Wednesday, January 1, 2025

සමාධි මිස්

 


ඩාන්ස් හෝල් එක පිටින් බැලුවම පෙනුනෙ එකම පනු හැළියක් වගේ. හැමෝම එකගොඩේ එකට නැටිල්ලක් කියල පෙනුනට ඇතුලෙ ඉන්න කෙනෙක්ට සියුම්ව නිරීක්ෂණය කළාම  තේරෙනවා ඒක ඇතුල කුඩා කුඩා කුලක උප බෙදීම් අටෝරාශියක්  තිබෙන බව. ඩිරෙක්ටර්ලා එක කවයකත්, අනධ්‍යන සෙට් එක වෙනම මුල්ලකත්, ඒ ඒ බ්‍රාන්ච්වල කාන්තාවෙ වෙන වෙනම කව වලත්, හැම බ්‍රාන්ච් එකේම අතලොස්සක් වූ කොල්ලො වෙනම තැනකත්, ට්‍රේනිං නංගිලා වෙනමම මුල්ලකත් ආදී වශයෙන් සීමා මායිම් දැකගන්න පුලුවන් උනා. මම මේ ආයතනයට අලුත් නිසා (සති දෙකක් විතර පරණයි) මේ කිසිම කුලකයකට සපුරා අයත් නැතිව - පිරිමි ගොඩේ තැනක ඔහේ පැද්දෙමින් උන්නා.

 

සමාධි මිස් කියන්නෙ ආයතන ශාඛාවෙ ඉන්න සමාධියක් වගේ ගැහැනු කෙනෙක්ට. ඇත්තටම සමාධි කියන්නෙ‍ මම දාපු නමක්. මැයි මාර ප්‍රසංගය නවකතාවෙ කථකයා තරුණියට සංචරණී කියල නම දැම්ම වගේ මම මේ මිස්ට සමාධි කියල නම දෙන්නෙ සමාධියක් වගේ පැත්තකට වෙලා අචල මූර්තිමය භාවයකින් ඉන්න නිසයි.

 

සමාධි මිස් ඇන්දෙම අත්දිග බ්ලව්ස්. චාම් මොස්තර. ළාම ළා පාට. දිගම දිග ලිහිල් කලිසම්. බ්ලව්ස් එක කලව දක්වාම දිගට.  හැමදාම මේ එකම විලාසිතාවෙ විවිධ හැඩතල. විවිධ වර්ණ.  කොන්ඩය අති සාමාන්‍යයි. දිගට නටුවක් වගේ පිට දිගේ වැක්කෙරෙන්න බැඳලා තියෙන ඉඟටියට පමණ දිගයි.

 

සමාධි මිස්ගෙ මුහුණ, සිරුර විලාසිතා ඈ හැමකක්ම නිහඬියාවෙන්ම කියා සිටියේ ඇගේ ගතිගුණවල ස්වභාවය. සරල, වැඩි සමාජ ආශ්‍රයක් නැති, නමුත් නපුරුත් නොවන නිකැලැල් පිවිතුරු කාන්තාවක්. වයස අවුරුදු 40 සීමාවෙ විය යුතුයි. ඈ විවාහක විය යුතු බවත් දරුවන් දෙදෙනෙක්වත් සිටිය හැකි බවත් අනුමාන කළ හැකියි. නමුත් ඇගේ සිරුර සිහින්. තරබාරු නැති එහෙත් අතිශය කෙසඟ නොවන සිහින් සිරුරකට ඈ හිමිකම් කිව්වා.

 

සමාධි මිස් ගැන මම මෙතරම්ම කියන්න හේතුව මේ ඩාන්ස් පාටියේ ඇගේ හැසිරීමයි. නටන, නැටවෙන පනු හැලියේ සමිධි මිස් ද කිසි කුලකයකට අයත් නොවන මම වගේම වෙනම තැනක ඉඳගෙන නැටුවා. ඈ ඇඳගෙන උන්නේ සාරියක්. චාම් සාරියක්. ඈ නැටුවේ ඇගේ සිරුර හෝ ඇගේ ස්වභාවය ඔස්සේ මා කිසිසේත් බලාපොරොත්තු නොමැති රිද්මයකට. නිදහස් හා වේගවත් නර්තනයක්. බොක්කෙන්ම නටන නැටිල්ලක්. ගීත විඳිමින්ම ඇඟ ඇතුලෙන්ම එන භාවයකින් නටන නැටිල්ලක්. සමාධි මිස්ගේ මේ අමුත්ත අදහාගැනීමට නොහැකිව මා කිහිප විටක්ම ඈ දෙස බැලුවා. නැත්නම් ඉබේ බැලුනා. ඈ අන් කිසි කෙනෙක් දෙස නොබලමින් තම හැඟුමට අවනත වෙමින් නර්තනයේ යෙදුනා. වෙනදා නම් කවුරුන් හෝ නටනවාට විනෝද වෙනවාට ඉත සිතින් කැමති මගේ හිත ඇතුලෙන් ආවේ සමාධි මිස් කෙලෙසුනා වැනි හැඟීමක්. ඒත් මට එහෙම හිතුනෙ ඇයි?  ඒක වැරදි සිතුවිල්ලක් බව මම සපථ කරගත්තා. මම ඒ සිතුවිල්ල මරා දමන්නට තැත් කළත් ඒක ලේසි උනේ නැහැ.

 

දැන් හෝල් එකෙන් එක්කෙනා දෙන්නා වෙන්වෙලා ලිස්සලා නිවෙස් බලා යමින් ඉන්නවා. සමාධ මිස් ඒත් නටනවා. ඉතිරි වෙච්ච අය අතරේ තම හැඟීමෙන්ම නටනවා. 

 

උත්සවයෙන් පස්සේ නිවස බලා යන විටදී ඈ බසයක් එනතුරා හෝල්ට්ටෙකට වී තනිව සිටිනු බයිසිකලයේ යන අතරතුර මට පෙනුනා. ඒත් ඒ අර නර්තන සමාධි නෙමෙයි. මූර්තියක් වන් චාම් නිකැලැල් සමාධි මිස්.

 

එතකොට අර ඩ්‍රාන්ස් එකේදී මම දැක්කෙ කවුද? ඒ මේ සමාධි මිස් ම ද? ඩාන්ස් කරන වෙලේ ඇගේ ඇඟ ඇතුලෙන් මතුවන ජීවියා කවුද?

No comments:

Post a Comment

මතක වස්තුව

  මතකයන් සිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පියසටහන්......   ඒ ලෙවල් චිත්‍රපටයේ ඇතුළත් ගීතයක මම කැමතිම...