Sunday, November 4, 2018

Wishper of the Heart 






මේක ජපන් ඇනි‍‍මේශන් චිත්‍රපටියක්. බැලූ බැල්මටම නව යෞවන වියේ නැත්නම් පාසල් වයසේ තරුන තරුනියන්ගේ සිත්වල ඇතිවන කුලුඳුල් ආදරයේ චමත්කාරය මේ චිත්‍රපටයට තේමාවන බව පෙනුනත් මට නිතරම දැනුනෙ ඒකෙ කතාවෙන් ඉඳුරා නොකියවෙන ඒත් වෙනස් මිහිරක්. සමහරවිට මේකෙ නිර්මානකරුවන් ඒක හිතා මතාම කතාවස්තුව තුලට ඇතුලත් කලා වෙන්නත් පුලුවන්.
ශිසූකු සකිශුමා කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. ගැහැනු ලමයෙක්. නිතරම පොත් කියවන, තමන්ගෙ ආසාවන් වෙනුවෙන් ආසක්ත වෙච්ච වෙනස් විදිහේ චරිතයක්. සකිශුමාට හිටි හැටියේ එයා ඇබ්බැහිවෙලා ඉන්න පොත් කියවීමේ පුරුද්දේ අමුත්තක් ඇතිකරන සිදුවීමකට මුහුනපාන්න සිද්ධ වෙනවා. එයා කියවන කියවන හැම පොතම ඊට කලින් නන්නාඳුනන කොල්ලෙක් විසින් කියවලා තිබීම එයාට අදහගන්න බැරිවෙනවා. කතාව නාටකීය විදිහට ඇරඹෙන්නෙ එතනින්. 
එතනින් එහාට සකිශුමා අර තරුනය හමුවෙන විදිහ, එයා සහ ඇගේ ආතරය ආරම්භවන විදිහ වගේ ඒව පෙන්නුම් කෙරුනත් මේ කතාවෙ යටින් කෙලින්ම නොකියවෙන කතාව මාව අලුත් විදිහකට හොල්ලන්න ගත්තා.
ඒ තමයි සකුශුමාගේ නිවසේ ස්වභාවය. සකිශුමාගෙ අම්මා හෝ තාත්තා කවමදාකවත් ඈ කරන්නෙ මොනවද, යන්නෙ කොහේද වගේ දේවල් දැන වදවෙන්නෙ නෑ, ඇගේ ජීවිතේ ආසාවල් පසුපස ලුහුබඳන්න ඈට සපුරා නිදහස සැලසෙන්නෙ කොහොමද කියන එක මේ කතාවෙන් නිරුත්සාහිකවම වගේ නිරූපනය වෙන විලාසයට මම කැමතියි. කුඩා අවදියේ දරුවන්ට එයාලගෙ අභිරුචීන් අනූව ජීවිතය ගලාගෙන යන්න ඉඩ සලස්වන එකේ වැදගත්කම අපිට තදින්ම දැනෙන්න ගන්නවා. 
එක මොහොතක පොත් කියවන පුරුද්දට සකිශුමා කොයිතරම් ඇබැබැහි වෙනවද කියනවනම් එයාට පාසල් වාර විභාගෙට ලකුනු සෑහෙන අඩු වෙනවා. මේවෙලාවෙ එයාලගෙ ගෙදර අය කොහොමද මේ තත්වෙට මුහුන දෙන්නෙ. අනිත් අතට සකිශුමාගෙ පෙම්වතා ඈට ඇගේ ප්‍රේමය වෙනුවෙන් කරන්න යෝජනා කරන ක්‍රියාවලිය වගේ දේවල් හරිම අපූරුයි. 
දරුවෙක්ට එයාගෙ ජීවිතේ ගතකරන්න පුලුවන් නිදහස්ම විදිහ හෝ එයාගෙ ආශාවන් ලුහුබඳ්න්න ඉඩ දෙන එකේ වැදගත්කම මේ චිත්‍රපටියේ ප්‍රේමය තරම්ම නැවුම් විලාසයකට අපිට දැනෙන්න ගන්නවා.

Friday, November 2, 2018


සිතුවිලි සිත්තමින් හැඩවුනු කවි ගෙත්තම්








කලු පාට කුරුලු රෑනක් පියාඹගෙන යන, පසුබිම ගොම කොලපාටට හුරු පිටකවරයකින් යුතු කුඩා පොතක්. කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව. ඩොමිනික් චන්ද්‍රසාලිගෙ අලුත්ම කවි පොතේ නම ඒක. ඒ නමම වෙනමම කවියක් බවයි මම සිතුවේ.නැවතිල්ලේ සිතිය යුතු නිතර නිතර හිතන්නට හිතට බලකරන අමුතු යෙදුම් සහිත වැකියක්.
කවි පොතකට විතරක් නෙමේ වෙනත් ඕනම පොතකට මම මේ තරම් බැඳුනේ කාලෙකින් නෙමෙයි සෑහෙන කාලෙකින්. ඒ හැම කවියකම ඩොමිනික් ඔහුටම අනන්‍ය රිද්මය, තානය හොඳාකාරවම තවරලා තියෙනවා. එවැනි ගැලපෙනම විදිහේ ඒ තානයක් ඔහු වෙතට ආවේ කොහෙන්ද? කවි අස්සේ කොතරම් කරක් ගැහුවත් මට හොයා ගන්නම බැරි විදියට මොකක්දෝ ශෝකී සක්මනක්, නන්නත්තාර ඉසිඹුවක් ඒ හැම කවියකින්ම පෙරෙන්න ගනිමින් තිබුනා.
ශෝකය හෝ මීදුමක සැඟවීයන මොකක්දෝ වියෝග හැඟුම් මාත්‍රයන් මේ මුලු කවි පොත පුරාවටම තැවරෙන්නෙ කෙලින්ම වචන මූලික කරගෙනම නෙමෙයි කියලයි මට හිතෙන්නේ. වචන වලටත් වඩා ඒ දිගු පදවැටි වලින් මතුකෙරෙන අරුත් එකපාරම නොතේරෙන හැඟුම් දහරක්  අතරේ අපිව නැවත නැවතත් සංචාරෙකට අරගෙන යන්න බල කරනවා. ඒක තමයි මේ කවි වලින් මාව මත් කරපු විස්මිත මොහොත විදියට මට පෙන්වන්න තියෙන්නෙ.
ඒ වගේම නූතන බොහොමයක්  තරුන කවිවලින් මතුකෙරෙන දුම්බොන,  බියර් බොන පොදු විලාසිතාවෙන් මේ කවි සීරුවෙන් මිදී ඇති බවක් ද දැකගන්න පුලුවන්. එවැනි දෑ කවි වලින් දැකල දැකලාම කාලයක් මම රසිකයෙක් ලෙස හෙම්බත්ව සිටි නිසා මේ නව වෙනස්කමට මම සෑහෙන්න ආදරෙන් බැඳුනා. 
කලින් විස්තර කලා වගේ මේ හැම කවියකින්ම මට හැඟෙන්න ගත්තේ මොකක්දෝ ශෝකී සක්මනක් හෝ නන්නත්තාර ඉසිඹුවක්/ වියෝගී සංයමයක් වගේ නිර්වචනය කල නොහැකි පරස්පර දැනීමක්. ඒ හැම කවියක්ම එකවගේ මාව පැහැර ගත්තා. ඔහුගේ කවි ඔහුටම අනන්‍ය මාවතක ගමන් කිරීමම පරිනතියේ ලක්ශනයක් බවයි මම විස්වාස කරන්නේ. මහා බරසාර අරුත්, සමාජ විග්‍රහ වලට වැඩියෙන් ඔහුගේ කවි අපේ වදන්වලට යා නොහැකි අනන්ත දුරකට අපව රැගෙන යන්නට සමත් වෙනවා. මේ හැම කවියක් හරහාම ඔහු පෙන්වන රිද්මය, සිය අනන්‍යතා මුද්‍රාව එය වෙහෙසින්, කාලයේ සියුම් පියවර මතින් අත්පත්කරගත් ධ්‍යානයක් වැනි යමකැයි හැඟෙන තරමට පරිපූර්නත්වයෙන් පිරිලා.
මාතෘකා සහිත වටකුරු - තනි - කවියකින් ලැබෙන ප්‍රහර්ශයට වැඩි හැඟීමක් මේ හැම කවියක්ම අතරේ සැරිසරනවිට දැනෙන්න ගන්නවා. මාතෘකාවලින් වෙන් වෙන්ම තැබුවත් මේ හැමකක්ම එකම කවියක අනුශාංගික කොටස් විදියට අගක් මුලක් නැතිව සියුම් හුයකින් එක්කාසු වෙනව දෝ කියලත් නොයෙක් වර හිතෙන්න ගත්තා. කොහොමටත් මේ කවි පොත මුල ඉඳන් අගට නිවී සැනසිල්ලේ කියවාගෙන ගියත් එහෙව් තනි කවියක අරුතකට වඩා මාව කැලඹුවේ මේ ගොන්නම එක මිටින් ගෙන ඒ ගොන්නම අතරේ දැනෙන සංවේදනාත්මක සන්නිවේදනයක් විසින්. ඒක මට පවා කාලයක් අමතකව ගිය දැනීමක්. ඒ කවි මගින් අවුරුදු ගානකට පස්සේ මගේ ඉපැරනි පුද්ගලික හැඟීම්වල මතකයන් ගැඹුරු නින්දකින් පස්සේ යලි අවදි කෙරෙව්වා.
මේ කවි නෑකම් කියන ශානරය මොකක්දැයි මට නිශ්චිතවම හිතාගන්න බැහැ. අජිත් සී හේරත්, අජිත් තිලකසේන, මංජුල වෙඩිවර්ධන වගේ අයගෙ කවි ආසන්නයෙන් ගියත් ඩොමිනික්ගෙ කවි ඔහුටම අනන්‍ය මාවතක ගමන් කරනවා කියලයි හිතන්න වෙන්නෙ.
මේ කවි නැවත නැවත කියවමින් ඒ රිද්මයන්, හැඟුම් පදාසයන් අස්සේ හැකිලෙමින්, හුදකලා වෙනවා මිසක් ඒවා වෙනුවෙන් විචාරාත්මක වචන වියදම් කරන්නේ කොහොමදැයි මට හිතාගන්න බෑ. නමුත් මම කැමති සමහර කවියක් හෝ කවිවලින් කැබලිති කිහිපයක් පමනක් අරගෙන මා විස්මයට පත් කරපු තැන් කිහිපයක් හෝ පෙන්වා සිටීම අවම වශයෙන් මට කරන්න පුලුවන්.
රැයක් ඉපැරනි මධු සාදයක් යට පවා
ඉතිරිවන නිහැඬියාව සමඟ
තවත් මොහොතකින්
ඩැහැගනී ඉර ඇවිත්
ඇබින්දක්වත් ඉතිරි නොකරම අන්ධකාරය
සඳ තරුවලට අමතරව
දම්පාට අපේ සිහින පාරාදීසය

''රාත්‍රිය දියවී සියල්ල යථා තත්වයට පත්වන තුරු ඇය සහ මම'' යන තේමාවෙන් යුක්ත මේ මුලු කවියම මාව පුදුම කලා. මුලු තනි කවියක් විදියට වැඩිපුරම මාව අත්පත්කරගත්තේ ඒ කවියයි. මේඒ කවිය තුලම ඇතුලත් තවත් ඒ වගේ සොඳුරු තැන් කිහිපයක්.

ශෝඩා බඳුනක ඉර ගිලී
පැහෙන පෙන බින්දු කුඩු වී නිවෙන මිනිත්තුවට
සුබ සන්ධ්‍යාවක් සැබෑ ලෝකයට

කිසිදාක අපට අප හමුනූන
වෙන වෙනම උද්‍යාන දෙකක

මම අර කලින් කිව්වත් වගේ වදන් වලට වඩා ඔහුගේ යෙදුම් කවි වල නව හැඟීම් ජනනය කරන්න සමත් වෙනවා.
මම ඒ වගේ තව තැන් කිහිපයක් උපුටන්නම්.

වට රවුම් පාරක
මද්දහන දෙබෑකර නැගෙන කුඩයක් යට
ටොන් ගනන් බර ඡේද
සංශිප්ත කර හෙලු සුසුමකට
ඇගේ රවුම් ටී කර
නිම්වලල්ලක් සේ ඇද වී ගියේය.

......................
..................

ඇගේ ගේ පිටුපස
සමාන්තර කඳු පලලු අතර සිරවී
සැන්දෑ කාලයේ සුන්දරම වර්න මියයි
රාත්‍රිය දැන් මට ද අවලංගුය
.................
..............


දිගින් පලලින් අඩු මැද මාලයේ
මුල්ලේම මේසය මත‍
සිලොන්ටා පාට හැන්දෑව
පිත්තල හැන්දකින් දිය කරන කරන ගමන්
උගුල්ලා තැබුවෙමි නුඹ
කැස්සත් සොරි කියන ජීවිතය...

මේක මොනතරම් මනරම් යෙදුමක්ද? කැස්සත් සොරි කියන ජීවිතය. ඒක නම් පිස්සු හැදෙන තරම්.
අනිත් අතට ඒ කවියේම මෙන්න මෙතන

ලෝකයම පසෙක ලා
චිමිනිය උතුරා යන තරම් ආලෝකය පුරවා
සිත්තරී පේනවද
නුඹ ඇන්ද සාදයේ
ආලෝක සිතුවමක ලස්සන

......................
.................
චිමිනිය උතුරා යන තරම් ආලෝකය පුරවා යන මේ කවියෙහි නව යෙදුම සමඟ නැවත නැවතත් එතැන අපව නතර කර තබන්න තරම් සමත් කාව්‍යමය නවීන යෙදුමක්. සාම්ප්‍රදායික උපමා, අලංකාර දෙස යන්තමින්වත් නොබලන ඩොමිනික් ඔහුගේ කාව්‍ය ලෝකය, මුසපත් වූ සිත්තරෙක් පරිද්දෙන් නැවුම් වර්නයන්ගෙන් සිත්තම් කරන විලාසය බලා ඉන්න අපූරුයි.

තබා යමි කල් ඉකුත් වුනු සුබ පැතුම් පතක්
නුඹේ ලිපිනය යටින් ගුලි කර
අගුලු ලා නොවැම්බරයට
පලා යමි නමක් නැති මාසෙකට,
ලෝකයේ අද පිපෙන සෑම රෝස මලකම සුවඳ
ඇගේ උපන්දින ගිනුමට බැරකර

.....................
.................

දුර පලාතක නෑ ගේක ගොස් එනවිට
ගමන් මල්ලෙන් එලියට පැන්න
ඇන්තූරියම් පඳුරක කිනිත්තක් අතැතිව
ලස්සනම දේ පමනක්
තමන්ගේ වත්තේ පැලකරන
ගෙමිදුලක අයිතිකාරියක සැවොම


මේ ඩොමිනික්ගෙ කවියක මාව නතර කරවපු යම් යම් දාර්ශනික එලඹුම් වලට පිවිසුනු තැන් කිහිපයක්.

ඇසැර මොහොතකට
අප සිටින්නේ කොහෙද
සුලඟ පැනනගින්නේ කොතනින්ද
හැරයාම ලංවීම ඉපදීම මියයාම
සීමා ලකුනු කරන්නා කවුරුන්ද
..................
..................

පෙනි පෙනී පේන මානයේ සැරි සැරීම සහ
දැහැට නොපෙනී යෑමද
ශෝකයත් ශෝකයට හේතුවත්
එකට එක මුනගැසීමත් වඩා
හමු නොවීම සදාකාලික පියකරුය
.................
................

ඉතින් අවසන් වශයෙන් මේ මුලු කවි පොතම කට පුරා කවි පොතක් යයි කිවිය හැකි කවි පොතක්. මෑතක මේ තරම් විස්මිතව මාව අත්පත් කරපු වෙනත් කවි පොතක් නොමැති තරම්. ඔහුගේ කවිම යලි යලි උපුටා දක්වමින් පෙන්නනවා ඇරෙන්න ඒවා ගැන මහා ලොකු බරසාර විචාර වාද ලියන්න කොහොමටත් මම අසමත්. මම ඒව විඳිනවා. වරක් දෙවරක් නෙමෙයි. සදාකාලයටම විඳිනවා. ඇත්තටම මේක කාලයම සිතුවිල්ලක් කරන කල්පයක් තරම් දිග මිනිත්තුවක කවි තමයි.


ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...