Wednesday, June 1, 2022

හැන්දෑවරු

 



ගාලු කොටුවෙ හවසක් කියන්නෙ වචනෙන් කියන්න බැරි අත්දැකීමක්. කොහොමටත් ගාලු කොටුව ඇතුලෙ රවුමක් ගහන එක ඇතිකරන හැඟීම අන් කවර අත්දැකීමකටත් වඩා වෙනස්. මට හැමවෙලාවෙම දැනෙන්නෙ මං නන්නාඳුනන විදෙස් රටක ඇවිදිනව වගේ දැනීමක්. ඉස්සර - මීට අවුරුදු දෙක තුනකට කලින් මායි ඩිලක්ෂනුයි හැම සතිඅන්කෙම වගේ ගාලු කොටුවෙ ඇවිදින්න ගියා.

සමහරක් දාට කලුවර වැටෙනකම්ම අපි ඔහේ වැතිරිලා ඉන්නවා. ඇත්තටම අපි කරන දෙයක් නෑ - අපි දෙන්න කතා බහ කරන්නෙත් නැති තරං. තේරුමක් ඇතිව හෝ නැතිව ඔහේ මුහුද දිහා බලාගෙන ඉන්නවා. කාලය ඔහේ හුලඟෙ ගහගෙන යනවා. අන්ධකාරෙ තැවරිච්ච නන්නාඳුනන මිනිස්සු අපිව පසුකරගෙන ඇවිදිනවා. ළමයි සරුංගල් අරිනවා. සමහරු ක්‍රිකට් ගහනවා.  අහසක් කියල කිව්වට අපේ ඔලුවට උඩින් මේ තියෙන්නෙ නිමක් නැති - තෙරක් නැති හිස්ම හිස් අවකාශයක් නේද කියල මට මොහොතකට හිතෙනවා. මම කොටුව උඩ මොහොතකට හෝ කොටු නොවෙච්චි ජීවියෙක් වගේ හාන්සිවෙලා  ඒ මහා හිස්කම දිහාට ඇස් ඇරගෙන ඉන්නවා. ඒ වලාකුළු ඇබින්දක්වත් නැති හිස්ම හිස් අහසක්. ඩිම්බයක් හොයාගෙන යන ශුක්‍රානුවක් වගේ වල්ගය නලියන නයාපට්ටමමක් වරින් වර මගේ ඇසට හසුවන මායිමේ පාවෙනවා.

පළවෙනි කවිපොත නම් කරන්න ඕනත් හැන්දෑව කියල බව හැන්දෑවකින් මන්මත්වෙච්චි එක්තරා හවසක මං හිතුවා. හිතේ මොකක්දෝ සහනයක් - සංයමයක් ඇතිකරනසුලු දැනීමක් හැන්දෑවක තැවරිලා තියෙනවා. ඒ අන්ධකාරයයි, ආලෝකයයි මුහුවෙච්ච සංක්‍රාන්ති මොහොතේ සදාකාලිකවම ලෝකය නතර වෙලා තියෙනවනම්...

ඉස්සර පේරාදෙණියෙ අරුනාචලම් එකේ අඹගහ ලඟ බංකුවට වෙලා ඒ ඉදිරියේ තියෙන පිට්ටනි තුනේ දුවන - ඇවිදින - සෙල්ලම්කරන ළමයි මිනිස්සු දිහා වගේම පාරෙ ඈත කෙලවරට වෙනකං ඇදෙන යාන වාහන දිහාත් බලා ඉන්න එකේ කියාගන්න බැරි මිහිරියාවක් තිබුනා. පේරාදෙනි අහස යට මේ වෙලාවට නොයෙක් මාළු රෑන් රෑන් පීනන මාළු ටැංකියක් වගේ. එල්ලයක් නැතිව මගේ ඇස් ඒ සමස්තය දිහාම එල්ලවෙලා තියෙනවා. කල්පනා බැමි ලිහිල අයාලේ ඇදී යනවා. නිශ්චිත අරමුණක් නැතිව හැඟුම් විසිරිලා යන මේ වගේ වෙලාව දන්න අඳුනන කවුරුවමත්ම මුන නොගැසේවා කියල මගේ ඇතුළු හදවත ප්‍රාර්ථනා කරනව

ඒ ලෙවල් කරන කාලෙ හවස පන්ති ඇරිලා හියාරෙ හන්දියෙන් බැහැල කිලෝමීටර් තුන හතරක දුර පයින් ගෑටුවෙ පුදුම ආසාවකින්. කල්පනාවකට කරට අත දාගෙන ඒ තනිකම් හැන්දෑවෙ ඇවිදින එකෙන් ලැබෙන ආශ්වාදය වෙන කොහෙන්වත් ගන්නත් බෑ. ඇත්තටම ඒකට කියන්නෙ කල්පනා කරනව කියන එකද නැත්නම් කල්පනාවක් නැතිව හිත හිස්ම හිස් කරලා ඒ හිස්කමේ ප්‍රමෝදෙන් වල්මත්වෙන එකද කියන්න මං හරියටම දන්නෙ නෑ.

මං ලියන්න ගත්තෙ හැන්දෑව ගැන ද, කල්පනාවක් නැති කල්පනාවක තියෙන ආශ්වාදය ගැන ද, තනිකමේ සෞන්දර්යගැන ද කියල හිතාගන්නවත් බෑ. ඒ හැමකක්ම කවලම්වෙච්ච මේකත් අයාලේ ගියපු ලියමනක් ද මන්දා...

 

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...