අපි පොඩිකාලෙ ගමේ ඉස්කෝලෙ ලස්සනට සින්දු
කියන අයිය කෙනෙක් හිටියා. නම චාමර. ඒ අයියගෙ ගෙවල් තිබුනෙත් ඉස්කෝලෙ ලඟමයි. හරිම
නිහතමානී, අහිංසක, හොඳ ලමයෙක් බව ඒ අයියගෙ මුහුනුවරින්ම පෙනුනා. ඒ නිසාම ඉස්කෝලෙ
හැම මිස් කෙනෙක්ම සර් කෙනෙක්ම චාමර අයියට ආදරෙයි. ඒ ආදරේ දෙගුන තෙගුන උනේ අයියට
ලස්සනට සින්දුකියන්න පුලුවන් වීමේ හැකියාවත් බලපාන්න ඇති.
ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියේ හරි බෞද්ධ සමිතියේ
හරි අයියගෙන් සින්දුවක් අහන්න බලන් ඉන්නෙ ලමයි විතරක් නෙමෙයි. මිස්ලත් ඒකට හරිම
උනන්දු බව එලිපිටම පෙන්වන තත්වයක් ඒ දවස්වල තිබුනා.
ඒ අයිය කියපු සින්දු මොනවද කියල ආපස්සට මතක්
කරල බලද්දි මගේ මතකෙට නැගෙන්නෙ එකමෙක සින්දුවයි.
අම්මේ යන්න එපා දුර රටකට..
මං ඒ සින්දුව මුලින්ම
ඇහුවෙ ඒ අයියගෙ හඬින්. ඒ චූටි වයසෙදි ඒ ලමා හඩින් ගයන සින්දුවෙන් කියන්නෙ මොකක්
ගැනද කියල පවා මට සැනින් අවබෝධ උනා. මිස්ල උනත් ඒ සින්දුවෙන් වශීවෙලා හිටිය වගේ
මතකයි.ඒ අයියගෙ අම්ම රට ගිහින් නෑ. නිතර දකින්න පුලුවන් පෙනෙන මානෙක ඒ අම්ම හිටිය
බව මට හොඳටම විස්වාසයි.
අපේ මල්ලි ඔහොම හිටියට ඉස්සර - පොඩිකාලෙ - ලස්සනට සින්දු කියන්න
පුලුවන්.
මේ ලඟදි දවසක මුතූ මා එක්ක කිව්වා. මුතූලගෙ
මල්ලිට දැන් වයස අවුරුදු විස්සක් විතර ඇති. මේ ඉලන්දාරි වයසෙදි නම් මුතූගෙ මල්ලිගෙ
නැත්නම් මගේ මස්සිනාගෙ කටහඬින් මම මිමිනිල්ලක්කත් අහල නෑ.
ඉස්සර මල්ලි දහම්පාසලේ,මොන්ඩිසෝරියෙ සින්දු
කියනවා
මගේ නිහඬතාවෙ බිඳින්නත් එක්ක මුතූ කතා කරගෙන
යනවා.
දවසක් මල්ලි සින්දුවක් කියල මොන්ඩිසෝරියෙ
හිටපු අම්මල තාත්තල හැමෝම වගේ ඇඬුව.
මොකක්ද කියපු සින්දුව. මගේ උනන්දුව වැඩි
උනා.
අම්මේ යන්න එපා දුරු රටකට.. කියල තියෙන්නෙ
විදුලියක් වගේ මගේ මතකෙට ආවෙ ඉස්කෝලෙ
සමිතියෙ චාමර අයිය සින්දුව කියපු හැටි.
මොන්ටිසෝරි වයසෙදි මල්ලි එහෙම සින්දුවක්
දන්නෙ කොහොමද? මම මුතූගෙන් අහන්න හදද්දිම එයා ඒකට උත්තරක් ලබා දුන්නා.
අපේ පුංචි ඒක කියල දුන්නෙ.
මම නොදුටු, නොවිදපු අතීතයක් පරිකල්පනය
කරගන්නවා. ඒ පරිකල්පනේට මුතූ ඊට කලින් දවස්වල මාත් එක්ක කිව්ව තොරතරුත් එක්කාසු
වෙනවා.
මුතූට වයස අවුරුදු තුනේදි විතර අම්ම රට
ගිහින්. ආයෙ ඇවිත් තියෙන්නෙ අවුරුදු පහේදි. පහේදි නැවතත් රට ගියාලු. සෞදි. එහෙම
තුන් හතර වතාවක් අම්ම රට යද්දි මුතූ ඉඳල තියෙන්නෙ එයාලගෙ අච්චිලගෙ ගෙදර.
මුතූගෙ මල්ලි හම්බවෙන්නෙ මුතූට අවුරුදු 10ක්
පිරෙද්දි එනම් එයා පහවසරෙ ශීෂ්‍යත්වෙ විභාගෙට මුහුනදෙන දවස්වලලු.
මල්ලි හම්බවෙලත් අවුරුදු තුනෙන් හතරෙන් අම්ම
රට ගිහින්. මුතුයි මල්ලියි දෙන්නම ලමා කාලය ගෙවල තියෙන්නෙ අම්මත් තාත්තත් නැතිව
ආච්චිලාගෙ ගෙවල්වල.
මේ අතීතය මුතූ මාත් එක්ක කියපු සින්දුවත්
එක්ක ගැලපිලා අර මොන්ටිසෝරි උත්සවේ උන්නු ගැහැනු මිනිස්සුන්ට වගේ මටත් ඇඬෙන්න වගේ
ආවෙ සින්දුව හීනෙකින්වත් ඇහිල නෙමෙයි.
උත්සවේ ඉවර උනාට පස්සෙ ගෑනු අය දෙතුන්
දෙනෙක් ඇවිත් මල්ලිගෙ ඔලුව අතගෑවා. එතකොටත් එයාලගෙ ඇස්වල කඳුලු.
මගේ කල්පනා - පරිකල්පනා අතරින් නැවත නැවතත්
- පියවි ලෝකෙ ඉන්න මුතූගෙකටහඬ ඇසෙනවා.
ඒක කියන්නකියල ඊට පස්සෙ ඉස්කෝලෙ කාලෙත්
මල්ලිගෙන් කට්ටිය ඉල්ලුවා.
මේ සින්දුවත්, මල්ලිගෙ ජීවන පසුබිමත්,
නොදරුවෙකුගෙ කටහඬින් ගැයෙන ලපටි ස්වරයත් කවලම් වෙලා ගමේ ගොඩේ ඉන්න නූගත් ගැමියන්ගෙ
සිතිවිලි සසල කරන්න තරම් රසවින්දන විශය කොතෙක් දුර පැතිරෙන්න පුලුවන්දැයි මම නිකමට
වගේ හිතුවා.
කලා කෘතියක් රසවිඳින්න එකී නිර්මානකරුවගෙ
පුද්ගලිකත්වය වැදගැම්මකට නැහැ කියල මම මහා තද තර්ක ගොන්නක් එක්කකටුසටහන් ගහල තියෙන මගේ විචාරප්‍රවාද කෘතියේ තර්ක ඔක්කොම එකමිටට අරගෙන
පොලොවෙ ගසන්න තරම් මස්සිනාගෙ සින්දුවක් ප්‍රබලවෙලා කියල මට මොහොතකට හැඟෙන්න ගත්තා.
ඔබේ තුරුල්ලේ
- උනුසුම අම්මේ
විසිතුරු
ලෝකෙට වැඩි සැපනේ..
අම්ම රට ගියපු ලමයෙක්ගෙ මොන්ටිසෝරි -ලපටි කටහඬින් එහෙම කියද්දි නෑඩෙන්න පුලුවන් කාටදැයි
මට ආයෙමත් හිතෙන්න ගත්තා. එදා මස්සිනා පොඩ්ඩ සින්දුව කියන්න ඇත්තෙ කොහොමදැයි මවා
ගන්න වෙහෙසෙන හැම මොහොතකම මගේ මතකයේ ඇඳෙන්නෙ අපේ ඉස්කෝලෙ සමිතියයි, චාමර අයිය
ඉස්සරහට ගිහින් සින්දුව කියපු විදියයි, මස්සිනාගෙ මොන්ටිසෝරි උත්සවේ දවසෙ ගත්ත
ෆොටෝ එකක තිබුනු ලමා මුහුනුවරේ ගතියයි එක්කාසු වෙච්චි වෙනස්ම විදියේ කවලම් රූප
වින්‍යාසයක්.
පුංචිම පුංචි කාලෙ අම්ම තාත්ත ලඟ නැතිව කාලෙ
ගතකරන්න සිද්ධවෙන එකේ සංවේදනා අත්විඳල නැතත් මුතූ වෙනුවෙනුත්, එයාගෙ මල්ලි
වෙනුවෙනුත් මොහොත්කට මගේ ඇස් අගිස්සටත් කඳුලු කැටි ගොඩගැහෙන්න මේ සින්දුව අහන
කලාතුරකින් හරි දවසක් උනත් මග බලාගෙන ඉන්නවා.