සුනෙත් කාන්තගේ ශෝකාන්තය හා සුදර්ශනගේ සුඛාරම්භය
කෙටියෙන්ම
මේ කෙටිකතා පොත මාව පිස්සු වැට්ටුවා. ඒ ලියවිල්ල මාව පුදුමයට පත් කලා.
කෙටිකතාකාරයෙක්ගෙ පලවෙනි කෙටිකතා පොත මේ තරම් විශිශ්ට එකක් වීම ඉතා කලාතුරකින්
සිදුවන දෙයක්. කෙටිකතා පොතක සියලුම කෙටිකතා විශිශ්ට වෙන්නෙ ඊටත් වඩා කලාතුරකින්.
සුනෙත්කාන්තගේ ශෝකාන්තය මේ ද්වි- විශිශ්ටතාවයම රැගත් කෘතියක්.
හැම
කෙටිකතාවක්ම භාශාවේ නැවුම් බව හා සජීවී බවත් එක්ක ඒකටම අනන්‍ය වූ විලාසයක්
අත්පත්කරගෙන ඇති බවක් පැහැදිලියි. හැම ඡේදෙකටම වගේම හැම වචනයක් ගානෙම ඒ නැවුම් බව
තවරන්න තරම් කතුවරයා සූක්ශමයි. මේ කතා සෙට් එකේ මං කැමතිම වුනේ නීඩ් ෆෝ ස්පීඩ් ගේම
ගහන සමියගෙ ගේමට.කතාව ආරම්භයේ ඉඳන්ම ඒ භාශාව සැහැල්ලු සෙල්ලක්කාර විදියකට
ගලපන්නත්, ඒ වගේම සෑම සියුම් සිද්ධියක් අස්සෙන්ම රිංගමින් සජීවී විලාසය ගේන්නත් ඒ
ඇතුලෙ තියෙන සමාජ දේශපාලන සංකීර්නතා ඒ අස්සේ නියම අනුපානෙට ගලපන්නත් රචකයා
සමත්වෙලා තියෙනවා. වෙලාවකට මට හිතෙනවා කතාවකට තක්කෙටම ගැලපෙන රිද්මය ආවට පස්සෙ මේ
තරම් අපූර්ව අවසානයක් කරා හොඳ ජවයකින් වගේම සහජ ඉවකින්, ඒ ඇතුලෙ කරනම් ගහමින් යන්න
පුලුවන් වීමම සන්තෝසයක් ඇති කරනවා ඇති කියලා. ඒ කොහොම වෙතත් මේ තනි කෙටිකතාව ඇතුලට
කියල නිම කරන්න බැරි තරම් පිරිපූර්න වූ චමත්කාරයක් ඇති කරවන්න ඒක තුල තියෙන
කුතුහලය, හාස්‍ය, අවංකකම වගේම සිහිනමය ස්වභාවයත් බලපාන්න ඇති. මේ ඒ කෙටිකතාවෙ
තැනින් තැන තියෙන මං ආසම කරන තැන් කිහිපයක්.
තාම හාත්පස පරිසරය ඒ දවස්සොල විදිහට එහෙම්මම. කිසිම දෙයක් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ කඳු. ඒ පල්ලං. ඒ බිල්ඩිං. ඒ තාර බකල් පාරවල්. කළු ගැහිච්චි ඇකිලිච්චි මූණු. කෙට්ටු සරීර. ඇද පැද ලතාවට කතා. ඇද ඇද ඇවිදිලි.(10 පිටුව)
මට එයා ගැන කවදාකවත් නැතුව හදවතේ කම්පා රේඛාවක් සිරීරිං ගාල ඇඳිල මැකුණා. මං ෆෝන්නෙක කට් කරනකොටම මොණරාගල-බදුල්ලක් බඩගගා ආවා. මං ගොඩ උනා.(20 පිටුව)
මං මොකවත්ම දන්නැති අභාෂිතයෙක් උනා.(21 පිටුව)
ඒ පාර පබා හේබා ගියා.(22 පිටුව)
නීඩ් ෆෝ ස්පීඩ් ගේමේ, ගේමට රේස් දිව්වට සමියා ෆුට් සයිකලයක්වත් පැදල
නෑ. බස්සෙකක, වෑන්නෙක ඇර වෙන වාහනේක ඉඳගෙනවත් නැතුව ඇති. හැබැයි මිනිහ ගේමේ. ගේමට
කාර් එලවන විදිය නම් පට්ට...(24 පිටුව)
මේ පබසරා කියන පිස්සි - ඔල්මාදෙ හැදිච්ච පිස්සු බැල්දි මොනවද කියවන්නෙ
කියල හිතාගන්න බැරුව මට ඉස විකාරෙ හැදුණා. (28 පිටුව)
වයසක ලොක්කෙක් සුම්බරයක් බැන්ද වගේ මීදුම බාපු දෙමෝදර කඳුකාර ඉස්ටේසම පහු කරනකොටත් සෙනුරියි මමයි පබසරයි ඔෆිස්සෙකයි මායාවක් වගේ නීඞ් ෆෝ ස්පීඞ් ගේමේ වගේ අධි වේගෙන් කැරකුණා මගෙ ඔළුව ඇතුලේ මාරක ළිඳේ. හපුතලේ හරියට යනකොට ආපහු මගෙ හීත හීල් වෙන්න ගත්තා. ඉදල්ගස්හින්නෙදි හිතයි ගතයි දෙකම හීත උනා. (29 පිටුව)
මේ
කෙටිකතා වල අර්ථ, අන්තර්ගත එකින් එක අරගෙන විග්‍රහකරනවටත් වඩා වැදගත් හා රසවත් වෙන්නෙ
ඒව එකින් එක වදනින් වදන කියවමින්, හිනාවෙමින්, පුදුම වෙමින් ගතකරන චාරිකාව කියලයි
මම හිතන්නෙ.
මේ
හැම කෙටිකතාවකටම ඒ ඒ පරිසරයට අනන්‍ය වූ ජීවන සොබාවයක් කැටි කරන්න රචකයා සමත් වෙලා
තියෙනවා. එක කතාවක් අනිකට නොදෙවනි ලෙස ඒ ආත්මය ඇතුලෙ ජීවමාන වෙනවා. හැම චරිතක්ම
භාශාව හා දෙබස් ඔස්සේත්, එතැනින් එහාට ඔහුගේ/ඇයගේ ක්‍රියාකලාපයන් ඇසුරිනුත් සිනමාවකටත්
වඩා සජීවී වෙන්න ගන්නවා.
මේ
බොහොමයක් කෙටිකතා විකාශනය වෙන දෘශ්ටිකෝනයක් ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඇතැම්
කෙටිකතා උත්තම පුරුශයකින් ආරම්භ වුනත් කතාව මැද්දෙදි උත්තම පුරුශ මම විතැන් වෙලා සාර්වවේදී
විලාසයකට පත්වෙනවා. තවත් කෙටිකතාවක ප්‍රධන චරිත කිහිපයක් වටේට ගමන් කරන කතන්දරකාර
ස්වභාවයකට පැමිනෙනවා. මේ හැම එකකින්ම
මතුවෙන්නෙ රචකයා අපූරු කතා කියන්නෙක් ගෝ ගොතන්නෙක් කියන එකයි. බොහෝ කතාවල වියලි කලාපීය
හෝ ඈත ගම්මානවල ඇති ඒවාටම අනන්‍ය බස් වහරවල්, සිදුවීම් හා ස්වභාවයන් කැටි ගැහිලා
සජීවි භාවය තීව්‍ර කරනවා. නැවුම් භාවය දෙගුන තෙගුන කරනවා. ඒ නිසාම මේ කෙටිකතා පොත
විශිශ්ට වෙන්නෙ එකම එක හේතුවක් නිසා නෙමෙයි මේ හැම ගුනාකාරයක්ම කවලම් කරගත් තමාටම
අනන්‍ය කතා විලාසයක් අත්පත්කරගත්ත නිසා කියල මට හිතෙනවා. ඒක හරියට මේ කතා ගොන්නෙම
තියෙන නාසිගුරිනි, දඩමස් එක්ක වයින් බොන මනුස්සය ගලපන ඒ හිතාගන්නවත් බැරි වෙනස්
රසයන් ගා ගැලපීම් වගේ වෙනස්ම ප්‍රනීත රසයක් ඇතිකරවන්නක් වගේ එකක්.
තේමාත්මකව
ගත්තම කතා සියල්ලෙම මහා ලොකු දේශපාලන සමාජ විචාරවාදවලින් දූශිත වෙලා නෑ. ව්‍යාජ
මතුපිට දේශපාලනය වෙනුවට කතාවටම ඓන්ද්‍රීය
සම්බන්ධයක් ඇති සමාජ සංකීර්නතා ස්පර්ශ කරමින්ම ඒක හැඩ වැඩට ඔපමට්ටම් වෙනවා.
බලහත්කාර සමාජ පනිවිඩයක්වත්, සිල්ලර දේශපාලන අරුතක්වත් නැතුව තත්කාලීන සමාජ
දේශපාලන විලසයේ පැතිකඩක් හැම කතාවකම තැවරි තැවරී කතා රසයටම මුසු වෙවී ගලා බසිනවා.ඒ
ඒ සමාජ සංස්කෘතික පරිසරවල මිනිසුන්ගෙ සිතුම් පැතුම් වගේම සිහින එක්ක රචකයාට හරි
හරියට ගනුදෙනු කරන්න පුලුවන් විදියේ සමාජ විඥ්ඥානයක් ඇති බවත් මෙතනදී තහවුරු
වෙනවා.
බන්ධනාගාර
ඇතුලතක පවතින සමාජ ස්වරූපය ගෙනහැරපාද්දි රූපකාත්මක යථාර්ථයක් මතුකරන්න උත්සහ
ගන්නවද කියලත් වෙලාවකට හිතුනා. බන්ධනාගාරයක් ඇතුලත මිනිසුන්ගේ සිතුම් පැතුම්,
චරිතස්වභාවයන් වගේම නීතියේ අත් අඩංගුවට පත්වෙලා ඉන්න පිරිසකගේ අවනීතික වැඩපිලිවෙලක
පවතින විකාරරූපී හැලහැප්පීම් මතුකිරීමේදීත් මං පුදුමයට පත් වුනා. එක චරිතයක් කේන්ද්‍රීය
වුනත් අවශේශ හැම චරිතයකම ස්වභාවය පුංචි කෙටිකතාවත් ඇතුලෙ අපූරුවට සිත්තම් කරනව
කියන එකම වෙනම වැඩක්.
මේ
හැම කෙටිකතාවක් ගැනම ලියමින්, කියමින් ඉන්නවට වඩා නැවත නැවතත් ඒ කතා කියවමින්
විඳිමින් ඒ අස්සෙ නන්නත්තාර වෙන එකම රසය අවුලුවනවා. මං කියවපු හොඳම කෙටිකතා පොත
විදියට මේක මගේ පොත් ගොන්න අතරේ නැවත නැවත කිවයන්න උවමනා කරන කවි-කෙටිකතා- සිඟිති
විචාර පොත් සෙට් එක අතරේ තැනක තියන්න මට හිතෙනවා. මේ තරම්ම නැවුම් භාශා
සෙල්ලමක්, චරිත සිදුවීම් එක්ක විග්‍රහාත්මක ලියවිල්ලක් දැකල නැති තරමට පලමු
කියවීමෙන්ම මාව හොල්මන් උනා. ඒ ප්‍රහර්ශයේ කම්පන තරංග තවමත් හිත ඇතුලේ නින්නාද
දෙනවා.
සුනෙත්
කාන්තගේ ශෝකාන්තය සුදර්ශනගේ සුඛාරම්භයක් කියල මට හිතෙන්නෙ අන්න ඒ නිසයි.
No comments:
Post a Comment