Tuesday, October 9, 2018




පරම්පරා




දැන් අම්මගෙ වයස අවුරුදු 63යි. ඒ කියන්නෙ මේ වෙනකොට එයාට ලොකු වයසක් වෙනවා කියන එක බව මටත් හිතෙන්නෙ මේ ටයිප් කරන වෙලාවෙදිමයි.

මම අම්මගෙ බාලම පුතා නිසා අම්මට මාව හම්බ වෙන්න ඇත්තෙ අවුරුදු තිස් ගනන්වලදි වගේ. මට මතක තියෙන කාලය වෙද්දි අම්මගෙ වයස අවුරුදු හතලිහකටත් කිට්ටුයි.

මෙවැනි වයසක ඉන්න නිසා හෝ අම්මගෙ සහජ ගතිගුන ස්වභාවය නිසා අම්මව මට පෙනුනෙ බොහොම නිශ්ශබ්ද, විනෝදෙට, ජොලියට එතරම් බරක් නැති අම්ම කියන සාම්ප්‍රදායික නාමයටම ඉපදුනු මනුශ්‍ය දූතිකාවක් විදියට.

අම්ම සින්දුවක් කියනව තියා සින්දු අහනවද, විඳිනවද කියලවත් ජීවිතේ මේ තාක් කල් මොනම සාක්ශියක්වත් තිබෙනවද කියල කවුරුමහරි මගෙන් ඇහුවොත් මට ඒ සඳහා දෙන්න පුලුවන් එකම එක නිදසුනක් විතරක් තියෙනවා.

මේක උනේ මගේ මතකයේ ඈත සීමාවෙ මං පුංචිම පුංචි කාලෙ වන නමුත් අම්මා ඒ සින්දුව කිය කිය අමුතු විදිහක නර්තනයක යෙදුනු හැටි මට හොඳටෝම මතකයි.

සිරිමා බෝ මුල - විදුරාසන මත
බෝසත් වැඩ හිඳිනා
සුරනා රැඟුමන් දිලෙනා නැටුමක
මර දූවරු තිදෙනා ආආආආ...
මරු දූවරු තිදෙනා

අම්ම ඒක කියන්නෙම සාමාන්‍ය කටහඬටත් වඩා වෙනස් සෞම්‍ය හඬකට මාරු වෙමින්. අම්මගෙ කටින් ජීවිතේ අහල තියෙන එකමෙක සින්දුව පවා රේඩියෙකේ කොයියම්ම වෙලාවකවත් අහල නැති එක මට දැනුනෙ හොඳ දෙයක් විදියට. එතකොට ඒ සින්දුව අයිති වෙන කාටවත් නෙමෙයි. අපේ අම්මටම විතරයි. ඒ තාල, රිද්ම, ස්වර ඔක්කොම අම්මගේ.

අම්ම ඒ සින්දුව කිව්ව විතරක් නෙමෙයි. ඒකටම ගැලපෙන නර්තනයකුත් ඉදිරිපත් කරපු එකයි විශේශ.
මැටි පහනක් අරගෙන ඒක අල්ල උඩ තියලා අටේ ඉලක්කම වගේ අත ඒ මේ අත අඹර අඹරා අම්ම ඒ සින්දුව කිව්වෙ අපිට නං ඒක අනුගමනය අමාරුයි කියන්න වගේ ආඩම්බර ලීලාවකින්.

එතැනින් පස්සේ අපි ලොකු මහත් වෙන්න වෙන්න, අම්ම වයසින් මුහුකුරා යන්න යන්න අම්මගෙ කටින් වෙන මොනම සින්දුවක් තියා ඒ සින්දුවවත් ආයෙ අහන්න පුලුවන් දවසක් උදා උනෙත් නෑ. අනේ අම්මෙ සින්දුවක් කියන්නකො කියල ඉල්ලීම් කරන්නවත් බැරි විදිහට අපි අතර නිදහස් සන්නිවේදන මාර්ග ඇහිරිලා ඒක අහේතුකවම සීමා සහිත ගනුදෙනුවක් බවට පරිවර්තනය උනු කාලයක් එලඹුනා.

ඒත් මේ ලඟදි දවසක අම්මගෙ කටින් අර හඬින්ම ඒ ගීතයම ඇහුනම මං කාමරේ ඉඳන් හොඳින් කන් දීගෙන අහගෙන උන්නා.

හෙමීට සාලෙ මැද්දෑවෙන් අම්ම සින්දු කියන එක දිහා උවමනාවකින් තොරව වගේ බලාගෙන මං ඉස්තෝප්පුව දිහාට ගියා. අම්ම හිටියෙ අයියගෙ දූත් එක්ක හුරතල් කතන්දර සින්දු ආදිය කියමින්. කොන්ඩ කරල් දෙකකුත් ගොතලා. ඒක කරල තියෙන්නෙ එක වසරෙ ඉන්න පුංචි දූ පොඩ්ඩ.

නිශ්ශබ්ද, හුදකලා, බව තුරන්වෙලා අම්මා භූමිකාවෙන් ආච්චිගෙ භූමිකාව වෙත අම්ම ඉතා හොඳ පිම්මක් පැනල විත්තිය මං ඉස්තෝප්පුවේ ඉඳන් ඈත බලන ගමන් ප්‍රත්‍යක්ශ කරගත්තා.

සිරිමාබෝමුල විදුරාසන මත සින්දුව නැවත මගේ මතකයේ ඉස්මත්තට ගෙන ඒම වෙනුවෙන් අම්මට ස්තූතිවන්ත වෙන අතරේම මම ගූගල් එකේ එහෙම සින්දුවක් තියෙනවද බලන්නත් එක්ක ෆෝන් එකේ තිරය උඩ ඇඟිල්ල එහා මෙහා දුවවමින්ම අම්මගෙ සින්දුව රස වින්දා.

අම්ම ඒ සින්දුව පරම්පරා දෙකකටම ලෝභ නැතුව පරිත්‍යාග කලේ සවිඥානිකව නෙමේ අවිඥානිකව වීම තමයි වැදගත්ම දේ කියල මට හිතෙන්නේ.

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...