වෙනුරගෙ කෙටිකතා පොත ගොඩගේ සම්මාන උලෙලේ හොඳම කෙටිකතා පොත බවට පත් වෙලා. ඒ පොත ගැන මීට මාස ගනනකට කලින් වෙනුරට ලියා යැවු පුද්ගලික අදහසක් පොදු අවකාශයේ පල කිරීමට ඒ නිසාම මට සිතුනා. වෙනුරට සුබ පතමින්ම ඒ සටහන මෙසේ පල කරනවා.
හිතවත්
වෙනුර,
ඔබේ
කෙටිකතා පොත කියෙව්වා. ඒ ගැන මගේ අදහස් ඔබ වෙත ලියා එවීම මොනවිදියකින් හෝ ප්‍රයෝජනවත්
වෙතැයි සිතනවා. මේ උත්සාය ඒ වෙනුවෙනුයි. මේ මගින් ඔබට යම් යහපත් පෙලඹීමක් ලැබෙනවා නම්
මා සන්තෝස වෙනවා.
පලමු කොටම
මේ තරම් ඉක්මනින් කෙටිකතාපොත තැපෑලෙන් මා වෙත එවීම සම්බන්ධව ස්තූතියි. එය මා
පිලිබඳ ඔබ තැබූ විස්වාසය තහවුරු කරන්නක් බව මේ මොහොතේදී මට හැඟෙනවා. කොටින්ම මා
සමඟ දැඩි ඇසුරක් නොතිබී වුවත් ඔබ මා කෙරෙහි තැබා ඇති පැහැදීම ගැන අවංක සතුටක්
නැත්නේ නැහැ.
අම්මයි
තාත්තයි වහල උඩ. ඒක ආකර්ශනීය නමක් බව කියන්න ඕනෑ.
ඔබේ නිර්මාන කියවීමෙන් මට එක දෙයක් අවබෝධ කරගත හැකි උනා. එනම් ඔබට හොඳ
ලිවීමේ ක්‍රමයක් පවතින බව. පැහැදිලිවම එය ඔබට අනන්‍ය වූ විලාසිතාවක් වැනියි.
ලංකාවේ නිර්මානකරුවන් අතර බහුතරය ලිවීමේ දෙය (අන්තර්ගතය) පිලිබඳ විනා ලිවීමේ විදිය(ආකෘතිය)
දෙස විශාල අවධානයක් යොමු නොකරන බවයි මම අදහන්නේ. නමුත් ඒ අතරින් ඔබ විශේශිතයි. ඔබට
කතා කීමේ විලාසයක් තියෙනවා. ඒක රසවත්. පාඨකයාව ග්‍රහනය කරගැනීමට තරම් වැදගත්
මාවතක් එයින් විවර වෙනවා.
සියුම්ව
අධ්‍යනය කලොත් ඔබේ සෑම කෙටිකකාවකම වගේ ආකෘතියේ පොදු ලක්ශන කිහිපයක් දැකගත හැකියි.
නිර්මානකරුවෙක් විදියට මමත් යමක් කියන විදිය ගැන උවමනාවටත් වඩා සිතන නිසාද මන්දා
මගේ අවධානය ඒ පෙදෙසට යොමුවීම වැඩියි වගේ. එකක් තමයි ඔබේ කෙටිකතා බොහමෙයක් ආරම්භ
වන්නේ අසම්බන්දිත දෙබසකින් හෝ සිදුවීමකින්. ඒක ඉතා කෙටි විස්තර කැටියක් වගේ. ඉන්
අනතුරුව ඔබ කතාව මැද්දට පනිනවා. ඇතැම් විට ඒ ඒ පාර්ශව ඔස්සේ කතාව ගලාගෙන යන්නට ඉඩ
සලස්සනවා. විවිධ කෝනයන්ගෙන් එක නාබියක් වෙත කතාව දිශානතිගත කරනවා.
සමහර
විට ඔබ නිරතවන රැකියාවේ අත්දැකීම් ඔබේ නිර්මාන දිවිය හැඩ ගස්සනවා ඇති. නමුත් මම ඒ
ගැන වඩ වඩා කල්පනා කරන්නේ නැහැ. ඔබේ කතාවල අන්තර්ගතයන් කොහෙන් ආවත් මට කමක් නැහැ.
මේ කෘතිය තුල මා වඩාත් ඇලුම් කරන කතා දෙක තුනක් තිබෙනවා. පලමුකොටම ගවුම. මම ඒ
කතාවේ ගලායාමට අවංකවම කැමතියි. කතාව කියාගෙන යද්දී මම බයත් උනා මේකට බලහත්කාරී
සමාජ විවේචනයක් ගෙනවිත් චොර වෙයිද කියලා. නමුත් එහෙම නැහැ. මේ කතාවේ ඒ ඒ චරිත ක්‍රියාකරන
ආකාරය මනස්තාන්තයි. සහ ඔවුන්ගේ දෙබස්වලින් හෝ සිතැඟි මගින් ඔවුන්ගේ සංකීර්නතා හා
සමාජ විශමතා අපූරුවට හෙලි වෙනවා. මට මුලින්ම හිතුනේ මේකෙ සර් විසින් අර ලමයට
අතවරයක් කරල කතාව ඉවර වෙයි කියල. එහෙම උනා නම් මේක තවත් එක් කතාවක් විදියට විතරක් මට දැනෙයි. අර කටු කම්බි වගේ දේවල් සංකේත විදියට
භාර ගත්තොත් ඇතැම්විට සමහර පාඨකයෙකුට එහෙම හිතෙන්නත් බැරි නැහැ. නමුත් මම වඩාත්
ඇලුම් කරන තැන එතැනයි. කටුකම්බි නිකම්ම කටු කම්බි වෙන්න බැරිද? ගවුම ඉරීයාම ඇත්තටම
ගවුම ඉරීයාමක් වෙන්න බැරි නැහැ නේද? එතකොට ගවුම ඉරී යාමෙන් වෙනත් කෙනෙකු තේරුම්
ගන්නේ වෙනස් දෙයක්. අපේ කලා කේශ්ත්‍රය තුලත් ගවුම ඉරී යාම සලකන්නේ අතවරයක් උනා,
දූශනය උනා වගේ පොදු උපමාවන් සඳහා පමනයි.( එය හරියට කාන්තාවක් වමනෙ දැම්මම ගැබ්
ගැනීම සංකේතවක් කිරීම වගේ නැත්නම් ටයර් සෑයක් ගිනිගන්නව කියන්නේ 89 භීශනය සංකේතවත්
කිරීමක් වගේ පොදු සම්මත සංකේතයක් ලෙස නාමකරනය වෙලා)මෙතනදී ගවුම ඇත්තටම ඉරී යාමෙන්
නැවතෙනලෙස මට හැඟීයාම රසවත් යයි මම කිව්වෙ ඒකයි. එතනදී නිර්මාකරුවා විදියට ඔබේ
අරමුන මොකක් වුවත් මට එය අදාල නැහැ. මොකද මම එය කියවද්දී ඒ කියවීම මගේ මිස ඔබේ
නොවෙයි.
සහ
ඒ කතාවේදී ඔබ ඒ ඒ චරිත ජීවත් කරවන විදිය විශිශ්ටයි. ඒ හැම චරිතයකටම ආත්මයක්
තියෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම් දෙබස් හා සිතැඟි තුලින් වඩා සජීවී කෙරෙනවා.
ඇත්තෙන්ම මට ඒ ඒ චරිත අභ්‍යන්තරයේ ඇති සංකීර්න මනෝභාවයන් පිලිබඳ හැඟෙන්න ගත්තා.
සර් මෝටර්බයිසිකලයෙන් ගෑනු ලමයව අරගෙන යන හැටි, බෙහෙත් අරගෙන දෙන දේවල් ආදිය. ඒ
කතාවට මම ඇත්තටම ආදරය කරන්නේ එහි අවංක ජීවාත්මයක් ඇතැයි මට හැඟෙන නිසායි.
දෙවැන්න
ධනවාදය. මේ මාතෘකාව දකිද්දී කතාව කියවන්න අපුල වගේ හිතුනත් ඇත්තෙන්ම කතාව රසවත්.
මේකත් අර ගවුම වගේම නිශ්චිත දිශානතියක් වෙත හෝ වටකුරු අවසානෙක් කරා අපව රැගෙන
යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ චරිතයන් ඔවුන්ගේ හීන, අපේක්ශා හා ක්‍රියාවන් ඔස්සේ
විසුරුවන්න ඔබ දක්ශ වෙලා. මම නිරන්තරයෙන් කැමති එවැනි ක්ශතියක් සහිත අවසානයකට.
අපේම කුඩා ජීවන සිදුවීම්වල සියුම් පෙදෙසක් අපූර්ව විදියට ගවේශනයක් වගේ ඒක.
මාධවී
ගිරවියගේ කතාවත් ඒ තරම්ම රසවත්. ඇත්තෙන්ම ඒ තුල ඔබේ භාශා ශෛලිය වගේම පරිකල්පන
ඥානයත් හොඳින් කැපී පෙනෙනවා. එය කියවද්දී මගේ සිවිවිලි සානුකම්පිත හැඟීම් වලින්
ඇලලී ගියා. කොටින්ම ඒ ඒ ගිරවුන්ගේ ස්වභාවයන් ඔබ කෙටිම කෙටි කතාවක් තුලට මුසුකරන
ආකාරය ගැන මට පුදුමයි.
සෙසු
කතා ඒ තරම්ම මාව කැලඹුවේ නැහැ. විශෙශයෙන් මේ පොතේ පලමු කතාවට මම ඒ තරම් කැමති
නැහැ. කොටින්ම ඇමතිවරු සම්බන්ධකරගත් ඍජු දේශපාලනික චරිත විචේචනය කරන කතන්දර වලට මම
ස්වභාවයෙන්ම කැමති නැති නිසා වෙන්න ඇති. එසේම ජනමාධ්‍ය විවේචනය හෝ වෙනයම් සමාජ
සංස්ථා විවේචනාත්මකව දක්වන සමහර කතා මට දැනුනේ නැති තරම්. මට හිතෙනවා ඒවා ගලායන
විලාසිතා නව්‍ය වුවත් ඒවායෙගි සාරය තවදුරටත් මාව කුල්මත් කරන්නේ නැති බව. ගැන්සියේ
කොල්ලෙක්, අන්දරේ එනකල්, කෝච්චිය කලුවර තරුව වගේ කතා විශාල වශයෙන් මාව තිගැස්සුවේ
නැහැ.
ඉතින්
ඔබේ කතා එකින් එක සියුම්ව ගෙන විවේචනය කිරීම කොහෙත්ම සාධාරන නැහැ. සහ මම දන්නවා
නිර්මානකරුවෙක් සිය නිර්මාන බිහි කරන්නේ කොතරම් වැර වෑයමෙන්ද යන වග. එනිසා ඔබේ
නිර්මාන දෙස බලන තවත් එක් කොනයක් පමනක් බව සිතන්න.
වෙනුර,
සත්තකින්ම මම කැමති මිනිසුන්ගේ අපූර්ව ගති පැවතුම් වදනින් විස්තරකල නොහැකි ඔවුන්ගේ
අරුම සහගත ජීවන විලාසයන් ගෙනහැරපාන කතාවලටයි. එසේම අන්තර්ගතානුවාදී සාහිත්‍යයකටද
මම මූලිකවම කැමැත්ත දක්වනවා අඩුයි. පැහැදිලිවම අප නිර්මානකරුවන් විදියට අපේ
නිර්මානය ඉදිරිපත් කිරීමේ ස්වභාවය ගැන සවිඥානික වෙන්න ඕනෑ. නැතිනම් පුවත්පත්වල සත්‍යකතා
පිටු පවා නිර්මාන බවට පත්වෙන්න ඕනෑ. අපේ නිර්මාන එතැනින් වෙනස් වන්නේ අප කලාත්මකව
ඒව් පවසන්න දරන වෙහෙස නිසා නේද?
මෙතැනදී
ඔබේ කතාවල බොහොමයක් සිදුවීම් සහ දෙබස්වල විදියට මම තදින්ම කැමතියි. ඒවා ඕනෑවටත්
වඩා සජීවීයි. ඇත්තෙන්ම ඔබේ කතා බොහොමයක් ගලා යන්නේ දෙබස් ඇසුරින්. එය මගේ නිර්මාන
විදියෙන් වෙනස් වන සහ මම ඉතාමත් මවිත වන ඔබේ ශූරත්වය පෙන්නන පැතිකඩක්.
ඉතින්
තව දේවල් බෙදාහදා ගනිමු. මම උත්සහ ගත්තේ අවංකවම මට දැනෙන ඔබ වෙනුවෙන් සටහන් කරන්න.
එය රලු විවේචනයක් වූවානම් සමාවෙන්න.
මූලිකවම ඔබ ඔබට අනන්‍ය වූ මාවතක ගමන් කිරීමයි වැදගත්. ඒ ගමනේදී ඔබ
අඩුලුහුඩුකම් මගහැර වඩාත් සරුසාර ඉසව්වක් වෙත ගමන් කරනවානම් එය ඔබටම වටිනවා. සහ මේ
අදහස් බෙදාගැනීම ඔබට වගේම කාලාන්තරයකින් අහම්බෙන් වගේ සාහිත්‍ය මිතුරෙකු මුනගැසීම
නිසාත් එනිසාම කලාව සම්බන්ධ අදහස් බෙදා හදාගැනීමට දොරටුවක් විවරවීම අතින් මටත්
වටිනවා.
සුමිත්
No comments:
Post a Comment