අන්සතු ඔබ ගීතය ගැන කතිකාව ගින්නක් වගේ ඇවිලිලා
යනවා. ඒ ගැන සම්මත අසම්මත සකච්ඡාව දියුණු තියුනු වෙමින් තියෙනවා. මේ ගීතය, රූපරාමු
දිහා මුලින්ම බැලුවම මගේ හිතෙත් ඇතිවුනේ සන්තෝසයක්, වේදනාත්මක සහනයක්, අතීතකාමී
රසයක් වගේ රසාලිප්ත සිතිවිලි ගුලියක්.
කැමරාකරණය, රංගනය වගේ තාක්ෂණික කාරනා ඇරුනම එතැනින් එහාට අන්සතු ඔබ ගීතය මෙතරම් ඉක්මනින් ඇවිලිලා යන්න හේතුවෙන්නැත්තෙ මොකක්ද
කියල කල්පනා කරද්දි මට දැනුනු කාරණාත් එක්ක වෙනස් මානයකට මාව තල්ලු වෙලා ගියා. ගී
රසවින්දන වැඩසටහනක් නිසා ප්‍රේමය සම්බන්ධව
කාරණා අපේ රසඥතාවට බලපාන්නෙ කොහොමද කියල හොයන්න මං තරමක් වැඩි කාලයක්
හිත ඇතුලෙ හුඟක් දුර ඇවිදගෙන ගියා. මේ කතා කරන්නෙ එහෙම ඇවිදිද්දි මුණගැසුනු
කාරණාත් එක්ක
අන්සතු ඔබ පද රචනයත්, රූප රාමු දිහාත්
බැලුවම පැහැදිලිවම පේන්නෙ එතන තියෙන්නෙ ප්‍රේමයට එරෙහිව නැගුණු පරිබාහිර ගැටුමක්,
බාධාවක් අභියස පෙම් කරන යුවලකගෙ ජීවිතයේ අංශුමාත්‍රයක්. සරලව කිව්වොත් පරිබාහිර
සමාජයේ බාධාවක් නිසා එක්වෙන්න, නිදහසේ ආදරය කරන්න බැරි පෙම්වතුන් යුවලක් ( අසම්මත)
හොර රහසින් තම ආදරය පවත්වගෙන යනවා. එතන දැඩි ආදරනීය බවක් සේම අහිංසකත්වයකුත් මිශ්‍රවෙලා
තියෙනවා. ජනප්‍රිය කලාවෙදි පැහැදිලිවම අල්ලන්නෙ මේ බාහිර ගට්ටන. ජනප්‍රිය හින්දි
චිත්‍රපටිවල ඉඳන් ලංකාවෙ මෙගා ටෙලිනාට්‍ය දක්වා අරගත්තොත් පෙනෙන සරල කතාන්දරය
මෙහෙමයි. තරුණ යුවලක් ඉන්නවා එයාලට එක්වෙන්න බැරි විදිහේ මොනයම්ම ආකාරයක බාධාවක්
එනවා. එක්කෝ දෙමාපියන්, නැත්නම් සම්මත සමාජය, එහෙමත් නැත්නම් වෙනත් දැවැන්ත
සතුරෙක්. මේ සතුරාව, බාධාව පරාජය කිරීම හා යුවලගේ එක්කාසුවීම ප්‍රේමයේ කූඨප්‍රාප්තිය
විදිහට අපි සලකනවා.
ඇත්තටම ගත්තොත් නං පරිබාහිර සමාජයේ බාධකවලින් අපේ
ඇතුලාන්තයට දැනෙන්නෙ පොඩි තරමෙ චූන් එකක්. නැත්නම් පරිබාහිර බාධා අපේ ප්‍රේමයන්ට
යම් සහනයක්, සුවයක් වගේම ආදරය තීව්‍ර කරන හේතුවක් බවට පත් වෙනවා. අපි ආදරය
කිරීමේදී හිතනවා අනේ අපි දෙන්නට ආදරේ කරන්න බැරි මේ සමාජය නිසා, සම්මතයන් නිසා
කියල හිත යම් විදිහකට අස්වසාගන්නවා. ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. සමහර වෙලාවට ඒ බාධක මත හැපි හැපී ප්‍රේමය මෝදු වෙන්න ගන්නවා.
මං ඉස්සරම කාලෙ ලියපු කවියක ඔය අදහස යම් ආකාරයකට
කැටි කරන්න උත්සහ ගත්තා.
එපා තරදුරටත් බනින්නට
සංස්කෘතිය විසින් බඳින ලද බැමි වලට
ඒ තමයි ස්නේහයෙන් බන්දන එකම හුය අප
කිසිම කිසි ගැටීමක් - එරෙහිවීමක් නැති
එබඳු තැනකට ගෙනගොස් තැබුවා දිනෙක මම
අප දෙදෙනාගේම ආත්ම
එතැන් සිට වුව
මුළු හදින් ඔබ මා පිළිගනිතැයි
සිතිවිලි නමා ගන්නට
නොහැකි විය කොහෙත්තම
සංස්කෘතියට පිටින් රිංගන - එය යන්තමට බිඳින
අසම්මත රහසේ විනෝදය මිසක
අප අතර ප්‍රේමයේ වෙනත් අරුතක් නොමැත
මට හිතුනෙම අපි ආදරයෙන් බන්දන්නෙ අපිට මේ විදිහට
එරෙහිවන මේ සංස්කෘතියම නේද කියල. සංස්කෘතිය නැමති බාධකය නොමැති උනා නං ඇත්තටම අපේ
ආදරේ කවරාකාර ගනීවිද? එහෙනම් මුළු හදවතින්ම එයා මාව භාර ගනීවිද? එහෙමත් නැතිනම් මේ
විදිහට සංස්කෘතික බාධා කොනිත්තමින්, ඒ මත හැපෙමින් ඒක අස්සෙන් හොරෙන් රිංගීමේ
සතුට, හෝ අමුතු ආස්වාදය නෙමෙයිද අපේ ආදරයේ ඇත්තම අර්ථය වෙනව ඇත්තෙ?
ආදරයේ
සහ වෛරයේ ස්වරූප. මේක රෙනාටා සලෙක්ල් ලියපු පොතක සිංහල පරිවර්තනයක්. පරිවර්තනය
නිශාන්ත කුලරත්නගෙ. පරිවර්තකගේ හැඳින්වීමෙදි එයා හරි ලස්සන කතාවකින් මේක ආරම්භ
කරනවා.
ආදරය
කිරීමේදී ජයගත යුතු බාධකයන් බොහොමයක් ඇති බව
හැම ආදර කතාවක්ම අපට පැවසුවත් මෙකී බාධක සියල්ල ජය ගත්තායින් පසුව පවතින
ආදරයක් ගැන මොනම විස්තරයක්වත් ඒ කිසිදු කතාවක අඩංගු නොවන්නේ ඇයි?
ඇත්ත.
කලින් කීවාත් මෙන් අපි කලා කෘති මගින් අත්දකින්නේ සුවහසක් බාධක කම්කටොලු ඉවතලා ජය
ගන්නා පෙම්වතුන් යුවලක්. හැබැයි ඇත්ත කතාව ආරම්භ වෙද්දිම කතාව නවතිනවා. නැත්නම්
එතැනින් එහාට කතාව අපි දන්නෙ නෑ. මං දන්න හෝ මට දැනිල තියෙන ආකාරයට ප්‍රේමයේ ඇත්ත
කතාව ආරම්භ වන්නේම දෙදෙනා එකතුවෙන්න පටන්ගත්තාට පස්සෙදි. අදහස් පරම්පරා දෙකක්,
අත්දැකීම් පරම්පරා දෙකක් එකට පූට්ටු වෙද්දි ඇතිවෙන පරස්පරතා ගිනි ඇවිලෙන සුලු තරම්
වේදනාකාරී වෙන්න බැරිද?
සහතික වශයෙන්ම ප්‍රේමයේ බාහිර ගැටුම්වලට වඩා අපි
අපිට මුහුණ දෙන්න වෙන අභ්‍යන්තර ගැටුම් තියුණුයි. සංකීර්ණයි වගේම ඒව අර බාහිර
සමාජමය ගැටුම් තරම් ආස්වාදයක්, අමුතු මිහිරක් ප්‍රේමය මත ඇති කරන්නෙත් නැහැ. නැවත
නැවතත් අපිව හෙම්බත් කරවමින් අපිවම ප්‍රශ්න කරන්න තරම් මේ ගැටුම් වෙහෙසකාරියි.
දරුණුතම සතුර ඉන්නෙ එලියෙ නෙමෙයි, අපේ ඇතුලාන්තයේමයි. අපිට සටන් කරන්න වෙලා
තියෙන්නෙ අපිත් එක්කමයි. අපේ ඇතුලෙ තියෙන අපේම දුබලතා, සංකීර්ණතා හෝ මනෝ ව්‍යාධි
එක්ක හැප්පෙන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නෙ.
මම යවන දිගු කෙටි පනිවිඩයකට එයාගෙන් එන වචනයක
දෙකක උත්තරයක් මාව උස්සලා පොලොවෙ ගහනවා. එයා මාව තකන්නෙ නෑ. උවමනාවෙන්ම මාව මගහරින
බව දැනෙනවා. එයාගෙ ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම, හැම පීඩනේකදිම මම එයා වෙනුවෙන් කාලය
වැය කරනවා. කොටින්ම එයාගෙ ජීවිතේ හැම අරමුණක්ම, ආසාවක්ම වෙනුවෙන් මමත් එයා එක්ක
හිටගන්නවා. නමුත් එයාට මගේ ගැන වගේ වගක් නෑ. මගේ ආශාවල්, අරමුණු ගැන හාංකවිසියක
මතකයක් එයාට නෑ. ඉතින් අපි අතර හමුවීම් - කතාබහ නිරන්තරයෙන් අර්බුදකාරීයි. නිරන්තරයෙන් මගේ
චෝදනාව මං මෙච්චර ආදරේ කරලත් ඔයා ඔහේ ගල් පිලිමයක් වගේ ඉන්නෙ කොහොමද කියන එක.
එතකොට එයා කියනවා මම හිතනවා වැඩි වග. තේරුමක් නැති කල්පනා පඹ ගාල්වල පැටලිලා දුක්
විඳින බව. මගේ හැඟීම නං එයා යන්තමින්වත් කල්පනා ලෝකෙ සැරිසරන්නෙ නැති වීම. එයා
හිතන්නෙ තමන් ගැනමයි. ඒ විතරමයි. මගේ ආදරේ විඳින එක විතරයි එයා කරන්නෙ. අනෙකා ගැන හැඟීමක්,
දැනීමක් හෝ අවධානයක් එයාට නෑ. කොහෙත්තම නෑ. අවම සංවේදීකමක්වත් නැති කෘතිම ජීවියෙක්
වීම සම්බන්ධව මට එයා එක්ක තරහයි. ඒ තරහ ඔස්සේම මට එයාගෙන් වෙන්වෙන්න බැරි වීමේ -
එයාවම උවමනාවීමේ වසඟය නිසාම මම මගේ ඇතුලෙම වෙහෙසට පත් වෙනවා. මේ ගැටුම චක්‍රාකාරව
අපි අතර නිරන්තරයෙන් මුනගැසෙනවා.
අහේතුකව මට එයා ගැන සැක හිතනෙවා. මහ රෑවෙනකං කා එක්කද එයා චැට් කරන්නෙ? ඔෆිස් ගියාම එයා මා එක්ක කතා කරන්නෙම නෑ. එයා ඔෆිස් එකේ අය එක්ක ට්‍රිප් එකක් යන එක නවත්තන්න මට හිතෙනවා. එයාගෙ ඇඳුම් අසංවරයි. කොටට අඳිනවා වැඩියි. කෙලින්ම නොබැන්නත් ඉඟියකින් හරි මට ඒකට විරෝධය පාන්න හිතෙනවා. සමහරදාට කෙලින්ම බනිනවා. එහෙම බැන්නම එයා අඬනවා. මූන බුම්මගෙන ඔහේ බලාගෙන ඉන්නවා.
කලා කෘතියකින් ඒක නිරූපනය කිරීම අර පරිබාහිර
ගැටුම් තරම් ලේසි පාසු වෙන්නෙ නෑ වගේම ඒව අපිට අර නිර්මාන තරම් පුදුමාකාර සතුටක්,
පට්ට සුන්දර හැඟීමක් ඇති කරන්නෙත් නෑ. කොටින්ම එහෙම නිර්මානයක් හැදුනත් අපිට බොක්කෙන්ම ඒක ශෙයා කරගන්න හිතෙන්නතේ නෑ.
ඉතින් පරිබාහිර ගැටුමක්, බාධාවක් දිහා බලල ඒක ගැන
හිතල හිතට පොඩි සැහැල්ලුවක් ලබා ගන්න එක අර අපේ අභ්‍යන්තර සතුරා දිහා බලනවට වඩා අහිංසක
සතුටක්, හිත සැනසෙන විදිහේ හැඟීමක් ආස්වාදයක් ඇතිකරනවා. අන්සතු ඔබ නිර්මානයක්
විදිහට වැඩකරන්න හේතුවෙන මනෝමූලික කාරනාවක් විදිහට මට පේන්නෙ ඒක. බාහිර සතුරෙක්
දිහා බලලා අපි මොහොතකට අභ්‍යන්තර සතුරාව අමතක කරනවා. ඇත්තටම ඒක සැහැල්ලුවක්. ඒක
ඇත්තටම නිර්මානයේ වරදක් නෙමෙයි. හෙම්බත්වෙලා තමන් ඇතුලෙම කැකෑරෙමින් වෙහෙසෙමින්
ඉන්න අපි මද හෝ සැහැල්ලුවක් ලබන්න ඉල්ලන්නෙ ඒ වගේ සුමට, සරල, අහිංසක හා වඩා පිරිසිදු ආදරයක්.
මේ ගීතය අපේ ඒ ඉල්ලුමට කදිම සැපයුමක් වෙනව ඇති.