සිහිනය
සුපිපෙන ඈතක
දුර කොයි
කොතරම්දෝ..
මම ඒ ලෙවෙල් කරන කාලෙ අපේ අක්කට ප්‍රේම
සම්බන්ධයක් තිබුනා. ඒක තමයි අක්කගෙ පලවෙනි ලව් එක. එයා තංගල්ල පැත්තෙ පදිංචි නේවි
එකේ කොල්ලෙක්.
අක්කගෙ නේවි පෙම්වතා දෙතුන් වතාවක් අපේ ගෙදර
ඇවිත් ගියා මට මතකයි. ලස්සන පෙනුමක් තියෙන සුදු කඩවසම් හාදයෙක්. සම්බන්දෙ පටන් ගෙන
වැඩි කාලයක් යන්න කලියෙන් එයාට ගෙදර එන්න සිද්ධ උනේ අපේ අම්මල අක්කට එයත් එක්ක
කොහේවත් යන්න ඉඩ සලස්වල දුන්නෙ නැති නිසයි. අනිත් ඕනම කාරනාවකදි නිදහස ඕනවටත් වඩා
පිරිනමල තියෙන අපේ ගෙදර ආදර සම්බන්ධතාවලදි ගැහැනු කෙනෙක්ට අත්වෙන ඉරනම ඒකයි කියල
අපේ ලොකු අක්කගෙනුත් අපි ඉගෙනගෙනයි තිබුනෙ ඒ වෙද්දිත්.
අම්මගෙ සැකය සනාථ කරමින් ඒ නේවි කොල්ල හිටි
හැටියෙ එකපාරටම අපේ ගෙදර නෑවිත් ඉන්න තීරනය කරල තිබුන. අද වගේ දුරකථන, විද්‍යුත්,
සන්නිවේදනය දියුනු නැති ඒ කාලෙ අක්ක සිහි විකාරවෙලා වගේ දවස් ගතකර හැටි මම
හොඳාකාරවම අත්වින්ඳා.
කොල්ල, බැඳල දරුවෙකුත් ඉන්න කෙනෙක් විත්තිය
වටින් ගොඩින් ආරංචි වෙද්දි අපේ අම්ම ආරක්ශක වැට තවදුරටත් තර කරල අක්කට කඩේට තනියම
යන්නවත් ඉඩ නොදෙන තැනට වැඩ සිද්ධ කලා. එහෙම කලේ අක්ක කඩේ ගෙදරට ගිහින් කෑම්ප් එකේ
නම්බර් එකට කොල් එකක් ගන්න එක දවසක් උත්සාහ කරපු එක අම්මට අතටම අහුවුනු හින්දයි.
නේවි පෙම්වතාගෙන් ආරංචි ඇබින්දක්වත් නැතිව
නන්නත්තාරවෙලා අක්ක හිච්චි කාමරේ ඇඳ උඩටම වෙලා අඩ අඬා කාලය ගත කලා. අක්ක තමන්ට සිද්ධවෙන
ඕනම දෙයක්, රහසක් කියන්න පුරුදුවෙල උන්නෙ මාත් එක්ක. ඒත් අක්ක,එයාගෙ දුක, පෙම්වතාට
කෝල් එකක්, ලියුමක් යවන්න, හරියට ඇත්ත විස්තරයක් දැනගන්න අක්කට තිබුනු කැලඹිලිකාර
හැඟීම් ඔක්කොම මගෙත් එක්ක නොකියන්න තීරනේ කරල තිබුනෙ මොකද මන්ද. ඒ පොඩිවයසෙදි
අක්කට උපකාරයක් කරන්න තරම් ශක්තියක් ඇත්තටම මට තිබුනෙ නැහැ. මට තියා වැඩිමල්
කවුරුම හරි කෙනෙක්ටවත් ඒක කරන්න බැරි බව මට අද තේරුම් ගන්න පුලුවන්.
නේවි පෙම්වතා ඒවිද -නේවිද කිය කියා හිච්චි
කාමරේ ඇඳ උඩ තෙරපිලා ඉන්න අක්කා තමන්ගෙ දුක ලියල තැබුවෙ ඒ කොල්ල දවසක් ගෙනත් දීපු
නේවි කැලැන්ඩරේ පිටිපස්සෙ. එක එක නැව් වල, බෝට්ටුවල ෆොටෝ තිබුනු පිටු ගානක් තියෙන
කැලැන්ඩරේ අක්ක නිල් පෑනෙන් සින්දු කෑලි, පත්තරවලින් ගත්තු හිත හීරෙන වචන ගොඩගහමින්
කාලය ගලා යන්න සැලැස්සුවා.
ඔය මුලු සින්දුවම අක්ක කැලැන්ඩරේ ලියල තිබුනහැටි
මං දැක්කෙ අවුරුද්දකට විතර පස්සෙ. අක්කගෙ අත් අකුරු ඒ හැටි ලස්සනක් නෑ. ඒත් එයා
පුලුවන් උපරිම පැහැදිලි අකුරෙන් ඒක ලියල තිබුනා, නිල් පෑනෙන් එකම අකුර උඩ දෙපාරක්
ලියවෙන විදියට. තදට. ඒ සින්දුව මොකක්ද, මොකක් වෙනුවෙන් ලියපු දෙයක්ද කියල හරියාකාර
අදහසක් ඒ කාලෙ මගේ ඔලුව ඇතුලෙ තිබුනෙ නෑ.
තවත් දවසක ඒ සින්දුව රේඩි එකේ යද්දි අක්ක
කොහේදෝ ඉඳල දුවල ඇවිත් පරන කැසට් පීස් එකක් හොයාගෙන ඒක රෙකෝඩ් කෙරුවා මට මතකයි.
පස්සෙ රේඩියෙක නවත්තලා පීස් එක රිවයින් කරලා
ආයෙ අර සින්දුව ඇහුවා දවසට දෙතුන් වතාවක්
කැසට් පීස් එකෙන් අර සින්දුව ඇහෙන්නෙ
රේඩියෙකේ යන කොලිටියටම නෙමේ උනත් ඒකෙන් ඇහෙන ශබ්ද, තාල ඔක්කොම එක්කාසුවෙලා මොකක්දෝ
සංවේදනාත්මක හැඟුම් රැලි ගසන සාගරයක් දිහාට මගේ සිතිවිලි හෙමි හෙමින් පාවෙලා ගියා.
කැසට් පීස් එකේසින්දුව පටන් ගත්තෙ මැදක් හරියෙ ඉඳගෙන.
වියටදැයි කියන්නෙ ලං ලං වී...
අක්කගෙ දුක වෙනුවෙන් සහසම්පනය වෙමින් මුලු
ඇඟම හිරිගඩුපිපෙන හීතලක් දුවවන දුකකින් ඇලලිලා යනව ඇරෙන්න අක්ක වෙනුවෙන් මට කල
හැකි වෙන කිසි දෙයක් තිබුනෙ නෑ.
නිහඬව සුසුමක
යා කල
දුක සුලඟෙක
යාදෝ
සිහිනය
සුපිපෙන ඈතක
දුර කොයි
කොතරම්දෝ..
අද පවා නිරෝශා විරාජනීගෙ හඬින් මේ ගීතය
තේරුමත් එක්ක ඇහෙද්දි මම ඒ සංවේදනා මතකය මතකෙට නගා ගන්නවා. නේවි කොල්ල කලේ ජරා
වැඩක්ද, මිනිහ මහ පාදඩයෙක්ද වගේ මොනවත්ම හිතන්නෙ නැතුව අක්කගෙ අවංක - කුලුඳුල්
ආදරේ කීරි ගැස්සෙන හැඟුම් එක්ක මං ඒකාත්මික උනේ මොකටද කියල අදටත් හිතාගන්න
බැරිවුනත් ඒක එහෙම වීම ගැන නන්නාදුනන සන්තෝසෙකුත් හිත අස්සේ හිරවෙලා ඒ සින්දුවත්
එක්කම කලතිලා ඒ සින්දුවට යටින් ගායනා කෙරෙනවා මට තාමත් ඇහෙන බවඅපේ අක්කවත් තාම දන්නෙ
නෑ.