Saturday, June 26, 2021

ඔයා මොනතරම් මෝඩයිද?





අපරාදෙ ඔයා නිකං ඔහොම කාලෙ නාස්ති කරන්නෙ. ඔයාගෙ ඉන්න තිබුනෙ ඔතන නෙමෙයි.
ජීවිතේ සමහර අවස්ථාවල මගේ ලඟ යාලුවො වගේම සමහර දුර යාලුවොත් මට මෙහෙම කියල තියෙනවා. ඒ ගොඩක් වෙලාවට මම ඒ ගැන ගැඹුරු කල්පනාවලට යන්නෙ නැති තරම්. අර අදහසේ තියෙන ප්රසාදාත්මක අංශයෙන් මාව මත්වෙලා යන නිසා මාව කල්පනා ලෝකෙට යනවට වඩා වෙන්නෙ සැරසිලිකාරී, සැනසිලාදායී ලෝකෙක අතරමං වෙන එකද මන්දා.
ඒත් ඇත්තටම මම ඒ ගැන කල්පනා කරන්න අරගෙන ටිකක් කල්. මම ඒතරම් වටිනවද? මම මේ ඉන්න තැන මට ගැලපෙන්නෙ නැද්ද? මම ඊට වඩා ප්රබල මනුස්සයෙක්ද?
ඒත් අවංකවම ඒ ගැන හිත ඇතුලෙන් මං මං එක්කම තර්ක කලාම මම මේ නතර වෙලා ඉන්නෙ මට ඉන්න පුලුවන් ගැලපෙන තැන නේද කියල ආපස්සට හිතෙනවා. මේ මොහොතෙ මට යන්න පුලුවන් තරම් දුර නෙමේද ඒක?
බාහිරින් බලන අයට අපේ වටිනාකම්, දැනුම බුද්ධිය වගේ දේවල් පෙනෙනව උනත් මට හිතෙන්නෙ ඒ හා සමඟම බලද්දි අපි අරගෙන එන, අපේ ආත්මය වසාගෙන තියෙන අපේ මෝඩකම්, දුබලතා වගේ අංග ගැන පෙනෙනව අඩු ඇති.
ස්ටැපිඩි එතනදි නියම කතාවක් කියනවා.
ඒක හරියටම දෙපැත්තට බැදල තියෙන අශ්වයෙක් හා බූරුවෙක් වගේ. දෙන්නෙක් වගේ. ඔයාට දිගු දුරක් යන්න තියෙනවා. ඔයා තියුනුයි. ඒකෙ විවාදයක් නෑ. ඒත් බලන්න ඔයාගෙ බූරුවා හැරිල ඉන්නෙ අනිත් පැත්තට. ඔයා වඩා නුවනක්කාරයි නම් ඔයාට පුලුවන් අර බූරුවත් උස්සගෙන පුලුවන් තරම් දුරක් දුවගෙන යන්න. නැත්නම් මේකෙ අනිත් පැත්ත උනත් සිද්ධ වෙන්න පුලුවන්.
ඇත්ත. ස්ටැපිඩි කියනව වගේ අපි කවුරුවත් අංග සම්පූර්න මිනිස්සු වෙන්නෙ නෑ. දුබලකම් වගේම අනුවනකම් කියන්නෙ අපිට අපිව මුනගස්වන අපේ අවබෝධයේ කේන්ද්රය තියෙන තැන වෙන්නත් පුලුවන්.
අපේ මෝඩකම් ගැන අපි ලැජ්ජා වෙන්න ඕන නෑ. කරන්න පුලුවන් එකම දේ ඒක නිහතමානීව පිලිගන්න එක හෝ අඳුනගන්න එක. ඔයා මෝඩයෙක් නොවෙන්නෙ ඔයා ඔයාගෙ මෝඩකම දනින එක හරහා. ඔයාගෙ මෝඩකම ඔයාට අවබෝධ වෙනව කියන්නෙම ඔයා නුවනක්කාරයි කියන එකට. ස්ටැපිඩි මෙහෙම කිව්වෙ එයාට අවංකවම එයාව හෙලිදරව් කරමින් තිබුනු තැනකදි.
රැඩිකල් කියන වචනෙට පවා මම ආස නැහැ. අනිත් අතට මාව රැඩිකල් කියල හදුන්වනවට මම කැමතිත් නෑ. ජීවිතේ කවමදාකවත් මට එහෙම වෙන්න බැරිවෙයි. අති නවීන අදහස් වගේම මේ ලෝකෙ කෙනෙකු විස්වාස නොකරන තරමේ මිත්යා විස්වාස පද්ධතියකුත් මගේ ඇතුලෙ පැලවෙලා. මම දන්නෙ නෑ ඒක කොහෙන් මට දායාද උන එකක් ද කියලා. කියන්න පුලුවන් අවංකම දේ මම ඒක එකහෙලාම බැහැර කරන්න බැරි තරමට ඒ සියල්ල මගේ ආත්මයේ කොටසක් වෙලා .
අපි හැමෝගාවම තාර්කික නොවෙන විදිහේ ස්වයං විස්වාස, පොඩි පහේ පිස්සු හැසිරීම්, විස්වාස ඇදහීම් තියෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේව තියෙන්නෙ හැංගිලා. මතුපිටට පෙනෙන්නෙ නැති විදිහට අස්සෙ හංගගෙන. අපි පිටට පෙන්නන්නෙ අපේ තාර්කික දැනුමේ, නවීන හර කොටස්වල සාරයක් විතරයි.
ස්ටැපිඩි ආයෙමත් මෙහෙම කියනවා.
හිතන්න නිකමට. මම දැන් මහා දාර්ශනික කතාවක් ඔයාට කියනවා. ඒ සැනින් ඔයා හිතනවා මේ මනුස්සය මාර පොරක් මෙයාට මාර දියුනු අදහස් තියෙන්නෙ කියල. මෙහෙම හිතල ඔයාට ආපස්සට හැරෙන්න වෙන්නෙ නෑ. මෙන්න මගේ කටින් අමු මරි මෝඩ අදහසක් එලියට පනිනවා. ඒ දෙක අතර දුර මිනිත්තුවකටත් අඩුයි.
මම කියන්නෙ වෙන්න පුලුවන් අමුම විදිහ මේකයි. මේක එකම කාසියේ දෙපැත්ත. ඔයා දාර්ශනිකයෙක් වෙනව නම් ඒ තරමටම ඔයාගෙ එක් අංශයක් මෝඩකමේ පතුලෙ කිමිදෙනවා.
ඉතින් ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මම මහ මෝඩයෙක් කියලා. ජීවිතේ සමහර තීරන අරගත්තෙ, අරගන්නෙ ඒ මෝඩකම ඔස්සේමයි කියලා. ඒ එක්කම මම දන්නවා ඒ මෝඩකම දනින්න තරම් මම නුවනක්කාරයි කියලා.

මම දැන් ඉන්නෙ එතන.


ප.ලි
දැන් එතකොට ස්ටැපිඩි කියන්නෙ කවුද? මගේ ඇතුලෙ ඉන්න දාර්ශනිකයාද? මරි මෝඩයද?

Tuesday, June 15, 2021

ප්‍රේමය හා රාගය අතර මැද ගැහැනිය - අල්තිනායි රුවන්මලී සහ රුත්

 




ආදරය කියන්නේ ගනුදෙනුවක් බව බොහෝ අය කියනවා. ආදරය රාගය හා බැඳී ඇති බව සාමාන්‍ය මතයයි. බෞද්ධ දර්ශනයේ ආදරය ගැන යමක් කියවෙන්නේ නැති තරම්. එහි එන්නේ රාගය.  අප ලාලසාව ලෙස එය හඳුන්වනවා. රාගය හා සමාන ගින්නක් නැත කියා බුදුන් දෙසූ බව සඳහන්. ඒ ඉඳුරා සත්‍යයි. ගින්නක් වන්නේ ආදරය නොවෙයි. රාගයයි. මට එහි ගිනි දුන්නේ මා එවක නොදැන සිටි පසුව වටහාගත් රාගයයි.

 - අල්තිනායි -


‘ආදරේ කියන්නෙ අන්ත දෙකක්. දෙන්නෙකුගෙ ආදරේ තියෙන්නෙ අන්ත දෙකක. එක් එක්කෙනාට වෙනස්. මගේ ආදරේ මගේ මේ අතපය ඇඟිලි සලකුණු වාගේ මටම විශේෂ එකක්. ඔයාගේ ආදරෙත් එහෙමයි. ඒ නිසා අපට එකිනෙකාගෙ ආදරේ හඳුනා ගන්න බැරි වෙනවා. එහෙම බැරි වුනාම දුරස් වෙනවා. එහෙම වෙන්නේ ආදරේ නැති වුන නිසා නෙවෙයි.’

‘අනේ මන්දා’

‘“මං ඔයාට ආදරෙයි” කියලා කෙනෙක් තවත් කෙනෙකුට කීවාම අහන එක්කෙනා ඒක ගන්නේ කියන එක්කෙනා කියන අර්තෙන්ම නෙවෙයි කියලා මට හිතෙනවා’

 - කමලානි -


අල්තිනායි රුවන්මලී සහ රුත්

සමන් නන්දලාල්

 

සමන් නන්දලාල් මං දැන හැඳිනගෙන තිබුනෙ පරිවර්තකයෙක් විදිහට. මං කැමතිම නවකතා පොත් කිහිපයක් ඔහුගෙ පරිවර්තන. මේ සාහිත්‍යමය ලෝලය නිසාම අපි තරමක මිතුරන් විදිහටත් කාලයක් ලඟින් ඇසුරු කලා.

ගාල්ල කරාපිටියෙ තිබුනු නන්දලාල් මහත්තයගෙ ගෙදරට මං ඉඳල හිටල ගියේ කියවන්න පොත් කිහිපයක් ඉල්ලගෙන එන්න. මොකද නන්දලාල් මහත්තයගෙ ගෙදර රාක්කය පිරෙන්නත්, තවත් පෙට්ටි අඩුමකුඩුම අස්සෙ අට්ටි ගහලත් පොත් ගොඩක් තිබුන. පරිවර්තකයෙක් නිසාමද මන්ද ඔහුට ඒ හැම පොතක් ගැනම හොඳ මතකයක්, අවබෝධයක් තිබුන විග්‍රහයක් තිබුන. ඒත් මං විස්වාස කළේ නෑ සමන් නන්දලාල් මහත්තය ස්වතන්ත්‍ර නිර්මාණකරුවෙක් විදිහට ඒ තරම් සාර්ථක ඇති කියල. මින් පෙර ඔහුගේ කෙටිකතා පොතක් අහෙන් මෙහෙන් බලල තිබුන උනත් ඒ පොත මගේ හිත් නොගැනීම ඒ පූර්ව නිගමනයට හේතු වන්නට ඇති.  

මේ කතා ජීවිත පතුලෙන් උපන් කතා විදිහට තනි නමකින් හඳුන්වන්න මං කැමතියි. ඇත්ත. මේ හැම කතාවක්ම නම් කරල තියෙන්නෙ ගැහැනු අයගේ නම් වලින් වගේම ඒ හැම කතාවකම අඩංගු වන්නේත් සමාජ, සංස්කෘතික හා ලිංගික ජීවිතයේදී වගේම ආධ්‍යාත්මිකවත් ගැහුනුන්/ ස්ත්‍රීන් මුහුන දෙන්නාවූ සංකීර්ණ ජීවන අරගලයන් හා මනෝභාවයන් ගැනයි.  අල්තිනායි, කමලානි, තනුජා, තිමානි, නයනි, ප්‍රියංජලී, රුවන්මලී සහ රුත් යන ගැහැනු චරිත අටක් වටා ගෙතුනු අනුවේදනීය වගේම අති සංකීර්ණ ජීවන අන්දර ගොන්නක් මේ කතා හරහා විනිවිද දකින්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ හැම කතාවක්ම කේන්ද්‍රගත වන්නේ ආදරය හා රාගය ඇසුරු කරගෙනයි. ඒ ඔස්සේ ගැහැනු ජීවිත කරනම් ගසන්නා වූ ඉරනමේ  සරදම් සහගත  දුක්ඛ සත්‍යයක්වෙතයි.

නිර්මානයකදී පිරිමි චරිත ගොඩනගනවට වඩා ගැහැනු චරිත නිර්මානය කිරීම පහසු දෙයක් නොවන බව මං කාලයක් තිස්සේ ඉඳන්ම හිතන දෙයක්. පිරිමි නිර්මානකරුවෙක් විදිහට ගැහැනු චරිතයක් අවශෝශනය කරගන්න එක තව අමාරුයි. හුදු ලිංගිකත්වය නිසාම ගැහුනු අය සමාජ හා සංස්කෘතිකව වගේම ජීව විද්‍යානුකූලවත් පරිමින්ට වඩා සංකීර්ණ දාමයක ඇඹරෙමින්, ගැටෙමින් ගමන් ගන්නා අයුරු නිරූපනය ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි.

මේ කතාවල තේමාත්මක වශයෙන් මෙන්ම ව්‍යුහමය සමානතාද නැතිවා නෙමෙයි. එහෙත් ඒ එක් එක් කතා එකිනෙකින් ස්වාධීනව ද විශේෂතා සියුම්ව මතු කරන්නට ද පටන් ගන්නා හැටි ඉතා සමීප කියවන්නෙකුට හසුවෙනවා. කෙටිකතා ගොන්නෙහි තේමාත්මක මානය දිශානතිගත වන්නේ පවුල් ජීවිතය ඇසුරු කරගත් වෘද්ධ හෝ මැදි විගේ පසුවන ගැහැනුන්ගේ ජීවිත වෙතයි.  

ඒ අතරින් මම පුද්ගලිකව කමලානි හා රුවන්මලී යන කතා දෙකට ගොඩක් කැමතියි. සමාජ දේශපාලනිකවත්, මනෝ විශ්ලේෂණානුකූලවත් මේ කතා දෙකෙහිම කාන්තාවන් එකම මූලියකින් අර්බුදයක් හරහා ගමන් අරඹමින් දෙවිදියක මාවත් දෙකක අතරමං වන ආකාරය කතුවරයා නිරූපනය කරන්නේ උපේක්ෂාව පිරිනු හැඟීමකින් වගේ.

රුවන්මලී මේ කතා ගොන්නෙන්ම තදින් මා පැහැරගත් කතාව. අභිරහස් කතාන්දරයක් කියවාගෙන යන පරිද්දෙන් පියවරෙන් පියවර නිර්මලීගේ ජීවිතයේ වසර විස්සකින් එපිට අතීත ඛේදවාචකයක් අප ඉදිරියේ දිගහැරෙන්න ගන්නවා. ඒ ආඛ්‍යාන විදිය  ඉතා සජීවීයි. කොහොමටත් පොදුවේ මේ කෙටිකතා පොතේ සියලුම කෙටිකතා ගමන්ගන්නේ සංවාද, දෙබස් ඇසුරු කරගෙනයි. ඒ තුල එක් එක් චරිත අභ්‍යන්තරය පිටතට වඩාත් තාත්වික අයුරින් පිලිඹිඹු වන්නේ නිරායාසයෙන් වගේ. රුවන්මලී නමින් යුතු වුවත් මේ කතාවේ ප්‍රධාන චරිතය නිර්මලී නැමති කාන්තාවක්. පන්සල ඇසුරු කරගෙන ජිවත්වන ඇගේ ජීවිතයේ සැඟවුනු ඉම් පෙදෙස් වෙත පාඨකයාට ඇතුල් වන්නට සිදුවන්නේ ඇය වටා එක්කාසු වන පිරිමි කිහිපයකගේ දෘශ්ටියෙන්. ඒ පිරිමිත් විශේෂිතයි. ඔවුන් හාමුදුරුවරු. හාමුදුරුවරුන් හා නිර්මලී අතර ඇතිවන අනියම් යයි අනුමාන කළ හැකි ගනුදෙනුවක් අවසානයේ නිර්මලීගේ අවසානය සේම ඇගේ දරුවන්ද එකී ඛේදවාචකයේ ඉරනම් සහගත කොටස් කරුවන් වන අයුරු මේ කතාව හරහා අපට අත්දකින්නට පුලුවන්.

තිමානි නමින් නම් කළ කතාවේ පාසල් ශිෂ්‍යයාව වටා ගෙතනේනා වූ වෘත්තාන්තය පසුගිය වකවානුවක අප විසින් විද්‍යුත් මාධ්‍ය හරහා දුටු සත්‍ය කතාවක සෙවනැලි පතිත වී ඇතැයි සිතෙන තරමටම තාත්විකයි. එසේම එකී සජීවී කතා පුවත වෙත කතුවරයා එලඹෙන ආකෘතිකමය විලාසයද නැවුම්. පාසල් ශිෂ්‍යයාවකගේ අනුවේදනීය කතා පුවතක් තත්කාලීන සමාජ  දේශපාලන හා සංස්කෘතිය ගොහොරුවේ  ඈ ගොදුරු වන ආකාරයත් අප අභියස මැවී පෙනෙනවා. කතුවරයා මේ හැම කතාපුවතකම මනෝවිශ්ලේෂණයට අදාල පැතිකඩක් වෙතද අප තල්ලු කරන්නට උත්සාහ ගෙන තිබෙන බවයි පෙනෙන්නෙ.

හැම කතාවක්ම එකින් එක ගෙන විග්‍රහ නොකරතත් මේ සියලුම කෙටිකතා තුළ සමකාලීන ස්ත්‍රිය අත්විඳිනු ලබන හා ඔවුන් නිරන්තරයෙන් පැටලී ඇති ලිංගිකමය මර උගුලක සාහසික චිත්‍රය අපට පසක් කරන්නට කතුවරයා උත්සාහ ගෙන තිබෙනවා. වරෙක විශාදය වැනි වර්තමානගේ බහුල මනෝමය අක්‍රමිකතා ඇසුරින් ගෙවෙන ජීවිතාභ්‍යන්තරය වෙත අන්වීක්ශීය ඇසකින් පිවිසෙන්නට  කෙටිකතාකරු වෑයම් කර තිබෙනවා.  ඇතැම් කෙටිකතා සපුරා දිව යන්නේ දෙබස් හා සංවාද ඇසුරෙන්ම පමණයි. සමහර කතාවල මුල මැද අග පැටලෙන සංකීර්ණ ව්‍යුහමය උපක්‍රමයක්ද දැකගන්නට පුලුවන්. ඇතැම් විස්තර, සිදුවීම් පුනරුච්චාරනය වන සෙයක් පෙනෙන නමුදු ඒ සියල්ලක්ම අත්‍යන්තයෙන්ම කතාවෙහි සජීවි ගුණය ආරක්ෂා කර ගැනීමෙ වෙනුවෙන් ඉතා වැදගත් බවයි පෙනෙන්නෙ.

අවසන් වශයෙන් පැවසිය හැක්කේ මේ කෙටිකතා ගොන්නම මගින් වත්මන් සමාජයේ පොදු කතිකාව හරහා මෙන්ම ප්‍රසිද්ධ විද්‍යුත් නාලිකාවලින් නිරන්තරයේ පෙන්වන හා තලුමරන ස්ත්‍රීන් සම්බන්ධ ලිංගිකත්වය හෝ ප්‍රේමය බද්ධ වුනු කතා පුවත්වල පොදු/ ඒකමානීය ඇසට හසු නොවන/ නොකරන තියුණු යථාර්ථයක් වෙත අපව චාරිකාවක රැගෙන යනවා වගෙයි. 

මේ කතා පොත පළවී දැනට වසරක් පමණ ඉකුත් වී ඇතත් ඒ සම්බන්ධ යම් ප්‍රාමාණික කතිකාවතක් තවමත් ඇති නොවීම ඒ කතාන්දරවල ජීවත්වන ගැහැනුන්ගේ ඉරනම තරම්ම සෝචනීයයි.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...