මේ සටහන උපුටා ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා කියන මාර්ටින් වික්‍රමසිංහගේ 85වන ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පොතෙන්. ඔහුගේ පුත් රංග වික්‍රමසිංහ මේ පොතේ එක් පරිච්ඡේදයක තම තාත්තා ගැන අව්‍යාජ සටහනක් පළ කරනවා. පහතින් දැක්වෙන්නේ ඒ සමස්ත සටහනයි.
"
ඕ ම ආදරී, ඕ
ම ආදරී
ඕ මා ආදරී, චන්දරා
බෝ පෙමාදරයෙන් විසූ මට
වෙන්වුනා මගෙ චන්දරා ''.
ඇස් ඇරෙනවාත් එක්කම ශබ්ද
නගා කියන මේ සින්දුව මට ඇසේ. මට පුරුදුව තිබුණේ හිස උතුරට ලා නිදාගන්නටය. මගේ වම්
පැත්තේද,
දෙපා
පැත්තේද වූ කවුළුවලින් ඇතුල්වන අලුයම එළිය, ලා නිල් පැහැති සාලයේ
බිත්ති මත වැටී කනමැදිරියන්ගේ වැනි මෘදු ආලෝකයක් මතු කරයි.
සිංදුව ඇසෙන්නේ කවුළුවලට
පිටින් වූ ආලින්දයෙනි. ගායකයා තාත්තාය. උතුරින් වූ බිත්තියේ එල්ලන ලද ඔරලෝසුවේ නාද
තැටිය එක වරක් වදියි. ඔළුව හරවා ඔරලෝසුව දෙස බලන්නටත් පෙර වෙලාව උදේ පහමාර බව මා
දැන සිටියේ,
සෑමදාම
පහමාරට මිනිත්තු කිහිපයකට පෙර අවදි වෙන්නට මා ඇබ්බැහි වී තිබූ නිසාය. මේ
ඇබ්බැහිකමට හේතු වූයේ කුකුළා හැඬලීම නොව තාත්තා උදේ පාන්දර සිංදු කියමින් නංවන
හඬය.
මාත් අක්කාත් රෑ නිදා ගත්තේ
සාලය මැද බිම අතුරන ලද පැදුරු මතය. අයියලා දෙදෙනා නිදා ගත්තේ ගෙයි උතුරු සීමාව වූ
කාමරයේය. ලොකු නංගී අම්මාගේ කාමරයේ තොටිල්ලක නිදා ගත්තාය. මේ කාලයේ පොඩි නංගී ඉපදී
නැති බව මට මතකය. නෑදෑයෙකු අපේ ගෙදර නවාතැන් ගත් දිනයක බාල අයියාට ද රෑ නිදන්නට
සිදු වූයේ සාලයේය. තාත්තා දිනපතා පාන්දර පහටත් පෙර නැගිට කන්තෝරු කාමරය නමින් අප
හැඳින්වූ ඔහුගේ පුස්තකාලයට යයි. ලේක් හවුසියේ රැකියාව කළ ඔහු එකල වැඩ නිමකොට ආපසු
ගෙදර ආවේ රෑ දහයට විතරය. ඔහු එන විට අප අවදිව සිටියේ කලාතුරකිනි. තාත්තාගේ නිදන
කාමරයේ දොරකඩ,
මා
නිදාගත් සාලයට මුහුණලා තිබූ බැවින් ඇතැම් විට තාත්තාගේ පැමිණීම නිසා මම අවදි වීමි.
කන්තෝරුවෙන් ආ ගමන් තාත්තා ඇඳුම් මාරුකොට, මුහුණ කට සෝදා, රෑ
කෑම කයි. අනතුරුව ඔහු රෑ එකොළහ දොළහ වන තෙක් පොතක් කියවයි.
" රෑ වෙලා.........දැන්
නිදාගන්න ''
යි
අම්මා කියනවා මට ඇසෙයි. එහෙත් තාත්තා බිහිරෙකු මෙන් පොත කියවයි.
මෙසේ රෑ වනතුරු පොත් කියවා
ඉන් අනතුරුව නිදන්නට යන තාත්තා පාන්දර පහට පමණ නැගිට ඔහුගේ පුස්තකාලයට යයි.
තාත්තාගේ පුස්තකාලය පිහිටියේ මා නිදාගත් සාලයට යාබද ආලින්දයේ දකුණු කෙළවරේය. එය
අඩි දොළහක් විතර දිග - පළල ඇති හතරැස් කාමරයකි. තාත්තාගේ ලියන මේසයට පසුබිම වූයේ
පොත් රාක්ක වලින් වැසුණ බටහිර බිත්තියයි. මේසයට වාඩි වූ විට පුස්තක ලයේ දොරකඩ
තුළින් ඔහුගේ දෑස යොමු වුයේ නැගෙනහිර දෙසටයි. පොත් වලින් බර වූ රැක්ක වලට මුවා වීම
නිසා බිත්ති හතරින් වැඩි කොටසක් නොපෙනේ.රාක්කවල වූ විවිධ පාට වලින් යුතු උස් -
මිටි මහත - හීන්,
බර
සැහැල්ලු,
අලුත්
- පරණ යනාදි නොයෙක් ආකාරයේ පොත්වල නඩත්තුකාරයා වූයේ තාත්තාය. ආලින්දයේ සිට
පුස්තකාලය දෙස බැලූ ඇතැම් විටෙක රතු,නිල්, කොළ, දුඹුරු, කළු, සුදු, සහ ආදී නොයෙක්
පාට පැල්ලම්වලින් යුතු පොත් රාක්කය මට පෙනුනේ බටහිර බිත්තියේ රාමු කරන ලද දැවැන්ත
සිතියමක් ලෙසිනි.
තත්තා පාන්දරින් නැගිට
පුස්තකාලයට ගොස් පොත් ලියයි; කියවයි. අනතුරුව ඔහු හීන් කෙඳි වලින් යුත් දුවිලි
පිහා දමන අස්සක් ගෙන පොත් රැක්ක ඉදිරියේද, ආලින්දයේ ද එහාට මෙහාට
කඩිසර ලෙස සක්මන් කරයි. සක්මන් කරන ගමන් ඔහු පොත් රාක්ක සහ බිත්තිවල දුවිලි පිස
දමයි; මකුළු
දැල් කඩයි;
සිංදුවකින්
කොටසක්ද සද්ද නගා කියයි. වරින් වර පොත් රාක්කයක් ඉදිරියේ නැවතී පොතක් අතට ගෙන, කන්නාඩි
කුට්ටම නළලට ඔසවා,
පොත
දසට ළං කර පිටු කිහිපයක් පෙරළමින් කියවයි.
ඔහු ඇබ්බැහි වී තිබූ ව්‍යායාමය ලබා දෙන මේ
දිනචරියාව නිසා පොත් රාක්ක - වල දූවිල්ලක්, මකුළු දැලක් දකින්නට නැත. තාත්තාගේ
මේ ඇබිබැහි කමේ ඉතා වැදගත් ප්‍රතිඵලයක් මා වටහා ගත්තේ මෑතකදීය.
පොත්වල දුවිලි ගසන විට යම්
කිසි පොතක මාතෘකාවක් යම් කිසි ගැටළුවකට හෝ කරුණකට අවධානය යොමු කරයි. ඔහු ඒ පොත අතට
ගෙන පිටු පෙරළයි;
අතරින්
පතර පිටු කිහිපයක් කියවයි. ඇතැම් පිටුවල ඔහුම පෙර පැන්සලකින් කළ සටහනක් ද කියවයි.
අවුරුදු බොහෝ ගණනාවක් තිස්සේ දිනපතා මෙසේ පොත් පත් ආසාවෙන්, කුතුහලයෙන්
අතපත ගා පෙරළා බලා කියවීමෙන්, සටහන් තැබීමෙන්, පොත් සහ ඔහුගේ මතකය
අතර වැඩුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා තාත්තාගේ පුස්තකාලය ශරීරයෙන් පිටත වැඩෙන තම
මොලයේ කොටසක් වැන්න. ඔහුගේ පුස්තකාලයේ පොත් දහස් ගණනක් තිබු නමුත් ඒවා ක්‍රමවත්
නාමාවලියක් අනුව සකස් කර තිබුණේ නැත. එහෙත් අසූ අවුරුදු වියෙහිදී වුව, යම්කිසි
පොතකින් උපුටා දක්වන ලද පාඨයක් ගැන ඔහුගෙන් විමසු විට පොත් හය දහස අතුරින් වුවමනා
පොත තෝරා අවශ්‍ය තැනට පෙරළා විමසන්නාට පෙන්වීමට ඔහුට විනාඩි දෙක තුනකට වඩා ගත වූයේ
ඉතා කලාතුරකිනි.ඔහුගේ මේ පුදුම ධාරණ ශක්තිය වැඩිමට ද ඉහත කී ඇබ්බැහිකම වැදගත්
උත්තේජනයක් වි යයි මම සිතමි.
පාන්දර මෙසේ දූවිලි ගසමින්
ආලින්දයේ සහ පුස්තකාලයේ සක්මන් කරන ගමන් තාත්තා ගැයූ සිංදු තුනක් මට හොඳින් මතකය.
ලේක් හවුසියේ වැඩ කළ ජයවර්ධන මහතාගේ, " ඕ ම ආදරී චන්දරා " යන
සිංදුව,
"Oh my darling Clementine '' යන ඉංගිරිසි සිංදුවේ අර්ථය
සහ කාලය අනුව සකස් කරන ලද්දකි. මුනිදාස කුමාරතුංග මහතාගේ " හා
හා හරි හාවා''
යන
සිංදුව සහ ජෝන් ද සිල්වා මහතාගේ සිරි සඟබෝ නාටකයේ එන " දන්නෝ
බුදුන්ගේ ''
යන
සිංදුව තාත්තා නිතර කී අනෙක් සිංදු දෙක විය. මේ සිංදු තුන මට කට පාඩම් වූයේ කුඩා
විෂයෙහි සිට තාත්තා උදේ පාන්දර කළ ගායනාව ඇසීමෙනි. එහෙත් සිංදුවල නියමිත තාලය මා
ඉගෙන ගත්තේ තාත්තාගෙන් නොවේ. තාත්තා ඕනෑම සිංදුවක් හෝ කවියක් හෝ ගායනා කරන්නේ ඉතා
සරල ඒකාකාර තාලයක් අනුවය. මේ අඩු පාඩුව පිරිමහන්නට දෝ ඔහු හිටි හැටියේ සිංදුවේ
කොටසක් ගිරිය යටින් පිටවන උස්
වූ ස්වරයකින් ගායනා කරයි. මෙයින් සිංදුව තවත් විකට හඬකට හැරේ. තාලයට
පමණක් කන් දීමෙන් නම් තාත්තා ගයන්නේ ' ඕ ම ආදරී චන්දරා " දන්නෝ
බුදුන්ගේ ''
'' හා
හා හරි හාවා
" යන
සිංදු වලින් මොන එකදැයි තීරණය කිරීම ඉතා අමාරුය. නූගත් ගැමියෙකු කියන ජනකවි සිහි
කරවන ගතියක් තාත්තා ගීත ගැයූ තාලයෙන් මතුවී යැයි මම සිතමි. ", නියමිත
කාලයට හාත්පසින්ම වෙනස් යැයි අප කවටකම් කළ නමුත් ඔහු එය පිළිගත්තේ නැත. වරක්
හියුබත් රාජපක්ෂ විසින් තැටි ගත කරන ලද දන්නේ බුදුන්ගේ '' සිංදුවට
කන්දීමෙන් පසු
" මම
කියන්නෙත් ඔය තාලයට තමා ''
යි
කීවේ හාස්‍යජනක ස්වරූපයෙන් නොවේ. තමා කළ කී දෙයකට පටහැණි මතයක් පිළිගන්නට තාත්තා
මැලි වුවත්,
ප්‍රත්‍යක්ෂ
කරුණක් පැහැදිලි ලෙස පෙනවා දුන් විට ඔහු එය පිළිගනියි. ඔහුගේ ගායනා විලාසය ඒකාකාරී
යයි ඔහු නොපිළිගත්තේ මුරංඩුකමකින්ම නොවේ
යැයි මම සිතමි.
තාත්තාට වර්ණ විකෘති ලෙස
පෙනෙන බව ප්‍රකට නොවූ කරුණකි. අම්මා නම් ඔහුගේ මේ අඩු
පාඩුව ගැන හොඳින් දැන සිටියේ ඉන් ඈට විඳින්නට වූ අලාභ නිසාය. අම්මා ඇතැම් විටෙක
ඔහු ලවා යම් කිසි පැහැයක රෙදි කෑල්ලක් සාප්පුවෙන් ගෙන්වූ ඈට ලැබෙන්නේ වුවමනා කළ පාටට හාත්පසින් වෙනස්
එකකි. එහෙත් වර්ණ විකෘති ලෙස පෙනෙන තාත්තාට වරද නොවැටහෙයි. ඔහු වර්ණ විකෘති ලෙස
දකින්නෙකු වූවාසේම,
තාලය
ද විකෘති ලෙස ඔහුට ඇසෙනවා ඇතැයි මට සිතේ. නොයෙක් කලා ශිල්ප දෙසට ඔහුගේ අවධානය යොමු
වූ නමුත් ඔහු චිත්‍ර කලාව සහ සංගීත කලාව අරබයා යමක් නිශ්චය ලෙස විවරණය කිරීමට මැලි
වූයේය. ඔහුගේ යටකී සහජ විකෘතිය එයට හේතු වී යයි මම නිගමනය කරමි.
තාත්තා උද් පාන්දර සිංදු
කියමින් කරන ගෝසාව නිසා සාලයේ නිදා ගන්නා අක්කාටත් මටත් උදේ පහමාරට පසුව නින්දක්
නැත.
'' ප්‍රේමා, ඔය
කෝපි කෝප්පෙ ලෑස්ති නැද්ද?
"
තාත්තාගේ මේ වදන් ඇසූ විගස
නිදි වෙරියෙන් කම්මැලි හරිමින් උන් අක්කා හෝ මම, නැගිට දුව ගොස් අම්මා
හදා දුන් ලොකු කෝපි කෝප්පය රැගෙන තාත්තාට පිළිගනවන්නට පුරුදුවී සිටියෙමි.
තාත්තා හානසි පුටුවේ දිග
ඇදි, පුවත්
පතේ මුහුණ ඔබාගෙන එය කියවයි. පාතින් එබී බලමින් කෝපි කෝප්පය පිළිගන්වන්නට වෑයම්
කරන කුඩා මට පෙනෙනනේ එවකටත් පැසී තිබුණ ඔහුගේ සුදු රැස් වළල්ලක් වැනි අවුල් වූ
කෙස් වැටිය පමණය. යමක් කියවන්නට ගත්විට තාත්තා බීරෙකු වැන්න. මගේ කට හඬ ඇසී, ඔහු
පුවත් පත පහත් කරයි;
නොහඳුනන්නකු
දුටු සේ මගේ මුහුණ දෙස බලයි. එහෙත් මොහොතකින් ඔහුගේ මුහුණ පුරා සිනහවක් පහළ වෙයි.
මා දෑත දිගුකර දෙන කෝපි කෝප්පය අතට ගනියි.
එහෙක් අක්කත් මැත් උදෑසනින්
නැඟිට මෙසේ ක්‍රියා කිරීම,
කුඩා
අපගේ කීකරු බැතිමත් හැසිරීම කියා පාන්නක් වී යයි මට අවංකව කිව නොහැක. එකල තාත්තාට
ලේක් හවුසියෙන් ලැබුනේ සුළු වැටුපකි. මහන්සි වී පොත්පත් ලිවී- මෙන්ද ඔහු අමතර
මුදල් ලබා ගත් නමුත් ළමයින් හය දෙනෙකුට කවන්නට, පොවන්නට, ඇඳුම්
පැළඳුම් සහ පාසැල් පොත් සපයන්නට, පාසැල් ගාස්තු ගෙවන් නට එය ප්‍රමාණවත් නොවූ හෙයින්
අම්මාට ඉතා අර පිරි මැඟිල්ලෙන් වෙහෙසී වැඩ කරන්නට සිදු විය. ළමයින් වූ අපට සිරිතක්
වශයෙන් උදේට කෝපි බොන්නට නොලැබිණ. නමුත් තාත්තට දුන් ලොකු කෝපි කෝප්පයෙන් තුනෙන්
පංගුවක් පමණ ඉතිරි කොට කෝපි කෝප්පය ගෙන ගොස් ඔහුට පිළිගන්වන අක්කාට හෝ මට දීම, ඔහුගේ
සිරිත විය. තාත්තාට කෝපි වලින් කොටසක් ඉතිරි
කිරීමට අමතක වුයේ ඉතාම් කලාතුරකිනි. එවැනි දිනයක " ඇයි මට මතක් කරේ
නැත්තේ
" යි
ඔහු සිනාසී මගෙන් අසයි. එවිට ම ලජ්ජාවෙන් මිරිකුණේ බැතිමත් හැසිරීමේ වෙස්ගත් මගේ
කෑදරකම එයින් එළිදරව් වූ නිසා විය හැක.
'' හරිම ජරා කෝපි වගයක්. ප්‍රේමා
කොහෙන්ද මේ කෝපි ගෙනාවේ ''
යි
ආලින්දයේ හාන්සි පුටුවේ දිගාවී උන් තාත්තා ඇතැම් දිනක මොරගාමින් අම්මාගෙන් අසයි.
'' ඔය කෝපි මම නෙවි ගෙනාවේ. ඔය
කොළඹින් ගෙනා කෝපි'
යි
අම්මා ද පෙරළා මොරගාමින් පිළිතුරු දෙයි.
මෙසේ මොරගාමින් කතා කරන්නේ
දෙදෙනා අතර ඇති අසතුටක් නිසා නොවේ. අපට අන්දවා කවා පොවා වේලාවට පාසැලට පිටත් කරන
අටියෙන් අම්මා ආලින්දයෙන් එපිට ඈත කොනේ වූ කුස්සියට හෝ කාමරයට දුවමින් කලබල කරයි.
මේ නිසා දෙදෙනා අතර දෙබසක් කළ යුත්තේ මොරගාමීන්ය.
" වෙන්න බෑ. මම ගෙනාවේ
හොඳම කෝපි වගයක් ''
යි
තාත්තා යලිත් කියන්නේ සාමාන්‍ය කටහඬින් නිසා එය අම්මාට නො ඇසේ. මෙසේ පිළිතුරු දීම, ඔහු
කටින් නොපිළිගත් දේ,
සිතින්
පිළිගත් බවට කරන ඉඟියක් ලෙස මට වැටහේ.
තාත්තා පෙරවරු එකොළහට හෝ
දොළහට ලේක් හවුසිය බලා ගොස් ආපසු එන්නේ රෑ දහයට පමණය. සෙනසුරාදා හැර සතියේ ඉතිරි
දවස් හයේ ඔහු මෙසේ වැඩ කරයි. මේ නිසා ළමයින්ගේ දඟකාරකම් සහ අකීකරු කම් මෙල්ල
කිරීමේ කාරිය පැවරුණේ අම්මාටයි. ලොකු අය්යාගේ අත් උදව්වද මේ සඳහා ඈ යෙදවූ බව මට
හොඳින් මතකය. අම්මාගේ පැමිණිල්ලක් උඩ ඇතැම් විට තාත්තා රුදුරු වෙසකින් අපට තර්ජනය
කළ විට අප මහත්සේ බියවීමු. ඔහු ඉඳහිට සිහින් කෝට්ටක් ගෙන අපට තැලූ විට අප මර හඬ
නැංවුයේ වේදනාවට වඩා බියෙනි.
ළමයින්ට කරදර හානි සිදුවේ
යැයි තාත්තා වෙන දෙමාපියන්ට වඩා දැඩි බියෙන් හා සැකයෙන් ඇතැම් විට පෙලුනේ යැයි මට
හැඟේ. ඇබැද්දියක් නිසා අපෙන් එකෙකුට කරදරයක් සිදුවූ විට ඔහු එය සුළු වුව ද, මහත්
කොට සලකා,
අපටත්
අම්මාටත් දොස් නඟයි;
මහත්
සිත් තැවුලෙන් පසුවෙයි. දැඩි නොසන්සුන් ගතියකින් පෙලෙන විටෙක ඔහුගේ දොස් නැඟිම්
වලට සහ බැනුම්වලට ඉලක්කය වූ අම්මා කරබාගෙන සිටින්නීය; කරබාගෙන
නොසිටි අවස්ථාවක තාත්තා පිඟානක් පොළොවේ ගසා පොඩි කරමින් දැඩි කෝපය උතුරුවා හැරිය
සැටි මට මතකය. දැඩි නොසන්සුන් ගතියක් ඇති කරන යම්කිසි සිද්ධියක් කියා තැවුල් වූ
සිතින් පෙළෙන විට තාත්තාගේ ශරීරය ද දුර්වල වෙයි; බඩ පිපෙයි; කෑම
අප්‍රිය වෙයි;
ඇතැම්
විට මල බද්ධයෙන් ද තවත් විටෙක අජිරණයෙන් ද පෙළෙයි; හින්ද නොයයි; ඇතැම්
විට හීනයෙන් බයවී නින්දෙන් රෑ යාමයේ කෑගසයි. තාත්තාගේ සිහින ලොවට මාද අකමැති හවුල්
කාරයෙකු වුයේ ඔහුගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට විවෘත වූ
බැවිනි.
...... තිගැස්සී ඇස් ඇරිය මට
කළුවර සාලයේ එක බිත්තියක් යන්තම් සුදට පෙනෙයි. ගැඹුරු කට හඬක් බිත්තියේ වූ කළු
දොරකඩින් පිටවෙයි. අමනුස්ස බසකින් දොඩන්නක් වැනි ඒ අනන් මනන් නතර වනවාත් සමඟම
තියුණු උස් හඬකින් කරන අඳෝනාවක් මට ඇසේ. මේ දෙබස පිට වන්නේ තාත්තාගේ මුවින් බව මම
දැන සිටියෙමි. වරක් තර්ජනංනාකාර කටහඬක් ඇසෙයි; මොහොතකින් එය බියෙන් කෑ
ගසන්නෙකු තියුණු ස්වරයකින් නගන අදෝනාවකට හැරේ. හඬවල් දෙකම එකවරට දොඩන්නක් මෙන් ද
විට ඇසෙයි. සිතල වූ මගේ හමේ සිරිගඩු පිපි දහඩිය මුතු වෙයි.
කුඩා දරුවෙකු සනසන්නාක් මෙන් මෘදු
ස්වරයකින් කියන වදන් දැන් මට ඇසෙයි. ඒ සිහිනෙන් බිය වූ තාත්තා අමතන අම්මාගේ කට හඩයි.
කෙමෙන් තාත්තාගේ
භයානක දෙබස නතර වෙයි.
කෙමෙන් '' මම හීනෙන් කෑ ගැහුවා ද '' යි
තාත්තා සෙමින් කියනු මට යන්තම් ඇසෙයි.
දරදඩුව උන් මම අත් පා බුරුල් කරමි...
තාත්තාගේ මනස තුළ ඇතැම්විට
හොල්මන් කළ අදුරු සෙවනැලිවලට හේතු වූ අතීතය පිළිබඳ ඉඟියක් ඔහුගේ ආත්ම චරිත කථාව වන "උපන්දා
සිට"
සහ
ඔහුගේ සමහර කෙටිකථාවලට මෙන්ම නවකතාවලට ද පිවිස ඇතැයි මට සිතේ. තාත්තාගේ දෙමාපියන් යමක් කමක් තිබුණු
කුලීනයෝ වූහ. ඔවුන් කෙමෙන් පිරිහී දිලිදු බවට පත්වීමේදී තම දූ දරුවන්ගේ අනාගතය
අරඹයා ඔවුන් තුළ ඇති වූ බිය, වේදනාව, සැකය, ලජ්ජාව, කළකිරිම
සහ අසරණකම විදි යනාදී හැඟීම් තාත්තා අතීතයෙන් ලැබූ අත්දැකීම් වලට සම්මිශ්‍රණය වී
ඔහුගේ යටි සිතෙහි සැඟවී සිට වරින්වර මතු වී හොල්මන් කරන රූකඩ වැන්න.
ගැමි අතීතයෙන්
ලත් අත්දැකීම්වල බලපෑම තාත්තායන් ගති සහ ඇබ්බැහිකම් තුළින් වටහා
ගැනීම අමාරු නැත. ඔහුගේ ඇතැම් ගතියක් පාරම්පරිකව අපගේ හැසිරීම
තුළ ද පවතියි.
තාත්තාගේ බාලම මුනුපුරාවක මගේ තුන් ඇවිරිදි පුතා " පුකේ
වැඩක්"
වදන නැවත නැවතත් හඬ නගා කියමින් මිදුලේ එහාට මෙහාට දුවයි. අමුත්තෙකු සමග කථා කරමින්
උන් අම්මා මගේ බිරිඳ දෙස බලා ඇගේ මුනුපුරාගේ යන වදන් නෑසුනාක් මෙන් පෙරට වඩා ටිකක්
ශබ්ද නගා අමුත්තා අමතන්නීය. එහෙත් සිංදුවක් කියන්නාක් මෙන් තියුණු හඬින් කියන ලද
පොඩි එකාගේ වදන් අමුත්තාගේ කට කොනට සිනහවක් නංවයි.
අමුත්තා පිටත් වී ගිය පසු අම්මා තාත්තාට දොස්
නැගුවාය.
‘සීයා කටට ආ එක කියන හින්දා
මේ පුංචි දරුවටත් නරක වචන පුරුදු වෙලා තියෙන්නෙ ''
'' සියගෙන් විතරක් නෙවි, තාත්තගෙනුත්""යැයි
මගේ බිරිද සිනාසෙමින් කීවාය. තාත්තා ලියන කියන වහර තුළින් ඔහුගේ ගැමි අතීතය
පිළිබිඹු වෙයි. එහෙත් එය නිර්මල ලෙස මතු වන්නේ ඔහු කිසිවෙකුට බැන වදින විටදීය. " උන්
ඉංග්‍රීසිකාරයින්ගේ රිඹ ලොවින්න පුරුදු වූ අනුකාරකයෝ ''; හුළං
බූරුව ''
යන
මෙවැනි වැන්වලින් යකුට බැන වදිනව, ඇසු අපි හොඳට සිනාසුනෙමු. ග්‍රාම්‍ය, අවිනීත
ලෙස සලකා නගරිකයෝ මෙවැනි වදන් පිළිකුලින් බැහැර කරති. එහෙත් ගැමි වහරේ එන මෙවැනි
වදන් අප සිත යෙමු කරන්නේ කෝපයට හා වෛරයට නොව සිනහවට සහ සමච්වලයට යයි බාල වියෙහි දී
වුව මගේ හැඟීම විය. තාත්තා යමෙකුට බැන වදිනවා ඇසුවෙකුට කෝපය සහ කළකිරීම පරිහාසය
සිනහවකට පෙරළීමෙන් එය පහකරන ගතියක් ගැමි වහරේ පවතින බවට ඉඟියක් ලැබෙනවා ඇතැයි මට සිතේ.
තමා නාගරික පරිසරයට අනුව
හැඩ ගැසුණු ගැමියෙකි යැයි තාත්තා කීවේය. මට මතක ඇති කාලයක සිට ඔහු සුන්දර මෝස්තර
ඇති ඇඳුම් අඳින්නට පළඳින්නට ආසා කළේය. ඔහු ගමනක් යන්නට ඇඳ පැළඳ ගත්තේ තම පෙම්වතිය
හමුවීමට යන්නට සැරසෙන තරුණයෙකු මෙන් ඉතා සැලකිලිමත්වය.
කන්නාඩියකින්සේ මුහුණ
පෙනෙන තුරු සාලයේ සහ ආලින්දයේ රතු සිමෙන්ති බිම ඔප නංවන්නට ඔහු ප්‍රිය කළේය.
සෙනසුරාදාවක ඉටි පොලිෂ් ගා සිමෙන්ති බිම ඔප නැංවීමේ කාරියට බාල අයියා සහ අක්කා සමග
මමද හවුල් කාරයෙක් වූයෙමි.
ඔහු යමක් කිරීමේදී සෑම විස්තරයක්ම හොඳට සොයා බැලුවේය. සිමෙන්ති පොළව බිත්තියට
යාවෙන තැන වූ පටු සිමෙන්ති ලිස්තරය වුව ද ඔප නැංවීමට ඔහු මහත් උනන්දුවක් දැක්
වූයේය. පරණ දත් බුරුසු පාවිච්චි කරමින් බිත්තියේ නොගෑවෙන සේ සීරුවෙන් පොලිස් ගෑම
අප නම් සැලකුවේ හරිම කරදරයක් ලෙසය.
ඔප නංවන ලද සිමෙන්ති බිම
දෙස මනැසින් හැරී බලන මට අද එහි මැවී පෙනෙන්නේ අප සමාජයේ විකාශනය පිළිබඳ ඔහු දැක්වූ
ආකල්පය පිළිබිඹු කරන මගේ සිතුවිලිය. අනුකරණයෙන් ඉංගිරිසිකාරයන් වන්නට දඟලන
නාගරිකයන්ට බැණ වදින ඔහු,
අනුකරණයෙන්
ගැමියන් වන්නට වෑයම් කිරීම ද, කුහක කමක් ලෙස සලකා එය සමච්චලයෙන් බැහැර කරයි.
ඔහු අපේ අතීතය හැදෑරුවේ
නටඹුන් සමාජයක් අනුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ ඇදී ඇති ඇතැම්
මුල් වඩා,
වත්මන්
සමාජය, සමාජවාදී
මානව භක්තියෙන්,
ස්වාධීන
චින්තනයෙන් සහ නිවහල් ජීවයෙන් පෝෂණය කිරීම පිණිසය.
තාත්තා අපගේ පාසැල් අධ්‍යාපනය
ගැන සොයා බැලුවේ ඉතා කලාතුරකිනි. පාසැලෙන් ලැබූ හොඳ රපෝර්තුවක් පෙන්වූ විට, තාත්තා
අපට පොතක් දෙකක් තෑගි කළේය. ඇතැම් විටෙක ඔහු සමඟ ඇම්. ඩී. ගුණසේන සාප්පුවට ගොස්
පොතක් දෙකක් තෝරා ගෙන,
බොදුන්
සැලකින් රස කැවිලි කා බී,
ගෙදර
ආ ප්‍රීතිමත් දවස් මට මතකය.
ඔහු අපට තෝරා ගෙනැවිත් දුන්
ආර්. ඇම්. බැලන්ටයින්ගේ '
කොරල්
දූපත' වැනි
පොත්වලින් අප ලැබූ,
මහත්
ආස්වාදය ඔහුගේ මුනුපුරන් ලබන්නේ ' මඩොල් දුව '' කියවීමෙනි. අප පොතක්
කියවමින් සිටින සමහර විටෙක ඔහු එය කුමක්දැයි විමසා, අතට ගෙන පිටු පෙරල
අතරින් පතර කියවයි. එය නුසුදුසු හෝ කබල් පොතක් වී නම්, කොක්
හඬ නංවමින් පරිහාසාත්මකව සිනාසී " හරිම ජරාවක් යයි කියයි. එහෙත් ඔහු යම් පොතක් නොකියවන
ලෙස අපට අණ නොකළේය. අප ඉගෙන ගත් ඇතැම් දේ ගැන, අප කුප්පන අන්දමින් තර්ක
කොට, කුහුල
අවුස්සා සිද්ධාන්ත වශයෙන් සැලකූ අපේ ඇතැම් මත ගැන තාත්තා අප තුළ සැකයක් ඇති කළේය.
ළමා වියෙහි නිතර දැකීමෙන්
මතකයේ කැටයම් වූ සිතියමක් මට මනැසින් පෙනේ. ලියන මේසය මත සෙම්බුවක හැඩහුරු කමින්
යුත් පිත්තල ලාම්පුවෙන් නික්මෙන එළිය, දැල්වෙන තිරය වට කරන විදුරු
විමිනිය තුළින් කහවත් ආලෝකයක් නිකුත් කරයි. ලාම්පුවේ එළියෙන් තාත්තාගේ හිසකෙස් සහ
ඔහුගේ අකුරු ලියැවෙන සුදු කඩදාසි එකසේ බබලයි. ලියන දෙයට යොමුවූ මුහුණ, පුළුල්
නලල් තලයෙන් වැටෙන වක්‍ර සෙවනැල්ලට මුවා වී යන්තම් පෙනේ. ලාම්පුවේ එළියෙන් නලල්
තලය දිලයි. බිත්ති වල වැටෙන මෘදු එළියෙන් යන්තමට පෙනෙන පොත් රැක්ක නිසොල්මන්ව බලා
සිටින පිරිසකගේ සෙවනැලි මෙන් දිස්වෙයි.
මා මිනසින් මැවූ මේ සිතුවම
අද සැබවින්ම ඔහුගේ මුනුපුරන්, මිනිපිරියන් දකින්නේ මේසය මතවන විදුලි ලාම්පුවක
එළියෙනි.
කල සන්තානයෙන් අප විසින්
කැටි කර ගන්න නොයෙක් මුහුනත් වලින් යුතු පළිඟුවේ අපට ඇතැම් විටෙක නිර්මල ලෙස
පෙනුනු ළමා අතීතයේ සිද්ධියක් අප තුළ මොහොතකට තියුණු බුද්ධියක් ඇති කරයි. මා තාත්තා
නිරූපනය කළේ මෙලෙස අතීතයෙන් ලත් බුද්ධියක් ඇතිවයි.
මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා
81 - 85 පිටු