මතකයන්
සිත පාරවයි
වසන්තේ කොහෙදෝ
ගිහින්
ජීවිතේ තැනක
නැවතිලා
මැකී යයි
පියසටහන්......
ඒ ලෙවල් චිත්රපටයේ ඇතුළත් ගීතයක මම කැමතිම පද කොටසක්. නදීමාල්ගෙ
කටහඬින් ඇහෙද්දී ගීතය තවත් දැනෙන්න ගන්නවා.
නැවතිල්ලේ කල්පනා කළොත් මතක කියන්නෙත් මහ පුදුම දේකට. ඒක
කම්පියුටර් හෝ ෆෝන් එකක මෙමරියට සමාන නැහැ. මතකයන් අපේ මනස තුළ කා වැදී ඇත්තේ
සංවේදනා හැටියට. දැනීම් විදිහට. සමහර සිදුවීම් නැවත මතක් කරද්දී මැවෙන්නෙ අපට
ගොඩක්ම බලපාපු මොහොතවල් විතරයි. අපට බලපාපු නැති සමහර සිදුවීම් අපේ මතක ගඟුලාවෙන් අතුරුදහන්
වෙලා වාෂ්ප වෙලා යනවා. විශේෂම දේ දෙන්නෙක් අතර සිදුවීම් එකිනෙකාට මතකයේ රැඳෙන්නේ ඒ
සිදුවීමේ විලාසයෙන්ම නෙමෙයි. ආදර සම්බන්දයක් ගත්තොත් ඒ සම්බන්දයට තදින්ම බැඳී සිටින
පාර්ශ්වයට සම්බන්ධයේ බොහෝ සියුම් අනු කොටස් මතකයේ ගැඹුරට කිඳා බැහැල තියෙන්න
පුලුවන්. නමුත් අනෙක් පාර්ශ්වයට මේක මතක් වෙන්නේ ඒ සිදුවීම් කිහිපවරක් මතක් කළොත්
පමණයි. ඒ මතක් කළත් මතකය අමතකය දිහාට තල්ලු වෙලා තියෙන්නත් පුලුවන්.
මතකය සම්බන්ධයෙන් බලපු විශේෂම චිත්රපට දෙකක් මේ මොහොතේ මතකයට
නැගෙනවා. Eternal sunshineof
the spotless Mind චිත්රපටයේ කලක් පෙම්වතුන් වී සිටි
දෙපළත් මතකය අමතක කරන්න ලොකු මහන්සියක් ගන්නා ආකාරයත් එකිනෙකාගේ මතකය කෘතිමව මකා
ගනිමින් ජීවිත් වෙන්නට ගන්නා උත්සාහයත් පෙන්වනවා. මේක අතිසංකීර්ණ ලෙස ගලා යන චිත්රපටයක්.
පසුබිම් වන්නේ හිම මිදුනු පාලු කර්කශ රටක සිදුවෙන්නක් ලෙසයි. චිත්රපටයේ අවසානයේ
මේ යුවළ අයිස්වලින් ගල් ගැසුනු ගඟක් මත මුණගැසෙනවා. නොගලන ගඟක්. තම මතකයන්ට එරෙහිව යමින් මතකයන් මනසින් තුරන්
කරගනිමින් සිටින යුවළකට ඔවුනොවුන් මග හැරි සිටිය නොහැකි වී සිටීමේ සිදුවීම් ජාලය
චිත්රපටය පුරා ගලාගෙන යනවා.
Three of Us කියන්නේ මෑතක තිරගත වූ මලයාලම් චිත්රපටයක්. මේ චිත්රපටයේ කතා නායිකාව වයෝවෘද්ධ කාන්තාවක්. ඇය සිය සැමියා සමඟ තනිව ජීවිතේ සැඳෑ සමය ගතකරන අතරේ ඇයගේ මතකය ඇගෙන් තුරන් වී යාමේ රෝගයට ඇය ගොදුරු වෙමින් පවතිනවා. මේ තත්වයෙහි යථාර්ථය දන්නා ඇය සිය මතකය සහමුලින්ම අමතක වීමට පෙර ළමා වියේ විසූ ගම් පෙදෙස වෙතත් ඒ යුගයේ තමා පෙම් කළ පෙම්වතාත් සොයා චාරිකාවක නිරත වෙනවා. මේ චිත්රපටයේ කතා පුවත වෙන්නේ එම තීව්ර මතකය ඔස්සේ ඇදී යන කාන්තාවකගේ ජීවින අන්දරය දෙස අන්වීක්ෂීය එබී බැල්මක් ලෙසයි.
මේ
චිත්රපට දෙකම බලලා දැන් ටිකක් කල්. ඒ
පිළිබඳ මගේ හිතේ මතකයක් ඇතත් සිදුවීම් හෝ සියුම් සියුම් සිදුවීම් මේ මෙහොතේ තදබල ලෙස
මතකයට නැගෙන්නේත් නැහැ. ඒ බලපු මොහොතේ සිතේ ඇතිවූ කම්පනය හෝ දැනීම පිළිබඳ මතකය
ඔස්සේ ඒ චිත්රපටයේ නම් දෙක තවමත් මතකයෙන් නොනැසී පවතිනවා.
No comments:
Post a Comment