දම්මි මිස් මට මිස් වෙච්ච චරිතයක් කියල හිතුනෙ මෑතක. දම්මි මිස් ගුරු උපදේශක කෙනෙක්. අවුරුදු 55 නම් පැනල ඇති. එයා මහතත් නැති කෙට්ටුත් නැති ඒත් කෙට්ටු පැත්තට බර කරල කියන්න පුලුවන් තරමේ ශරීරයක් තිබ්බ කෙනෙක්. සුදුයි. කොන්ඩෙ නම් ඉතින් ඒ වයසෙ ගැහැනුන්ට උරුම වෙන නකුටක් වගේ කොන්ඩ කෑල්ල.
එයා කාලයක් අපේ ඔෆිස් එකට යනව එනව උනත් මම ඔහේ යාන්තම් දැකල තිබුනත් නම මොකක්ද කියලවත් මේ කවුද කින්ද මන්ද කියලවත් ලොකුවට හොයන්න ගිහින් නැහැ. එක අතකට වයසක අය ගැන තරුණ අයගෙ අවධානය තියෙන්නෙ ඔයවගේ තැනක වෙන්නත් ඇති. තනතුරෙන් හෝ වෙනයම්ම විශේෂීබවකින් දිලිසෙන්නෙ නැත්නම් ඒ අය මේ ලෝකෙට අදාළ නොවන චරිත වගේ ගණන් නොගෙන ඉන්න ඉබේම වගේ පුරුදු වෙලාද මන්දා.
හැම අඟහරුවාදම අපි කලාප අධීක්ෂණ ගියා. මම සංවර්ධන නිලධාරී තනතුරේ. කලාප අධීක්ෂණ කියන්නෙ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරු හා ගුරු උපදේශකවරු එකතුවෙලා සතියකට වතාවක් කලාපයට අයත් පාසලක් අධීක්ෂණය කරන්න යෑමේ ක්‍රියාවලිය. මම ඒකට සම්බන්ධ වෙන්නේ අධීක්ෂණය අවසානයේ ගුරු මණ්ඩලයේ රැස්වීමට ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඒ ප්‍රසන්ටේෂන් එක හදන වැඩේ කරන්නත් එක්ක.
දවස් දෙකතුනක් යද්දිම දම්මි මිස්ගෙ ලොකු වෙනසක් මම දකිමින් තිබුනා. දම්මි මිස්ගෙ මවාගත්තු දැඩි බවක් හෝ මවාගත්තු කාරුණික බවක් නැහැ. ඇය තමාගේ හැඩයකින් තමයි අධීක්ෂණයට සහභාගී වුණේ. ඇයගෙ තිබුනෙ දයාබරිත බවක්. කරුණාවන්ත මවකගේ ගතිගුණ මුසුවක්. මුලින්ම මට ඒක තේරුනේ එක් සරල සිදුවීමක් නිසා.
අධීක්ෂණයට යන අයට පාසලෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන එක සාමාන්‍ය සිරිතක්. ඉතින් මේ තේ බොද්දි අධ්‍යක්ෂකවරුන්ට ප්‍රමුඛ තැන ලැබිලා අපි වගේ අය පසු බැහැලා අන්තිමට තමයි යන්නෙ. දම්මි මිස් මේ තේ බොන හැමවෙලේම මාව හොයනවා. කෝ සුමිත් තේ බිව්ව ද... එන්න පුතේ... තේ බොමු කියල මාව කැඳෙව්වෙ දම්මි මිස්. පස්සෙ පස්සෙ මට තේරුණා දම්මි මිස් මේක කරන්නෙ මට තියෙන පුද්ගලික කැමැත්තටත් වඩා ඇගේ දයාවේ එක්තරා ස්වභාවයක් විදිහට බව. මොකද ඈ ඒ බොහෝ අවස්ථාවල ඩ්‍රයිවර් මල්ලිටත් කතා කළ නිසා.
එක දවසක් අපිට අධීක්ෂණ සෙට් උනේ දුරබැහැර පාසලකට. මේකට සාමාන්‍යෙයන් පැය එකහමාරක වගේ දුරක් ගත වෙනවා. එදා වෑන් එකේ අපි හැමෝ වෙතම බොහොම රසවත්ව හදපු කඩල කෑම පෙට්ටියකුයි හැන්දකුයි පාස් වෙලා ආවා. ඒ කෑම පෙට්ටි හැම සීට් එකකටම එක ගානේ බෙදන බවක් පෙනුනා. හොයල බලද්දී මේ කඩල සකසාගෙන ඇවිත් තිබුනේ දම්මි මිස්. මම ඒක දැනගත්තේ අධීක්ෂණ අවසන් වෙලා ආපහු යද්දී හිස් කෑමපෙට්ටි ටික එකතු කරලා දම්මි මිස් බෑග් එකේ දා ගනිද්දී. මේක සුලු සිදුවීමක් ලෙස කාටම හරි හිතෙන්න පුලුවන්. ඒත් මම හිතනවා ඇගේ මේ ක්‍රියාදාමය පිටිපස්සේ තියෙන්නෙ ඈ මේ ලෝකය කෙරෙහි තියෙන්නේ වූ ස්නේහෙවන්තභාවය බව. ඇයගේ මනසේ නිරවුල්භාවය බව. ඇගේ මනසේ ඇති නිරෝගීභාවය බව. ලෝකයට දෙයක් දීමට තරම් ඇගේ මානසික සෞඛ්‍ය පොහොසත්ව පවතින බව. ඇය මේ ලෝකය සුහදත්වයෙන් වැලඳගන්නා බව.
දම්මි මිස් විවාහකයි. ඇයට ලොකු දරුවන් ඉන්නා බව මම අහල තියෙනවා. නමුත් ඒ කවුරුන්ද මොනවද කරන්නේ වගේ සංකීර්ණ කතා නම් දන්නෙ නැහැ. ඇය ඉතා පිළිවෙළට අඳිනවා, පළඳිනවා. ඈ මාව අමතන්නේ පුතේ යන නමින්. ඈ මට කාරුණිකයි. ලෙන්ගතුයි. ඒක විශේෂ බවක් නම් පෙනේනන නැහැ. ඇය හැමෝටම ඒ වගේ. පාසලේදී පන්තිකාමරයක් අධීක්ෂණය කළත් ඇගේ ඒ දයාබරභාවය ඇගෙන් ගලනවා.
රාජකාරී මොහොතවල්වල අපට පුතේ කියල කතා කරන අය ගොඩක් ඉන්නවා. සමහර ඩිරෙක්ටර්ලත් අපිව අමතන්නේ පුතේ නම් ලෙන්ගතු ආමන්ත්‍රණයෙන්. නමුත් දම්මි මිස්ගේ පුතේ... ආමන්ත්‍රණය ඒ සියල්ල අභිබවා දැනෙන බවක් මට දැනෙනවා. දම්මි මිස් වෙනුවෙන් අකලංක ආදරයක් මගේ ඇතුලේ පිළිසිඳිලා තියෙනවා. ඒක විරුද්ධ ලිංගික, ලිංගිකත්වය පදනම්වුණු ආදරයක් නෙමෙයි. නමුත් මම ඇයට ආදරේ ඇය විරුද්ධ ලිංගිකයෙක් නිසාමමත් තමයි. ඇගෙන් පෙරි පෙරී මා වෙත ගලන්නේ මාතෘත්වයේ සෙනෙහසක් ද? මා ඇගේ සෙවනැල්ල අසල ඉන්න කැමති ඒ දයාබර මාතෘත්වයට දක්වන ලෝලය නිසාද? නැත්නම් ඈ විශේෂයක් නොකර මානව සංහතිය වෙනුවෙන් අපරිමිත ස්නේහයක් නිර්ලෝභීව ප්‍රදානය කරන නිසද?
සුවහසක් මිනිසුන් අතරේ දම්මි මිස් වගේ මනුෂ්‍යත්වය යනු මෙයයි... යන්න පහදන, කියාදෙන චරිත ඉන්නේ ඉතාමත් සුලු පිරිසක් විතරයි. ඒ අතරිනුත් විවාහක, දරුවන්ද වැදූ වයසක කාන්තාවක් මෙලෙස සමාධි සුවයෙන් සිටීම පිළිබඳ මගේ සිත තුල ඇත්තේ විස්මයට බර වූ සන්තෝසයක්.
දම්මි මිස්ගේ තොරතුරු වඩ වඩා නොසොයා ඉන්න මම ට්‍රයි කළා. මොකද අපි කෙනෙක්ට වඩ වඩා ලං වෙන්න වෙන්න ඒ අයගෙ අපි නොදකින අඩුපාඩු, දුබලතා, කැත තැන් පේන්න ගන්න බව මම විස්වාස කරන නිසා. දම්මි මිස්ගෙන් පේන මේ ලස්සන, හෘදයංගම බව මනුස්සත්වය වෙනුවෙන් මැරෙන තුරා උදාහරණයට ගත හැකි ආකෘතියක් ලෙස ස්මරණයේ තබා ගන්න මම කැමතියි.