තේමාත්වකවාදය සම්බන්ධ ප්‍රශ්න සහ පිලිතුරු
නිර්මානයක සංකේත, යටි අරුත්, රූපක
සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කිව්වොත්?
සංකේත, යටි අරුත්, රූපක වගේ දේවල් නිර්මානයක
සාර්ථකභාවය නිර්නය කරන අංග කියල පිලිගන්න පුලුවන්. බොහෝ විට මේ සංකල්ප වඩාත් සමීප
වන්නේ නිර්මානයක තේමාත්මකය පැත්තටයි. යම් නිර්මානයක එවැනි දෑ මනාව සංගෘහිත
කිරීමෙන් ඊට ආලෝකයක්, හෝ එහි විශිශ්ට භාවය වර්ධනය වීමක් සිදුවිය හැකියි. නමුත්
නිර්මානයක විශිශ්ටභාවය හෝ සාර්ථක භාවය මනින එකම හා වැදගත්ම මිනුම්දඬු ඒවා යයි අපට
එක හෙලාම පිලිගන්නත් බැහැ. එවැනි කිසිදු අංගයක් නොමැතිව සාර්ථකත්වයට පත්විය හැකි
නිර්මාන තිබෙන්න පුලුවන් බව අප අමතක කලයුතු නැහැ.
කෙසේ වුවත් මේ නිර්නායක කෙරෙහි වත්මන් විචාරකයා
මෙන්ම නිර්මානකරුවන් ද අධිතක්සේරුවෙන් වර්නනා කිරීම හරහා නිර්මාන තුල මේවා පැවතීම
අනිවාර්ය අංගයක් බවට වන වක්‍ර බලහත්කාරකමක් සිදුවන බවයි මගේ අදහස. අනෙක් පැත්තෙන්
අපේ කලානිර්මාන බොහොමයක් දෙස විමසිලිමත්ව බැලීමේදී පේනවා මෙවැනි අංග යොදා ගැනීම
පුරුද්දකට ගොස් ඇති බව. එක් අතකින් එය වැරදි යයි කියන්නට බැහැ. නමුත් අප ඉදිරියේ
ඇති අභියෝගය වන්නේ එකී පුරුද්ද මත සාමාන්‍ය සරල සිදුවීමක, අදහසක් සහිත නිර්මානයක ද
එවැනි දෑ සොයාන්නට යාමෙන් විචාරකයාත්, පාඨකයාත් අතරමං වන තත්වයකට පත්වීමයි.
ඔබ අවසානයට දැක්වූ අදහස තව දුරටත් විග්‍රහ
කරල කිව්වොත්?
මෙහෙමයි. මම අත්දකින ආකාරයට අපේ ජාතික සංකේත
වල සිටම තියෙන්නෙ යම් ගැඹුරක්, සංකේතයක්, තේරුම් සමුදායක් ලබාදෙන්නට දරන වෑයමක්.
අපේ ජාතික කොඩිය ගත්තම ඒ තුල තියෙන සෑම ඉරි කැබැල්ලකටත් තේරුමක් දෙන්නට
නිර්මානකරුවන් හෝ එකී රාජ්‍ය තාන්ත්‍රිකයන් උත්සාහ ගෙන තිබෙනවා. වෙනත් රටක ජාතික
කොඩියක් එක්ක සංසන්දනය කිරීමේදී මේ තත්වය විශේශී බවයි පේන්නෙ. බොහෝ රටවල කොඩිවල
තිබෙන්නේ සරල වර්නයක්, දෙකක්. නැත්නම් කුඩා ජ්‍යාමිතික හැඩතලයන්. තම රට නියෝජනය
කිරීමේ සරල වර්නාවලියක්. නමුත් අපේ රටේ තත්වය අනූව සිංහයාගේ කේශර වලින් පවා ගැඹුරු
අර්ථයක් විදහා පාන ආකාරයෙනුයි එය නිමවලා තියෙන්නෙ.
අලුතෙන් උපන් දරුවෙකුට නමක් දැමීමේදී පවා
බොහෝ අය සිතන්නේ එය තේරුමක්, අදහසක් ඇතිව කල යුතු බවයි. මෑතකදී මගේ මිතුරු
මිතුරියන් කිහිප පොලකට කුලුඳුල් දරුවා ලැබුනා. ඔවුන් මට කතාකොට නමක් යෝජනා
කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවල මම මගේ සිහියට පැමිනි, සුන්දරයි යයි සිතෙන නම්
කිසිපයක් යෝජනා කලා. ඇත්තෙන්ම ඒ බොහොමයක තිබුනේ සුන්දර ශබ්ද පමනයි. එසේ යෝජනා කලාම
ඔවුන් පෙරලා මගෙන් විමසන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නම නම් ලස්සනයි. තේරුම මොකක්
ද ඒ නමේ? එවිට මම තේරුමක් මම පවා දන්නේ නැති බවත් එහි තේරුම එකී දරුවාම වන බවත් ඔවුන්ට
කීවා. කෙසේ වෙතත් අනතුරුව ඒ අය දරුවන්ට එම නම යොදා ගත්තාදැයි කියන්න නම් මම දන්නේ
නැහැ.
සැබවින්ම බිම් මට්ටමේ සිට ඉහල තලය දක්වාම
අපේ රටේ තත්වය ඕකයි. අපට කිසියම් දෙයක් සරලව භාරගත හැකි පුරුද්දක් හෝ ශක්තියක්
නැහැ. යම් සංකේතයක්, ව්‍යංගයක්, ගැඹුරක් සහිත දේ පමනක් විඳින තැනට අපව පුහුනු කර
තිබෙන බවයි මට සිතෙන්නේ. කොටින්ම ගීතයක් පවා සරලව වින්දනය කරන්න බොහෝ අය අසමත්.
ඇයි බහුතරයක් විචාරකයන් ගීතයක පදරචනාවක් අරගෙන ඔය තරම් විග්‍රහ, ගැඹුරු තේරුම්
සපයන්නේ? එය සැබවින්ම විඳිනවානම් ඔවැනි දේ කිරීම අවශ්‍යමයි කියා මම නම් සිතන්නේ
නැහැ.
මම මේ කියන කාරනාව වරදවා වටහා ගන්න එපා.
කොටින්ම මම කියන්නේ නිර්මානවල ගැඹුරු අරුත් හෝ සංකේත, ව්‍යංග, රූපක තිබීම අනවශ්‍යයි
හෝ එසේ කිරීම සුදුසු නොවේය යන අර්ථයෙන් නෙමෙයි. එසේ තිබෙන්නා වූ නිර්මාන ද රසවත්.
නමුත් මා කියන්නේ එසේ නොවන නිර්මාන ද රසවිඳීමේ හැකියාවක්, සැබෑ වින්දනයක් අප සතුව
තිබෙද්දීත් අප පුහුනු කල වින්දනයක් පසුපස දිවීම මොන විදිහේ විකාරයක්දැයි කියායි. මගේ
පසුගිය පිලිතුරේ අවසානයේ තිබෙන්නේ අප රසවත් නිර්මානයක් වින්දනය කිරීමේ දී
නිරන්තරයෙන්ම සංකේත, ගැඹුරු අරුත් සොයන්නට යාම අත්‍යාවශ්‍ය ද එසේ සොයා බලා
නිර්මානවල සාර්ථක අසාර්ථක භාවය නිර්නය කිරීම මොන තරමේ ආකෘතික ගත දෙයක් ද කියායි.
නමුත් නිර්මානකරුවා දක්වන අරමුනෙන්ම
විචාරකයා/රසිකයා නිර්මානය වින්දනය කල යුතු නැහැ. රෝලන්ඩ් බාත් කර්තෘ ඝාතනයෙදි
කියන්නෙත් නිර්මානකරුවාගේ අරමුනම නිර්මානය වින්දනයේදී බලනොපාන බව වගේ අදහසක් නේද?
ඔව්. එය
වෙනම තර්කයක් බවයි මට සිතෙන්නෙ.
විචාරකයා හෝ රසිකයා නිර්මානකරුවාගේ අරමුන අනූවමනිර්මානය දෙස බැලිය යුතු බව නෙමෙයි මම කියන්නේ. හොඳයි අපි හිතමු යම් රසිකයෙක් සරල අදහසක් ඇති
කවියක සංකේත දකිමින්, යටි අරුත් පාදා ගනිමින් වින්දනයේ යෙදෙනවා කියලා. නමුත් ඔහුගේ
ඒ වින්දනය පවා ඔහුගේ සැබෑ අවංක වින්දනයමද යනුවෙන් එතැනදී ගැටලුවක් මතු වෙනවා. ඒක
යම් ආකාරයකට සමාජ ක්‍රමයට අනූව පුහුනු කරපු/ ඇබ්බැහි වුනු ක්‍රමයක්. මම කලිනුත්
කිව්වේ ඒකයි. අපට යමක් සරලව භාරගන්න බැහැ. සරලව විඳින්න බැහැ. නැත්නම් ගැඹුරු
තේරුමක් නැති නිර්මානයක් තුල වටිනාකමක්/වැදගත්කමක් නැති බව අප විස්වාස කරනවා. අපි කරන්නේ විශිශ්ට යයි සම්මත සියල්ලකම
ගැඹුරක්, යටි අරුතක් සොයන්න ගන්නඑකයි. එහෙම නැති එකක් විශිශ්ට නෑ වගේ අදහසක් ඒ
හරහාම ස්ථාපිත වෙලා. මම කියන්නෙ මේක සමාජයක් විදිහට අපිව ආකෘතිගත කිරීමෙන්/සූක්ශම
වූ බලහත්කාරී මැදිහත්වීමක් මත සිදුවෙලා කියලයි. අද අපි අපට පේන දකින හැම එකකම
තේරුම හොය හොයා දුවනවා
ජාතික කොඩිය සම්බන්ධයෙන් ඔබ අරගත් තර්කයේදී
අපට සිතන්න බැරිද මෙය අප රටේ අනන්‍යතාවයක් කියල. එහෙම සංකේත දකින එක හෝ ඒවාට හොඳ
තේරුමක් දෙන එක අපට ආවේනික දෙයක් වෙන්න බැරිද?
ඒක වැදගත් අදහසක්. අපි තරමක් විමසිලිමත්ව
බලන්න ඕනෑ අපේ රටේ අනන්‍යතාවය මත ද එහෙම නිර්මානවල හෝ වෙනයම් දෙයක සංකේත, තේරුම්,
යටි අරුත් හොයන්න වෙහෙසෙන්නෙ හෝ එසේ නිර්මාන කරන්නේ කියලා. මතුපිටින් බැලුවාම නම් තේරෙනවා ඉස්සර
ඉඳන්ම බොහොමයක් විශිශ්ට යයි සම්මත නිර්මානවල ගැඹුරු අරුත්, තේරුම්, උපමා, සංකේත,
වගේ දේවල් මගින් යම් තේරුමක් දෙන්න වෙහෙසුනු බව.
මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යෙය්
නැගීම පොත හරහා මෙන්ම ඔහුගේ බොහොමයක් විචාර පොත් හරහා මතුකරන තර්කයක් මෙතනදී අපට
මේ සංවාදය වෙනුවෙනුත් භාවිත කල හැකියි. එතනදී වික්‍රමසිංහ කියන්නෙ සංක්කෘත, පාලි
සාහිත්‍යෙය් බලපෑමෙන් අපේ දේශීය සැබෑ සාහිත්‍ය ක්‍රමට යට ගිය බව හෝ අර(පාලි
සංස්කෘත) අධිපති සාහිත්‍ය ක්‍රමය උවමනාවට වඩා ස්ථාපිත වූ බව. වික්‍රමසිංහගේ තර්කයට
අනූව අපට පැහැදිලියි අතීතයේ ඉඳන්ම සාහිත්‍යෙය් මේ විදග්ධ අධිපති කතිකාව කොතරම් ප්‍රබල
උනා ද කියන එක. පාලි, සංස්කෘත උගත් ලේඛකයන් කලේ තමන්ගෙ දැනුම ප්‍රකට කරන්න වගේම
විශිශ්ට යයි සම්මත කරන්න පොදු ජනතාවගෙන් දුරස්ථ, යම් තේරුමක්, සංකීර්න අදහසක්,
වර්නනා සහිත උගතුන්ට පමනක් යෝග්‍ය නිර්මාන
බිහිකිරීමයි. අනෙක් අතට ඔවුන් ඇසුරු කරපු සංස්කෘත භාශාවේ/ සාහිත්‍ය යේ ආභාසය මත
ඉබේම ඒක සිදුවුනා වෙන්නත් පුලුවන්. මේ අනූව පේනවා ඒක අපට අනන්‍ය වූ ක්‍රමයක් නොවන
බව. වික්‍රමසිංහ සිංහල සාහිත්‍ය යේ නැගීම කෘතිය හරහා වැඩි වැඩියෙන් වර්නනා කරන්නෙ
ගුත්තිලය, සද්ධර්මරත්නාවලිය වැනි දේශීය ඌරුවක් සහිත කෘති. ඔහු තර්ක කරන්නෙ මේ
කෘතිවල අර සංස්කෘත බලපෑමෙන් තොර දේශීය ලේඛන ශෛලිය ඇතුලත්ව ඇති බවයි.
සද්ධර්මරත්නාවලිය, ගුත්තිලය ගත්තත් සංකේත,
ගැඹුරු අරුත්, තේරුම් වෙනුවට වින්දනයට මුල් තැන දීපු සරල බවක් ඒ තුල තිබෙන බව අපට
පිලිගන්න පුලුවන්. අනෙක් අතට සාමාන්‍ය ජනයා මැදිහත් වූ ජන කවි, ජන නාට්‍ය, කැටයම්, චිත්‍ර
වගේ, සීගිරි ගී වගේ දේවල් නිරීක්ශනය කලාම තේරෙනවා දේශීය අනන්‍යතාවය තිබුනේ
කොතැනද, අපේ වින්දන පාරාසය තුල තිබුනෙ
කවරාකාර ලක්ශන ද කියලා.
එතකොට තේමාත්මකවාදය නැත්නම් අන්තර්ගතානුවාදය
යනුවෙන් ඔබ නම් කරන්නෙ මේ තත්වයද?
මෙහෙමයි. මේ කාරනා තරමක් දීර්ඝව සහ සෙමෙන්
කතාබහ කල යුතු ඒවා. නමුත් ඔබ ඇසූ ප්‍රශ්නයට යම් විදිමත් පිලිතුරක් මෙතනදී
දක්වන්නම්. ආකෘතිවාදය නැත්නම් ව්‍යුහවාදය ගැන අප අසා තිබෙනවා. තවත් විදිහකට
නිර්මානයක ආකෘතිය, අන්තර්ගතය ගැනත් කතා වෙනවනෙ. ලෝකයේ හෝ අපේ රටේ ආකෘතිවාදීන් හෝ
ආකෘතිවාදය ගැන සාකච්ඡා කෙරුනත් ලෝකයේ කොතනකවත් අන්තර්ගතානුවාදයක් ගැන කතාවෙලා
තිබෙනවා යයි මම අසා නැහැ. හැබැයි අපට මෙහෙම අදහස් කරන්න පුලුවන්. නිර්මානයක
ආකෘතිකමය ස්වභාවය, ව්‍යුහාත්මක සැකැස්ම ගැන සාකච්ඡා කරන අය ආකෘතිවාදීන් නම් එසේ ඔවුන්ව වර්ග කරනු ලබන අනිත් කන්ඩායම
කවුරුන් විය හැකිද? සැබවින්ම නිර්මානයක තේමාත්මකය, අන්තර්ගතය ගැන බහුල ලෙස අවධානය
යොමු කරන අය ඉබේටම අන්තර්ගතානුවාදීන්/තේමාත්මකවාදීන් බව මේ අනූව නිගමනය කල හැකියි.
මට නම් පෙනෙන්නෙ අපේ රටේ බොහොමයක් විචාරකයන්
සේම නිර්මානකරුවන් ද තේමාත්මකවාදීන් බවයි. මොකද අද අපි දකින විචාරවලින්, සාකච්ඡා,
පොත් එලිදැක්වීම් වලින් නිරන්තරයෙන් වර්නනා කෙරෙන්නේ, අදහස් පල කරන්නේ තේමාත්මකය
ගැන පමනක් නිසා. මේ තත්වය කොතරම් සූක්ශමව විකාශනය වෙලා ද කිව්වොත් බහුතරයක් පාඨකයා
නිර්මානයක් සැබෑවට විඳිනවා වෙනුවට කරනු ලබන්නේ නිර්මානයක් කියවා එහි තේරුම, යටි
අරුත්, සංකේත සොයා පාදා ගැනීම පමනයි. පාඨකයා/රසිකයා සිතනවා නිර්මානයකින් අප කලයුතු
එකම කාර්යය එය පමනක්ය කියා. ඒක සමීකරනයක් විසඳනවා වැනි වැඩක් බවයි ඔවුන් සිතන්නේ.
මම මගේ ලඟම මිතුරෙක් සමඟ ලඟදි මේ ගැන කතා කලාම ඔහු හරි අපූරු කතාවක් ඒ ගැන කීවා.
රසිකයාත්, විචාරකයාත් සිතන්නේ නිර්මානයකින් නිර්මානකරුවා අප වෙත ගෙනෙන්නේ ප්‍ර
හේලිකාවක් කියලයි. ඒ ප්‍ර හේලිකාවේ හරහට,
පහලට ඇත්තේ මොනවාදැයි ඉඟි වැකි නිර්මානය තුල සැඟවී ඇතියි කියල හිතලා ඒ අය
කරන්නෙ ඒ ප්‍ර හේලිකාව පුරවන එක. විචාරකයන් කරන්නෙ ප්‍ර හේලිකාව පුරවගන්න බැරි අයට
පත්තර පිටු හරහා, පොත් හරහා නැත්නම් සංවාද හරහා විචාරකයා ඒ ප්‍ර හේලිකාව පුරවලා
පෙන්නන එකයි. අද නිර්මානයක් රසවිඳිනවා යයි සම්මත වෙලා තියෙන්නේ මේ තත්වයයි. එය
තේමාත්මකවාදීන්ගේ ග්‍රහනයට හසුවී ඇතැයි මම ප්‍රකාශ කරන්නේ ඒ නිසයි.
ඇත්තෙන්ම නිර්මානයක් වින්දනය කරනවා කියන්නෙම
ඊට වඩා පුලුල් මෙන්ම සංකීර්න කාර්යයක් වෙනවා. නිර්මානයක ඇත්තේ හකුලුවා ගන්න
පුලුවන් කතාවකුත්, පෙන්නන්න පුලුවන් තරමේ තේරුමකුත් පමනක් නෙමෙයි. බොහෝ විට
නිර්මානයකින් අප ලබන කම්පනය වචන වලට හැරවීම පවා කල හැකි පහසු කාර්යයක් නෙමෙයි. මේ
ගැන රයිනර් මරියා රිල්ක තරුන කවියෙක් වෙත යවනු ලැබූ ලිපියක අපූරුවට කියල තියෙනවා.
එයාගෙ අදහස මෙහෙමයි.
විචාරාත්මක
වචන තරම් කලා කෘතියකට දුරස්ත අන් කිසිවක් නැහැ. ඒවායින් හැමවිටම සිදුවන්නේ යම් තරමක වැරදි වටහා ගැනීම්. කල හැකි යැයි මිනිසුන් විස්වාස කරන තරමට, දේවල් විශද හෝ ප්‍රකාශ කල නොහැකියි. බොහෝ අත්දැකීම් ප්‍රකාශ කරන්නට බැහැ. ඒවා සිදුවන්නේ කෙදිනක හෝ වචනයක් ඇතුලුවී නැති අවකාශයකයි. මේ අන් කිසිවකටත් වඩා,
කලා කෘතීන් පිලිබඳව කතා කල නොහැකියි. කලා කෘතීන් පිලිබඳව -
අපේම කුඩා අනිත්‍ය ජීවිතය පසෙක ඉවසා දරා සිටින්නා වූ ඒ
ගුප්ත ජීවන අස්තිත්වයන් පිලිබඳව- කතා කිරීම අපහසුයි.
රිල්ක දක්වන ඒ අදහස වගේම තරුන නවකතාකරුවෙක්
වෙත යවන ලිපි අනූව සැකසුනු මාරියා වර්ගාස් ලෝසාගේ අදහසකුත් මට මෙතනදී මතක් වෙනවා.
එයා විචාරය සම්බන්ධව දරන අදහස මෙහෙමයි.
සාර්ථක
ප්‍රබන්ධයක හෝ කවියක හැම විටම මොකක් හරි අංගයක් හෝ මානයක් තියෙනව තාර්කික විචාරාත්මක
විග්‍රහයෙන් හරියටම අල්ලගන්න බැරි. ඒකට හේතුව විචාරය තර්කයේ සහ
විචාරයේ ව්‍යායාමයක් වීමත්සාහිත්‍යයික නිර්මානයේදී සහජඥානය, සංවේදීතාව,
අනාගතය දැකීමේ ශක්තිය සහ අහම්බය ආදිය මැදිහත් වීමත් ඒ
අංග ඉතාම සියුම් විචාරයේ දැලට හසු නොවීමත්.
මේ අදහස් දෙක හරහාම අපට මතක් කරන දෙයක් තියෙනවා.
නිර්මානයක් මගින් අප වෙත ගෙන එන වින්දනය, සංතෘප්තිය විචාරය හරහා මතු කිරීම කොතරම්
අසීරු ද යන වග. නමුත් මට පෙනෙන විදිහට අපේ විචාරකයන් සිදුකරන්නෙ ඒ අපහසුතාවය මත
සක්මන් කරන්න වෙර දැරීම නෙමෙයි. නිර්මානයක තමා සොයාගත්, පාදාගත් අදහසක් තේරුමක් හෝ
සංකේතයක් අනෙක් අයට පෙන්වීම තමාගේ එකම කාර්යය කියායි විචාරයකන් සිතන්නේ.
හැබැයි ඔතනදී කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නේද නිර්මානයක්
මගින් ඇඟවෙන බොහෝ දේ ප්‍රකාශ කල නොහැකි නම්, අසීරුනම් අපට විචාරය ඇතුලේ දී කල හැකි
එකම කාර්යය ඒවායින් මතුවෙන තේමාත්මකය ගැන සාකච්ඡා කිරීම පමනක් නේද කියලා?
ඒක ඒ තරම්ම දෙයක් නෙමෙයි. මම නම් නිරන්තරයෙන් අත්
දකින්නේ පාඨකයාත් විචාරකයාත් සෑම විටකම යම් පුහුනුවකින්, සීමාවකින් නිර්මානයක් වෙත
එලඹෙනවා කියලයි. මොකද අපට පාසල් අධ්‍යාපන යේදී පවා නිර්මාන රස විඳින්න උගන්වන්නේ
ඒවායෙහි යටි අරුත් ගැන හාරා අවුස්සන්න පමනයි. භාශාව ගැනවත් වෙනත් රසවිඳීම් අලංකාර
ගැනවත් නෙමෙයි. නිර්මානයේ ගැඹුර ගැන වෙහෙසෙන්න අපට එතැනදී පුහුනුවක් දෙනවා. මට
මතකයි අපට උසස්පෙල විභාගයට නියමිත සැලලිහිනි සංදේශය, මනමේ නාට්‍යය, නූතන පද්‍ය
සංග්‍රහය වගේ සෑම පොතකම වචනයක් වචනයක් පාසා ඒවා මගින් පෙන්වන සමාජ යථාර්ථය, යටි
අරුත් වගේ දේවල් අපට කටපාඩම් කෙරෙව්වා. නිර්මානයක් රස විඳිනවා යනු ඒවායෙහි අරුත්
හාරා ගොඩ ගැනීම යයි අපට මූලික බලකිරීම සිදුවන්නේ පාසලින් බව පෙනෙනවා.
නිකමට හෝ අප ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය වල
ගී රස වින්දන වැඩසටහනක් අරගෙන බලමු. එවැනි වැඩසටහන්වල දීර්ඝ ලෙස රසවිඳින්නේ හෝ වඩා
විශිශ්ට ගීත ලෙස පෙන්වා දෙන්නේ කවරාකාර ගීත ද? ගීතයක විශිශ්ට භාවය බොහෝ විචාරකයන්
විසින් තීන්දු කරන්නේ පද රචනාව හරහාම විතරයි. ගුවන් විදුලියේ ගීත තෝරන්න එන වැදගත්
පුද්ගලයන් ද තමාගේ කැමතිම ගීත 10 විදිහට තෝරන්නේ මොකක් හෝ තේරුමක් තියෙන, යටි
අරුතක් ඇති ගීත දහයක්. නමුත් ඇත්තටම ඒ ඔවුන් කැමති ගීතද? වැඩසටහනක් වෙනුවෙන් යමක්
කතා කිරීමට,නැත්නම් තමාගේ තත්වය පෙන්වීමට සුදුසු විශිශ්ට යයි සම්මත ගීත ද ඔවුන්
තෝරනු ලබන්නේ? මෙවැනි ගීත තෝරාගැනීම දිහා බැලුවාම පේනවා ඒවා තුල යම් වට්ටෝරුගත
ස්වභාවයක් තිබෙන බව.
ගීත සම්බන්ධව විචාරය කරන අය අතර ගීතයේ ගායකයාගේ කටහඬ, ඒ
තනුව කොතරම් මිහිරිද, එසේත් නැතිනම් සංගීතය හරහා කොතරම් මිහිරක් ජනනය වෙනවද කියල
නිකමටවත් හිතන්නෙ, අදහස් පල කරන්නෙ නෑ. ඔවුන් ගීතයේ වෙනත් ගැඹුරු අරුතක් වෙනුවන්
සමාජ පනිවිඩයක් ගෙනහැර පාන්න වෙහෙසෙන බවක් පමනයි මටනම් පෙනෙන්නෙ.
දැන් ඔබගේ ප්‍රශ්නයට යම් සාධනීය පිලිතුරක් මෙතන ඇති.
ඇත්තෙන්ම නිර්මානයක අපේ සැබෑ වින්දන පාර්ශවය ගැන කතා කිරීම අපහසු වෙන්න පුලුවන්.
අපි හිතමු කවියක් කියලා. ඒ කවිය මගින් අපට නිර්වචනය කල නොහැකි හැඟුමක් ගෙන එනවා
නම් අප ඒ සැබෑවම දන්වා ඒ කවිය විචාරය ඇතුලේ උපුටා දැක්වීම කල හැකියි. මෙහි මෙවැනි
මෙවැනි වදන්, පද බෙදීම් වල රසවත් භාවය ගැන කතා කල හැකියි. නමුත් තේමාත්මකවාදී
විචාරකයා කවිය යයි නිරන්තරයෙන් බදා ගන්නේම යටි අරුත්, සමාජ දේශපාලනික යථාර්ථ
ගොන්නක් පිඬු කල දෙයකට යයි සිතා ඒක විශ්ලේශනය කිරීමට වෙහෙසෙන බවක් පමනයි පෙනෙන්නේ.
නමුත් ඔබ තේමාත්මකවාදීන් යයි වෙන් කරනු ලැබූවත් ඔවුන්
සංකේත, රූපක, වගේම වෙනත් ව්‍යුහීය අංගත්
එතනදී මතු කරනවා නේද?
ඒ කුමක් වෙනුවෙන්ද? තේමාත්මකවාදීන්ගේ මූලික අරමුන
තේමාත්මකය තුල ඇති සාරගර්භ අදහස සමාජගත කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන් තමාගේ අතට
හසුවෙන සියල්ල තේමාත්මකය වෙනුවෙන් භාවිතා කරනවා. හරියට දේශපාලඥයින් වගේ.
දේශපාලඥයින් කරන්නේ තමා අභිමුව ඇති ඕනෑම දෙයක්, වස්තුවක් දේශපාලනය වෙනුවෙන්
පාවිච්චි කිරීමයි. ඕනෑම දේශපාලන මතවාදයක පිරිසක් කරන්නේ මේ තත්වයම තමයි. ධනවාදී
සමාජවාදී ඕනෑම දේශපාලන කඳවුරක් තමා අභිමුව ඇති සියල්ලක්ම දේශපාලන අරමුනක් වෙනුවෙන්
භාවිතා කරන ආකාරයක් පෙනෙනවා. තේමාත්මකවාදී විචාරකයා ද එසේමයි. එක්කෝ ඔවුන් යම්
අරමුනක් වෙනුවෙන් එවැනි නිර්මාන භාවිතා කරනවා. නැතිනම් සමාජ යථාර්ථය පෙන්වීමේ
පරම අභිලාශය සඳහා නිර්මානයක සෑම අංගයක්ම සූක්ශමව භාවිතා කරනු ලබනවා.
නැහැ. කොහෙත්ම එහෙම අදහසක් නෙමෙයි. මට උවමනා වන්නේ
තේමාත්මකවාදය කියා දෙයක් ද ඇති බව පෙන්වීම පමනයි. කොටින්ම එය හොඳයි ද හෝ නරකයි ද
කියා කියන්න මට බැහැ. මට කියන්න පුලුවන් එකම කාර්යය තේමාත්මකවාදය යනු නිර්මානයක්
රසවිඳිය යුතු එකම සහ හොඳම විදික්‍රමය යයි අප පිලිගත යුතු නැති බව. එය නිර්මානයක්
විඳිය හැකි එක් මානයක් පමනයි. එය අති විශිශ්ට හෝ හොඳම මොඩලය යයි හෝ එහි
අධිකාරීත්වය අපේ සමාජය තුල කොතරම් ව්‍යාප්ත වෙලා ද කියන එක කියන්නයි මම උත්සාහ
කලේ. ඒ වෙනුවෙන් තවත් අදහස් මතවාද අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු. ඒ තාක් මේ සංවාදයට
බාහිර පිරිස් සම්බන්ධ වී ගැටලු, තර්ක, සිය අදහස්, විවේචනයන් ඉදිරිපත් කරනවානම්
හොඳයි. මොකද මෙහි අප දකින්නේ එක් පටු මානයකින් පමනක් විය හැකියි. ඔවුන් දක්වන
අදහස් හරහා, විවේචන හරහා අපට මේ සංවාදය වඩාත් ඔපමට්ටම් කරගන්නත්, ගැටලු ඇති තැන්
නිරාකරනය කරගන්නත් පහසුවක් වේවි. දැනට එපමනයි.
No comments:
Post a Comment