Thursday, January 30, 2020

එවන් කලක මා එපා නොකල මැන


මට මගේ ගැනම විනිශ්චයක් දෙන්න අමාරු තත්වයක් උඩ ඔබේ ජීවින ගමන් මග දිහා මං හෙලන දෘශ්ටියේ වැදගත්කමක් තියෙන්න පුලුවන්ද මන්දා. සත්තකින්ම  අපේ හැඟුම් ගංගාවන් ගලායන දිශාව සම්බන්ධයෙන් ඒ මොහොතේ අප සතු ඥානය අපව අතරමං කරවන සුලු බව ඇඟවෙන අවස්ථාවන් ගනනාවක් පසු කරන්නට මට සිදු උනා. ඒහැම මොහොතකම මං ගියේ මගේ සුපුරුදු ජීවන රිද්මයට. කාමරේ අඳුරු මුල්ලකට වෙලා ඔහේ අන්ධකාරය දිහා බලාගෙන, ඒ අන්ධකාර ගුලි ඇතුලේ නලියන, ඇඹරෙන පනුවන් වගේ අමුතු රූපාවලි දිහා බලාගෙන ඔහේ කල් යවන එක. එහෙමත් නැත්නම් අඳුනන කාත් කවුරුවත්ම මුන නොගැසෙන මාවතක් දිගේ ඔහේ අරමුනකින් තොරව ඇවිදිනඑක. 

ජීවිතේ මෙවැනි අසීරු අවධි පසුකරන ඕනෑම මොහොතක නිසඟයෙන්ම ඔබව මතකයේ ඉස්මත්තට පැමිනෙන එක දැන් කාලයක් තිස්සේම කෙරුන දෙයක්. නමුත් ඒ එකදු අවස්ථාවකවත් මා ඔබට ඇමතුමක් ගෙන නැහැ. ලෝකය මෙතරම් ඉක්මන් වෙලත්, සබඳතා ඇරඹීම ආලෝකයේ වේගය ඉකමවන තරම් වුවත් අප එකිනොකා නොදොඩා තවමත් මුනිවත රැකගෙන ඉන්නේ මන්දැයි කියාවත් මේතාක් මට සිතී නැහැ. එතරම්ම අපේ ගොලුබව අප අතර සාමාන්‍ය කරනය වෙලාද? 
ඇත්ත. අවුරුදු පහකින්වත් මට ඔබව භෞතිකව මුනගැසී නැතිව ඇති. අවුරුදු තුනකින් මෙහා අවම වශයෙන් මම ඔබේ කටහඬ අසා නැහැ. මමම මගේ කවියක පවසා ඇති අන්දමට මේ වැනි කෙටි දිවියක් තුල මෙසේ අප ඔවුනොවුන් ගැන කිසිදු විමසීමකින් තොරව මේ ගතකරන ආකෘතිගත දිවියේ තේරුම කුමක් විය හැකිද?

නිස්කලංකේ මුනගැසී මට ඔබෙන් ඇසිය හැකි, ඇසිය යුතු දේ පිලිවෙලක් නැති තරමටම පැතිරී ගිහින්. 

ඒ ප්‍රේමය, ඒ හැඟීම්, ඒ විස්මිත මොහොතවල් ඇත්තේ අතීතය තුලම පමනයි. ඒ මනරම් මොහොතවල් සියල්ලක් පසුකොට ජීවිතේ අනේකවිද හැලහැප්පීම්, ගැටීම්, කැලැත්තීම් හා අරගල කරමින් දැන් අප සිටින්නේ අර පෙර සිටි ලාමක, නිකැලැල් මොහොතකයයි බොලඳයෙකු සේ සිතන්න මට කොහෙත්ම බැහැ. ඒ නයින් බලද්දී නැවත අප මුන ගැසීම හෝ එසේ මුනගැසී අර පැරනි හැඟුම්බර කිතියම නැවතත් ප්‍රාර්ථනා කිරීම කොහොමටත්ම සාධාරන පැතුමක් නොවන බව මා දන්නවා. 

එහෙත්, අවම වශයෙන් අප එකිනෙකාට ප්‍රේම කිරීමේ ඵලයක් වශයෙන් එසේත් නැතිනම් අපගේ හදවත් එකිනෙකාට ගැඹුරු ලෙස විනිවිදිමින් විවර කරගත් විවෘතභාවයේ නාමයෙන්වත් නැවත මුනගැසී ජීවිතේ මේ මොහොත දෙස අප හෙලන බැල්ම දෙස හෝ අවංක කතාබහක නිරතවීමේ හැකියාවක් අප අතර ගොඩ නගා නොගන්නේ මන්ද? 

අවංකවම අප මේ ගෙවන දිවියේ අප පැටලී ඇති, අප බැඳ දමා ඇති සමාජ සංස්කෘතික හෝ ස්වභාවික මූලයන්හි සියුම් හුයවල් දෙස නිරුවත්ව බැලීමේ හෝ ඒවා සම්බන්ධව ස්වයං විවේචනයක් කිරීමේ උවමනාව මගේ ඇතුලත තෙරපී තිබෙන හැටි ඔබට දන්වන්නට සිතූ අවස්ථා බොහෝයි. එසේම එවැනි සංවාදයකට එනවානම් මා එන්නේ,  මට ඔබ සම්බන්ධව ඇති අවංක විවේචන, සරසවි දිවියේ අපගේ චින්තනය ද කලඹවාලූ අර චාම් රැඩිකල් කෙල්ලගේ විචාර බුද්ධියට මෑත දිවියේදී අත්ව ඇති ඉරනම ගැන විමසීමේ සැබෑ කුකුසක් ද දරාගෙනයි. 

ඔබ ඔබටත් නොදැනුවත්වම ජීවන අරගලයේ සුලි කුනාකුටුවකට මැදිව අවිඥානිකවම ඒ අඳුරේ ගොදුරක්ව සිටින්නේද? එසේත් නැතිනම් ඒවා ගැන සාවධාන වෙමින්ම තමා පත්ව ඇති අකරතැබ්බය සන්සුන්ව විඳදරා ගන්නවා ඇතිද? එහෙමත් නැතිනම් මේවා ගැන සිතන්නටවත් ඇත්තමට ඔබට වෙලාවක් නැතිද?

මෙතෙක් ලියූ  ලිපි සැමකක්ම වගේ ඔබට ඊ තැපැල් හරහා  යොමුකරන පුරුද්දෙන් ඔබව අරමුනු කරගෙන ලියූ මේ ලිපිය ද ඔබ සොයා පැමිනෙනු ඇති. ඔබ ඒවා කියවනවාද? නැද්ද හෝ අවම වශයෙන් ඔබ ඊ මේල් ගිනුම විවරකරනවාද වත් නොදන්නා වූ නමුත් මා තවදුරටත් එය ආයාසයෙන් වලක්වා ගන්නේද නැහැ

ඉතින් මේ ගීතය ලියන්නේ ඒ තීරු ලිපියේ සම්මත පොදු පුරුද්දට විතරක්ම ද?

සාගර වෙරලක පිය සටහන් මත
ඔබ මා සමඟින් ගෙවූ දිනක් ඇත‍
ඒ රන් හිරුරැස් විහිදුනු මොහොතේ
ඔබම මාද විය, මාද ඔබම විය...

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...