Monday, March 23, 2020

විදර්ශන එක්ක චින්තන




මේ තේමාව  නිකං මස් හොදි  එක්ක අයිස්ක්‍රීම් වගේ එකිනෙක නොගැලපෙන රස දෙකක් කියල බැලූ බැල්මට හිතෙනවනම් ඒක පුදුමෙකුත් නෑ.

මම මෙහෙම පටන් ගන්නම්.


විදර්ශන වගේම චින්තන ගැන මගේ මතය, අදහස, ආකල්පය ලියන්න ඕන කියල දැන් කාලයක් තිස්සෙ හිතාගෙන හිටියත් ඒක ලියන්න වෙලාවක් හෝ නිදහසක් ආවෙ නැහැ. කොරෝනා විවේකයේ ඒක ගැන මට නොයෙක් විදිහට හිතන්නත්, හිතින්ම තර්ක කරන්නත් නිදහසක් ඇවිත්.

මූලිකවම මේ දෙන්නම මම කාලාන්තරයක් තිස්සේ ෆේස්බුක් එකෙන් කියවන, විඳින, ආදරය කරන වගේම මගේ මතවාදී ආකල්ප පෝශනය කරපු දෙන්නෙක්.

කොහොම උනත් විදර්ශනත්, චින්තනත්  දෙන්නම මට ඇත්ත ජීවිතේ, භෞතිකව මුනගැසිල තියෙන්නෙ එකමෙක වතාවයි. විදර්ශන පේරාදෙනිය විශ්වවිද්‍යාලෙදි 2011 වගේ ඈත කාලෙක දැක්කට පස්සෙ ආයෙ සජීවිව දැකල නැහැ. චින්තනව මුනගැසුනෙ ඊට මෑත කාලෙක. මුනගැසුන කියන්නෙ ඈතට දැක්ක විතරයි. ඉතින් මේ දෙන්නවම මම පුද්ගලිකව ඇසුරු කරල තියෙන හෝ අඩුම තරමින් මැසෙන්ජර් එකෙන්වත් චැට් කරල තියෙන අය නෙමෙයි. නමුත් දෛනිකව මම මේ දෙන්නවම කියවනවා. දෙන්න ගැනම හිතනව වගේම දෙන්නගෙම අදහස් ඇසුරින් පෝශනය ලබලත් තියෙනවා.

කන්නා..

මුලදි මුලදී මට විදර්ශන ගැන තිබුනෙ ආරෝවක්. අකමැත්තක් වගේම දැඩිව හිතින් බැහැර කිරීමක්. කැම්පස් කාලෙදි වගේම ඒකෙන් අවුට් වෙනකොටත් විදර්ශනගෙ දේශපාලන ආස්ථානය එක්ක මට පෑහෙන්න බැරිවුනා. ඒ වගේම ඔහු කලා නිර්මාන සම්බන්ධයෙන් අරගෙන ආපු මාක්ස්වාදී විචාර විධික්‍රමය සම්බන්ධව පවා මගේ හිතේ ඇති වුනේ අපුලක්.

ෆේස් බුක් කාලෙදිත් විදර්ශන නොයෙක් පුද්ගල චරිත වගේම සමාජ දේශපාලන ක්‍රියා සම්බන්ධව දක්වන තදබල විවේචන එක්කත් මට ඔහු සම්බන්ධව එකඟ වෙන්න බැරි දුරස්කමක් ඇති කලා. විශේශයෙන් ඔහු අරගෙන එන විවේචන ඇතුලෙ තිබුනෙ අනෙකා කෙරෙහි වන තද වෛරය, තරහව බවයි මම ඒ වදන් වලින් තේරුම් අරගත්තෙ.

නමුත් මෑතක ඉඳන් ඒ සියලු විවේචන, විරෝදාකල්ප හැමකක්ම වගේ සේදී ගැලවී යන තරමට විදර්ශනගෙ මැදිහත්වීම් මට ප්‍රබල විදිහට දැනෙන්න ගත්තා. ඒක විදර්ශනගෙ විකාශනයේ පරිනත ඉසව්වක් ද එහෙමත් නැත්නම් විදර්ශන එහෙමම ඉද්දි මම ඔහුගෙ අදහස් බාරගන්න තැනට වැඩෙන්න පටන්ගත්ත ද කියන්න මට තේරෙන්නෙ නෑ.

කොටින්ම විදර්ශන අර කලින් විදිහටම ඇතැම් සමාජ දේශපාලන භූමිකාවෙදි රළු අදහස් දැක්වීමක් අරගෙන ආවත් ඔහු ඒක කරන්නෙම මූලික දැක්මක් ඇතුලෙ බව මම අද විස්වාස කරනවා. ඒ විවේචන හෝ අදහස් එක්ක මම සපුරා එකඟ වෙනවද නැද්ද කියන කාරනාව කෙසේ වෙතත් ඔහු ඒ මාවත තුල ගමන් කරන්නෙ ලොකු විස්වාසයකින් මෙන්ම තදබල හැදෑරීමකින් බවත් පේනවා. ඒ වගේම ඔහු ඇතැම් පුද්ගලයන්ව විවේචනය කරන්නෙ කිසිම පුද්ගලික කෝන්තරයකින් නොවන බවක් හැඟවෙන සිද්ධි කිහිපයක්ම ෆේස්බුක් සංවාද ඇසුරෙදි පෙනී ගියා.

විදර්ශන සමහර චිත්‍රපට, සාහිත්‍ය කෘති සම්බන්ධව දක්වන අදහස් යූ ටියුබ් හරහා අහද්දිත් ඔහු තමන්ටම අනන්‍ය ( අපිට නොතේරෙන)  බරසාර වාග් මාලාවකින් උනත් කියන්නෙ මොකක්ද, ඔහු ඒක දිශානතිගත කරන්නෙ මොන ආකාරයෙන් ද කියල මට පැහැදිලි වෙමින් තිබ්බ.

දීප්ති දහනකගෙ  ‘එක අතකින් වෙන මොනව කරන්න ද’ කෙටිකතා පොත එලිදැක්වීමෙදි විදර්ශන ගේන අදහස් මට විශේශ ලෙස පෙනුනා. මේ හැමකක් ඇතුලෙම විදර්ශන තමන්ගෙ පරිනත දැක්ම හෙලි කරමින් පැවතියා.

විදර්ශන ලියපු සමහර සින්දු අහද්දි, විඳිද්දි ඔහු ඇතුලෙ ඉන්න සොඳුරු මිනිසාව අපිට ඉබේම පේන්න පටන් ගන්නවා.

සඳ සඳ වගේ සින්දුවටත් වඩා මං පෙම් බැන්ඳෙ ටයිටැනික් නැව ගිලුනෙ නෑ එකට. මුලින් ඒ සින්දුව විදර්ශනගෙ බව දැනං හිටියෙ නෑ. ඒ දවස්වල මම තදබල විදර්ශන විරෝධියෙක් වෙලා ඉන්න කාලෙක මේක විදර්ශන ලිව්ව කිව්වම මට නුරුස්සනා හැඟීමකුත් ඇතිවුනා. ඒති විදර්ශන සෞන්දර්ය, විසංයෝජනය වගේම අන්තර්පඨිතත්වය වගේ තාක්ශනික කාරනා මේ සින්දුව ඇතුලෙ තිත්ත සමාජ යථාර්ථය එක්ක මුසුකරන්නෙ සැහැල්ලු පද රටාවකින්.

ටයිටැනික් නැව ගිලුවෙ  නෑ
අයිස් පරයක වැදුනෙ නෑ
මැරුන් නැති හින්දා
ජැක් රෝස් බැන්දා

ඉතාම මෑතක සන්නා - කන්නා විවාදෙදි උනත් විදර්ශන ඒක කලමනාකරනය කරමින් ඒ සංවාදය ඉදිරියට ගෙන ගියපු විදිය සමහර වෙලාවට මාව පුදුම කෙරෙව්වා. එතනදි විදර්ශන ගෙනාපු තර්කය බොහෝ ෆේස්බුක් මතධාරීන්ගෙ හාස්‍යයට බඳුන් කරවන්නක් වුවත් විදර්ශන ඔහුගෙ පැත්තෙක් සාධනීය කරුනු ගෙනාවෙ තමන්ටම අනන්‍ය දැඩි ස්වරයෙන් වුවත් ඒ තුලම ඔහු යම් සංයමයක් ද නොසැලෙන පරිනතභාවයක් ද පෙනෙන්න ගත්තා. එසේම චින්තන සමඟ විදර්ශන නිරන්තරයෙන් ගැටෙද්දී පවා ඔහු චින්තනගෙ (ඔහු විස්වාස කරන දේශපාලන මතවාදය ඇතුලේ) අදහස් අගය කිරීම හා දැඩිව විවේචනය කිරීම පටලවා නොගෙන කරන විලාසය නූතන තරුනයන්ටත් ආදර්ශ සපයන සුලුයි. මේ සංවාද මතවාදී තලයේ දී කොතරම් දරුනුවට ඇවිලුනත් තමන්ට හොඳ යයි හැඟෙන දේ අගයන්නත් විදර්ශන මැලි වන්නේ නැහැ. මේ තත්වය බොහෝ විචාරකයන්ට එලඹෙන්න අසීරු ධ්‍යානයක් වගේ එකක්. ඉතින් ඒ අතින් විදර්ශන කියන්නෙ මගේ ෆේස්බුක් වීරයෙක්, යාලුවෙක්, ආදරනීයයෙක් වගේම ගුරුවරයෙක්.

ටින්කරින් ධර්මෙ..

චින්තන මම අඳුනගත්තෙ ෆේස්බුක් එකට ඇතුල් වෙන්නත් කලින්. රන්දිව පත්තරේ ලිපි කියවද්දි. චින්තන ඒකට කල්ට් කියල ලිපි මාලාවක් ඒ කාලෙ ලිව්වා. චින්තන කියන්නෙ කවුද, මොන විදිහෙ කෙනෙක් ද කියලවත් නොදැන මේ ලිපි කියවද්දි මට මොකක්දෝ අලුත් බවක් වගේම මාව අවුලුවන ගතියක් දැනුනා. ඒ හැම ලිපියකම අපි හීනෙකින්වත් නොහිතපු පැත්තක් ගැන අලුත්ම කෝනයකින් බලන්න ඇහැක් ලබාදෙන බවක් ද දැනුනා. ඉතා වේගයෙන් මම ඒකට ඇබ්බැහිවෙන්න ගත්තා. උක්ත ආඛ්‍යාත නොතකන, සිංහල අස්සෙ නිදහසේ ඉංග්‍රීසි වචන හසුරුවන මේ නිදහස් ලියන්නා ගැන මට ආදරයක් ඇතිවුනා.

පස්සෙ කාලෙක චින්තනව ෆේස්බුක් එකෙන් දකිද්දිත් ඔහු මේ අදහස් සංසර්ගය ඒක හරහාත් ගෙනයමින් තිබුන. මම චින්තනගෙ විශේශයක් විදිහට දකින්නෙ ඔහු හැමදාම අරගෙන ආවෙ අපි අති නවීනයි කියල හිතාගෙන හිටපු සමහර ගතානුගතික මතවාද කුඩුපට්ටම් කරන විදිහේ දැක්මක්. ඔහු ඒක භාවිතයෙනුත් අරගෙන එන්න ට්‍රයි කලා. ඇත්තටම ඒකට කල්ට් කියන නම මාර විදිහට ගැලපෙන්න ගත්තා. ඔහු හෙමින් සීරුවෙ සමාජය තුල විකල්ප අදහස් ටොන් ගනනාවක් වගා කරන්න ගත්තා.

ඒ දවස්වල හැමදාම උදේ නැගිටිද්දි මම චින්තනගෙ ලිපියක් කියවන්න ආසාවෙන් ඔහුගෙ වෝල් එකට යන්න පවා පෙලඹිලා තිබුනා. චින්තනට හැම දේශපාලන, සමාජ සංසිද්ධියක් එක්කම ඔහුගේම වූ මතයක් තිබුනා. නැත්නම් ඔහු ඕශෝ හරි ඔහු විස්වාස කරන වෙනත් චින්තකයෙක්ගෙ හරි අදහසක් බය නැතුව අරගෙන ආවා. මේ අදහස් මතිමතාන්තර වලින් වැඩියෙන්ම බැට කෑවේ සාම්ප්‍රදායික පොතේගුරු විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය චිනතනයයි. චින්තනත් සමහර තැන්වලදි සැරට විවේචනය කලා. ඒක විදර්ශන වගේ සැර හෝ කුනුහරුප වචන වලින් නැතත් ඔහු සමහර නිර්මානයන්ට කුඩු වෙන්න ගැහුවා. ඒ වගේම තමන්ට දැනෙන නිර්මාන අහස උසට උස්සන්න පසුබට උනෙත් නෑ.

විවේචනය කියන්නෙ ආදරය පදනම් වූ ක්‍රියාවලියක්. අපි එකිනෙකාව විචේනයක කරන සීමාව වෙන්නෙ අපි එකිනෙකාට ආදරය කරන සීමාවයි. චින්තන එයාගෙ කල්ට් ලිපියකදි තවත් බටහිර චින්තකයෙකුගෙත් අදහස් අරගන එහෙම කියනවා.

විදර්ශනගෙ වගේම චින්තනගෙත් අපූරු දෙයක් තමයි ඔවුන් ලේසියෙන් ඉවර වෙන්නෙ නැති එක. විශේශයෙන් ෆේස්බුක් එකත් එක්ක අපි අත්දැකපු දෙයක් තමයි සමහර වීර චරිත ඉක්මනින් උඩ ගිහින් ඒ ඉක්මනටම කඩාගෙන වැටෙනවා. නැත්නම් ඔවුන්ට තමන්ගෙ මතය එක්ක පෑහෙන්න බැරුව හෝ ඒක ජීවත් කරවන්න බැරුව ඔහේ හැකිලිලා දියවෙලා චොරවෙලා යනවා. නමුත් මේ කපල් එක තමන්ගෙ ප්‍රතිරූපය ආයාසයෙන් නඩත්තු කරගන්නව වෙනුවට ඒක එක්ක උඹල ඕන කුදයක් ගහ ගනිල්ල කියන තැනට යමින් තම අදහස් විකාශනය වෙන්න ඉඩ අරිනවා.

චින්තන තමන්ගෙ පොත මාර්කට් කරනවා. ඒකෙ සෙක්ස් තියෙන බවත් ඒකෙන් පොත අලෙවි කරන බවත් එලිපිටම කියනවා. මත්ද්‍රව්‍ය ගැන, සෙක්ස් ගැන වගේම මාර්කටින් ගැන අද ලංකාවෙ ඇතිවෙල තියෙන විකල්ප අදහස් බොහොමයකට චින්තනගෙ අදහසුත් සෑහෙන බලපාන්න ඇති.

නිර්මානකාරයෙක් විදිහට මම චින්තනගෙ තිත්ත තොල් පොතට වගේම ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොතටත් කැමතියි. ඒ ඒවගෙ තියෙන සරල භාශා රටාවට වගේම බොරු සම්භාව්‍යක් වෙනුවෙන් නැහෙන්නෙ නැතිව කරන අමුතු අරගලයට. තිත්ත තොල්වල භාශාවෙ සෞන්දර්ය ස්පර්ශ කරමින්ම එයා සම්බන්ධතාවල තියෙන අති නවීන පැත්තක් ගැන ගැහැනු ස්වරයකින් කියන්න ට්‍රයි කරනවා. ඇත්තටම චිත්‍රපටිකාරයෙක් උනාට චින්තට ගැලපෙන්නෙ සාහිත්‍ය බවයි මට නම් තවමත් හිතෙන්නෙ.

විදර්ශන - චින්තන ගැටුමෙදි චින්තගෙ මැදිහත් වීමත් විදර්ශන තරමටම දියුනුයි. ඔහුගෙත් විදර්ශන සම්බන්ධව පුද්ගලික ආරෝවක් නැති බව හොඳින් පැහැදිලියි. නමුත් ඇතැම් සංවාද වලදී මොවුන් එකිනෙකාව උපහාසයට නගනවා. කෝචොක් කරනවා. එසේම මේ දෙන්නගෙ දේශපාලන ආස්ථානයන් දෙකත් අහසට පොලොව වගේ පැති දෙකක්.

ඒත් හරි පුදුම හිතෙන විදිහට මේ දෙන්නම ඇතැම් සමාජ දේශපාලන කාරනා සම්බන්ධව එක පෙරමුනක හිට ගන්නවා. ඒක බලන්න ලස්සන තැනක්. විදර්ශන - චින්තන ගට්ටන වලදී විදර්ශනට හා චින්තනටත් වඩා ඔවුන් පසුපස ඔවුන්ට හිතින් සහාය පලකරන කමෙන්ට් කරුවන්ටත් ඇතැම් විදිහට දරාගන්න බැරි තරමට මොවුන් එකිනෙකාට ගරු කරගන්නවා.
මීට අවුරුදු පහ හයකට කලින් දෙරන ෆිල්ම් අවෝර්ඩ් රූපවාහිනී සංවාදෙක දි විදර්ශනයි, චින්තනයි එකට එකතුවෙලා ජැක්සන් ඇන්තනී එක්ක සංවාද කරපු විදිහ අපිව උත්තේජනය කරවන සුලු එකක්.

මම මේ තාක් කිව්වෙ විදර්ශන හා චින්තන යන පුද්ගලයන් ගැන අරගෙන වුනත් මට හිතෙන්නෙ මේක මතවාදී නැත්නම් කඳවුරු දෙකක් විදිහට හෝ හැඟීම් දෙකක් විදිහට අරගෙන බලද්දිත් එතන විචිත්‍ර වූ සුන්දරත්වයක් වගේම මානුශීය ගැටුමක් හා අමුතු පෑහීමක් තියෙනවා. අපි තනි තනි පුද්ගලයන් ඇතුලෙ මේ නොපෑහෙන අන්ත දෙක එකම මොහොතක උනත් අරගල කරමින් තියෙන්න හොඳටම ඉඩ තියෙනවා.

හුදෙක් එකිනෙකා කෙරෙහි වෛර ඇතිකර නොගනිමින් මුනගැසීම් වලදී සුහදව සිනාසෙමින් තමන්ගෙ ආකල්ප එක්ක බරපතල ලෙස පෙනී සිටීමට හැකිවීම කියන්නෙම උගත්කමින් විතරක් ලබන්න පුලුවන් මානව ගනුදෙනුවක් නෙමෙයි. ඉතාම සරල ආකාරයෙන් මේ දෙන්නව අපි සමාජවාදී හා ධනවාදී මුහුනුවරයන් ලෙස අරගත්තත් ඒ දෙකෙහිම දියුනු, වැදගත් ලක්ශන හා අපට බැහැර කරන්න බැරි යථාර්ථයන් තියෙන බව පසක් කරන සුලුයි.
කෙනෙක් විදර්ශනත් චින්තනත් බාරගන්නා ස්වරූපය අනුව මේ අක්ශයන් දෙක ගැන ඒ ඒ  පුද්ගලයා එල්බ ගෙන තියෙන දැක්මේ ප්‍රමානය තීරනය කරනව වෙන්නත් පුලුවන්.

අන්තිමට කියන්න තියෙන්නෙ දෙන්න ගැනම විවේචන තිබුනත්, එකඟතා නොඑකඟතා තිබුනත් මේ දෙන්නම ලේසියෙන් ඉවර වෙන්නෙ නැති දෙන්නෙක්. මේ සංකල්ප දෙක විසින් අපේ යුගයේ ෆේස්බුක් අවකාශය තුල ඇතිකරපු අදහස් සංසර්ගයට ඉදිරියටත් දලුලාමින් වැඩේවි.

කලින් කිව්වත් වගේ චින්තයි විදර්ශනයි ඉන්නෙ ෆේස්බුක් එකේවත් බාහිර සමාජවෙත් නෙමෙයි. අපේ ඇතුලෙම වෙන්නත් පුලුවන්. එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ. දෙන්නටම අනන්‍ය විලාසයක් හා දැක්මක් තියෙනවා. ඉතින් ඒ දෙන්නටම ආදරේ නොකර කොහොමද?

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...