Sunday, November 10, 2024

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට් කවුන්ටරයක බාල ස්පීකරේකින්. ඒත් දාවලේ කට්ට අව්වේත් කඨෝර හඬ පිරි නගරයේදිත් ඒ හඬේ අමුතු මිහිරියාවක් දැනුනා.. 


මේ ගීතයේ තියෙන්නේ සරල පද වැලක්.  හැබැයි ඒ සරල පද අස්සෙන් මහා සංකීර්ණ කතාවකුත් එළියට එනවා නේද කියල එවෙලෙ හිතුනා. 


සීතල දිය පිරි සුනිල විලයි

ඒ විල මැද ඔබ සුවඳ මලයි

ගිමන් නිවාලන සුළං රැලක් සේ 

ඔබේ සිනාමට පවන් සලයි


සර්ච් කරල බලද්දි පදවැල් ලියල තියෙන්නෙ මහගමසේකර කියල දැනගත්තම පුදුමත් හිතුනා . ඉතාම සරල පද ටිකක්. අපට බොහොම පැහැදිලිව පේනවා  පෙම්වතිය නිසා මේ පෙම්වතා සහනයකට පත්වෙලා කියලා. 


මේ ගීතයේ පළවෙනි හා දෙවෙනි අන්තරා කොටස්වල තියෙනවා මෙන්න මෙහෙම අදහසක්.


අසරණ වී මා ජීවිත කතරේ

අන්ධකාරයේ සැරිසැරුවා

ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්

උදාවෙලා මට අත වැනුවා


දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ

ඔබේ හදින් මා දෙස බැලුවා

දෑසට නොපෙනෙන මා හද පතුලේ

සුන්දරතාවය ඔබ දුටුවා


පෙම්වතාගේ ශක්‍යතාවන් හැකියාවන් වර්ධනය වෙන්නේ පෙම්වතිගෙ ප්‍රේමනීය බැල්ම, ඇල්ම ලැබුනට පස්සේ. නැත්නම් ඒ ආදරය හරහා මොහුගේ ජීවිතය උද්යෝගිමත් වෙනවා. මේ තාක් කල් ඔහුගේ ජීවිතේ නොපෙනුනු වර්ණවත් පැතිකඩක් ඔහුටම පේන්න ගන්නවා. ඒ වර්ණවත් බව එළියට ඇදලා ගන්න දයාබරිතබවක්, මිත්‍රශීලීබවක් පෙම්වතියගෙන් ලැබෙනවා. ඒ සහනය සීතල දියරක් වගේ ඔහුගේ සර්වාංගය පුරා ගලනවා. 


හුදකලා පුද්ගලයෙක් කියන්නෙ තනියම ගල් පර්වතයක් උඩ අවුරුදු ගානක් කරකුට්ටන් වෙවී නොවැඩී, දැඩි වෙවී   ඔහේ තියෙන ශාකයක් වගේ එකකට.  ඉර එළිය තෙතමනය  සාරවත් බව උකහාගෙන අතු ඉතිලා වැඩි මල් පිපෙන්න,ඵල දරන්න ගන්නව වගේ ජීවිතය විකසිත වෙන්නේ සැබෑ ආදරයක් ලැබුණාමයි. ඒ සහනදායී ආදරය ජීවිතය කොතෙක් සුවපත් කරනවාද..



ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන

ආදරයෙන් මා වෙත පිදුවා

ඒ මොහොතෙම තව සිය දහසක් මල්

මා වට කර හැමතැන පිපුණා

Monday, November 4, 2024

මැයි මාර ප්‍රසංගය ගැන..






මැයි මාර ප්රසංගය සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා. ඒක බොහොම හොඳ තත්වයක්. පොත මූලික කරගෙන ගැඹුරු හා සංකීර්ණ මනෝවිද්යාත්මක තේමා සාකච්ඡා වෙනවා. මේක පොත සම්බන්ධව විවේචනයක් හෝ ප්රසාදයක් මට්ටමෙන් ඔබ්බෙහි මෙවැනි සාකච්ඡා ඇතිවීම හැම අතින්ම හොඳයි.

අනිල් හේරත් සහ චින්තන ධර්මදාස ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම්වල මේ ගැන කතා කරල තියෙනවා දැක්කා. චින්තන සඳහන් කරල තිබුනේ මැයි මාර ප්රසංගය සමිධගේ චරිතය 90 දශකයේ බොහොමයක් තරුණයන්ගේ රෝගී මානසිකත්වය පිළිබිඹු කරන බවයි. අනිල් හේරත්ගෙ සටහනෙනුත් මතු කරන්න උත්සාහ කරල තියෙන්නෙ සමිධගේ චරිතයෙන් එවැනි මනෝව්යාධී ජනක තත්වයක් පෙන්නුම් කරනවා ද යන්න ගැන.
චින්තන මේක රෝගී තත්වයක් ලෙස ඍජුවම කියන එක හොඳ දෙයක්. ඒත් මම පුද්ගලිකව විස්වාස කරන්නේ නැහැ 90 දශකයේ මේ තත්වය වර්ධනය වුණා හෝ මේ තත්වය සහිත අය බහුල වූ බව. ඇතැම්විට යම් කාල වකවානුවක ඇති සමාජ ආර්ථික දේශාපාලන වටපිටාවේ යම් යම් බලපෑම් මත මෙවැනි මනෝභාවයන් සහිත පුද්ගලයන් බිහිවීම තීව්ර කරනවා ඇති. හැබැයි එයින් කියවෙන්නේ නැහැ අද අප ජීවත්වන යුගයේ එවැනි මානසිකත්වයක් සහිත අය බිහි නොවීමට ඉඩ නැති බව. ඒ අනූව මේක පුද්ගල මනෝ සැකැස්මක විදියක්, ආකාරයක් විදිහට දකින්න මම කැමතියි
මැයි මාර ප්රසංගයේ සමිධගේ චරිතය මළගිය ඇත්තෝ හි දෙවොන්දරා සං හා විරාගයේ අරවින්දගේ චරිතයට (තත් කාලීන බොහොමයක් සාංදෘෂ්ටික චරිත සහිත නවකතාවල ඇති චරිතවලට) යම් යම් සමානකම් අඩුවැඩි වශයෙන් තිබෙන බව නිගමනය කරමින්ම මේ සාකච්ඡාව කරන්න හිතෙනවා.
කොහොම නමුත් මැයි මාර ප්රසංගයේ සමිධගේ චරිතය අරවින්ද තරම්වත්, දෙවොන්දරා සන් තරම්වත් සංකීර්ණව විස්තාරණය වෙලා නැහැ. සමිධගේ චරිතය මේ කතාව ඇතුලේ නිරූපණය වෙන්නේ අභ්යන්තරය විශාල වශයෙන් හෙලිදරව් නොවන උපරි හෝ උත්කෘෂ්ඨ තලයක. ඒකට මේ නවකතා සඳහා ගන්නා වූ දෘෂ්ටිකෝණ පැහැදිලි බලපෑමක් කරන්න ඇති. මළගිය ඇත්තෝ සහ විරාගයේ දෘෂ්ටිකෝණ උත්තමපුරුෂයෙන් යද්දී සමිධගේ චරිතය පරිභාහිර චරිතයක් මගින් මතු කරන්නට උත්සාහ කර තිබෙනවා. විරාගයේ අරවින්දත්, දෙවොන්දරා සංගේ චරිතයේ ඇතැම් තැන්වලදිත් ඔවුන්ගේ මානසිකත්වය හැසිරෙන විකාර ආකාරය අප ඉදිරියේ සැත්කමක් කරන්නාක් මෙන් අනාවරණය වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගල මනෝභාවය ව්යාධිමය තත්වයක් ලෙසත් ඇතමෙකුට නිගමනය කරන්න පුලුවන් වන්නේ එනිසා විය හැකියි.
මේ ව්යාධිජනක බව මම ගන්නේ පටු හෝ නරක තැනකින් නෙමෙයි. කොහොම වෙතත් මේ මානසික ස්වභාවය තමාගේ ඇතුළට නැමුණු, බාහිර පරිසරය නිසා ස්වකීය තීරණ හකුලා ගන්නා, පසුබට වන, පසුගාමී හෝ ඇතැම් තැන්වල අවිහිංසක හෝ අති අවංක විලාසයක් අරගෙන තියෙනවා. මේ චරිතය ඇතුලේ හොඳ හා දුර්වලබවේ කවලමක් ඇතිබව දකින්න පුලුවන් වන්නේ ඒ නිසයි. කොහොම උනත් ඔවුන් සමාජය ඉදිරියේ දක්වන කුලෑටි හෝ නුහුරු ගති ස්වභාවයත් ඇතැම් සංකීර්ණ මානසික තෙරපුම් ඔස්සේ සිදුවන තීරණ නොගැනීම් හමුවේ ඔවුන් වෙත ඇති කරන සමාජ සානුකම්පිතවීම් පාඨක, විචාරක තලයේදී මතුවෙන බවක් පෙනෙනවා. නමුත් පැහැදිලිවම දෙවොන්දරාසං හා අරවින්දගේ චරිතවල මේ ගතිස්වභාවයන් තනි සුදු හෝ විශිෂ්ට මානව ධර්මතාවන් ලෙස හෙලිදරව් කරන්න කතුවරුන් උත්සාහ ගෙන නැහැ.
මළගිය ඇත්තෝ නවකතාවේම එක් තැනක දෙවොන්දරා සං ඔහුගේ මනෝභාවය පෙන්වන්න නොරිකෝට වෙස්මුහුණක් (යක් මුහුණක් වගේ මතක) තෑගි දෙනවා.. තමාගේ සත්ය ස්වරූපය මෙය බව ඔහු එතැනදී නොරිකෝට කියනවා. මෙවැනි සාධකවලින් අපට පැහැදිලි වන්නේ මේ සාංදෘෂ්ටික චරිතවල ඇති මනෝව්යාධිය(?) උත්කෘෂ්ඨ නොකොට එහි නිර්ව්යජී ගුණය පෙන්වන්නට එවැනි නවකතාවලින් උත්සාහ ගත් බව.
මැයි මාර ප්රසංගයේදී මෙය 'මාර' කතාවක්/ චරිතයක් ලෙස පෙනී යන්නට පටන්ගන්නේ සමිධගේ චරිතය කතාවේ කථකයා විසින් මාර පුද්ගලයෙකු ලෙස දැකීම හරහායි. ඒ අනූව සමිධගේ චරිතය අපිට යම් දුරස්ථ කියවීමක් පමණයි මෙතැනදී සිදුවන්නේ. කතාව කියන්නේ සමිධ නෙමෙයි. සමිධව අදහන, සමිධව විස්වාස කරන අනෙකෙක්. ඒ අනෙකා සමිධගේ මනෝභාවය මනෝව්යාධියක් ලෙස නොව උත්කෘෂ්ඨ මනෝභාවයක් ලෙස දකිනවා. මේ හේතුවෙන් සමිධගේ චරිතයේ ඇති කළු සුදු මිශ්රිත භාවය කියවීම පාඨකටන් අතින් දුරස්ථ කරවන අතර ප්රේමයේ මහා උත්තුංගභාවයක්, කැපකිරීමක පැතිකඩක් අප හමුවේ නිරාවරණය වෙන්න පටන් ගන්නවා.
මම කියන්න උත්සාහ ගන්නේ මේ පැතිකඩ නිරූපනය කිරීම වැරදියි හෝ නවකතාවේ අඩුපාඩුවක් බව නෙමෙයි. සමිධගේ චරිතය පාඨකයන් අතර වීරයෙක් හෝ ප්රතිවීරයෙක් ලෙස උත්පාදනය වන්නට බලපෑ හේතු මේවා විය හැකි බව දැනවීමටයි.
සමහරවිට මේ යුගයේ පාඨකයන් හෝ රසිකයන් මෙවැනි චරිතයක් වීරයෙක් හෝ උත්කෘෂ්ට ලෙස කියවා ගැනීමම එක්තරා ආකාරයකට විමර්ෂණය කළ යුතු තැනක්. මවිත විය යුතු තැනක්. මස්ඉඹුල ඒ නිගමනය අප ඉදිරියට ගෙනත් තියෙනවා. මින් පෙර මම විශ්වාස කළේ මේ යුගයේ තරුණ තරුණියයන් අතර හෝ මිනිසුන් අතර වඩාත් විශාල ප්රතිවීරයෙක් ලෙස මතුවන්නට ඉඩ ඇත්තේ ඉන්දියානු සිනමාව කැලඹූ ඇනිමල් චිත්රපටයේ රන්බීර් කපූර් නිරූපනය කළ චරිතය බවයි. නමුත් ලංකා සමාජය ඒ චරිතය විවච්ඡේදනය කළ බවක් මෙතෙක් දුටුවේ නැහැ.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...