ඒ අපේ අම්ම රට ගියපු දෙවනි වතාව. අම්ම රට යනව
කියල හරියටම මට තේරුනේ ඒ වයසෙදි. මුලින්ම වතාවෙ අම්ම රට යද්දි මට මතක තිබුනෙ නෑ.
දෙවනි වතාවෙ තමයි ඒක තදටම දැනුනෙ.
මුතූ කතාව පටන් ගත්තෙ එහෙම. මම සාවධානව අහගෙන
හිටියා. කොහොමටත් එයා කතා කරද්දි අහගෙන ඉන්නව ඇරෙන්න එයාට බාධා කරන්න යන එක සුදුසු දෙයක් නොවන බව මං කාලාන්තරයක් තිස්සේ අත්දැකීමෙන් දන්නවා.
අපි එයාපෝර්ට් එකට ගියා. ආච්චියි (මුතූගෙ තාත්තගෙ අම්ම)
තාත්තයි, බාප්පයි ඔහොම ටික දෙනෙක් තමයි ගියේ. මට දැන් හරියට මතක නැහැ අපි ගියේ
කොහොමද? යන්න කලින් මට ඒ ගැන දුක හිතුනෙ නැද්ද වගේ ඒව මතකම නැති තරං. මට මතක එදා
එයාපෝර්ට් එකේදි මම විලාප ගගහ අඬපු හැටි තමයි. අම්ම එයාපෝර්ට් එකේ අපිට යන්න දෙන
සීමාවෙ අන්තෙ ඉඳන් තනියම යන්න ගත්ත. මම මට පුලුවන් උපරිම වීරිය අරගෙන විලාප ගැහුව
මට මතකයි. තව රට යන්න ආපු අයයි, මිනිස්සුයි ගොඩක් අය මං දිහා බලන් ඉන්න ඇති. ඒක ඒ
තරමට මට දැන් මතක නැහැ.
හැබැයි හලෝ මාර වැඩක් උනා. සිකුරිටි කෙනෙක් ඉඳල
මං ඉන්න තැනට ඇවිත මාව වඩාගෙන අර කොරිඩෝව දිගේ එක්කගෙන ගියා.
එයාට දුක හිතෙන්න ඇති මං අඬනව දැක්කම. ඒ උනාට ඉතින් එහෙම කලා කියල අම්ම නවතින්නෙ නෑ කියල මට තේරෙන්නෙ නැහැ. මම ඇඬුම නැවැත්තුවද නැද්ද කියලවත් මට දැන් මතක නැහැ.
එයාට දුක හිතෙන්න ඇති මං අඬනව දැක්කම. ඒ උනාට ඉතින් එහෙම කලා කියල අම්ම නවතින්නෙ නෑ කියල මට තේරෙන්නෙ නැහැ. මම ඇඬුම නැවැත්තුවද නැද්ද කියලවත් මට දැන් මතක නැහැ.
ඒ දවස මතක් කරද්දි දැනෙන්නෙ මූසල, පාලු, හිස්ම හිස් තනිකං
හැඟීමක්.
අපි කෙලින්ම ආවෙ කොලඹ ඔය මාලිගාවත්තෙ ආච්චිල
දැන් ඉන්න ගෙදරට. එදා රෑ අපි හිටියෙ එහේ. මට හලෝ එදා දවසම මාර දුකයි. මම ගෙදර
ඉස්සරහ පඩිය උඩ වාඩිවෙලා අඬන්නැති රෑ වෙනකං.
ආච්චිලගෙ ගෙදර ඔයාට මතකනෙ.අර මුඩුක්කු ගෙවල් ටික.
මෙහෙම මෙහෙම එකගොඩේ ගෙවල් තියෙන්නෙ. එදා හලෝ එහා ගෙදරක රේඩියෙක දාල තිබ්බ. කැසට්
පීස් එකක් ද මන්ද. ඒකෙ තනිකරම ගියේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දු.
එදා ඒ සින්දු අහගෙන ඉද්දි හලෝ මට මාරම දුකක්
දැනුන. ඒ සින්දුවලත් තියෙන්නෙ මොකක් ද හැගීම්බර ගතියක්නෙ. මට තව ඇඬුන. මගේ මූන
දිගේ කඳුලු බේරිල ගියා.මට දැන් කවදක කොහේදි ප්‍රින්ස්ගෙ සින්දු ඇහුවත් අර පරන දුක
ආයෙම මතකෙට එනව. ඒ සින්දුවල තේරුමත් එක්ක ඒවයෙ ගැලපීමක් නැති උනාට ඒව අර දුකත්
එක්ක පුදුම විදිහට දැනෙන්න ගත්තනෙ.
මුතුගෙ කතාවෙන් මං කම්පනය වෙච්චි තරම මුතූ දන්නෙ
නෑ. මුතූ එක්ක බහින්බස් වෙන, නුරුස්සන හැම වෙලාවකම මතකෙට ආවෙ නැතත් පුංචි කාලෙ
තමන්ගෙ ආදර වස්තුව තමන්ව දාල අවුරුදු ගානක් ඈතක ඉඳීම නිසා එයාගෙ ජිවිතේට ඇතිවුනු හිස්තැන පියවන්න කාට
පුලුවන්දැයි මට තාමත් හිතාගන්න බැහැ.
ඒ වෙච්චි අඩුපාඩු, හිස්තැන් එයාගෙ ඇතුලෙ තැම්පත්
වෙලා එයාගෙ නූතන ජීවිතේ අවස්ථා ඇසුරට ඒවගෙන් කරන බලපෑම ගැන මට නොයෙක් වෙලාවට
අන්ධකාරෙ කොටන විදුලි එලි වගේ පෙනි පෙනි නැතිවෙල යනවා.
ප්‍රින්ස්ගෙ සින්දුවලින් මම කැමතිම සුදු මල්
පොකුරක් එකට. විශේශයෙන්ම ඒකෙ පදවැලට. මුතූට එයාගෙ අම්ම රට යද්දි දැනිච්ච හැඟීම්
එක්ක ඒක පෑහෙනවද නම් දන්නෙ නැහැ. මොකද එයා තාත්තත් එක්ක තියෙන්නෙ තද තරහක් නිසා.
බාල
වියේ ඔබ තුරුලේ
නැලවී
සෙනෙහස් ඔරුවේ
සිතිවිලි
අතරේ මා තනි කෙරුවේ
නැවත
නොඑන්නට ගිය ගමනේ...
මේකත් මුතූගෙ කතාවයි සින්දුවයි වගේ මගේ
ලිපියයි සින්දුවයි අතරෙ කිසිම විදිහක ඍජු සම්බන්දයක් නැති පද කොටසක්.
කොහොමටත් හැඟීම්වලට තාර්කික සම්බන්ධකම්
ගොඩ නැගෙන්නෙ බොහොම කලාතුරකින් තමයි.