Sunday, October 31, 2021

මාස්ක්වාදී කතන්දර

 




පුංචි කාලෙ කෙනෙක්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලා කතාබහ කිරීමේ අපහසුවක් මට තිබුනා. විශේෂයෙන් එයා ගැහැනු ළමයෙක් නං එයාගෙ දෑස් මග හරින එක වෙන්නෙ ඉබේටම. නැත්නං එයා එක්ක කතා කරද්දි ඔන්න මගේ ඇස් එයාගෙ ඇස් දෙකට කෙලින්ම එල්ල වෙනවා. ඒක අමාරුයි. නිකං පිච්චෙනව වගේ කියල මගේ හිත ඇතුලටම කා වද්දගෙන එයා දිහා බලාගෙන කතා කරන්න බැරි මොකක් හෝ අපහසුතාවක් මාව පීඩනයකට පත් කරනවා.

මේ මාස්ක් පලඳින යුගයේ එකිනෙකාගෙ දෑස් පැටලෙන එක අනිවාර්යක්.   මාස්ක් නොදාන කාලෙක අපි කාගෙ හරි මූන බැලුත් ඒ  බලන්නෙ ඇස් දිහාමයි කියල නිශ්චිත වෙන්නෙ නෑ. ඒත් දැන් ඒ දැනෙන හැඟීම වෙනස්. මාස්ක් එකකින් කරන්නෙ මූනෙ සෙසු අනවශ්‍ය අංගසියල්ල තාවකාලිකව මකා දාන එක. නැත්නං කෙනෙක්ගෙ දෑස් වෙතට අපේ ෆෝකස් එක අරගෙන යන්න අපිට පහසු කරවන එක.  කළු හිසකේ මායිමත්, මාස්ක් මායිමත් අතර පටු තීරුවේ ඇස් දෙක වෙනම ජීවියෙක් විදිහට වරින් වර මා දිහා බලන බව නිශ්චිතව මට කියන්න පුලුවන්. ඒ සමහර ඇස් තද කළුයි.  සමහර ඇස්වල තියෙන්නෙ බොර පාටක්. මට හිතෙනවා මං ආස ලොකු ඇස්වලට නෙමෙයි. ජපන්, කොරියන් මූනුවල තියෙනව වගේ ඉරිකෑලි දෙකක් වගේ කුඩා දෑස් වලට. සමහර ඇස් බැමි ගනයි. ගන ඇස්බැමි දෙපැත්තෙන් ඇවිත් නළල ලගින් හා වෙන්න තරමට වැවිල තියෙද්දි අමුතු ලස්සනක් දෙනවා. ඇස් පිහාටු ගන වෙලා ඒව වක්‍රාකාර උනාම එන බැල්මේ අමුතු කාන්තියක් තියෙන බව මං දැනගත්තෙ මනාලියන්ගෙන්. ඒ අය ඇසිපිය සලද්දි නිකං ස්ලෝමෝෂන් වෙනව වගේ. ඇස් පිහාටුවල බරින් ඇස් ඇරෙන්නෙ ආයාසයකින් වගේ.

සමහරු සිනාසෙද්දි ඇස් දෙක ඉරි කෑලි දෙකක් වගේ වෙනවා. සමහර අයගෙ කඳුලු පිරිල වගේ දිලිසෙනවා. නිශ්චිතව  යමක් උනා කියල නොපෙනුනත් ඒ ඇස් හැසිරෙන විදිහෙන් දැන් අපි දන්නවා එයා හිනා වෙනව කියලා. ඇස් භාෂාව හිතුවට වඩා ඉක්මනින් අපි අවබෝධ කරගෙන.  මං ඉස්සර හිතුවෙ හිනාවේ කේන්ද්‍රය තොල් දෙක දෙකම්මුල් කියල උනත් මේ මාස්ක්වාදය ඒක බොරු කරලා. හිනාව විතරක් නෙමේ, වේදනාව, බය, තරහව වගේ තව තව සංකීර්ණ භාවයන් ඇස් දෙකක් හරහා නිරූපනය වෙන හැටි මං අත්දකිනවා.

වැදගත්ම දේ මේකයි. මාස්ක් පැලදි නන්නාදුනන මූනක ඇස් දෙක හරහා අපි එයාගෙ මුහුන පරිකල්පනය කරගන්නවා.‍ දොඩමළු වෙද්දි එයාගෙ දෑස් නැලවෙන හැටි දෙපස හමේ වර්ණය, වගේ ඉගි අතලොස්සක් හරහා එයාගෙ සමස්ත මුහුන හිත ඇතුලේ සිත්තම් වෙලා ඉවරයි. අවාසි සහගත එකම දේ නන්නාදුනන කාගෙම හරි එහෙම පරිකල්පනය කරගත්තු මූනක් මාස්ක් එක ගලවලා දාපු ඇසිල්ලෙම අර පරිකල්පනය කුඩුපට්ටම් වෙලා යන තරමට පරස්පරතා පෙන්නන එක. වැඩි වාරගණනකදි මට උනේ මගේ හිතේ ගොඩනැගිච්ච පරිකල්පන මූනට ඇත්ත මූන පැරදිච්ච එක. ඇත්ත මූන දකින හැම වෙලාවකම  මේ ඇස්දෙකට මේ විදිහෙ කටක් මේ විදිහෙ තොල් දෙකක් හෝ නහයක් ගැලපෙන්නෙ නැහැ නේද කියල මට හිතුනු වාර බොහොමයි. දෑස් හා තෝල් අතර පෑහීම  අපේ රටේ මිනිස්සුන්ගෙ අන්තිම සවුත්තු එකක් ද කියල මට දවසක් හිතුනා.  

ඇස් හරහා ඉගිපාන එක, මූනු නොදැක එකිනෙකා වෙත බැදෙන එක මේ මාස්ක්වාදී යුගයේ අලුත් තත්වයක්. සමහර විට එයා අපිට වැඩි බුරුලක් දෙනවනම්, අපිට කැමැත්තෙන් ඉන්නව කියල අගවන්න එයා ගන්න විශාලම පියවර වෙන්නෙ හුස්ම ගන්න අමාරුයි කියල අගවන්න වගේ හෝ වතුර උගුරක් බොන විදිහට  මාස්ක් එකේ පටිය කනෙන් පන්නන එක.

ආයෙ ආයෙත් මට හිතෙන්නෙ මාස්ක් එක පලන්දපු මූනක ඇස්වල හිනාව අමුතු සෞන්දර්යයක් මතු කරනවා. ඇතැම්විට අපිට ඒ හිනාවක් පින්තූරෙකට රාමු කරගන්න හිතෙනවා. තොල්, කම්මුල් එක්ක නෙමෙයි. මාස්ක් එකෙන් වැහිල හිනාවෙන ඇස් දෙකක මූනකුයි මට ඕන. ඇස් දෙකක් කියන්නෙ ජීවියෙක්. ජීවයක් ඇතුලෙ වෙන අලුත් ජීවියෙක්. ඒ බැවි යලි යලිත් අපට මතක් කරන්නෙ මාස්ක් එකකින්.

මාස්ක් පලදගත්තු මූනකට කව් ගී ලිය උනා මදී...  

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...