම පිලිබඳ විවරනය කෙරෙන පරිච්ඡේදයේදී ඔහු ශාන්ති නිකේතනය ඇසුරින් සාහිත්‍ය කලා හදාරා පැමිනෙන නිර්මානකරුවන්ගේ නිර්මාන පමනක් නෙමෙයි තාගෝර්ගේ භාවිතාව ගැන පවා දක්වන්නේ සුබවාදී ආකල්පයක් නොවන බව පේනවා.

බොහෝ තරුන කවීන්ට තමන්ගේ කුසලතා දියුනුකරගත නොහැකිවූයේ මිනිසුන් හා සමාජය නොතකා ඉර, හඳ, තරු, ගස් කොලන් ඇල, දොල, මහත්කොට සලකන බව කියන්ට තැතනූ හෙයිනි. (නව පද්‍ය සිංහලය 81 පිටුව)

වික්‍රමසිංහ කුඩලිගමගේ ඈ නැමති පද්‍ය පන්තිය හා කුරුලු කූඩුවක් නම් පද්‍ය කෘති දැඩි ලෙස විවේචනය කරන බව පෙනනවා. එසේ කරන්නේ ඔහු මිනිස් ජීවිතය ගැඹුරු අර්ථයෙන් මතු කරනු වෙනුවට ස්වභාව ධර්මයේ ඇති වස්තු වර්නනය කිරීමත් ඇතැම් ස්වභාවික වස්තු මිනිසුන් නිසා විනාශවී යාම ගැන ද්වේශ සහගතව මිනිසුන්ට චොදනා කිරීමත් නිසායි.

වික්‍රමසිංහ තාගෝර්ගැන දක්වන මතවාදය ද මෙම මූලික කාරනාවෙන් යන්තමින්වත් වෙනස් වන්නේ නැහැ.
තාගෝර් ශ්‍රේශ්ඨ උගතෙකි. උසස් ලේඛකයෙකි. එහෙත් ඔහු බොරු මානයෙන් නොතොර වූ හිස ඇත්තෙක් වීය. පෙරදිග මිනිසුන්ගේ ඇතැම් දුර්වලකම්, කිත් යසස් ලබනු සඳහා නොදැන වහල් කොටගත් ඔහු ලෝකයෙන් ඈත් වූවෙකු බව අඟවන්නට වෑයම් කලේ ය. ඔහු තම පද්‍ය කාව්‍යයන්ගෙන් ඉර, හඳ, තරු ගස් කොලන් , ආලය, ඊශ්වර භක්තිය එක්කොට වර්නනා කරන්නට වූයේ එහෙයිනි.(නව පද්‍ය සිංහලය-82 පිටුව)
මෙවැනි උපුටාගැනීම් රාශියකින් වික්‍රමසිංහ කල්පනාලෝකය ඇසුරින් නිර්මානය කල නිර්මාන විවේචනය කල හැටි දකින්න පුලුවන්.

මේ අනූව අපට ප්‍රත්‍යක්ශ වන එක් කරුනක් වන්නේ වික්‍රමසිංහ විසින් ගැඹුරු අරුත් සපයන නිර්මාන කෙරෙහි දැක්වූ පැහැදීමයි. එනම් ගැඹුරු මානව ධර්මයක් හෝ වින්තනයක් සහිත කෘති නිරන්තරයෙන් වික්‍රමසිංහගේ නෙත ගැටෙන බවක් මේ කෘතිය හරහා පෙන්නුම් කෙරෙනවා.ඒ නිසාම සාහිත්‍ය අරුත් මතුකෙරෙන ජනතාවාදී යොමුවක් වෙතට ඍජුව හෝ වක්‍රව ගමන් කිරීමට සැලැස්සීම මෙමගින් සිදුකෙරෙන්න ඉඩ තියෙනවා.  අනෙක් කරුන නම් (වික්‍රමසිංහගේ සමස්ථ විචාර කෘති මා කියවා නැතත්) සිංහල සාහිත්‍ය, ජාතිකවාදී අධිපති ධාරාවක් වෙත කේන්ද්‍රගත කරන්නට වික්‍රමසිංහට තිබුනු දැඩි උවමනාවයි. මේවා ජපන් කාමකතා හෙවනැල්ල කෘතිය කියවද්දිත් දැනට නොකියවූවත් නවකතාංග හා විරගය කෘතිය ලිවීමට වික්‍රමසිංහ පෙලඹවූ අරමුන ගැන සිතද්දීත් හොඳින් වටහා ගන්න පුලුවන් කාරුනු ලෙස මම දක්වන්නම්.

දැනට එපමනයි. ඉදිරි ලිපි වලදී සරච්චන්ද්‍ර ගේ කල්පනා ලෝකය කෘතිය නව පද්‍ය සිංහලයට පිලිතුරක් ලෙස සන්දර්භගතවූ හැටි වගේම ජපන් කාම කතා හෙවනැල්ල සහ තත් කාලීන සිංහල නවකතා පිලිබඳ විමසන්නට බලාපොරොත්තු වෙනවා.




No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...