Wednesday, January 1, 2025

රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්

 

මීට වසරකට හමාරකට පමණ පෙර මගේ පුතුගේ ගැටලුවක් නිසා ටික කාලයකට පාසලකට අනුයුක්ත වෙලා සේවය කරන්නට මට සිදුවුණා. ඒ පාසල ග්‍රාමීය කනිෂ්ඨයක්. ළමුන් 200කටත් අඩු.  එසේ  කරද්දී ලැබෙන අත්දැකීම් එක්ක අධ්‍යාපනයේ නව පැතිමාන ගැන හිතන්නට පෙලඹුනා

මේ පාසලේ  ගොඩක් වතු පාසල් ළමයි ඉගෙන ගන්න එනවා. මේ ළමයි සාමාන්‍යෙයන් වතු පාසල් ළමයි විදිහට හදුන්වනවද කියල මං දන්නෙ නෑ. කොහොම උනත් මේ අය ඇත්තටම ලොකු වතු සමාගම් නියෝජනය නොකරන නිසා ඒ අය වතු පාසල් විදිහට භාර ගැනෙන්නෙත් නැති තත්වයක් තමයි තියෙන්නෙ. ඒ අනුව ඔවුන්ගේ මාධ්‍යයෙන්ම උගන්වන වතු පාසල් හැදිලත් නැහැ.

මේ ළමයි ජනවර්ගය වශයෙන් දෙමළ, නමුත් ඉගෙනුම ලබන්නේ මව් බස නොවන බසක්. ආගම ක්‍රිස්තියානි හෝ හින්දු. නමුත් ඉගෙනුම ලබන්නේ බුද්ධධර්මය, පාසලේදී අදහන්නේත් බුද්ධාගම. කතා කරන්නේ දෙමළ. ලියන්න දන්නේ සිංහල. සමහර ළමයින්ට සිංහලත් දෙමළත් දෙකම බැහැ. මහා සංස්කෘතිය ඇතුලෙ මේ ළමයි නියෝජනය වෙන්නෙ හැම කුලකයකම කෑලි ජේදනය වෙච්ච සර්වත්‍ර කුලකයක වගේ තැනක උනත් ඒ අයට ඇත්තටම නියෝජනය වෙන්නෙ කිසිම අනන්‍යතාවක් නැති නන්නත්තාර තැනක.

මං පටන්ගත්ත සාක්ෂරතා පන්තියේ හිටියා දෙක වසරෙ පිරිමි ළමයි තුන් දෙනෙක් සහ තුන වසරෙ ගැහැනු ළමයි දෙන්නෙක්. පිරිමි ළමයි තුන්දෙනාම එකම පවුලේ දරුවන්. ලොකුම ළමයට වයස අවුරුදු 8ක් වගේ ඇති. නමුත් ඉගෙන ගත්තෙ 2 වසරෙ.  තුන් දෙනා හිටියෙ මට්ටම් තුනක. පොඩිම දරුවට අකුරු ලියන්න තියා අකුරක හැඩටක් අඳින්නවත් බැහැ. මුල් ළමා වියේ කුසලතා ගොඩක් දුර්වල තැනක තිබුනෙ. මේ දරුවන්ගෙ ඇඳුම් ගොඩක් කිලිටියි. කලු පුස් බැඳිලා. ඇත්තටම පාසලෙන් එයාලට අලුත් ඇදුම් පවා අරන්දීල තියෙනවා. සමහර ටීචර්ස්ල මැදිහත් වෙලා. නමුත් ඇඳුම් පුස් කන එක අවසන් වෙලා තිබුනෙ නැහැ. මම අහල තියෙන විදිහට කලු පුස් කියන්නේ බෝවෙන දිලීරියක් නිසා කොයිතරම් අලුත් ඇඳුම් දුන්නත් ඇඳුම් තෙතට එක ගොඩේ දැම්මම ඒව නැවත බෝ වෙන්න පුලුවන්. මේ සෞඛ්‍ය හා පිරිසිදු පුරුදු ඔවුන්ගේ දෙමාපියන් අනුගමනය කරන්නෙ නැතිව ඇති. මට මේ දරුවන් ගැන දකිද්දී හිතුනෙ බොහෝ සමීක්ෂණ පර්යේෂණ වලින් මේ වගේ දරුවන් මග ඇරිලද කියලයි. මෙම පාසල අයත් අධ්‍යාපන කලාපයේ සමස්ත පාසල්වලින් 50%කවත් පාසල්වල මේ දරුවන් ඉගෙන ගන්නවා කියලයි මට හිතෙන්නෙ.

මේ දරුවන්ගෙ ඉගෙනුම් ගැටලු දුබලතා පවා සියුම්ව නිරීක්ෂණය කළ යුතු ඒවා. එසේ මට හමුවූ ඒවා කිහිපයක්ම තිබුණා.

          සිංහල ඉගැන්වීමේදී දෙමළ භාෂාවේ සමහර අකුරු එක්ක  ඔවුන් පටලවා ගත්තා.

එවැනි අකුරු කිහිපයක් නිදර්ශන ලෙස පෙන්වා දෙන්න පුලුවන්

අ සහ හ

ත සහ ද

ට සහ ඩ

          මේ ළමයි අතර අකුරු හා ඉලක්කම් අනෙක් පැත්තට ලියන ළමුන් කිහිප දෙනෙක්ම දුටුවා.

 

පෝෂණ ඌනතා, සෞඛ්‍ය ගැටලු, (හොඳ පෝෂණයක් නොලැබීම බුද්ධි වර්ධනය අඩාල කරවනවා වගෙ පේනවා මේ ළමුන් ඇසුරු කරද්දි. ගොඩක් දරුවන්ගේ අලුහම්, ඉස්සොරි, උකුණන් වැනි තත්වයන් දැනටත් දැකගන්න පුලුවන්)

          පවුල් අභ්‍යන්තර ගැටුම්, දරුවන්ගේ මව හෝ පියා නැතිනම් දෙදෙනාම අහිමි වීම්. විරසකවීම්...(ඒ අනුව එයාලට ඇති ලොකුම අහිමිය ආදරය බවයි හිතෙන්නෙ)

මේ අයගේ අධ්‍යාපන ගැටලුවලට ඍජුවම බලපා තියෙන බවයි පෙනෙන්නෙ.

එක් පාසලක වසරක් හෝ දෙකක් ඉගෙන ගන්නා ඇතැම් දරුවන්ට තමන්ගෙ භාරකරුවනුත් එක්කම වෙනත් වත්තකට සංක්‍රමණය වෙන්නත් සිදුවන අවස්ථා තියෙනව.

ඒ මම සුලු කාලයකට ඉස්කෝලෙට ගිහින් උඩින් පල්ලෙන් දේවල් දැක පෙනුනු හා හිතුනු කරුණු කිහිපයක්. මට හිතෙනවා මෙතන පර්යේෂණයකට ලක් කරන්න ඕන තරමේ දේවල් ටිකක් තියෙන බව. මව් බසින් නොවන බසකින් අධ්‍යාපනය හදාරන මේ වගේ දරුවන්ට එයාලටම අනන්‍ය වෙච්ච අර්බුද ගණනාවක් ඇති. මට පෙනෙන විදිහට සෞඛ්‍යමය, මානසිකමය, සමාජ සංස්කෘතිකමය වගේම ආර්ථිකමය වශයෙනුත් මේ ජනතාව ඉන්න තැන යහපත් නැහැ.

ඉතින් මේ දරුවන් ඉගෙනීමේදී මුහුණපාන ගැටලු ගැන ඒ දරුවන්ටවත් හරියාකාරව වැටහීමක්  නැහැ වගෙ.  මෙම අධ්‍යාපන කලාපය ඇතුලෙම මේ වගේ වෙනත් භාෂාවකින් මූලික අධ්‍යාපනය හදාරන දරුවන් සංඛ්‍යාත්මකව කොපමණ සිටිනවාද යන දත්ත හෝ සංගණන වාර්තා තිබෙන බවක් නම් මට මතක නැහැ. සංගණන තොරතුරුවලින් මේ දත්ත එක්රැස් කරගන්න පුලුවන් කමක් ඇති.  ඒ දත්ත එක්ක අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට හෝ වෙනයම් වගකිවයුතු ආයතනවලට යොමුවෙනවා ද යන්න ගැන හෝ අවබෝධයක් මට නැහැ.

දැනට මා දන්නා එකම දෙය මෙම දරුවන් පාසලේ ළමුන් අතරින් කොන් වෙමින් ගුරුවරුන්ගේ අප්‍රසාදයට ලක්වෙමින් හා පාසලට බරක් වෙමින් අතරමැදින් පාසල් ගමන නවතා ඉක්මන් විවාහවලට යොමුවන බවයි. ඔවුන්ගේ දරුවන් ද ඔවුන් මුහුණ දුන් ඛේදවාචකයේම කොටස් කරුවන් වෙමින් මේ චක්‍රීය ගමන යාවත්කාලීන වන බවයි.  

No comments:

Post a Comment

රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්

  මීට වසරකට හමාරකට පමණ පෙර මගේ පුතුගේ ගැටලුවක් නිසා ටික කාලයකට පාසලකට අනුයුක්ත වෙලා සේවය කරන්නට මට සිදුවුණා. ඒ පාසල ග්‍රාමීය කනිෂ්ඨයක්. ළමුන...