අපරාදෙ ඔයා නිකං ඔහොම කාලෙ නාස්ති කරන්නෙ. ඔයාගෙ ඉන්න තිබුනෙ ඔතන නෙමෙයි.
ජීවිතේ සමහර අවස්ථාවල මගේ ලඟ යාලුවො වගේම සමහර දුර යාලුවොත් මට මෙහෙම කියල තියෙනවා. ඒ ගොඩක් වෙලාවට මම ඒ ගැන ගැඹුරු කල්පනාවලට යන්නෙ නැති තරම්. අර අදහසේ තියෙන ප්රසාදාත්මක අංශයෙන් මාව මත්වෙලා යන නිසා මාව කල්පනා ලෝකෙට යනවට වඩා වෙන්නෙ සැරසිලිකාරී, සැනසිලාදායී ලෝකෙක අතරමං වෙන එකද මන්දා.
ඒත් ඇත්තටම මම ඒ ගැන කල්පනා කරන්න අරගෙන ටිකක් කල්. මම ඒතරම් වටිනවද? මම මේ ඉන්න තැන මට ගැලපෙන්නෙ නැද්ද? මම ඊට වඩා ප්රබල මනුස්සයෙක්ද?
ඒත් අවංකවම ඒ ගැන හිත ඇතුලෙන් මං මං එක්කම තර්ක කලාම මම මේ නතර වෙලා ඉන්නෙ මට ඉන්න පුලුවන් ගැලපෙන තැන නේද කියල ආපස්සට හිතෙනවා. මේ මොහොතෙ මට යන්න පුලුවන් තරම් දුර නෙමේද ඒක?
බාහිරින් බලන අයට අපේ වටිනාකම්, දැනුම බුද්ධිය වගේ දේවල් පෙනෙනව උනත් මට හිතෙන්නෙ ඒ හා සමඟම බලද්දි අපි අරගෙන එන, අපේ ආත්මය වසාගෙන තියෙන අපේ මෝඩකම්, දුබලතා වගේ අංග ගැන පෙනෙනව අඩු ඇති.
ස්ටැපිඩි එතනදි නියම කතාවක් කියනවා.
ඒක හරියටම දෙපැත්තට බැදල තියෙන අශ්වයෙක් හා බූරුවෙක් වගේ. දෙන්නෙක් වගේ. ඔයාට දිගු දුරක් යන්න තියෙනවා. ඔයා තියුනුයි. ඒකෙ විවාදයක් නෑ. ඒත් බලන්න ඔයාගෙ බූරුවා හැරිල ඉන්නෙ අනිත් පැත්තට. ඔයා වඩා නුවනක්කාරයි නම් ඔයාට පුලුවන් අර බූරුවත් උස්සගෙන පුලුවන් තරම් දුරක් දුවගෙන යන්න. නැත්නම් මේකෙ අනිත් පැත්ත උනත් සිද්ධ වෙන්න පුලුවන්.
ඇත්ත. ස්ටැපිඩි කියනව වගේ අපි කවුරුවත් අංග සම්පූර්න මිනිස්සු වෙන්නෙ නෑ. දුබලකම් වගේම අනුවනකම් කියන්නෙ අපිට අපිව මුනගස්වන අපේ අවබෝධයේ කේන්ද්රය තියෙන තැන වෙන්නත් පුලුවන්.
අපේ මෝඩකම් ගැන අපි ලැජ්ජා වෙන්න ඕන නෑ. කරන්න පුලුවන් එකම දේ ඒක නිහතමානීව පිලිගන්න එක හෝ අඳුනගන්න එක. ඔයා මෝඩයෙක් නොවෙන්නෙ ඔයා ඔයාගෙ මෝඩකම දනින එක හරහා. ඔයාගෙ මෝඩකම ඔයාට අවබෝධ වෙනව කියන්නෙම ඔයා නුවනක්කාරයි කියන එකට. ස්ටැපිඩි මෙහෙම කිව්වෙ එයාට අවංකවම එයාව හෙලිදරව් කරමින් තිබුනු තැනකදි.
රැඩිකල් කියන වචනෙට පවා මම ආස නැහැ. අනිත් අතට මාව රැඩිකල් කියල හදුන්වනවට මම කැමතිත් නෑ. ජීවිතේ කවමදාකවත් මට එහෙම වෙන්න බැරිවෙයි. අති නවීන අදහස් වගේම මේ ලෝකෙ කෙනෙකු විස්වාස නොකරන තරමේ මිත්යා විස්වාස පද්ධතියකුත් මගේ ඇතුලෙ පැලවෙලා. මම දන්නෙ නෑ ඒක කොහෙන් මට දායාද උන එකක් ද කියලා. කියන්න පුලුවන් අවංකම දේ මම ඒක එකහෙලාම බැහැර කරන්න බැරි තරමට ඒ සියල්ල මගේ ආත්මයේ කොටසක් වෙලා .
අපි හැමෝගාවම තාර්කික නොවෙන විදිහේ ස්වයං විස්වාස, පොඩි පහේ පිස්සු හැසිරීම්, විස්වාස ඇදහීම් තියෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේව තියෙන්නෙ හැංගිලා. මතුපිටට පෙනෙන්නෙ නැති විදිහට අස්සෙ හංගගෙන. අපි පිටට පෙන්නන්නෙ අපේ තාර්කික දැනුමේ, නවීන හර කොටස්වල සාරයක් විතරයි.
ස්ටැපිඩි ආයෙමත් මෙහෙම කියනවා.
හිතන්න නිකමට. මම දැන් මහා දාර්ශනික කතාවක් ඔයාට කියනවා. ඒ සැනින් ඔයා හිතනවා මේ මනුස්සය මාර පොරක් මෙයාට මාර දියුනු අදහස් තියෙන්නෙ කියල. මෙහෙම හිතල ඔයාට ආපස්සට හැරෙන්න වෙන්නෙ නෑ. මෙන්න මගේ කටින් අමු මරි මෝඩ අදහසක් එලියට පනිනවා. ඒ දෙක අතර දුර මිනිත්තුවකටත් අඩුයි.
මම කියන්නෙ වෙන්න පුලුවන් අමුම විදිහ මේකයි. මේක එකම කාසියේ දෙපැත්ත. ඔයා දාර්ශනිකයෙක් වෙනව නම් ඒ තරමටම ඔයාගෙ එක් අංශයක් මෝඩකමේ පතුලෙ කිමිදෙනවා.
ඉතින් ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මම මහ මෝඩයෙක් කියලා. ජීවිතේ සමහර තීරන අරගත්තෙ, අරගන්නෙ ඒ මෝඩකම ඔස්සේමයි කියලා. ඒ එක්කම මම දන්නවා ඒ මෝඩකම දනින්න තරම් මම නුවනක්කාරයි කියලා.
මම දැන් ඉන්නෙ එතන.
ප.ලි
දැන් එතකොට ස්ටැපිඩි කියන්නෙ කවුද? මගේ ඇතුලෙ ඉන්න දාර්ශනිකයාද? මරි මෝඩයද?
No comments:
Post a Comment