Sunday, September 26, 2021

බෝල ගැසිල්ල



මේ ගමේ පාරට තාර දාන දවස්. පාර පුරා ගල් අතුරලා ඒව ගල් රෝල් වලින් තලනවා. කාපට් එක දැම්මම හොඳ කල එලියක් වගේම වැඩි ඉඩකුත් තියෙන බව හිතෙනවා. ඉස්සර කුඩා පටියක් වගේ මේ පාරෙ හැම අඩියකම අපි බෝල් ගහපු හැටි මගේ මතකෙට එන්නෙ දැන් නම් එහෙම බෝල් ගහන පොඩි අය දකින්න ලැබෙන්නෙ ඉතා කලාතුරකින් නේද කියල හිතෙන ගමන්මයි.  

ක්‍රිකට් ගහනව කියල නෙමෙයි, අපි ඒ කාලෙ කිව්වෙ බෝල් ගහනව කියල. දැන් නං පාරෙ  ඒ තැන් දකිද්දි අපි ඉස්සර කොහොම බෝල් ගැහුවද කියලත් හිතාගන්න බැරි තරං. තනියම හිනත් යනවා. ඒ තරං පටු පාරක, වංගු සහිත පාරවල්වල දෙපැත්තෙම කැලෑ, කණ්ඩි හෝ වගුරු නැත්නම් කුඹුරු තියෙන පටු තීරුවක් අපි බෝල් ගහන්න තෝරගත්තෙ ඇයි කියලත් කෙනෙක්ට හිතෙන්න පුලුවන්. එත් අපි ඒ වගේ තැන්වල මාස ගණන් පිස්සො වගේ  ක්‍රිකට් ගැහුවා.

කොහෙන් කවුරු විසින් නිර්මාණය කළාද කියල හිතාගන්න බැරි, ඒත් අපි අපිම පියවරෙන් පියවර හදාගත්තු නීති රෙගුලාසි ඒ ඒ  ක්‍රිකට් පිටිවල සම්මතයන් උනා. බෝලෙ උඩින් වෙලට ගියොත් අවුට් වෙනව විතරක් නෙමෙයි, ගහපු කෙනාම ගිහින් ගේන්නත් ඕන. දනිස්සක් තරං එරෙන, පල් ගඳ ගහන වගුරේ ඇඟ කහන පදුරු අස්සේ අඩි තිය තියා බෝලෙ හොයනවා. ඒක අප්පිරිය හිතෙන අවස්ථාවක් උනත් ක්‍රිකට් ගාය ඊටත් උඩින්. ඔය විදිහට ගහද්දි නිතර නිතර බෝල නැති වෙනවා. නැතිවෙච්ච බෝලයක් හොයද්දි කලින් දවසක නැති වෙච්ච බෝලත් හමුවෙනවා. නැතිවෙච්ච බෝල හොයන්න කෙමක් ඒ දවස්වල කවුරුත් දැනගෙන උන්නා. අල්ලට කෙල තැම්බක් ගහලා ඇගිල්ලකින් ඒ මැදට ගැහුවම වැඩියෙන් කෙල විසික්වෙන පැත්තෙ තමා බෝලෙ තියෙන්නෙ.

ලකුණු ගහන්න අසීරුම මේ ක්‍රීඩා පිටිවල ලොකුම ජයග්‍රහණය අවුට් නොවී ඉන්න එක. ඒකට හොදම නිදසුන කුලසිංහලගෙ ගෙදර ක්‍රිකට් පිටිය.

කුලසිංහලගෙ මිදුල පර්චස් තුන හතරක කුඩා බිම් කඩකට සීමා වෙන්න ඇති. පටු තීරුවක්. එක පැත්තකින් ගේ. අනිත් පැත්තෙන් පොඩි බෑවුම. ඊටත් එහා වෙල. පහර දෙන්න පුලුවන් ඉස්සරහට විතරයි. නමුත් හයේ සීමාවෙන් එහා පැත්තට බෝලෙ උඩින් ගිහින් වැටුනොත් අවුට්. අපි උපරිම උත්සහ කරන්නෙ අපි වටේ රොක්වෙලා ඉන්න දහයක් දොලහක් පිල්ඩින් කාරයො අතරින් බිම දිගේ ඇදිල යන විදිහට හතරේ පහරවල් ගහන එක. හයේ පාරක් ගහන එක හීනයක් තමයි. මොකද හය දශමයක් එහා මෙහා උනොත් ඉණිමක නිමාව. තවත් විශේෂයක් තිබ්බා. කුලසිංහලගෙ පිටියට ආවේනික වෙච්ච ක්‍රිකට් වාර්තා පොතක් දිනපතා අප්ඩේට් උනා. පිටියේ වැඩිම ලකුණු, අර්ධ ශතක ගාන, හොදම කැච් එක, හොදම ෆිල්ඩින් එක වගේ නානාප්‍රකාර හෑලි ඒකෙ ලිව්වෙ සමීර කුලසිංහ.

මේ වගේ බෝල ගහද්දි වෙච්ච රසවත් සිද්ධි ඕන තරං. කසුන්ලගෙ ගෙට පල්ලෙහා බෝල ගහද්දි අපි ගැහුවෙ දෙබොක්කාවක. දෙපැත්තෙම අඩි හත අටක් විතර උසට කන්ඩිය. බොලෙ වේගෙන් ගැහුවම කන්ඩි දෙකේ කැරම් ඉත්තෙක් වගේ වැදි වැදී යනවා. ගහන්න පුලුවන් එකම ඉඩ ඉස්සරහට හෝ පස්සට. මේ වගේ පිට්ටනිවල ගහපු නිසාමද මන්ද අපිට වෙන වෙන ශොට් වලට වඩා ලේසිම කෙලින් ගහන්න විතරයි. දළු එකතු කරන්න ගිහින් එන රාජ අයියා හැමදාම විකට් ලෑල්ලට පා පහරක් එල්ල කරගෙන යන එක චාරිත්‍රයක්.

ඉදුනිල් සයි බෝලෙ දැම්මෙත් අත පස්සට රවුමක් කරකවලා කැටයම් දෙක තුනක් දාලා. නුවන් බෝල ගහන්න එන්නේ  සිරිමත් මගෙ සකී - යහපත් ළමයෙකී වගේ ටී ෂර්ට් එක කොට කලිසමට යට කරලා ෂර්ට් එකේ උඩ බොත්තමත් පියවගෙන. කසුන් බැට් එක ඇල්ලුවෙ දොදොල් හැදිගාන්න වගේ. අමිලගෙ තාත්ත ඩිපෝවෙන් ගෙනාපු රතුපාට පිට ලෑලි බැට් එකෙන් ගැහුවම බැට් එක දෙදරනව විතරයි. බෝලෙ යන්නෙ නෑ. සපිරි තමයි එයාලගෙ ක්‍රීඩා පිටියෙ නීති රීති සුපිරියටම දැනගෙන හිටියේ. ඒව වෙනුවෙන් පෙනී සිටියේ.

අපි චූටිම කාලෙ බෝල ගැහුවෙ අපේ ගෙදර මිදුලෙ. ගෙට තරමක් ඈතින් තිබ්බ ටොයිලට් එකේ මහත, ඝනකම වදුරැස්ස බිත්තිය විකට් එක විදිහට සැලකුනා. අහම්බෙන් දවසක දෙකක බෝලෙ දොර යටින් රිංගලා ඇතුලට යනවා. ගියොත් නොවරදවාම පෝච්චි කටේම තමයි නතර වෙන්නෙ. ඉතින් අතින් නාල්ලා බෝලෙ ගන්න සෑහෙන දුකක් විදිනවා. හෝදල, බිම ගහල ආයෙම සෙල්ලං කරනවා.

අසංකලගෙ ගෙදර ලග බෝල ගහද්දි පාරෙ ගමන් කරමින් උන්නු ආච්චි කෙනෙක්ගෙ කම්මුලට බෝල් පාරක් වැදිලා කුනුහරුප අහගත්ත දවස අද වගේ මතකයි. අසංකලගෙ වීදුරු ජනේලෙකට හරි බෝලෙ වැදුනම අපේ කටවල් ඇඹරිලා උරහිස් ඇකිලෙනවා. කන් දෙක අත් දෙකෙන් වහගෙන දෙකට නැමෙනවා. ඒ දවස්වල අසංකලගෙ ගෙදර බිත්තියේ බෝලවල හැඩේට මඩ පාට රවුම් රවුම් සිය ගාණක් නිකං මෝස්තරයක් වගේ ඇඳිල තිබුනා.

තවත් දවසක පාරෙ බෝල ගහද්දි  නැතිවෙච්චි බෝලයක් හොයද්දි කුනුගොඩක තිබිලා ඇල්වතුර පාට හුලං ගියපු බැලුම්බෝලයක් වගේ එකක් අහුවුනා. ලොකු අයියල දෙතුන් දෙනෙක් මූනට මූන බලාගෙන හිනාවෙවී අමුතු ආතල් එකකින් ඒක කෝට්ටක අමුණලා පාරට ගෙනාවා. මේකෙ මැජික් ගතියක් තිබුනා අපිට නොතේරුනු. කවුරු කවුරුත් අමුතුවෙන් හිනා උනා. ඒත් හරියටම ඒ මොකක්ද කියල දැනගත්තෙ ඊටත් ටික කාලෙකට පස්සෙ

කොහොමටත් ඉස්කෝලෙ පිට්ටනිය වගේ ලොකු ලොකු තැන් අපිට මැච් ගහන්න මැච් උනේ නෑ. ඒ වගේම ඒ තැන්වල බෝල ගහද්දි අපිට වරප්‍රසාද හිමි උනෙත් නෑ. බෝල වැඩිය එන්නෙ නැති පැතිවල ෆිල්ඩින් කරන්නත් අහම්බෙන් බෝලයක් දෙකක් ගහන්නත් විතරක් අවස්ථාව ලැබුනු නිසා මම නං ඒ තැන් වලට ගියේ හරිම අඩුවෙන්.

එහෙම බලද්දි අපි පොඩි කාලෙ තිබුනෙ මුලු රට පුරා පැතිරිච්ච අමුතුම ක්‍රිකට් සංස්කෘතියක් තිබුනා කියල හිතෙනවා. පාරක තොටක විතරක් නෙමෙයි, ගෙවල් ඇතුලෙ හරි පන්ති කාමර ඇතුලෙ හරි කොල ගුලි ගහගෙන බැට් එකට සීආර් පොත් අරගෙන බෝල ගැසීමත් වෙනමම රහක් ගෙනාවා.  ගෙවල්වල බාල්ක වල නූලක් එල්ලලා මේස් එකක දාපු බෝලවලට තනියම බැට් එකෙන් ගහන්නත් තිබ්බෙ පුදුම උණක්. පුංචිම කාලෙ මම බෝල් දාන්න පුරුදු උනේ පේරගැට වලින් මිදුලෙ ගොඩගහල තිබ්බ ගඩොල් ගොඩට පන්දු යවල. පාරක තොටක හන්දියක් හන්දියක් ගානෙ අපි වගේම පොඩි අය ක්‍රිකට් ගැහුවා. ගෙවල් ඇතුලෙ වන් බවුන්ස් ක්‍රිකට් ගහන්නත් උනන්දු උනා. අනූ හයෙන් පස්සේ තිබ්බ හැම ලෝක කුසලානයක්ම නිදි මරාගෙන සමපෝෂ ගුලි හදාගෙන ඒව කකා ෆයිනල් ඇවිල්ලත් පරදින අවාසනාවන්ත ලෝක කුසලාන නැරඹුවා.

තරුණ වියට එලඹීමත් එක්ක අවසන් උන ඒ බෝල ගැසිල්ලේ උන්මාදය දැන් විතැන් කරගන්නෙ යූ ටියුබ් එකේ ලෝකෙ කෙහේ හරි විකාශය වන මැච් එකක් බලලා. මැච් වල හයිලයිට් බලලා. හදිසියෙන් හරි කට්ටිය සෙට් උනොත් පැයකට හරි ක්‍රිකට් මැච් එකක් ගහලා. ශෙහාන් කරුණාතිලකගෙ චයිනමන් පොතේ ඉන්න බේබදුකාර ක්‍රිකට් විචාරකය වගේ අපිත් මැරෙන තුරාවට ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන එක්තරා පිස්සො ජාතියක්ද මන්දා.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...