කේ පොයින්ට් යනු 88-89 භීශන වකවානුවේ මාතර එලියකන්ද ප්‍රදේශයේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිල නොවන මට්ටමේ රැඳවුම් කඳවුරක්. නොඑසේ නම් වධකාගාරයක්. මෙම වකවානුවට ආසන්නතම වර්ශයක ඉපදී ඇති අප මේ සම්බන්ධව දැනුම, අවබෝධය ලබාගන්නේ ඒ යුගය ගැන ලියවී ඇති පොතපතෙන් හෝ වෙනයම් වාර්තා මගින් පමනයි. කේ පොයින්ට් නවකතාව ඒ අතින් මට පුද්ගලිකව ඉතා වැදගත් වූ කෘතියක්.
මෙහි රචක එලියකන්ද වධකාගාරයේ වසරකටත් වැඩි කාල සීමාවක් ගතකරන බවත්, ඔහු එහිදී ලැබූ සැබෑ අත්දැකීම් මෙම කෘතිය තුල ඇතුලත් කර ඇති බවක් කෘතියේම සඳහන්. නවකතාව කියවන අතරතුරත්, ඉන් පසුවත් මම එලියකන්ද ගැන හෝ වෙනත් වධකාගාර සම්බන්ධව ලියවී ඇති කෘති ගැන හෝ වෙනයම් අන්තර්ජාල තොරතුරු ඇතැදැයි සොයාබැලු නමුත් මට මුනගැසුනේ ඉතා අල්ප තොරතුරු මූලයන් කිහිපයක්.
එලියකන්ද වදකාගාරය සම්බන්ධ කොටගෙනම තවත් නවකතාවක් මින් පෙර ලියවී ඇතත් (රෝහිත මුනසිංහ) එහි කර්තෘ මේ වධකාගාරය තුල ගතකර ඇත්තේ මාස දෙකක පමන කාලයක් පමනක් බවත් කියැවෙනවා. ඒ නයින් අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් යනු හුදු අත්දැකීමකටත් වඩා පර්යේශනාත්මක මට්ටමේ කෘතියක් බවට ද ඉබේම පත්වෙන බවක් මට හිතෙනවා.
මෙය පැති ගනනාවකින් විශේශිත කෘතියක්. එකක් මා පලමුව සඳහන් කළ භීම සමයේ සැබෑ අත්දැකීම් කැටිවීම සඳහන් කරන්න පුලුවන්. දෙවැන්න එය අත්දැකීම ලැබූ කාලය සහ කෘතිය ලියවුනු කාලය අතර පරතරය. මෙය රෝහිත ලියූ කෘතියට වඩා බොහෝ කල් ඉක්මගොස් ලියැවුනු කෘතියක්.
අජිත් පැරකුම්ගේ කේ පොයින්ට් නවකතාව කියවද්දී අපට දැනෙන්නේ එය මනා උපේක්ශාවකින් යුතුව ලියැවුනු කෘතියක් බවයි. වධකාගාරයේ වින්දිතයෙක්ව ලැබූ සාහසික අත්දැකීම් මෙන්ම අත්විඳීම් ද සහිතව වුවත් මෙහිදී කතුවරයා ඒ තුලට ද්වේශය ඇතුලත් කර නොගන්නට පරිස්සම් වෙනවා. එය මෙවැනි සමයක් සම්බන්ධව සැබෑ අත්දැකීම් එක්කොට ලියවෙන සෙසු කෘතිවලින් වෙන්වන මූලික අංගයක් බවයි මා විස්වාස කරන්නෙ. පොත ලියැවෙන්නට ගතවූ කාලය ඊට සාධකයක් වන්නට ඉඩ තියෙනවා.
කේ පොයින්ට් නවකතාවේ කථකයා නැතිනම් ප්‍රධාන චරිතය වන්නේ රචක නම් තරුනයෙක්. ඔහු ඉතා ලාබාල අවධියක(පාසල් වයසේදීම) ජවිපෙ පක්ශ ක්‍රියාකාරිකයෙක් බවට පත්ව එහි දේශපාලන අංශයේ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරනවා. සාමාන්‍යෙයන් ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයන් මෙන්ම එහි විවිධ තල නියෝජනය කරන සාමාජික සාමාජිකයන් සම්බන්ධ දල චිත්‍රයක් මවන්නට කතුවරයා මුල් පරිච්ඡේද කිහිපය යොදාගනු ලබනවා. පක්ශ සාමාජිකයන්ගේ වීරකම්, මෝඩකම්, දුබලතා, කැපවීම් මෙන්ම අවංක හා වංකභාවයන් යන සියල්ල සිය දෘශ්ටියෙන් දකින හැටි රචක හරහා කතුවරයා විදහා දක්වනවා. මෙය විප්ලවීය අනුරාගයකින් යුත් සමාජවාදියෙක් අතින් නොකෙරෙන්න ඉඩ තිබෙන මැදිහත්භාවයක් සහිත ලියවීමක්. එය රචක දරන ස්ථාවරය හරහාම ගොඩනැගෙන්නක් බවත් පේනවා.
පක්ශ ක්‍රියාකරුවෙක්ව සිටිමින්ම ඒ තුල ඇති විවේචනාත්මක කාරනා රචක අභ්‍යන්තරයෙන් දකින අයුරුත්, ඇතැම් විට පක්ශ නායකයන් සමඟ කතාබහ කරන අයුරුත් කෙසේ හෝ ඒ ප්‍රවාහයේම ගසාගෙන යන අයුරුත් අපිට දැකගන්න පුලුවන්.
කතාවේ ඊලඟ කොටස සම්පූර්නයෙන්ම වෙන්වන්නේ කේ පොයින්ට් (කිලර් පොයින්ට්) හෙවත් එලියකන්ද වධකාගාරයේ කැරලිකරුවන්ට අත්වන වධවේදනා හා ඛේදාන්ත මෙන්ම වධකයන්ගේ හැසිරීම්වල ඇති විපරීත තත්වයන් නිරූපනය කරන මොහොත වෙතයි.
කැරලිකරුවන් මරාදමන හැටි, නොමරා මරමින් ජීවත් කරවන හැටි, අමානුශීය ආකාරයෙන් සලකන විධි වැනි සියොලඟ හිරිවැටෙන ආකාරයේ අනේකවිධ වේදනා විස්වසනීය ආකාරයෙන් නිරූපනය වන්නේ කතුවරයා එය සියසින් දුටු නිසාම වන බවට සැක නැහැ. විවිධ වූ වයස් මට්ටම්වල මෙන්ම නොයෙක් සමාජ ධූරාවලි නියෝජනය කරන පුද්ගලයන් එකම වධකාගාරයක වින්දිතයන් වී සිටින අයුරු මෙන්ම ඔවුන් මරනීය මොහොතක ජීවිතය යැදීම වෙනුවෙන් සිය වධකයා වෙත බැගෑපත්වන අයුරුත් මෙහිදී නිරූපනය කරන ආකාරය සංවේදනාත්මකයි. හමුදා සෙබලු අතින් පා පහර කන ඇතමුන් භික්ශූන්. සමහරු කැරලිකරුවන්ගේ පියවරු. ඒ සියල්ලටම වධකයන් බෙදන්නේ එකම හැන්දෙන්.
මිහිපිට අපායක් වන් වධකාගාරයක් තුල කෑමට හෝ වැසිකිලි යාමට වැනි මූලික අවශ්‍යතාවන් පවා තැකීමකට ලක් නොකරන සමයක ජීවිතය යනු කිසිදු වටිනා යමක් නොවන කැලි කසලක් වන ආකාරය කතුවරයා නිරූපනය කරනවා.
මෙම නවකතාවේ රචක යනු කථකයා බව මම කලිනුත් සඳහන් කලා. මෙය කියවාගෙන යන කිහිප වතාවකම එය උත්තමපුරුශයෙන් නොලිවුවේ මන්දැයි සිතුනු අවස්ථා තිබුනා. සාමාන්‍යෙයන් සැබෑ අත්දැකීම් වලට ඉතා කිට්ටු නවකතා ලියවෙන්නේ උත්තමපුරුශ දෘශ්ටිකෝනයෙන්. නමුත් මෙහිදී කතුවරයා හිතාමතාම එය ප්‍රථමපුරුශයට මාරුකොට තිබෙනවා. නමුත් ඔහුගේ නම රචක. එය රචක නම් නාමය ද කතුවරයා හැඳින්වීමට යෙදූ පර්යාය පදයක්දැයි යන සංදිග්ධබාවය තුල ද මොහොතක් අපව අතරමං කරවන සුලුයි. කෙසේ වෙතත් මා කලින් සඳහන් කල මැදිහත්භාවයට, කතුවර ආස්ථානයෙන් මිදී එසේත් නොමැතිනම් කතුවරයාගේ ආවේශයෙන් මිදී උපේක්ශා සහගතව කතාව ගලාගෙන යාමට මෙවැනි උපක්‍රම ද හේතු වන්නට ඇතිබව කතාව කියවා අවසන් වූ පසුවත් හැඟුනා.
කතාව කියවා අවසන් වූ පසු හිස වටා කැරකෙන කතාව ඇතුලතත්, ඉන් පිටතත් ඇති කරුනු කාරනා කිහිපයක්ම තිබුනා. කතාවේ රචක නොමැතිනම් කථකයා මෙහි නිරූපනය වන්නේ වීරයෙක් ලෙස නොවෙයි. ඔහු ඇරඹුමේ සිටම ඒ වීර චාරිකාව අතහැරදැමූවෙක්.
වධකාගාරයේදීද ඔහුගේ හැසිරීම තබා හැඟීම්වත් එකී වධක ක්‍රමයට එරෙහිවීම හෝ විරුද්ධවීම සම්බන්ධව මතුවන්නේ නැහැ. උත්තමපුරුශයෙන් දුරස්කිරීම තුල රචකයේ හැඟුම් වඩවඩා නිරූපනයක් ද සිදුවන්නේ නැහැ. ඔහුගේ හැඟුම්වලට වඩා මෙහි පෙරමුනට පැමිනෙන්නේ වධකාගාරය තුල සිදුවන සිදුවීම්වල ඇති සාහසිකත්වය හෙලිදරව් කිරීම වෙනුවෙනුයි.
මෙම කතාව තුල රචකගේ හැසිරීමට හේතුව රචක යනු මෙම දේශපාලනික ගොහොරට අන්ධකාරයේ ගොදුරු වූවෙක් ද? ඔහු ජවිපෙ දේශපාලන ක්‍රියාදාමය තුල සිටිමින්ම ජවිපෙ තුලින් සිදුකල අමානුශීය ක්‍රියා ද හමුදා අතින් සිදුකරන අමානුශිය ක්‍රියා තරමටම සිතින් බැහැර කරනු ලැබුවේ ද? එසේත් නොමැතිනම් මේ සියලු අසාධාරන, කෘරත්වයන් හමුවේ ඒකායන බලාපොරොත්තුව වන ජීවත්වීමේ පිපාසාව වෙනුවෙන් සියල්ල ගිලගනිමින් ඊලඟ මොහොත අයැද සිටියෙක්ද, ඒ වෙනුවෙන් සිය අරමුන යොමුකල යුතු බව සිතුවෙක් ද යන්නයි. කෘතිය තුලින් අංශුමාත්‍රව හෝ හෙලිදරව් වන්නේ රචකගේ බලාපොරොත්තුව ජීවත්වීම වන බවයි.
එනිසාම එක්තරා ආකාරයකට ඔහු මේ කතාව තුල වීරයා බවට පත් නොවන ප්‍රධාන කථකයා බවට පත්ව තිබෙනවා. එය ප්‍රබන්ධකතාවල ලෙහෙසියෙන් දක්නට නොලැබෙන තත්වයක් බවයි මගේ අත්දැකීම.
මේ නවකතාව තුල වධකාගාරයේ දී රචකගේ භූමිකාව දැඩි පාවා දෙන්නෙකු නොවන නමුත් එක්තරා ආකාරයට ශේප් නියායෙන් කටයුතු කරන්නෙක් බවයි පෙනෙන්නේ. නවකතාව තුල ඍජුව නිරූපනය නොකලත් ඔහුගේ හැසිරීමෙන්, ක්‍රියාකලාපයෙන් වධකාගාරයේ ලැබෙන ඇතැම් වධහිංසා ඔහුට හිමිවන්නේ නැහැ. ඔහු ඇතැම් හමුදා ප්‍රධානීන්ගේ හිත දිනාගන්නවා. මෙවැනි තත්ව මගින් හැලහැප්පීම් සහිත දිගු ගමනකට පසුව රචක නිදහස හිමිකර ගන්නවා.
අවසන් වශයෙන් මට පැහැදිලි නොවන කාරනය මෙයයි. වධකාගාරයක් තුල මෙසේ හැසිරීම, ජීවිතය වෙනුවෙන් ඉවසා දරා ශේප් න්‍යායෙන් කටයුතු කිරීම (මෙය නිර්ලජ්ජ්ත හෝ නිවට එකක් බවට මා අදහස් කරන්නේ නැහැ) සම්බන්ධව ඉනුත් වසර ගනනාවකට පසුව රචක දරන සැබෑ හැඟුම හෝ රචකගේ ඇතුලාන්තයේ කුමන ආකාරගේ කැලඹුමක් පවතින්නේ ද යන්නයි. එය කවරෙක්ට වුවත් ජීවිත කාලයක්තුල වැමෑරීමට අසීරු ආකාරයේ වේදනාවක්ද, එසේත් නැතිනම් එවැනි මරනීය තත්වයකදී මිනිසාතුල ඇතිවිය හැකි ස්වාභාවික හැඟීමකැයි ප්‍රත්‍යක්ශව දැනීමෙන් සිත සැහැල්ලු කරගෙන නැගී එන නිදහසක් ද යන්න දන්නේ එම අත්දැකීමට මුහුනදුන් රචකම පමනයි.
අවසන් වශයෙන් මෙවැනි කෘතියක් වසර ගනනාවක් ඇවෑමෙන් හෝ වඩාත් උපේක්ශාත්මකව ගෙන ඒමට කල වෑයමට අජිත් පැරකුම්ට මගේ ආචාරය. එසේම මෙය ලියා ඇති සරල හා සැහැල්ලු භාශාවටත් එය ගලාගෙන යන සැහැල්ලුව අතිරින් පෙනෙන සමාජ, දේශපාන හා ජීවිතය පිලිබඳ මහා දැක්මක් ගෙන ඒමත් ප්‍රසංසනීයයි. එය අපූර්ව වැඩක්.