Thursday, January 30, 2020

එවන් කලක මා එපා නොකල මැන


මට මගේ ගැනම විනිශ්චයක් දෙන්න අමාරු තත්වයක් උඩ ඔබේ ජීවින ගමන් මග දිහා මං හෙලන දෘශ්ටියේ වැදගත්කමක් තියෙන්න පුලුවන්ද මන්දා. සත්තකින්ම  අපේ හැඟුම් ගංගාවන් ගලායන දිශාව සම්බන්ධයෙන් ඒ මොහොතේ අප සතු ඥානය අපව අතරමං කරවන සුලු බව ඇඟවෙන අවස්ථාවන් ගනනාවක් පසු කරන්නට මට සිදු උනා. ඒහැම මොහොතකම මං ගියේ මගේ සුපුරුදු ජීවන රිද්මයට. කාමරේ අඳුරු මුල්ලකට වෙලා ඔහේ අන්ධකාරය දිහා බලාගෙන, ඒ අන්ධකාර ගුලි ඇතුලේ නලියන, ඇඹරෙන පනුවන් වගේ අමුතු රූපාවලි දිහා බලාගෙන ඔහේ කල් යවන එක. එහෙමත් නැත්නම් අඳුනන කාත් කවුරුවත්ම මුන නොගැසෙන මාවතක් දිගේ ඔහේ අරමුනකින් තොරව ඇවිදිනඑක. 

ජීවිතේ මෙවැනි අසීරු අවධි පසුකරන ඕනෑම මොහොතක නිසඟයෙන්ම ඔබව මතකයේ ඉස්මත්තට පැමිනෙන එක දැන් කාලයක් තිස්සේම කෙරුන දෙයක්. නමුත් ඒ එකදු අවස්ථාවකවත් මා ඔබට ඇමතුමක් ගෙන නැහැ. ලෝකය මෙතරම් ඉක්මන් වෙලත්, සබඳතා ඇරඹීම ආලෝකයේ වේගය ඉකමවන තරම් වුවත් අප එකිනොකා නොදොඩා තවමත් මුනිවත රැකගෙන ඉන්නේ මන්දැයි කියාවත් මේතාක් මට සිතී නැහැ. එතරම්ම අපේ ගොලුබව අප අතර සාමාන්‍ය කරනය වෙලාද? 
ඇත්ත. අවුරුදු පහකින්වත් මට ඔබව භෞතිකව මුනගැසී නැතිව ඇති. අවුරුදු තුනකින් මෙහා අවම වශයෙන් මම ඔබේ කටහඬ අසා නැහැ. මමම මගේ කවියක පවසා ඇති අන්දමට මේ වැනි කෙටි දිවියක් තුල මෙසේ අප ඔවුනොවුන් ගැන කිසිදු විමසීමකින් තොරව මේ ගතකරන ආකෘතිගත දිවියේ තේරුම කුමක් විය හැකිද?

නිස්කලංකේ මුනගැසී මට ඔබෙන් ඇසිය හැකි, ඇසිය යුතු දේ පිලිවෙලක් නැති තරමටම පැතිරී ගිහින්. 

ඒ ප්‍රේමය, ඒ හැඟීම්, ඒ විස්මිත මොහොතවල් ඇත්තේ අතීතය තුලම පමනයි. ඒ මනරම් මොහොතවල් සියල්ලක් පසුකොට ජීවිතේ අනේකවිද හැලහැප්පීම්, ගැටීම්, කැලැත්තීම් හා අරගල කරමින් දැන් අප සිටින්නේ අර පෙර සිටි ලාමක, නිකැලැල් මොහොතකයයි බොලඳයෙකු සේ සිතන්න මට කොහෙත්ම බැහැ. ඒ නයින් බලද්දී නැවත අප මුන ගැසීම හෝ එසේ මුනගැසී අර පැරනි හැඟුම්බර කිතියම නැවතත් ප්‍රාර්ථනා කිරීම කොහොමටත්ම සාධාරන පැතුමක් නොවන බව මා දන්නවා. 

එහෙත්, අවම වශයෙන් අප එකිනෙකාට ප්‍රේම කිරීමේ ඵලයක් වශයෙන් එසේත් නැතිනම් අපගේ හදවත් එකිනෙකාට ගැඹුරු ලෙස විනිවිදිමින් විවර කරගත් විවෘතභාවයේ නාමයෙන්වත් නැවත මුනගැසී ජීවිතේ මේ මොහොත දෙස අප හෙලන බැල්ම දෙස හෝ අවංක කතාබහක නිරතවීමේ හැකියාවක් අප අතර ගොඩ නගා නොගන්නේ මන්ද? 

අවංකවම අප මේ ගෙවන දිවියේ අප පැටලී ඇති, අප බැඳ දමා ඇති සමාජ සංස්කෘතික හෝ ස්වභාවික මූලයන්හි සියුම් හුයවල් දෙස නිරුවත්ව බැලීමේ හෝ ඒවා සම්බන්ධව ස්වයං විවේචනයක් කිරීමේ උවමනාව මගේ ඇතුලත තෙරපී තිබෙන හැටි ඔබට දන්වන්නට සිතූ අවස්ථා බොහෝයි. එසේම එවැනි සංවාදයකට එනවානම් මා එන්නේ,  මට ඔබ සම්බන්ධව ඇති අවංක විවේචන, සරසවි දිවියේ අපගේ චින්තනය ද කලඹවාලූ අර චාම් රැඩිකල් කෙල්ලගේ විචාර බුද්ධියට මෑත දිවියේදී අත්ව ඇති ඉරනම ගැන විමසීමේ සැබෑ කුකුසක් ද දරාගෙනයි. 

ඔබ ඔබටත් නොදැනුවත්වම ජීවන අරගලයේ සුලි කුනාකුටුවකට මැදිව අවිඥානිකවම ඒ අඳුරේ ගොදුරක්ව සිටින්නේද? එසේත් නැතිනම් ඒවා ගැන සාවධාන වෙමින්ම තමා පත්ව ඇති අකරතැබ්බය සන්සුන්ව විඳදරා ගන්නවා ඇතිද? එහෙමත් නැතිනම් මේවා ගැන සිතන්නටවත් ඇත්තමට ඔබට වෙලාවක් නැතිද?

මෙතෙක් ලියූ  ලිපි සැමකක්ම වගේ ඔබට ඊ තැපැල් හරහා  යොමුකරන පුරුද්දෙන් ඔබව අරමුනු කරගෙන ලියූ මේ ලිපිය ද ඔබ සොයා පැමිනෙනු ඇති. ඔබ ඒවා කියවනවාද? නැද්ද හෝ අවම වශයෙන් ඔබ ඊ මේල් ගිනුම විවරකරනවාද වත් නොදන්නා වූ නමුත් මා තවදුරටත් එය ආයාසයෙන් වලක්වා ගන්නේද නැහැ

ඉතින් මේ ගීතය ලියන්නේ ඒ තීරු ලිපියේ සම්මත පොදු පුරුද්දට විතරක්ම ද?

සාගර වෙරලක පිය සටහන් මත
ඔබ මා සමඟින් ගෙවූ දිනක් ඇත‍
ඒ රන් හිරුරැස් විහිදුනු මොහොතේ
ඔබම මාද විය, මාද ඔබම විය...

Monday, January 20, 2020

දවසක්ගත උනා කියා... හිරු අවරේ ගිලී ගියා.. හැමදා නැත හද පායන්නේ....












චූටි මාමලගෙ දූ බඳින එක කෝල් කරල කිව්ව විතරයි මුතුටයි මටයි මූනට මූන බැලුනා. ලොකු හුස්මක් අතැරුනා.

මාමල අපේ වෙඩ්න් එකට පන් දාහක් දාල. මේකට ඊට අඩුවෙන් නොදා බෑ.අඩුමගානෙ ඒ ගානවත් දාන්න ඕන. මුතූ එහෙම කියද්දිම මමත් හිතින් ඒකම හිතල ඉවරයි. 

පන්දාහක් හොයන්න තියා රුපියල් සීයක් හොයන්න බැරි අවස්ථා පවුල් ජීවිතේ ඇතුලෙ ඕනතරම් තියෙන්න පුලුවන්. හරියටම එදා පුතාට මොන්ටිසෝරි ගෙනියන්න බිත්තර ගෙනාවෙ කැටෙන් සල්ලි පෙරල රුපියල් පහනක් හදාගෙන. 

අපි අක්කගෙන් නයක් ගන්න තීරනය කලා. රුපියල් හත්දාහක්. වෙඩින් එකට පහයි. පවුලෙ කට්ටිය සෙට් වෙලා  කතා කරගත්තු වෑන් එකට එක පවුලකින් 1500යි උනාම අතට ඉතුරු වෙන්නෙ පන්සීයයි. වෙලාවෙ හැටියට ඒකත් ශේප්. 

අන්තිමට වෙඩිමට ගියේ මම විතරයි. පවුලෙ නිර්නායක, එකඟතා තීරනය කරද්දි සාමූහිකව අනුමත කරනව මිසක් තර්ක කරල, විරුද්ධ වෙන සිරිතක් අපේ කොහොමටත් තිබ්බෙ නැති නිසා මං තනියම ගියත් 1500 මූනෙන් කිසි වෙනසක් නොපෙන්වා දීල දැම්මා. 

ලඟින්ම ඇසුරු කරන චිත්‍රපට යාලුවෙක් කොලඹදි කෑමකට ආරාධනා කලේ දැන් සති ගානක ඉඳන් උනත් මං  ඒක මග ඇර ඇර උන්නෙ මේ සල්ලි ප්‍රශ්න හුටපට නිසාමමත් තමයි. කොහොමහරි ඒක මේ වෙඩින් මගුල අස්සටම දා ගත්තෙ කොලඹ යන ගමනෙ ඒකත් කවර් කරගෙන එන්න පුලුවන් නිසා.

වෙඩිමෙ සාද, බාල් නැටුම් ඉවරවෙලා මං අක්කලගෙ වාහනේම නැගල එයාලගෙ ගෙදරට ගියා. වෙලාව හතරයි. හය වෙද්දි දියත උයනට යන්න ඕන. එතනට කට්ටිය සෙට් වෙනවා. සංග්‍රහය තිබ්බෙ මං කවදාකවත් අහල නැති හෝටලේක.

අතේ ඉතිරි පන්සීය බස් වලට මාරු කරල දෙන්න ඕනෙත් නැති නිසා මස්සිනාගෙ බයිසිකලේ ඉල්ලගෙන මං නොදන්න පාරවල් පීරගෙන දියත උයන හොය හොයා බයිසිකලේ පැද්දා.

මහ යාන වාහන, හයිබ්‍රිඩ් කාර් අස්සෙ මස්සිනාගෙ බයිසිකලේ නවත්තන්න තැනක් හොයල අපි කෙලින්ම ගියේ හෝටලේ ඇතුලට. පිටින් දැක්කට අනුමාන කරන්න බැරි තරමේ තරු පන්තියේ විශාල හෝටලයක් ඒක.

මගේ ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම හෝටලේකට අඩිය තියන බව දැනීමෙන් සියුම් බයක් ආවත් වේලාසනම යාලුවට ඒ ගැන අවංකව පැවසීමෙන් චකිතය බොහෝදුරට අවමවෙලා ගියා. 

විදේශික පවුල්, විදෙස් හැඩ ගත්තු දේශීය පවුල් එලිමහන් වටරවුම් මේසවල හෝ ඇතුලත මේසවල ඉඳගෙන ඉංග්‍රීසි කතාබස් සහිතවම ආහාර ගන්නවා. අපි ගියේ ඇතුලත කලින් අපටම වෙන්කරල තිබුන මේසයක් ගාවට. ආහාර වට්ටෝරු සහිත මේස යායක් අපේ ඉදිරියෙන් තිබුනා. වරින් වර පැමිනි වේටර්වරු ඉංග්‍රීසි බසින් මගේ යාලුවගෙන් නොයෙක් දේ විමසුවා. ඔහු සරලව හා ගරුසරු ඇති ආකාරයෙන් පිලිතුරු දෙනු පෙනුනා. 

අපේ මේසයේ උන්නෙ තුන් දෙනයි. මමයි, මගේ යාලුවයි, ඔහු විසින් මෑතකදි මට දුරකතනයෙන් හදුන්වාදුන්නු ඔහුගෙ යාලුවෙකුයි. 

කලාව ගැන, චිත්‍රපට, දේශපාලනය ආදී නොයෙක් දේ ගැන අපේ සංවාද ඇදි ඇදී ගියේ වාර තුන හතරකට කෑම යායවල් අතරේ අලුත් දිලිසෙන පිඟන් අරගෙන සංචාරය කරන අතරතුරමයි. ජපන් ක්‍ර මේට හදපු කෑම වර්ග හා කොටු දෙක දිහාට මගේ හිත ඇදිල ගියා. ඒ කෝටු යුගලයක් ගෙදර අරං ගිහින් මුතූට පෙන්නන්න ඕන උනත් ලැජ්ජාව ඒකට ඉඩ දුන්නෙ නෑ.

රාත්‍රී සාදය නිමවෙලා රෑ තරු අතරේ මස්සිනාගෙ බයිසිකලෙන් මං අක්කලගෙ ගෙදරට බයිසිකලේ පැදගෙන ආවා. දවසේ හරස්කඩක් අරගෙන බැලුවොත් මං ගතකරපු, ගියපු තැන් කොයිතරම් පරස්පරද කියල හිතද්දි මටම ආපස්සට හිනා ආවා. අතේ සතයක් නැතුව හොඳටම නයවෙච්චි මිනිහෙක් තරුපන්තියේ හෝටලේකින් රෑ ආහාරය ගැනීම තරම් විකාරයක් තියෙන්න පුලුවන්දැයි මට හිතුනා.

මේ මොහොතට අදාල සින්දුවක් නැතත් අපි ආහාර ගනිද්දි හෝටල් පරිසරය පුරාවට පාවෙවී තිබ්බ ඉංග්‍රීසි සංගීත ඛන්ඩ විසින් මට මතක්කරපු, ඉස්සර මං නිතර අහපු සිංහල සින්දුවක් තියෙනවා. ඒක පාවෙලා නිල්වලාවේ සින්දුව වචන නැතුව සෙක්සෆෝන් එකෙන් ගහන එකක්. 

 https://www.youtube.com/watch?v=Rwiphx4qAlU

බයිසිකලේ යන ගමන් මං හිතින් ඒ ඉන්ස්ටරුමන්ට් එක ප්ලේ කලා.  

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයේ වෘද්ධ බව සහ බහුවිධ බුද්ධියේ දිග පලල










වත්මන් ලොව භාවිත කරනු ලබන සාම්ප්‍රදායික බුද්ධි පරිමානවලින් තක්සේරු කරනු ලබන්නේ මනුෂ්‍ය විභව්‍යතාවලින් ඉතා ස්වල්පයකි. බොහෝ විට වර්තමාන ඥානය, විද්‍යාත්මක චින්තනය, තර්කනය, භාෂාමය හැකියාව වැනි අංශ කිහිපයක් පමණකි. එසේ වුවද මනුෂ්‍යයා සතු මේ හා සමාන හෝ මීටත් වඩා සංකීර්න වූ මානසික හැකියා තව කොතෙකුත් පැවතිය හැකි බව මිනිසුන් දෙස බලනවිට අපට නිගමනය කල හැකිය. නිදසුනක් වශයෙන් දක්ෂ රියදුරෙකුගේ ක්‍රියාවලිය හා කාර්ය දෙස බලනවිට, සංකීර්ණ වීදිවල, මහාමාර්ගවල, සෙසු වාහන හා මගී ජනතාවට උපද්‍රවයක් නොවන ආකාරයෙන් මාර්ග නීතිරීති පිළිපදිමින්, වාහනය හසුරුවමින් මනා වේගයෙන් හා කාර්යක්ෂමතාවකින් යුතුව ස්වකීය හසුරු කෞශල්‍ය බුද්ධිමය ලෙස යොදවන ආකාරය අපට පෙනී යයි. 

තත්වය මෙසේ වුවද, අප ඉහත සඳහන් කළ වර්ගයේ වත්මන් බුද්ධි පරිමාණ පරීක්ෂණයක් රියදුරන්ට දෙනු ලැබුවහොත් බොහෝ දෙනා නිසැක වශයෙන්ම ඉන් අසමත් වනු ඇත. මක්නිසාද යත් බොහෝ රියදුරන් ශාස්ත්‍රීය උගත්කමින් අඩු හෙයිනි. සංඛ්‍යා, ගණිතය, විද්‍යාථ තර්කය හා භාෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම අල්පය. බොහෝ විට ඔවුනට බුද්ධ පරීක්ෂණයකට උත්තර ලිවීමට පවා අවශ්‍ය භාෂා දැනුම පවා නොමැත. මෙම නිදර්ශනය චින්තනය මත පාසල් ජනගහනය දෙස බලන විට අපට පෙනී යන්නේ ශිෂ්‍යයන් අතර පවත්නා සැබෑ දක්ෂතා බොහොමයක් යටකී සම්මත බුද්ධි පරිමාණවලින් යටපත්වන බවයි. නිදසුනක් වශයෙන් තම ශරීරය සුඛනම්‍ය ලෙස චලනය කරමින් මානසික මෙහෙයවීඹක් මගින් රිද්මයානුකූල රටා හැඩතල, නිර්මානය කරමින් ශරීර ඉඟිබස මගින් අදහස් හා භාව ප්‍රකාශනය කරමින් නර්තනයක හෝ රංගනයක යෙදෙන ශිෂ්‍යයාවකගේ එම අපූරු දක්ෂතාව යටකී සම්මත බුද්ධි මානසික හැකියා පරිමානයෙන් කරනු ලබන තක්සේරුවය හසු නොවෙයි. මෙවැනි හැකියා එකක් දෙකක් නොව රාශියක් ශිෂ්‍යයන් තුල පිහිටා ඇත. පවතින සාමප්‍රදායික මිනුම් දඬු තුලින් ඒවා අගය කොට තක්සේරු නොකිරීම අයෝග්‍ය වේ. (රෝලන්ඩ් අබේපාල - නව ඉගෙනුම් ප්‍රවණතා)

ඉහතින් උපුටාගත් අදහස තවදුරටත් සරලව හා විස්තාරනය කොට කීම, එනම්   මිනිස් බුද්ධිය කොතරම් පරාසයකට මෙන්ම කොතරම් විවිධ වර්නයන්ගෙන්, ස්වරූපයෙන් මිනිස් මොලය තුල ස්ථාපිත වන්නේ ද සහ ඒවා ප්‍ර යෝජනයට ගත හැකි වන්නේ කෙසේද  යන්න ගැන කරුනු දැක්වීම මෙම ලිපියේ අපේක්ශාවයි.

බහුවිධ බුද්ධි න්‍යාය (Multiple Intelligence) ලොවට හඳුන්වා දෙන්නේ හෝවාර්ඩ් ගාඩ්නර් (Howard Gardner) නම් ඇමෙරිකානු ජාතික මනෝවිද්‍යාඥයා විසින්. ඔහු පවසන ආකාරයට විවිධ මිනිසුන් තුල බුද්ධි වර්ග එකක් දෙකක් හෝ කිහිපයක් අන්තර්ගතව තිබෙන්නට පුලුවන්. එය මිනිසාගෙන් මිනිසාට විවිධ ස්වරූප අරගනිමින් පැවතීම ද විශේශත්වයක්. ගාඩ්නර්ගේ වචන වලින්ම එය මෙසේ දැක්විය හැකියි.  ''මනුශ්‍ය බුද්ධිය අතිශයින්ම පුලුල් වූ බොහෝ සෙයින් පොදුවේ පැතිර ගිය නිපුනතා සමූහයකින් සමන්විතය. දැනට ඉන් 8ක් ගනනය කලෙමි. තව බොහෝ තිබිය හැකිය.''
 
මේ අනූව මිනිසාගේ බුද්ධිය ප්‍රධාන වර්ග අටක් යටතේ දක්වන්න පුලුවන්. ඉතා සරලවම විග්‍රහ කලොත් ඒවා මෙහෙමයි. 

1.       භාශාමය බුද්ධිය,
2.       ගනිත හා තර්කමය බුද්ධිය,
3.       සංගීතමය බුද්ධිය,
4.       රිද්මයානුකූල චලන කල හැකිවීමේ බුද්ධීය,
5.       ස්වභාවධර්මය සම්බන්ධ බුද්ධිය,
6.       රූප/සංඥා අවබෝධ කරගැනීමේ බුද්ධිය,
7.       පුද්ගලාන්තර බුද්ධිය,
8.       පුද්ගල අභ්යන්තර බුද්ධිය

බහුවිධ බුද්ධි න්‍යාය මෙලෙස අට වැදෑරුම් වන අතරම අවම වශයෙන් ඉන් එකක් හෝ කිහිපයක් අප සෑම කෙනෙක් තුලම අඩුවැඩි වශයෙන් අන්තර්ගත විය හැකි බව ගාඩ්නර්ගේ අදහසයි. පුද්ගලයන් තුල පවතින මෙම බුද්ධීන්ගේ ස්වභාවයන් වඩාත් කැපී පෙනෙන්නේත් ඉක්මනින් හඳුනාගත හැකි වන්නේත්  ඔවුන්
කුඩා අවධියේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් තුලිනුයි. අනෙක් අතට කුඩා අවධියේදීම ඒකී සක්‍යතා

හඳුනාගැනීම ඔවුන්ටම සිදුවන සාධාරනයක් ද විය හැකියි. එනම් පාසල තුලදී සිසු දරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් මගින් ඔවුන්ගේ බුද්ධීන් කිනම් ස්වභාවයක් ගන්නේදැයි අධ්‍යනය කිරීමට ඉතා පහසු හා වැදගත් කටයුත්තක් බව මේ අනූව පැහැදිලියි.




භාශාමය බුද්ධිය යනුවෙන් සරලව හඳුන්වන්නේ යම්භාශාවක් කතාබහ කිරීමට, ඉතා හොඳින් ලිවීමට, හැසිරවීමට, ඇති හැකියාවයි. ලිපි රචනා, භාශා, සාහිත්‍ය කුසලතා ඇතම් සිසුන් තුල තවකෙකුට සාපේක්ශව වර්ධනය වන්නේ හෝ අවම වන්නේ මෙම බුද්ධියේ තීව්‍රතාව අනූව බව ඒ අනූව නිගමනය කරන්න පුලුවන්.
ගනිතමය හා තර්කමය බුද්ධියෙන් කියවෙන්නේ ගනන් මිනුම් ක්‍රම, සාධන ක්‍රම, යමක් දෙස තාර්කිකව බැලීමට, විචක්ශනව කියවීමට, ග්‍රහනය කරගැනීමට ඇතිවන හෝ සහායවන බුද්ධියයි. ඇතැම් සිසුන් ගනිත කර්මවලට ලෙහෙසියෙන් හුරු වන්නේත් තවත් සිසුවෙකුට එය දුරාවබෝධ වන්නේත් මෙම බුද්ධිය පිහිටන ස්වභාවය මත බව හඳුනාගැනීම වැදගත්.
සංගීතමය බුද්ධියේ දී පුද්ගලයා තුල සංකේන්ද්‍රනය වන්නේ තාලය, විරිත, රිද්මයානුකූල ශබ්ද  සංඥා හඳුනාගැනීමට වන හැකියාව ආදී ඊට සමාන වූ සියලු විභවතා සමස්තයකුයි. . ගීත ශ්‍රවනයට වන ලෝලය, ගායනය, වාදනය ආදී නොයෙක් ඉසව් ඔස්සේ මෙකී බුද්ධියේ ප්‍රකාශනය සිසු දරුවා තුලින් ප්‍රකාශවන අවස්ථා අපිට පන්ති කාමරේදී ද දැකගන්න ලැබෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. රිද්මයානුකූල චලනයේදී පුද්ගලයා යම් රිද්මයක් වහා ග්‍රහනය කරගැනීමටත්, ඒ අනූව සිය ශරීරය මනාව මෙහෙයවීමටත් සූක්ශම වනු දකින්න පුලුවන්. නැටුමට, රංගනයට, වගේම ක්‍රීඩා ඉසව් කෙරෙහිත් වඩා වැදගත් වනුයේ මෙම බුද්ධි ස්වභාවයයි.
දරුවන්ගෙන් ඇතමුන් තවත් කෙනෙකුට වඩා ස්වභාව ධර්මයේ සතුන් කෙරෙහි, ගහකොල ඇලදොල කෙරෙහි වන ඇලීම, බැඳීම කැපීපෙනෙන ලෙස වැඩී තිබෙනු ඇතැම්විට අපට දක්නට පුලුවන්. එය එසේ වන්නේ ස්වභාදහම පිලිබඳ බුද්ධිය පිහිටා ඇති අය තුල බව බහුවිධ බුද්ධි න්‍යාය අනූව අර්ථකථනය කරන්න පුලුවන්. පාසල තුල මෙන්ම ඉන් පරිභාහිරවත් යම් රූපසටහනක්, වීඩියෝ පටයක්, චිත්‍රපටයක් දැකීමෙන් යම් කාරනයක් ඉතා හොඳින් ග්‍රහනය කරගැනීමට සමත්වන පුද්ගලයා සතුව රූප සංඥා අවබෝධ කරගැනීමේ බුද්ධිය පිහිටා තිබෙන බව පෙනෙනවා. එසේම පුද්ගලාන්තර බුද්ධියේදී කියවෙන්නේ සමාජ ජීවියෙක් ලෙස සිසුවා වඩා හොඳින් පිරිසක්/ශිශ්‍ය කන්ඩායමක් සමඟ සුහද ශීලීවත් ඔවුන් හා ඇසුරේදී නිරායාසිකවම ඉස්මතුවන හැකියාවත් විහිදා දැක්වීම සම්බන්ධවයි. පුද්ගල අභ්‍යන්තර බුද්ධියේදී මීට තරමක් වෙනස්ව සිසු දරුවා තම අභ්‍යන්තරය සමඟ වඩා හොඳ ගනුදෙනුවක නිරතවීමේ හැකියාව වර්ධනය කරගන්නවා. යමක් සම්බන්ධයෙන් තමා ක්‍රියා කලේ කෙසේද? එය තමන්ට සිතුනේ ඇයි, තමාට දැනුනු සිතුවිල්ල නිවැරදිද, තමා එසේ සිතීම හොඳද වැනි අභ්‍යන්තරයෙන් හටගන්නා සිතිවිලි ගනුදෙනුවකට මෙම බුද්ධිය මගින් ඉඩක් විවර කරදෙන බව සිතන්න පුලුවන්.
.
ඉහත කී බුද්ධි මට්ටම් වල පරාසය විවිද වන නමුත් තවදුරටත් අපගේ අධ්‍යාපනික ක්‍රමවේද සැකසී තිබෙන්නේ, විභාග ක්‍රමයන් දිව යන්නේ පමනක් නොව පන්තිකාමර  ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන්නේත් මෙම බහුවිධ බුද්ධි ස්වභාවයන්ගෙන් බුද්ධි වර්ග දෙකක් තුනක් වැනි අතලොස්සක් සැලකිල්ලට ගනිමින් වීම අවාසනාවන්ත කරුනක්. එනම් ඉහත දැක්වූ සෑම අවස්ථාවකදීම සැලකිල්ලට ගනු ලබන්නේ සිසු දරුවන්නේ භාශාමය බුද්ධිය හා ගනිතමය හා තර්කමය බුද්ධිය පමනක් බව ඒ පිලිබඳව ගැඹුරින් විමර්ශනය කලහොත් නිගමනය කරන්න පුලුවන්. බොහෝවිට පාසල් අධ්‍යාපනයෙන් ඉක්බිතිව පවා පැවතෙන ඕනෑම විභාග ක්‍රමයකදී ද මනිනු ලබන්නේ මෙම බුද්ධි වර්ග දෙකෙහි තීව්‍රතාව නෙමෙයිද? එය එක්තරා හාස්‍යජනක තත්වයක් මෙන්ම බහුවිධ කුසලතා ඇති මිනිසුන්ගේ හැකියාවන්, විභවතාවයන් ප්‍රයෝජනය ගත හැකි ආකාරයෙන් හඳුනාගැනීමට නොහැකිවීම මිනිසුන් වශයෙන් පුද්ගලිකවත් පොදුවේ සැලකිල්ලට ගැනීමේදී රටටත්, සමාජයටත් සිදුවන බරපතල අපරාධයක්. අසාධාරනයක්.




උක්ත කාටූනයේ ගුරුවරයා යනුවෙන් සංකේතවත් කරන්නේ අද්‍යතන විභාග ක්‍රමවේදයන් යයි මොහොතකට සිතන්න. අර ඈතින් පෙනෙන ගසට නැගීමට හැකි සියලු දෙනා විභාගය සමත් බව ඔහු දක්වනවා. නමුත් එතැන සිටින සතුන්ගේ කුසලතා විහිදෙන්නේ කවර කවර දිශාවන්ටදැයි දකින විට අප ඉදිරියේ මැවෙන චිත්‍රය කොතරම් සොචනීය ද? සාහසිකද?
නමුත් රාජ්‍ය යාන්ත්‍රනයන්  වෙනස්වීම හෝ වෙනස් කිරීම  ලෙහෙසි පහසු දෙයක් නොවන අතරම එය ඉක්මනින් සිදුවෙතැයි ද සිතන්නට බැහැ. ඒ වෙනුවෙන් හඬක් නගන අතරේම පාසලේදී හෝ පන්ති කාමරයේදී ඉගනුම් ඉගැන්වීම් ක්‍රමවේදවලදී සිසු දරුවන්ගේ බහුවිධ කුසලතා ප්‍ර යෝජනයට ගැනීමට මෙන්ම ඊට හොඳ අවස්ථාවක් ලබා දීමට ගුරුවරයාට පුද්ගලිකව ගත හැකි ක්‍රියාමාර්ග බොහොමයක් ඇති බව හඳුනාගන්න පුලුවන්. එනිසා අපි ඒ කුඩා කුඩා පියවර වෙත හැරීම මේ මොහොතේ වඩා ප්‍රායෝගික බව මොහොතකට සිතමු. 

ඇතැම් මනෝ උපදේශන ගුරුවරුන් පාසලේදී/පන්තිකාමරයේදී සිසු දරුවන්ගේ බුද්ධි ස්වභාවයන් හඳුනාගැනීමට උචිත පරීක්ශන සිදුකිරීමට ද පෙලඹෙනවා. කන්ඩායමක් තෝරාගෙන පොදුවේ ඔවුන්හට ප්‍රශ්නාවලියක් ලබා දී ඒ ඒ සිසුන් ඊට ලබාදෙන පිලිතුරු සැලකිල්ලට ගෙන මෙසේ ඒ ඒ දරුවාට අනන්‍ය බුද්ධි වර්ගය කුමක්දැයි සරලව/දල අවබෝධයක් ඇතිකරගැනීම අපහසු නැහැ.

පන්තිකාමරයේදී සිදුකරන ඒකාකාරී ඉගැන්වීම් රටාව ඒ අනූව වෙනස්කල හැකියි. මේ අනූව පන්තිකාමර අධ්‍යාපනයේදී රූප, දෘශ්‍ය උපරකන, විඩියෝපට, සංගීතමය උපකරන, යොදාගත හැකි අතරම සමහර ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද මෙහිදී අනුගමනය කිරීම විනෝදය සපයන ක්‍රියාවලියක්  බවට ද නිසකවම පත් වේවි. මෙතෙක් ගුරුවරයාගේ ඉගැන්වීම අසා සිටීම හෝ අසා ලිවීමේ ක්‍රමවේදය අවශෝශනය කරගන්නේ ඉතා සීමිත කොටසක් වන බවත් මෙවැනි නව්‍ය ක්‍රමවේද නිසාවෙන් ඉගනුම් ක්‍රියාවලියෙන් ඉවතට පැන සිටින දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික කරුනු අවබෝධය රසවත්ව හා මැනවින් ලබාදීමට ඉඩකඩ විවර වෙනු ඇති. 

සිසු දරුවන්ගේ අනාගත අභිලාශ තෝරාබේරා ගැනීමට දරුවන්ට උදව් කිරීම අවශ්‍ය වන අතරම ඔවුන්ගේ සක්‍යතාවයන්/ බුද්ධි පරාසයන් පිලිබඳ ගුරුවරයාට අවබෝධයක් තිබේනම් එය ඉතා හොඳ මාර්ගෝපදේශනයක් යටතේ ලබාදීමට   හැකි වෙනවා. පාසලේ විශයයන් තෝරා ගැනීමේ දී යම් යම් විශයයන් වලට අනාගත රැකියා වෙලඳ පොලෙහි ඇති මූල්‍යමය වටිනාකමට සැලකිල්ලට යන්නා අතරේම හෝ ඒ ඒ පුද්ගලයාතුල සංකේන්ද්‍රනය වී ඇති කුසලතාව අනූව විශයයන් තෝරාගැනීමට මග පෙන්වීම වඩා නිවැරදි සහ සාර්ථක ක්‍රමයක්. නමුත් මූලික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විශයන් තෝරාගැනීමේදී හා කාන්ඩ විශයයන් තෝරා ගැනීමේදී ගුරුභවතුන් හා සිසු දරුවන්  අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ක්‍රමවේද කෙරෙහි කිසිදු අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නේ නැහැ. විශේශයෙන් අද සාමාන්‍ය පෙල කඩඉමෙන් පසුව උසස් අධ්‍යාපනයට පිවිසෙන බහුතරයක් සිසු දරුවන් ඒ ඒ විශය පරාසයන් තෝරාබේරා ගනු ලබන්නේත් ගුරුවරුන්/දෙමාපියන් ඔවුන්ට උපදෙස් දෙනු ලබන්නේත් ඔවුන්ගේ බුද්ධි මට්ටම් පිලිබඳ දශමයක හෝ සැලකිල්ලක් සහිතව නොවෙයි. ඊටත් වඩා අප සමස්ත සමාජයක් ලෙස සැලකිල්ලට ගනු ලබන්නේ ඒ ඒ විෂයන්ට රැකියා වෙලඳපොලෙහි තක්සේරු වටිනාකමම පමනක් වීම දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය සම්බන්ධයෙන් ද සිදුවන මහා ඛේදවාචකයක්.


ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...