Thursday, April 25, 2019


රතුපාට මාලු පැටවුන්ගේ ලෝකය Turtles Can Fly 



චිත්‍රපටයකින් මේ තරමට මාව කැලඹුවේ සෑහෙන කාලෙකින්.

ඒ කැලඹීමට හේතුව කොහෙන් ආපු එකක් ද  කියල ආපස්සට මම කල්පනා ලෝකෙ ඇතුලෙ සැරිසරන්න පටන් ගත්තා. මේක මුලු චිත්‍රපටය පුරාවටම ලමයි විතරක් මූලික නිරූපනය වන කතාවක් කියල කියන්න පුලුවන්. වැඩිහිටි ලෝකය පසුබිමේ පැවතියත්, ක්‍රියාත්මක වෙන්නෙ, ඛේදවාචකවලට මුහුන දෙන්නෙ විතරක් නෙමෙයි තීරන අරගන්නෙත් ලමයි වීම නිසා ඒක තනිකර ලමා කතාවක් ලෙස එකපාරටම පේන්න පුලුවන්.
සිදුවීමට පසුබිම වෙන්නෙ ඉරාකයේ එක්තරා ගමක්. මේ ගම ඉරාක - ඇමෙරිකා යුද්ධයට මුහුන දෙමින් ඉන්න අතරවාරෙ ලමා වීරයෙක් සෙසු ලමුන් හා ඔවුන්ව මෙහෙයවන ලමා වීර චරිතයක අපේක්ශා පෙන්වමින් චිත්‍රපටය ගලාගෙන යනවා.

කතාව පසුබිමේ තියෙන්නෙ ලමා ලෝකය යුද්ධයෙන් කොයිතරම් බිහිසුනු ඉරනමක් වෙතට සංක්‍රමනය වෙමින් පවතිනවද කියන එකයි. අත් පය නැති, කකුල් කැඩුනු, දෙමාපියන් අහිමි දරුවන් ඔවුන්ගේ වීර චාරිකාවක් වෙතට දිව යමින් පවතින හැටි නිර්මානකරුවා පෙන්වල දෙන්නෙ උපේක්ශාත්මක දෘශ්ටියකින්.
යුද්ධය මේ මුලු කතාවම වසාගෙන සිටින අන්ධකාර සෙවනැල්ල උනත් වෙඩිතැබීමක්, යුද්ධයක් නොපෙන්වා එහි සාහසිකබාවය පරම්පරා ගනනාවකගේ ජීවිත විනාශ කරන ආකාරය පෙන්වන්න තරම් සිනමා භාශාව සූක්ශමයි.

මේ කතාවෙ විශේශතම කාරනය වන්නෙ මේ ඉහතින් කතාකරපු මොනවත්ම නෙමෙයි. මේකට තෝරගත්තු ලමා නලු නිලියන්ගෙ රංගනය. ඔවුන්ගෙ චරිත ස්වභාවයන්. ඒක අපිව පුදුම කරවනවා. ඒ නිසාම තමයි මේ තරම් තදට අපි මේ චිත්‍රපටය හා බැදෙන්නෙත්.

ආරම්භයේ ඉදන් අවසනය තෙක්ම ලමා ලෝකයේ වීරත්වයන්, හාස්‍යය හා සංවේදී ස්වභාවයන් මුසු කරමින් දරුනු ඛේදවාචක කතාවක් ඉවසීමෙන් නිරූපනය කිරීම නිසාත් මේ ලමුන්ගේ සජීවී රංගන කාර්යයන් නිසාම අපි මේ කතාව තදින් බැදෙන්න ගන්නවා. 

ඒ අරුම කැලඹුම වෙනුවෙන් Turtles Can Fly චිත්‍රපටයේ සෑම නිර්මානකරුවෙක් වෙතම මගේ ස්තූතිය පුදකර සිටිනවා.

Wednesday, April 17, 2019


විස්වසනීයත්වය අනිවාර්යයි





යථාර්ථය හා විස්වසනීයත්වය යනු එකක් ද දෙයක් ද?

මේ මාතෘකාව ගැන බොහෝ වෙලාවට මම  කල්පනා කලේ වැඩට යද්දී බයිසිකලේ උඩ ඉඳගෙන. ඒක කොයිතරම් දුරට යථාර්ථවාදීයිද, නැත්නම් විස්වසනීයයිද? මෙතනදි නම් විස්වසනීයත්වය හා යථාර්ථවාදය එකම සංකල්පයක් විදියට ඔබට පේන්න පුලුවන්. නමුත් ම තර්ක කරන්නෙ මේ දෙක පැහැදිලිවම දෙකක් කියන මතයේ ඉඳගෙනයි.

ඒක විස්තරාත්මකව පැහැදිලි කරන්න පුලුවන්ද?

ඔව්. ඒක පැහැදිලි කරන්න මම මෙතනට තව වචනයක් ඈඳාගන්නවා. ඒක තමයි හේතුඵලය.

යථාර්ථය ගැන මම වැඩිදුරට කරනු කියන්න මහන්සි ගන්නෙ නැහැ. මොකද ඒක වෙහෙසකර වැඩක් සහ මේ වෙනකොට ඒ ගැන උවමනාවටත් වැඩි තරම් සාකච්ඡා සංවාද පැවැත්විලා තියෙනවා. ඒ නිසා යථාර්ථය ගැන න්‍යායික ප්‍ර වේශයන් මේ සංවාදයට අවශ්‍යම නැහැ කියලා මම විස්වාස කරනවා.

කිසිම කලා කෘතියක් යථාර්ථවාදී නැහැ කියා කිසිවෙක් හෝ පැවසුවොත් මමත් ඒ අදහසට එකඟ වෙනවා. මොකද කලා කෘති කියන්නෙම ප්‍රබන්ධාත්මක හෝ නිර්මානාත්මක දේවල් නිසා ඒවා යථාර්ථය ඒ ආකාරයටම පිලිඹිබු කිරීමට නොහැකියි. අතිශය සජීවී සිනමාව තුල පවා සම්පූර්න යථාර්ථවාදී යමක් පෙන්වීම අසීරුයි. කලාකෘති මගින් සමාජ යථාර්ථය පෙන්වීම කියන්නේ තව කතාවක්.

අපට දිශානතිගත වෙන්න ඕන එතැනට නෙමෙයි. කලා කෘති යථාර්ථවාදී විය යුතුද වැනි ප්‍රශ්න නොයෙක් වෙලාවට ඇසෙනවා. බොහෝ පශ්චාත් නූතන විග්‍රහයන් මගින් කියවෙන්නෙ ඒක අවශ්‍ය නැහැ කියලා. මේ වෙනකොට අධියථාර්ථවාදී නිර්මානකෘති පවා බිහිවෙලා බොහෝ කල් ඉක්ම ගිහිල්ලා බව අපි දන්නවා.
නමුත් විස්වසනීයත්වය කියල කියන්නෙ යථාර්ථයටම නෙමෙයි. සියලු කලාකෘති විස්වසනීය විය යුතුදැයි මගෙන් කිසිවෙක් ඇසුවහොත් මම එකහෙලාම පිලිතුරු දෙන්නේ ඔව්. සියලු කලා කෘති විස්වසනීය විය යුතුයි කියලායි.

කලාකෘතියක් යථාර්ථවාදී විය යුතු නැති අතරේ විස්වසනීය විය යුත්තේ කොහොමද?

ඒකයි මම මුලදීම කිව්වේ යථාර්ථවාදය කියන්නේ විස්වසනීයත්වය නෙමෙයි කියලා. විස්වසනීයත්වය කියන්නේ අදාල නිර්මානය අපට කොයිතරම් දුරට විස්වාස කරනන්න හෝ ඒ ගැන විස්වාසය තබන්න පුලුවන් ද එකඟ වෙන්න පුලුවන්ද කියන පැනයට ලැබෙන පිලිතුරයි. විස්වසනීයත්වය ආරක්ශා වීමෙන් එය යථාර්ථවාදී විය යුතු යයි කියන්න බැහැ. විස්වසනීයත්වය ආරක්ශා වීමෙන් එය හේතුපලවාදී වන බව නම් අපට කිව හැකියි.

මම නම් හිතන්නේ ඕනෑම නිර්මානයක් තුලින් පාඨකයා විස්වසනීයත්වය හෝ හේතුපල තර්කනය විමසා බලනවා. ඒ වගේම නිර්මානකරුවාත් තම නිර්මානය උපරිම ආකාරයෙන් විස්වසනීයත්වයෙන් හා හේතුපල තර්කනය ආරක්ශා වන අයුරින් කටයුතු කරනවා. මේවා සාමාන්‍යෙයන් යථාර්ථවාදී නිර්මානවලදී වගේම ෆැන්ටසික හා අධියථාර්ථවාදී කෘති වලදිත් එසේමයි.

ඔබ පවසන දේ තවමත් යම් පැටලිලි සහගත බවක් ගේනවා. මේක අපි නිදසුන් මගින් පැහැදිලි කරමුද?

හොඳයි, අපි ගනිමු හින්දි චිත්‍රපටයක්. පෙම්යුවලක් යථා ලෝකයේ මාර්ගයේ ගී කියමින් නටන්නේ නැති බව සහ ඔවුන් නටන විට මාර්ගයේ මිනිසුන් ඔවුන්ට එක්වී එකම රිද්මයකට නර්තනයේ නිරත නොවන බව අපි දන්නවා. ඒ කියන්නේ ඒක යථාර්ථවාදී නැති බව අපි දන්නවා. නමුත් එම  චිත්‍රපටයේම පෙම්වතා හෝ දුශ්ටයා මිය ගියහෝත් ඔහුට නැවත පන නොඑන බව අපි විස්වාස කරනවා. කන්දකින් පහලට වැටී විනාශවන දුශ්ටයා නැවත පැමිනිය හොත් අපේ විස්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා ඒ දුශ්ටයා කන්දෙන් පහලට වැටී මිය යාම ගැන හේතුපල තර්කයක් සිනමාකරුවා අලුතෙන් ගොඩනගනවා. ඒ මෙහෙම. ඔහු කන්දෙන් පහලට වැටුනත් වැල් ගොන්නක රැඳුනා. වයසක සීයා කෙනෙක් ඔහුට වෙදකම් කර සුවපත් කලා. මේ නැවත පැමින සිටින්නේ ඔහුයි. මේ හේතුඵලය ලුහුඩින් හෝ සිනමා කරුවා අපට ඉදිරිපත් කලොත් අපේ විස්වාසයන් තහවුරු වෙනවා.
ඇතැම් පුරාන රජ කතා සිනමාවට ගැනීමේ දීත් මේ තත්වය පැහැදිලි වෙනවා. නලු නිලුයන් තත්කාලීන බව ඇඟවෙන ආකාරයේ ඇඳුම් පැලැදුම් වලින් සැරසෙනවා. ඒ කාලයට සරිලන දෙබස් භාවිත කරනවා.  අන්තපුරයේ බිසවුන්ද ප්‍රීතිමත් මොහොතක ගී කියා නටමින් රාජ මන්දිරය පුරා දුවයන ආකාරය වැනි දේ යථාරථවාදී නොවන බව අපි දන්නවා. සහ ඒක අපේ විස්වාසය බිඳෙන තරමේ ගැටලුවක් නෙමෙයි. නමුත් අපි හිතමු ඒ චිත්‍රපටයේම සටන් ජවනිකාවක් සිදුවෙන විට ඈත අහසේ ගුවන් යානයක් පියාසර කරනවා කියල. එතකොට මොකද වෙන්නේ. ඔන්න විස්වාසය බිඳ වැටෙනවා. මොකද එය එම චිත්‍රපටය ඇතුලත ගොඩනගන සත්‍යයට බද්ධ නොවන නිසා. එහෙම දැක්කම ඒක විචේචනය වෙන එක බොහෝවිට සිදුවෙන දෙයක්. ඒ නිසා විස්වසනීයත්වය සෑම කලා කෘතියකම දක්නට ලැබෙන්නක් බව පේනවා.  

මෙය තවදුරටත් විග්‍රහ කරන්න නම් නිදසුන් අවශ්‍ය වෙනවා. නිදසුන් මගින්ම මේවා අර්ථ නිරූපයන කරගනිමු.
එසේම අපි ගමු හොරර් ගනයට අයත් කතාවක්. අපේ ලෝක දැක්ම හෝ තාර්කික ඥානය අනූව හොල්මන් කියා දෙයක් නැතැයි කියමින් අපි එවැනි නිර්මාන බැහැර කරන්න පෙලඹෙන්නේ නැහැ. ඒ කියන්නෙ අපි යථාර්ථය ප්‍රශ්න කරන්න පෙලඹෙන්නෙ නැහැ කියන එකයි.  එය විස්වාසකල හැකි මට්ටමකට සිදු නොකලහොත් නම් අපි අපේ තර්ක අවි අමෝරාගන්න කටයුතු කිරීම ස්වභාවිකයි.

මම මේ තාක් නිදසුනට ගත්තේ සාමාන්‍යෙයන් යථාර්ථවාදයට කිට්ටු කලාකෘති කිහිපයක්. දැන් අපිට යථාර්ථවාදයට බොහෝ දුර නිර්මානයක් මගින් විස්වාසය හෝ හේතුඵලය ආරක්ශා වියයුතුදැයි විමසා බලන්න පුලුවන්. මම අපි දන්න ගොඩක් අය අඳුනන කාටූන් එකක් මේ සඳහා අරගන්නම්. සූරපප්පා කාටූනයේ පප්පලා සියල්ලන්ටම බලය ලැබෙන්නේ අරිශ්ට බීමෙන් බව අපි කවුරුත් දන්නවා. අරිශ්ට බොන්නේ නැතිව බලයක් තිබෙන එකම පප්පා ජිම් පප්පා විතරයි. ඉතින් සෑම කාටූන් එකකින්ම නිර්මානකරු අපේ හිතේ විස්වාසය ගොඩනගනවා මේ අයට බලය එන්නේ අරිශ්ටය බීමෙන් බව. ඉතින් අරිශ්ටය නොබොන යම් දවසක් වේද මේ අයට අසීමිත බලයක් ලැබෙන්නෙ නැහැ. තව දෙයක්. මේ අරිශ්ටය සෑම කෙනෙකුටමත් හදන්න බැරි බව මේ කාටූනයේ දැක්වෙන  සත්‍යයක්. එය හදන්න පුලුවන් වෙද පප්පාට විතරයි. ඉතින් වෙද පප්පා නැතිව වෙන අයෙක් අරිශ්ටෙ හැදුවොත් හෝ අර්ශ්ටය නොබී මේ පප්පලා අසීමිත බලයක් සහිතව ක්‍රියා කලහොත් ඔන්න අපේ විස්වාසය බිඳ වැටෙනවා. ඉතින් කාටූන් නිර්මානකරු නිතරම අර විස්වාසය ආරක්ශා කරන්න වෙහෙසෙනවා. ඒක යථාර්ථවාදය ආරක්ශා කිරීමක් නෙමෙයි. විස්වාසය ආරක්ශා කිරීමක්. ඒ කාටූනය ඇතුලේ හේතුඵල සම්බන්ධයක් ගොඩනැගීමක්.

ඉතින් දැන් ඔබට යම් වැටහීමක් ඇති යථාර්ථවාදය සහ විස්වාසනීයත්වය ගැන. කිසිම කලාකෘතියකින් යථාර්ථය ආරක්ශා කල යුතු නැතත් ඒ සෑම කලා කෘතියකින්ම විස්වාසය ආරක්ශා කිරීම අනිවාර්යයක් බව මම කියනවා. මේ විස්වාසය ආරක්ශා විය යුතු වන්නේ ඒ ඒ නිර්මානය ඇතුලතින්ම නිර්මානය වන නිර්නායක හෝ සත්‍යතා හරහායි. ඒක සෑම නිර්මානයකටම පොදු මිනුම්දන්ඩක් නෙමෙයි. ඒ ඒ කලාකෘතියේ ස්වරූපය අනූව විස්වාසනීයත්වයේ මිනුම් දන්ඩේ දිග පලල වෙනස් ස්වරූප ගන්නවා. නමුත් අපි සෑම කෙනෙක්ම නිර්මානය මත විස්වාසනීයත්වයේ මිනුම් දන්ඩ යොදා මනිනවාමයි. ඒක නිර්මාන කියවීමට අත්‍යවශය මිනුම් දන්ඩක් බව මම මේ මොහොතේ විස්වාස කරනවා.

 අපේ රටේ නිර්මානකරුවන් විස්වසනීයත්වය ආරක්ශා කරන බවක් පේනවද?

මට හිතෙන්නේ ඔවුන් ඒ පිලිබඳව තැකීම ඉතාමත් අඩු බව. ඊට වඩා ඔවුන් වෙහෙසෙන්නේ එහි ඇති සාරගර්භ තේමාත්මක මානය සම්බන්ධව. අන්තර්ගතතේ විශිශ්ට බව කෙරෙහි අති අවධානයක් දීමෙන් ඔවුන් නිර්මානවල විස්වසනීයත්වය නොදැනුවත්වම බිඳ වැටෙනවා. හුඟක්ම යථාර්ථවාදී නිර්මානවල චරිත හැසිරීම්, ඔවුන්ගේ ඉරනම වගේ දේවල් ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට සිදුවිය හැකි අයුරින් නිර්මානකරුගේ රූකඩයක් වන අවස්ථා අපි දැක තිබෙනවා. එමගින් සිදුවන්නේ පාඨකයා එය සමඟ අනන්‍ය විය නොහැකි තරමට දුරස්වීමයි.

අධියථාර්ථවාදී නිර්මානවල මේ තත්වය මීට වඩා ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. යථාර්ථයට පිටුපා යන සැනින් ඔවුන් විස්වාස කරන්නේ විස්වාසකල නොහැකි ඕනෑම සිදුවීමක් ඒ තම සිත්තම් කරන්න පුලුවන් බවයි. එව සාවද්‍ය මතයක්. අධියථාර්ථවාදී නිර්මානයක වුවත් විස්වසනීයත්වය කඩ නොකර ආරක්ශාකිරීමට නිර්මානකරුවන් දක්ශවිය යුතුයි.

විස්වසනීයත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ශ කාරනයක් නෙමේද?

මතුපිටින් බැලුවාම එහෙම හිතෙන්න පුලුවන් තමයි. අපි අරගනිමු ලිංගික කාරනයක්. යම් තරුනයෙක් තරුනියක් සමඟ ලිංගික ඇසුරකට පත්වීමේ මොහොත කෙනෙකුට විස්වසනීය නැහැයි කියන්න පුලුවන්. එම සිදුවීමම තව කෙනෙකුට විස්වසනීය බවත් තමාද එවැනි සිදුවීමකට මුහුනදුන් බවද කියන්න පුලුවන්. මෙතන සංකීර්නත්වයක් තිබෙනබව පෙනුනත් විස්වසනීයත්වය කියන කාරනය ඇතුලෙන් ගත්තම ඇත්තටම මේක හරි සරලයි.
අපි අත්දැකල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තර්කය වෙන්න ඕන. නිර්මානය ඇතුලෙදි ඒක නිරූපනය වෙලා තියෙන ස්වභාවය විස්වසනීය ද කියන එකයි. ඒක කොයියම්ම දිනක සිදුවෙන්න බැරි දෙයක් වුනත් කමක් නැහැ. නිර්මානය ඇතුලෙ සැකසී තිබෙන යථාර්ථයට, පසුබිමට ගොඩනගා ඇති පරිසරයට ඒ මොහොත ගැලපෙනවද කියන එකයි අපි බලන්න ඕන. එහෙමත් නැත්නම් අපිට පිලිගන්න පුලුවන් විදිහට ඒක කරල තියෙනවද කියන එක තරයි අපි බලන්නෙ. ඒක තමයි විස්වසනීයත්වය කියන්නෙ.මේක මම තවදුරටත් පැහැදිලි කරන්නම් මැජික් ආශ්‍ර යෙන්.

මැජික් කියන්නෙ ඇස්බැන්දුමක්, බොරුවක් බව අපි දන්නවා. නමුත් අපිව හොඳටම රවට්ටන කෙනා තමයි විශිශ්ටයි කියල අපි පිලිගන්නෙ. අපිට අහුවෙන විදිහට ඒක කලොත් අපි එයාව විශිශ්ටයෙක් විදිහට බාරගන්නෙ නැහැ. මැජික් නිරූපනයෙදි එයා අපිට පිලිගන්න පුලුවන් මට්ටමට ඒක කරනවද කියන එකයි අපි බලන්නෙ.

මේ යකා කරන්නෙ බොරුවක් බව දැන දැනම අපි ඒ යකාගෙන්ම ඒක ඇත්ත විදිහට කරන්න කියල ඉල්ලනවා.

ඒකම නේද විස්වසනීයත්වය කියල අපි නිර්මානයෙනුත් ඉල්ලන්නෙ.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...