මතකයි අද වාගේ
සුජාතා අත්තනායකගෙ ගොඩක් ගීතවලට මම ඒ තරම්
ආස කරන්නෙ නෑ. ඒ කටහඬට කොහොමත්ම ආස නැති නිසා වෙන්න ඇති. ඔන්චිල්ලා තොටිලි
කොයින්දෝ සින්දුව උනත් වෙන ගායිකාවක් ගායනා කෙරුවනම් ඊට ලස්සන වෙන්න තිබුන කියල මට
නොයෙක් අවස්ථාවන්වල හිතිල තියෙනවා. පිච් ඍති වොයිස් ගැන මගේ දැනීම අල්ප උනත් මට
හැඟීමක් වශයෙන් හෝ වින්දනයක් වශයෙන් ඒ ගීත දැනෙන මට්ටම තියෙන්නෙ හුඟක් ඈතයි.
සුජාතා ගායනා කරන සතර අතින් කලු කරගෙන වහින
වෙලාවේ... සින්දුව ඇහුවම මට හිතුනෙ ගායනයේ හෝ කටහඬේ අවුලකටත් වඩා ඒ තේමාව
ගායිකාවකට මොනතරම් ගැලපෙනවාද කියලයි.
මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑ වෙලාවේ...
අතර මගක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා..
මේක අද කාලෙ කෙල්ලෙක්ට වෙන්න පුලුවන් වැඩක්
ද කියල හිතෙද්දි ඒ පදරචනයත් එක්ක මට එකඟ වෙන්නම බැරි උනා. කවියක, කෙටිකතාවක වගේ
තිබුනනම් විසංයෝජනීය අර්තෙකින් දාපු එකක් කියල හිත හදාගන්න පුලුවන් උනත් මේක
එහෙමත් හිතන්න බැරි තරම් සරල ගීතයක්.
මේක කොල්ලෙක් කිව්වනම් මොකද කියල හිතුනු
සිතුවිල්ල එහෙම්මම හිතේ නිදාගෙන ඉද්දි ඒ අදහස ආපසු අවදිකරවලා ගත්තෙ මා නොවන මම
වැඩසටහනට ආපු අමල් පෙරේර විසින්.
කොහොමටත් තමන්ගෙ ගීතයක් වගේම වෙන ඕනම
කෙනෙක්ගෙ ගීතයක් උනත් තමන්ගෙ හැඩේට තමන්ගෙම කරගෙන ගයන්න අමල්ට තියෙන්නෙ විස්මිත
හැකියාවක්. අමල් එහෙම කියපු සින්දු ඕන
තරම් ජනප්‍රියත් වෙලා තියෙනවා. විකසිත වත කමලේ ඒ අතර ඉහලින්ම තියෙනවා. මිල්ටන්
පෙරේරගෙ උඩු ගුවන යටින් මහ දෙරන පිටින්, මිල්ටන් මල්ලවාරච්චිගෙ ඔබ වෙනුවෙන් මා
ගැයූ ගී, වගේ සින්දු වැඩිපුර ප්‍රචලිත වෙලා නැතත් මම යූ ටියුබ් එකෙන් අරං නිතර
අහමින් ඉන්න සින්දු කිහිපය අතරේ තියෙනවා.
https://www.youtube.com/watch?v=1bIi7_8hh24
අමල් මේ සින්දුව තෝර ගත්තෙ ඇයි කියල ඒ
වැඩසටහනේ දි කිව්වෙ නැතත් ඔහු මේක ගායනා කරද්දි මං අර මුල් කාලෙ සුජාත ගායනා
කරද්දි ඇතිවුනු අවුල් සේරම කඩාගෙන බිම වැටුනා.
අනිත් අතට කෙල්ලෙක් විසින් කොල්ලෙක්ව කුඩේ යටින් එක්කගෙන යාම වගේ දෙයක්
හිතද්දි විස්වසනීයත්වයත් එක්කම කැටි ගැහිච්ච මොකක්දෝ අතීතකාමී සන්තෝසයකුත් මගේ යටින්
දිවයනව දැනෙනවා.
ඒ වගේම අමල් ඒක කියන විලාසයම මිහිරියි.
හතර වටින් කලු කරගෙන
වහින වෙලාවේ...
ඔහු වේ...යන්න අදින්නෙ ඔපෙරාවක වගේ නැත්නම් වෙස්ටන්
ටයිප් එකකින්. මුල් ගීතයේ නැති අලංකාර ඔහු තමන්ගෙම විදිහට ගලපනවා.
ගෙදර ගිහින් ඇරලූ දා..... එතන දා...යන්න පවා
ඔහු අලුත් අලංකාරයකින් හැඩ කරනවා.
එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතෙ වලලු රන්ඩු උනා අඩි සද්දෙට ඉබේ...
මේව පිරිමි හඬින් කියද්දි ගැලෙපෙන්නෙ නැති
උනත් මට ඒක ඉවසන්න පුලුවන් තරම් රසයකින් අමල්ගෙ මල්මල් හඩ මාව වසඟ කරගෙන ඉවරයි.
සංගීත භාන්ඩ අතලොස්සක් අරගෙන කරන මිහිරි සංගීතෙත් ඒකට එකතු වෙලා. සැක්ස ෆෝන් එකෙන්
කට පුම්බගෙන ගහන තාලය ඒ සංගීතය අතරින් වෙනස් මිහිරියාවකින් මාව වට කරන්න තරම් සමත්
වෙනවා.
ඒ මිහිරි සංගීතමය අත්දැකීම් එක්ක මාව
අතීතකාමී පුද්ගලික ඉතිහාසයකටත් තල්ලු වෙනවා.
අතර මගක
සිටිමා
කුඩේ යටින්
කැන්දා
ගෙදර ගිහින්
ඇරලූ දා.....
මතකයි
අදවාගේ...
No comments:
Post a Comment