පවුල් ජීවිතයේ කචල්, අර්බුද කේන්ද්‍ර කරගත්
චිත්‍රපට බොහොමයක් බිහිවෙලා තියෙනවා. ඒ අතරින් රෙවලූෂනලි රෝඩ් සහ ඇමරිකන් බියුටි
තමයි මට මේ වෙලාවෙ මතක් වෙන වැදගත්ම චිත්‍රපටි දෙක. ඒ දෙකම ගොඩක් වෙලාවට පවුල්
ජීවිතයේ අවුල හෝ ඛේදයන් තමයි තේමාව කරගෙන තිබුනේ. ඒ අතින් Little miss
Sunshine කියන්නෙ
වෙනස් ආකාරයක චිත්‍රපටයක්. මොකද මේකෙත් සාකච්ඡා වෙන්නෙ පවුල් ජීවිතයේ අවුලම ද කියල
නිශ්චිතව කියන්න අමාරු නිසා. නමුත් චිත්‍රපටය පුරාම දිවෙන්නේ විකාරරූපී පවුලක්
කේන්ද්‍ර කරගත්තු කතාවක්.
සිංහලෙන් මට මේකට දෙන්න පුලුවන් හොඳම නම
කියල හිතුනේ පිස්සු පවුල යන නම. මොකද මේ චිත්‍රපටය ගලාගෙන යන ආකාරය අනූව මේ තරමේ විකාරයක්,
පිස්සුවක් නටන පවුලක් කියල අපිට හිතෙන නිසයි.
මේ චිත්‍රපටයේ කතාව පසුබිම් වෙන්නෙ හූවර්
පවුලේ සාමාජීකයන් එකතුවෙලා යන ගමනක් පිළිබඳව. ඒ ගමන සුවිශේෂී එකක්. හූවර් පවුලේ
ලාබාලතමයා වෙච්ච ඔලිවර් නැමති දියණිය ඒ කාලේ ඇමරිකාවෙ සුප්‍රසිද්ධම රියලිටි
වැඩසටහනට යන්න හීන දකිනවා. ඇත්තටම හරිම අහම්බෙකින් මේ හීනයට යන්න එක් අවස්ථාවක්
ඇයට හිමි වෙනවා. චිත්‍රපටය පටන් ගන්නේ එතැනින්.
කලින් කිව්වත් වගේ මේ පවුල සුවිශේෂී පවුලක්.
බාහිරින් බැලුවාම පේන්නේ කිසිම ආකාරයකින් පෑහෙන්නේ නැති බවක්. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ
ආශාවන්, ආකල්ප, අදහස් මතිමතාන්තරවලින් පිරිච්ච පවුලක්. ඔවුනොවුන් ඉන්නේ
ඔවුනොවුන්ගේ හීනවල. විශේෂයෙන් ඔලිව්ගේ පියා මේ පවුලේ ප්‍රධානියා ලෙස ගතකරන භූමිකාව
විකාරරූපීයි. ඔහු මන්ත්‍රයක් මෙන් නිරන්තරයෙන් කියන්නේ සාර්ථකත්වය පසුපස යන
ධනාත්මක චින්තනයේ උදාන වාක්‍යයක්. ඔහුගේ බිරිඳ එනම් ඔලිව්ගේ මවත් නිරන්තරයෙන් කෑ
ගසන, කියවන නමුත් පවුල එකට එකතු කිරීමට උත්සාහ ගන්නා වීර්ය කාන්තාවකගේ ලක්ෂණත්
පෙන්නුම් කරනවා. ඔලිව්ගේ සීයා නම් තනිකරම විකාර ආකරයක්. ඔහු කිසිසේත්ම මේ පවුලේ
අදහස් හා සමපාත වන අදහස් දරන්නෙක් ද නෙමෙයි. බ්ලූ පත්තර බලන, කුඩු ගසන ඔහු ඔහුගේ වයසට
අනූව යල්පැන ගිය චින්තනයක් සහිත අයෙක් ද නෙමෙයි. ඔලිව්ගේ අයියා තමයි අනෙක්
සුවිශේෂීම චරිතය. ඔහුගේ නම ඩොවේන්. ඩොවේන් සහජයෙන් කතා කිරීමට නොහැකියාව ඇති
තරුණයෙක් නොවුණත් මේ චිත්‍රපටයේ හතරෙන් තුනක් යනතුරුත් ඔහු සිටින්නේ ගොළුව. හේතුව
ඔහු තම ඉලක්කයට ගමන් කරනා තෙක් කිසිවෙකු සමඟ කතා නොකරන්නට ස්වයං තීරණයකට යොමුව තිබීම.
මේ නිසා ඔහු තමන්ට අවශ්‍ය දේ කියන්නේ කොලයක ලියලා පෙන්වීමෙන්. නිට්ෂේ වැනි දාර්ශනිකයන්
අනුගමනය කරන ඔහුත් නිසා මේ පවුලේ විකාරය උග්‍ර අතට පෙරලෙන බවකුත් පෙනෙනවා.
මේ විකාරරූපී පවුලට බාහිරින් එකතුවෙන්නා
තවත් එවැනිම පිටස්තරයෙක්. සම්බන්ධතාවයක් බිඳවැටීම නිසා කලකිරීමෙන් ජීවිතය නැති කරගන්නට
උත්සාහ කර එය ව්‍යර්ථ වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අන්කල් ෆ්‍රෑන්ක් කෙලින්ම
පැමිණෙන්නේ මේ උමතු ගෙදරට. ඔහු මේ හූවර් පවුලේ මවගේ මල්ලී ලෙසයි අප දන්නේ.
කෙසේ හෝ මේ පවුල විවිධ වූ හැලහැප්පීම්,
ගැටුම්, පරස්පරතා ඔස්සේ මේ විකාර පවුල Little miss Sunshine තරඟය වෙත ගමන් කරන ආකාරය තමයි මේ චිත්‍රපටයේ
තේමාව වෙන්නේ. ඉතින් මේ පවුල ඔබේ පවුලට කොයිතරම් දුරට සමානයිද? කොයිතරම් දුරට වෙනස්
ද? විකාරය ඇත්තේ පවුල ඇතුලේ ද නැත්නම් ඊට ඔබ්බෙහි වූ සමාජය ඇතුලේ ද? පවුලක් වුණාම
සියලු දෙනාගේ අදහස් සමපාත වෙන්න ඕන ද? නැත්නම් ගැටුම්, හැලහැප්පීම් සහිත පවුලක්
ඇතුළත පවා එකට එකතුවීමේ හුයක් තියෙන්න බැරිද? මේ සියල්ලක්ම චිත්‍රපටය ඇතුලෙන්ම
විසඳගන්න පුලුවන් බවයි මට හිතෙන්නෙ.
කොහොම වුණත් මේ සියල්ල විකාශය වන්නේ ආරම්භයේ
ඉඳන්ම මතුවන හාස්‍යයක් ද සහිතවයි. ඒ හාස්‍යය එක්තරා යථාර්ථයක් ද සලකුණු කරනවා.
