මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට් කවුන්ටරයක බාල ස්පීකරේකින්. ඒත් දාවලේ කට්ට අව්වේත් කඨෝර හඬ පිරි නගරයේදිත් ඒ හඬේ අමුතු මිහිරියාවක් දැනුනා..
මේ ගීතයේ තියෙන්නේ සරල පද වැලක්. හැබැයි ඒ සරල පද අස්සෙන් මහා සංකීර්ණ කතාවකුත් එළියට එනවා නේද කියල එවෙලෙ හිතුනා.
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් සේ
ඔබේ සිනාමට පවන් සලයි
සර්ච් කරල බලද්දි පදවැල් ලියල තියෙන්නෙ මහගමසේකර කියල දැනගත්තම පුදුමත් හිතුනා . ඉතාම සරල පද ටිකක්. අපට බොහොම පැහැදිලිව පේනවා පෙම්වතිය නිසා මේ පෙම්වතා සහනයකට පත්වෙලා කියලා.
මේ ගීතයේ පළවෙනි හා දෙවෙනි අන්තරා කොටස්වල තියෙනවා මෙන්න මෙහෙම අදහසක්.
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
පෙම්වතාගේ ශක්‍යතාවන් හැකියාවන් වර්ධනය වෙන්නේ පෙම්වතිගෙ ප්‍රේමනීය බැල්ම, ඇල්ම ලැබුනට පස්සේ. නැත්නම් ඒ ආදරය හරහා මොහුගේ ජීවිතය උද්යෝගිමත් වෙනවා. මේ තාක් කල් ඔහුගේ ජීවිතේ නොපෙනුනු වර්ණවත් පැතිකඩක් ඔහුටම පේන්න ගන්නවා. ඒ වර්ණවත් බව එළියට ඇදලා ගන්න දයාබරිතබවක්, මිත්‍රශීලීබවක් පෙම්වතියගෙන් ලැබෙනවා. ඒ සහනය සීතල දියරක් වගේ ඔහුගේ සර්වාංගය පුරා ගලනවා.
හුදකලා පුද්ගලයෙක් කියන්නෙ තනියම ගල් පර්වතයක් උඩ අවුරුදු ගානක් කරකුට්ටන් වෙවී නොවැඩී, දැඩි වෙවී ඔහේ තියෙන ශාකයක් වගේ එකකට. ඉර එළිය තෙතමනය සාරවත් බව උකහාගෙන අතු ඉතිලා වැඩි මල් පිපෙන්න,ඵල දරන්න ගන්නව වගේ ජීවිතය විකසිත වෙන්නේ සැබෑ ආදරයක් ලැබුණාමයි. ඒ සහනදායී ආදරය ජීවිතය කොතෙක් සුවපත් කරනවාද..
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
No comments:
Post a Comment