Friday, June 26, 2020

එන්න අපි ආදරේ කරමු




ඇත්තටම ආදරේ කියන්නෙ මොකක් වෙන්න ඇතිද කියල අහන‍ මෙන්ම ඇහෙන ප්‍රශ්න ගානත් අනන්තයි. ඒවගේම ඒකට තියෙන්න පුලුවන් උත්තර ගානත් ඒ තරම්ම සංකීර්න වෙන්න පුලුවන්. මමත් මගේ ජීවිතේ ඇතුලෙ මේ ප්‍රශ්න ගැන හිතපු, දැකපු අවස්ථා බහුලයි. ඒ හැම මොහොතකටම වඩා ආදරේ ගැන වෙනස්ම වෙනස් කෝනයකින් බලන්න හෝ දකින්න මට මේ මොහොතේ අවස්ථාව ලැබිල තියෙනවා. විශේශයෙන් ස්ටැපිඩි විසින් ආදරේ ගැන කියන දේවල් අමුතුයි කියල හිතුනත් ඒක සෑහෙන සරල කාරනයක් කියලත් ආයෙම මට හිතුනා. 
මේ ජීවත්වෙන කෙටි කාලසීමාව ඇතුලෙ අපිට මුනගැසෙන, කතාබහ කරන, හමුවෙන බහුතරයක් අය අතරින් අපි සැබෑ සම්බන්ධතා ඇතිකරගන්නෙ ඉතා අතලොස්සක් එක්ක. මුනගැහෙන පිරිස අතරින් සීයට දෙකක් තුනක් තරම් සුලු සංඛ්‍යාවක් වන මේ අය එක්ක අපේ ගනුදෙනු කරන පරාසයනුත් එකිනෙකාට වෙනස්.

මගේ ජීවිතේ මට දැනෙන ‍හැගෙන සියලු අර්බුදයන්, ගැටලු වගේම සංවේදීතා, අපහසුතා කිසි බයක් සැකක් නැතුව ගැඹුරින් හෙලිදරව් කරන්න පුලුවන් සමීපතමයෙක් මුනගැසෙන එක එක්තරා වාසනාවක්. නමුත් මම ඒ වාසනාව කියන තැනින් අඩියක් ඉදිරියට තැබුවොත් වාසනාවට වඩා එතන තියෙන්න පුලුවන් ප්‍රමුඛතම විභවය තමයි අපි විසින් සම්බන්ධය පෝශනය කරන්නා වූ ප්‍රමානයේ ගුනාත්මකබව. අපි වගා කරන්නාවූ සම්බන්ධතාවගේ සාරවත් බව ඒකට බලපානව කියලයි. ඕනම සම්බන්ධතාවයක තියෙන ආශ්චර්යාත්මකම දේ තමයි කිසිම සැගවීමක්, අපහැදිලිභාවයක් නැතිව විවෘතව අපේ සියලු හැගීම් දැනීම් කතාබහ කරන්නත් ඒ හැම මොහොතක් එක්කම ඒකාත්මිකව හෝ සහකම්පනයෙන් හරි ඒ සමග ගනුදෙනු කරන්න පුලුවන් පුද්ගලයෙක් මුනගැසීම. කොයියම්ම විදිහකට හෝ ආදරේ කියල අපි අරුත් ගන්වන්නෙ මෙන්න මේ විස්මිත සබැදියාවට බවයි මම අද විස්වාස කරන්නෙ.

ස්ටැපිඩි ඒක දකින්නෙ මෙහෙමයි.

ඔයා ඔයාගෙ අමාරුම තැනකදි ඔයාට තනියම විසඳගන්න බැරි සංකීර්න පටලැවිල්ලකදි  ඒක කියන්න තෝරගන්න ඔයාගෙ සහකරු මත ඔයාට විස්වාසයක් ඇතිවෙලා තියෙනවා. එයා මේක තේරුම් ගනී. එයා මට විසඳුමක් නොදුන්නත් අඩුම තරමෙ මං  මේක කිව්වට පස්සෙ මට සැහැල්ලුවක් දැනෙයි. එයාම විතරයි මට මේක කියන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ. එයා ඉදිරියේ හෙලිදරව් උනාට පස්සෙ මට තිබුනු බර තුනී වෙලාම යනවා. එහෙමත් නැත්නම් අපි ඒ කාරනේ ගැන පැය ගනන් වරු ගනන් අපි අපිට  දැනෙන කෝනවලි බලමින් ඒ අර්බුදය දියවෙනකං සංවාද කරනවා. අර්බුදයකදි එහෙම ගතකිරීමක් ජීවිතයකට අවශ්‍යයි. අර්බුදයකදි විතරක්ම නෙමෙයි. මගේ විශාලතම සන්තෘශ්ටියේදිත් ඒක බෙදාහදාගන්න සහකරුවෙක් ඉන්නම ඕන. ඒක තමයි ආදරයක් ඇතුලෙ සිද්ධවෙන යහපත්ම හා වැදගත්ම දේ.

මෙතනදි ලිංගිකත්වය අදාල කාරනයක් වෙන්නෙ නෑ. අදාල උනත් ඒක ද්විතීයික කාරනයක් විතරයි. ගැහැනු පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව අපේ හැගීම්, දැනීම් විනිවිද දකිමින් අමාරුම තැනදිත් ජීවිතේ වින්දනීයම තැනදිත් අපිත් එක්ක බයක් සැකක් නැතුව සිටගන්නත් අපේ සිතිවිලි ලෝකය තේරුම් ගන්නත්  කෙනෙක් මුනගැසෙන එක ජීවිතේදි ලබන්න පුලුවන් ඉහලම භාග්‍යයක්. සමහර මිනිස්සු ජීවිත කාලෙ ඇතුලෙ මොනම වෙලාවකවත් එහෙව් ආදරයක් නැතිව මැරිල යන්නත් පුලුවන්. සම්බන්ධතා, හමුවීම් ඉතා කලබලකාරී නුතන වටපිටාවක එහෙම වෙන්න පුලුවන් ජීවිත සංඛ්‍යාවත් එන්න එන්නම වැඩියි.

අම්මල තාත්තල දරුවො අතර, සහෝදර සහෝදරියන් අතරෙ ඇතිවන ආදරනීය බැඳීම් වගේම මිතුරු මිතුරියන් අතරත් මේ වගේ තදබල ආදර ඇතිවෙන්න ඉඩ තියෙනවා. කොහොම උනත් දෙමාපිය දූදරු ආදර වලදි වගේම සහෝදර ‍සහෝදර ආදර වලදි ලේ ඥාතිත්වය වැනි සාධක ඉවහල් වන නිසා  ඒව ගලනය වෙන්න පසුබිම ස්වභාවිකවම සැකසිලා තියෙනව කියල හිතන්නත් පුලුවන්. ඒත් මිතුරු සබඳතා එහෙම නෑ. ඒව අපි සමාජය ඉදිරියේ ගැටෙද්දි, ගනුදෙනු කරද්දි ඇතිවෙන දැන හදුනාගැනීම් මත ඉදිවන බැදීම් විදිහටයි ගොඩ නැගෙන්නෙ.

වැදගත්ම දේ අපි සම්බන්ධතා ඇතුලෙදි කොයිතරම් එකිනෙකාට අවංක වෙනවද, අනෙකා ඉදිරියේ කොතරම් නිරුවත් වෙනවද කියන කාරනය මත තමයි ආදරයක් නොබිඳී තදට රැකෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නෙ.  ඒ වගේම සංවාදයක්, සාකච්ඡාවක් ‍අපි නොදැනුවත්වම හෝ ඉතා දැනුවත්ම ගැඹුරින් ගැඹුරකට අරගෙන යන්න පුලුවන් සැහැල්ලුවක් සම්බන්ධතා ඇතුලෙදි පවත්වාගෙන යාම තමයි එහි ශක්තිවන්තභාවය තීරනය කරන සාධක වෙන්නෙත්.

අපේ නිවැරදි තීරන, ක්‍රියා වලදි ඒව අනුමත කරන ගමන්ම අපේ වැරදි, වගේම දුබලතා ඇගිල්ලෙන් ඇනල නිර්බයව පෙන්නුම් කරන්නත් අපේ ආදරනීයයන්ට පුලුවන් වෙන තරමට ඒ සම්බන්ධතා නිදහස් කරගන්න අපට බැරි වෙන එකක් නෑ. ඒක තීරනය වෙන්නෙ සමබන්ධතාවය ඇතුලෙදි එකිනෙකා එකිනෙකාව තේරුම් ගැනීම මතයි.

ස්ටැපිඩි මෙතනදි නියම කතාවක් කියනවා.

මේ ආදරේ විශ්මිතයි. සාමාන්‍ය තාරුන්‍ය ආදරේකදි එයා මැසේජ් නොකලත්, කෑවද කියල නෑහුවත් ඒකම ඇති අපිට අවුල් යන්න. නමුත් මේ ආදරේදි ඒක කිසිම අදාලත්වයක් නෑ. කොටින්ම එයා ඔයා එක්ක කතා කලේ මාස ගානකින් වෙන්න පුලුවන්, ඔයාට එයා අවුරුද්දකින්වත් මුන ගැහුනෙ නෑ වෙන්න පුලුවන්. නමුත් හදිසියේ අහම්බෙකින් වගේ හමුවුනත් මෙන්න ඔබේ ආදරේ ඇසිල්ලකින් පන ගැහෙන්න ගන්නවා.
ඒ වගේම එයා ඔයාගෙ උපන්දිනේට සුබ පැතුවෙ නැද්ද, ඔයාගෙ ගෙදර පාටියට එයා ආවෙ නැද්ද වගේ කාරනා ආදරේ ඇතුලෙදි මායිම් වෙන්නෙ නෑ. මොකද ඒ ගැඹුරු තේරුම් ගැනීම් ඇතුලෙදි ඔයා දන්නවා එයා නාව නම් ඒ නාවෙ මොකද කියල. අනිත් අතට එයාගෙ පැමිනීම, එයාගෙ අනිවාර්ය පැමිනීම ඔයාට අත්‍යවශ්‍ය කොන්දේසියක් නෙමෙයි කියලත් ඔයා දන්නවා.
ඇත්තටම මේක විශ්මිත තත්වයක්. ලිංගික ආදරයකදි ඒක කොයිතරම් මනරම් වුනත් ඒකෙන් අපිව අනාත කරන්න පුලුවන් ඉඩ සෑහෙන වැඩියි. එයා තවත් කා එක්ක හරි කතාබහ කලත්, ගමනක් ගියත් අපිව ඇතුලෙන් පිච්චෙන්න ගන්නවා. ඒත් ආදරේ කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අරගෙන බලද්දි ඒක එහෙම වෙන්න පුලුවන්ද? ස්ටැපිඩි ඒකට පුදුම හිතෙන කතාවක් කියනවා.

තාරුන්‍ය ලිංගික ආදරය කියන්නෙ ඇත්තටම ආදරේ කියන එකටම නෙමෙයි. එතන තියෙන්නෙ තන්හාවක්. එහෙමත් නැත්නං ලිංගිකත්වය වෙනුවෙන් නාබිගත වුනු ලිංගිකත්වයට අපි යොමුකරවන උත්තේජන කාරකයක්.

ස්ටැපිඩිම තව තැනක මෙහෙම කතාවක් කියනවා.

කෙනෙක් තව කෙනෙක්ගෙන් කෙනෙක්ගෙන් මං ඔයාට ආදරෙයි, ඔයා මට ආදරේද, මට කැමතිද කියල අහනවා. මට හිතෙන්නෙ ඒ තැනම විකාරයි. ඇත්තටම ඒක අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ඇතිවෙන්න ඕන තත්වයක්. අනෙක් අතට මේ ප්‍රශ්නෙට මුහුනදෙන කෙනාට ඇතිවෙන්න පුලුවන් සංකීර්නතාව කොහොමද? එයා හිතන්නෙ මෙහෙම.  එයා මට ආදරේලු. එයාට තව කවුරුහරි ඉන්නවද? එයා හොඳ කෙනෙක්ද? අයා මාව රවට්ටයිද? මාව බඳිවිද? කවදහරි  අපි එකට ජීවත් වෙනවා. අපේ පවුල් ගැලපේවිද? මෙන්න මේ වගේ විකාර ලෝකෙකට අනෙකා යනවා. ඇත්තටම ඔයාට හිතෙන්නෙ නැද්ද මේ තත්ව දෙකම විකාර ආකරයක් කියල. 

දෙන්නෙක් එකිනෙකාට ආදරේ කරනවා. එතන තියෙන්නෙ මානව ගනුදෙනුවක උත්කෘශ්ට තැනක්. ඇයි ඒ වෙනුවෙන් අර තරමේ දහදුක් විඳින්නෙ?

ආදරේට ලිංගිකත්වය අදාලම නැද්ද. ස්ටැපිඩිගෙන් නිවේදකයෙක් අහනවා. ස්ටැපිඩි කියන්නෙ මෙහෙම. අදාලම නෑ කියන වචනෙ ම යන්න විතරක් අපි ඉවත් කරමු. මං හිතන්නෙ ඒක අදාලම නෑ කියල අපට කියන්න අමාරුයි. නමුත් ලිංගිකත්වය නෙමේ එතනදි මූලිකම කාරනය වෙන්නෙ. අපි මෙහෙම හිතමු. මම මගේ ආදරනීයයත් එක්ක හැමදේම බෙදාහදා ගන්නවා. මගේ හැමදේම හෙලිදරව් කරනවා. මගේ ආදරනීයයත් එහෙමමයි. ඉතින් ලිංගිකත්වය කියල කියන්නෙත් එතනදි එක කාරනයක් විතරයි. ඔව් අපි සෙක්ස් කරනවා. හරියට නිකං අපි කනව බොනව අතට අත දෙනව වගේ ඒකත් දැඩිව හෙලිදරව් වන නිමේශයක්. ඒත් ලිංගිකත්වය ඒ ආදරයට අත්‍යවශම කොන්දේසිය නොවෙන්න පුලුවන්.

ආදරේකදි තියෙන කොන්දේසි වල පැවැත්ම ගැනත් යමක් කියන්න වෙනවා. මෙහෙව් ආදරේකදි කිසිම ආකාරයක ගිවිසුමක් හෝ කොන්දේසියක් එකිනෙකා අතර ඇතිවෙන්නෙ නෑ. නෛතික හෝ සංස්කෘතිකමය සීමා එතනදි නොතිබෙන්න පුලුවන්. ඒත් ගැඹුරු හෙලිදරව් කරගැනීමක් ඇතුලෙදි අපි එකිනෙකාට ආදරය කරගන්නා පරිමාව අනුව මගේ ආදරනීයයගෙ රහස් බාහිර සමාජය දැනගැනීමෙන් එයාට හානියක් වෙනව කියල අනෙක් පාර්ශවයට දැනෙනවා මම මේක කාටවත් කියන්නෙ නෑ කියල එයා හිත ඇතුලෙම වාරනයක් දා ගනී. ඒක අනේ ඔයා මේක කාටවත්ම කියන්නෙපා කියල ඔවුනොවුන් ගනුදෙනු කරන්න ඕන තත්වයක් නෙමෙයි.

ඉතින් මේ ආදරය සැහැල්ලුයි. අපිට ජීවිතේ ජීවත් කරවන්න ඕනෙ නැති තරමට ඒක ඉබේ ගලාගෙන යන තැනට අරගෙන යන්න ආදරයකට පුලුවන්. එක මොහොතක් ඇතුලෙ මෙහෙව් ආදර සෑහෙන සංඛ්‍යාවක් කෙනෙක්ට තියෙන්න පුලුවන් වගේම එවැනි එකමෙක ආදරයක්වත් නැතිව තවත් කෙනෙක් මියැදිලා යන්නත් පුලුවන්.

ස්ටැපිඩිගෙ කතාවකින්ම මේක අවසන් කරන්නම්.

මේ ජීවිතේ කෙටියි කියල කිව්වත් ඒකෙ කෙටිබව හෝ දික් බව තීරනය කරන්නෙ අපි විසින්මයි. නිකමට හිතන්න ඔයා කිසිම ආදරයක් නැතිව ඔහේ කකා බිබී රස්සාවක් කරගෙන අවුරුදු තිහක් ජීවත් වෙනව කියල. ඒ ජීවිතේ මොනතරම් නං දීර්ඝද? ඒත් ආදර සම්බන්ධතා පොකුරක් තියාගෙන අවුරුදු හැටක් ජීවත් වෙන මනුස්සයෙක්ගෙ ජීවිතේ එයාට දැනෙනව ඇත්තෙ තත්පර ගානක් තරම් කෙටි එකක් විදිහට නෙමෙයිද?
අපි කාටවත් මේ ජීවිතේ ඇතුලෙ තනියම ජීවත් වෙන්න බෑ. හුදකලා දූපතක් විදිහට පවතින එකේ ආශ්චර්ය මොකක්ද? ඔයාගෙ ජීවිතේට දේවල් අරං එන්නත් ඔයාගෙ ජීවිතෙන් වටිනාම දේ තව කාටම හරි දෙන්නත් පාලම් හදාගන්න තරමට ජීවිතේ වගේම ලෝකයත් ලස්සන වේවි. තවත් කල් බලන්නෙ ඇයි?  
එන්න අපි ආදරේ කරමු.




ස්ටැපිඩි කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ කියල කාටහරි හිතෙන්න පුලුවන්. ඒත් ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද? ඉන්නත් පුලුවන්. නොඉන්නත් පුලුවන්. ස්ටැපිඩි කියන්නෙ මම වෙන්නත් පුලුවන්. ඒත් ඒ තනි මමම නොවෙන්නත් පුලුවන්. කොහොමටත් ස්ටැපිඩි චරිතය හරහා මේ සංවාදය ලස්සන වෙනවනම් මට ඒ ඇති. 

Friday, June 12, 2020

විදර්ශන එක්ක චින්තන 2







මේ ගැන මීට කලින් ලිපියක ලියල තිබුනත් නැවත වරක් ඒ මාතෘකාව ඔස්සේම තව ගොඩක් විස්තර ලියන්න කරුනු පෙල ගැසුන බවක් දැනුනා. මේ ඒක වෙනුවෙන් දරන උත්සාහයක්. 


චින්තන එක්ක විදර්ශන ආයෙ ඇවිලුනේ ප්‍රචන්ඩත්වය සහ වම කියන තේමාව ඔස්සේ කෙරුනු සංවාදයක් නිසා. ෆේස්බුක් එකේ ඒක ගැන නොදන්න කෙනෙක් නැති තරමට සංවාදෙ උනුහුම හැම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියා.  ඒ  නිසාම මේ ගැන හතරවටේ හිටපු අයත් විවිධ මතවාද ඔස්සේ මේ වෙනුවෙන් කරුනු දක්වන්න පෙලඹුනා. 


මම ඒක පටන් ගන්නෙ හුඟක්ම ප්‍රාථමිකයි කියල හිතෙන තැනකින් උනත් ඒක තමයි මං පටන් ගන්න ආසම තැනත්. මේ සංවාදෙදි මුලින්ම පෙනෙන්නෙ විදර්ශනගෙ සහ චින්තනගෙ හැසිරීම් රටා, ශරීර භාශාව වගේ ඒව. සරලවම කිව්වොත් බොඩි ලැන්වේජ් එක.


අදහස් දැක්වීමෙදිත්, මුහුනෙ, ශරීරයේ ඉරියව් දකිද්දිත් විදර්ශනව මට පෙනෙන්නෙ ප්‍රචන්ඩකාරී මුහුනුවරකින්. එයාගෙ ස්වරයන් පවා හුඟක් රලුයි. අධිපතිවාදී හෝ බලපෑම් සහගත ආකාරයක් පෙන්නුම් කරන සුලුයි. මේ සංවාදෙදි විදර්ශන ෆේස්බුක් එකේ ප්‍රතිචාර දක්වද්දී පවා මේ රලු, චන්ඩ ස්වරූපය දැකගන්න ලැබුනා. සමහර වෙලාවට ඔහු චින්තනගෙ මතට බර මුහුනක් සහිත ඡායාරූපයක් එක්ක ඔහුගෙ ෆැකල්ටි ඔෆ් සෙක්ස් කෘතියෙ කවරය හොදාගෙන ඇඩ්වර්ටයිසින් කාරයෙක් බව ඇඟවෙන ආකාරයේ ප්‍රතිචාරයන් දක්වන ආකාරයක් ද දැකගන්න ලැබුනා. 


චින්තනගෙ රූපය, කටහඬ වගේම අදහසක් ප්‍රකාශ කිරීමේදී මුහුනේ, සිරුරේ ඉරියව් දකිද්දිත් පෙනෙන්නෙ විදර්ශනට වඩා හාත්පසින් ‍වෙනස් මුහුනුවරක්. චින්තන බොහෝවිට නම්‍යශීලීයි. සුහදයි. අදහස් ප්‍රකාශ කිරීමේදී කිපෙන අවස්ථාවක් මට මුනගැහිලම නැති තරම්. ඒ අතින් ඔහු සාමාකාමී වගේම සංවාදයක් කරගෙන යද්දි විනයක් හා ප්‍රතිපත්තිගරුක රාමුවක් ඇතුලෙ කරගෙන යන ස්වරූපයක් තමයි මම දකින්නෙ.  ඒ වගේම චින්තනගෙ අදහස් ඔහු ගරු කරන හෝ ඔහු පෙනී සිටින මතවාදයන් තරමටම නිදහස් හා නිවහල් ස්වරූපයක් ද අරගන්නවා. 


ඉතින් ප්‍රචන්ඩත්වය කියන සංවාදෙදි අපට මේ දෙදෙනා සංවාද කරන විලාසය වගේම මුහුනුවර හා ඉරියව් දකින්දි  උත්තරයක් හොයාගන්න අමාරු නෑ. ඉතින් තවදුරටත් සංවාද කරමින් වෙහෙසෙන්නෙ නැතුව මෙන්න අපිට උත්තරයක් පේන්න ගන්නවා නේද කියලත් මට හිතුනු අවස්ථා තිබුන.



ප්‍රතිවාදීන්


විදර්ශන වගේම චින්තන ප්‍රතිවාදීන් ලෙස දැඩි ඇවිලෙනසුලු ගැටුම් ඇතිකරගැනීම සම්බන්ධව මට ඇතිවෙච්ච තවත් කුහුලක් තියෙනවා. මෙතරම්ම එදිරිවාදී - පරස්පර අදහසක් සහිත මේ දෙන්නා ෆේස්බුක් එකේ එක්කෙනෙක් දක්වන මතයකට අනෙකා වහා ප්‍රතිචාර දැක්වීම අදහගන්නත් බැරි තරම්. අපි නිකමට හිතමු අපි රුස්සන්නෙ නැති, අ‍‍පේ මතයට කොහෙත්ම පෑහෙන්නෙ නැති හෝ අපේ අදහස කොහෙත්ම තේරුම් ගන්නෙ නැති කෙනෙක් එක්ක සංවාදෙකට පැටලෙන්න යන එක?. ඒත් ‍විදර්ශනගෙ මතයකට චින්තනත්, චින්තනගෙ මතයකට විදර්ශනත් වහා ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඒ පෝස්ට් වල කමෙන්ට්ස් බැලුවොත් අපට පේනවා මේ සංවාදවල සෙසු පිරිසගෙ කොතරම් ‍ඇවිලෙන සුලු කමෙන්ට් වැටුනත් ප්‍රතිචාර නොදක්වන මේ දෙන්නා ඔවුනොවුන්ගෙ කමෙන්ට් වලට වහා උත්තර දෙන ගතියක් ද තියෙනවා. මං මේක දකින්නෙ නාඩගමක් විදිහට නෙමෙයි. මේක නියම තැනක්. එක අතකින් මේ ප්‍රතිවාදීන් දෙදෙනා මේ ක්‍රීඩාව ඇතුලෙදි පුලුවන් තරම් එකිනෙකාට ගරුකරනව කියන එකට ඒක නිදසුනක්. තම ප්‍රතාවාදියාගේ තරම, දැක්ම, දක්ශකම, වගේ සියලුම දේ ගැන එකිනෙකාට තියෙන ගරුත්වය ඒකෙන් පෙන්නුම් කරනව කියලයි මට හිතෙන්නෙ. අනිත් අතට මේ දෙන්න පෝශනය වෙන්නෙම මේ දෙන්න  මත කියලත් ඕන නම් හිතන්න පුලුවන්. එකෙත් මත එකෙක් රඳා පවතිනවා. දෙන්නටම දෙන්න අවශ්‍යයි වගේ එකක්.



ප්‍රචන්ඩත්වය සහ වම

මේ සංවාදය ඇදිල ගියපු හැම වතාවකම මම මැදිහත් සිතින් ඒක දිහා බලන්න ට්‍රයි කලත් ඇත්තටම මම සතුටු උනේ චින්තගෙ මතවාදී ස්වරූපය ගලා‍ගෙන යන විදිහට. මේක ක්‍රීඩාවක් උනා නම් මම අත්පොලසන් දෙන්නෙ චින්තනට. ඒකට හේතු ගනනාවක් තියෙනවා.

මෙතනදි චින්තන තමන්ගෙ මතවාදය අරගෙන යන්නෙ තනියම. මේක තනි ගේමක්. විදර්ශනගෙ පැත්තට කරුනු දක්වන්න ආයුධ  අරගෙන කරුනු පෙල ගස්සන්න මහා සෙනගක් හිටියා. ඒත් ඒ හැම එකටම චින්තන උත්තර දුන්නෙ තනියම. 


මේ පෞර්ශමය ගුනය මම සෑහෙන කාලෙක ඉඳන් චින්තගෙන් දැකල තියෙනවා. සමාජ, දේශපාලන කාරනාවලදි තමන්ගෙ අති සමීප මිත්‍රයන් මොන තීරනවල හිටියත් චින්ත ගන්නෙ තමන්ට නිවැරදියි කියල හිතෙන තීරනය. ඒ තීරනය අරගෙන ඒක ඇතුලෙ තාර්කිකව කරුනු පෙලගස්වමින් නොසැලී ඉන්න පුලුවන් ගුනයක් චින්තනගෙන් මං දැකල තියෙනවා. ම‍ගේ එක් අත්පොසලන් නාදයක් වෙන් කරන්නෙ ඒ ගුනය මෙතනදිත් රැ‍කගෙන ආපු විදිහට. 


අනෙක් අතට චින්තන මෙතනදි අහන ප්‍රශ්නය සමස්ත වාම කඳවුරම හොල්ලන ආකාරයේ ප්‍රශ්නයක්. ඒ වගේම ඔහු ඒක අහන්නෙත් අහන්න‍ කොහෙත්ම සුදුසු නැති වාතාවරනයක් යටතේ. ඒ කියන්නෙ මේ මොහොතෙ පිටියෙ වාසිය, කිසියේ වාසිය වගේ ගොඩක් දේවලින් වාසි සහගත පරිසරයක් සැකසිලා තිබුනෙ වාමාංශික කඳවුරට. ඒත් චින්තන ඒ අවදානම අරගත්තා. ඔහු සෑහෙන පැරනි ප්‍රශ්නයක් අලුත් තත්වයක් යටතේ ඇහුවා. 


වම ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කරනවද? 


මට දැනෙන විදිහට චින්ත අහපු ප්‍රශ්නෙ සරලම අඩංගුව ඕක. 


මේ වෙනුවෙන් උත්තර බඳින්න එන පිරිසට මේ ප්‍රශ්නයට අමතරව ගොඩගැහුනු තවත් බොහොමයක් කරුනු තියෙන බව ඒ සංවාද දිහා බලාගෙන ඉද්දි පෙනුනා. එකක් ඇමරිකන් අධිරාජ්‍යවාදී ස්වරූපය, ඇමරිකාව තමන්ගෙ බල අධිකාරීත්වය හරහා ලෝකෙ අනෙක් රටවල් සූරාකමින්, ඒව බේද භින්න කරමින් කරන සූක්ශම ප්‍රචන්ඩකාරී ස්වරූපයට චින්තන පක්ශයි කියල සමහර අයට පෙනුන. කලු ජාතිකයන්ට සුදු ජාතිකයන් සලකන නිර්දය ආකාරය වගේම විරෝධතා කෙරෙහි ඩෙනල්ඩ් ට්‍රම්ප් ගෙනයන ප්‍රතිපත්තිය, ඩොනල්ට් ට්‍රම්ප්ගෙ මූන, අවලං කට වගේ ඒව උක්ත ප්‍රශ්නය අහන චින්තනට එරෙහි ප්‍රතිවාදී කන්ඩායම් විසින් ඔලුව ඇතුලෙ ගොඩනගා ගත් අදහස්, මති මතාන්තර අතර තියෙන්න ඇති.  


විදග්ධ විදිහට ‍මුග්ධ විදිහට මෙන්ම භාශාත්මක අධිකාරීවාදීත්වයන් ඇසුරිනුත් එල්ල‍වන ප්‍රතිචාරවලට චින්තන නැවත නැවතත් අහන්න උනේ එකම ප්‍රශ්නයයි. 


වම ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කරනවද?



ඇත්තමට වම ප්‍රචන්ඩකාරීද? මමත් මගෙන් අහන්න ගත්ත. එසේම ප්‍රචන්ඩත්වය හෝ හිංසාකාරී විසඳුම් වලින් ව්‍යුක්තව සමහර ගැටලු වලට උත්තර හොයාගන්න අමාරුද? මේ විදර්ශන, චින්තන සංවාදෙදි අපි අපෙන් ඇසිය යුතු මූලිකම ප්‍රශ්නය ඒකයි. 


මුලින්ම වම හා ප්‍රචන්ඩත්වය ගැන මම දකින කෝනය කියන්නම වෙනවා. වාමාංශික ක්‍රියාමාර්ග එක්ක එන අරගලය, කැරැල්ල,විප්ලපය වගේ යෙදුම් එක්ක  කොහොමත් ප්‍රචන්ඩත්වය ඥාතීත්වයක් දරනවා. අපිට නිරන්තරයෙන් මුනගැසෙන, කතාබහ කරන වමට බර යහලුවන් අතරෙ තියෙන්නෙත් කැරලිකාරී මානසිකත්වයන්. විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාමාර්ග ගනිද්දි තරුන පිරිස් අරගලවට, විප්ලව වලට ශීඝ්‍රයෙන් නැඹුරුවන විලාසයක් ද පෙන්නුම් කෙරෙනවා. තාරුණ්‍ය හා වම එකට බැදෙන සියුම් හුයවල් අතර මෙම අරගලකාරී මානසිකත්වයත් එක් හේතුවක් බවයි පෙනෙන්නෙ. ඉතින් වමට ප්‍රචන්ඩත්වය සපුරා බැහැර කල නොහැකි බව තමයි එවැනි මතුපිට කාරනා වලින් පවා අපට නිගමනය කරන්න වෙන්නෙ. ධනවාදී ආන්ඩු ප්‍රචන්ඩකාරී මුහුනුවරින් වාමාංශික ක්‍රියාමාර්ග මර්ධනය කරද්දි අපි සිල් ගන්න ඕනද කියල වාමාංශිකයන් අහන ප්‍රශ්නයේ අසාධාරනයක් පෙනෙන්නෙත් නැතැයි වාමාංශිකයන් ගෙනෙන ප්‍රධාන තර්කයක් ද වෙනවා. නමුත් ඒ නිසාම අපි ප්‍රචන්ඩත්වය පෙනුවෙන් පෙනී සිටිය යුතුද?


දෙවනි ප්‍රශ්නය එන්නෙ  ඔතනදි. ප්‍රචන්ඩත්වයෙන් තොරව ගැටලු වලට විසඳුම් හොයන්න අමාරුද? මේක තමයි චින්තන අහපු ප්‍රශ්නෙ හරහා වම කැලඹුන තැන. හැම තැනකම, හැම මොහොතකම ප්‍රචන්ඩත්වය, හිංසනය, බල අරගලය තියෙන බවට වාමාංශික කඳවුරෙන් තර්ක අරගෙන එන්නෙ මේ ප්‍රශ්නෙට උත්තර හොයද්දි සිදුවෙන ගට්ටනය නිසා වෙන්න ඕන. 


වාම අරගල හෝ වෙනයම් දේශපාලන ගැටුම් ඇසුරින් ජීවිත හෝ වෙනයම් හානි සිදු නොවිච්ච තැනක ඉඳගෙන මට මේ ගැන කතා කරන්න එකත් තේරුමක් නැති වෙන්න  පුලුවන්. ප්‍රචන්ඩකාරී අරගලවල වලින් ජීවිත දේපල හානි සිදුවෙච්චි අයගෙ පවුල්වල අයට නම් මේ සම්බන්ධව තියුනු උත්තර ඇති. මෑතක මම කියවපු අජිත් පැරකුම්ගෙ කේ පොයින්ට් නවකතාවෙන් උනත් ඇඟවෙන්නෙ  ප්‍රචන්ඩත්වය  විසින් අපට ඉතුරු කරන්නෙ සාහසික ජීවන චිත්‍රයක් විතරක් කියන එකයි. 


ප්‍රචන්ඩත්වය ගැටලුවලට විසඳුමක් නොවන බවට දෙන්න පුලුවන් හොඳම නිදසුන් අපේ මෑත ඉතිහාසෙ ඉඳන් ඈත අතීතය වෙනකම්ම අපි ගෞරවයෙන් සිහිකරන දීප්තිමත් ලෝක දේශපාලන නායකයන්ගෙ ඉඳන් ආගමික ශාස්තෘවරුන් දක්වාම ‍ඕන තරම් දක්වන්නත් පුලුවන්. 


නෙල්සන් මැන්ඩෙලා මෑත ලෝකයේ අපිට ඇස්පනාපිට දැකගන්න පුලුවන් වෙච්චි ප්‍රචන්ඩත්වයට ප්‍රචන්ඩ නොවන විදිහේ සැර උත්තරයක් දුන්නු අසහාය නායකයෙක්. මැන්ඩෙලා ‍කලු සුදු භේදය ඇසුරින් පැන නැගුනු දැවැන්ත ප්‍රතිරූපයක්. ඔහු එකී සටනෙදි ගත්තු තීරන, ප්‍රතිපත්ති මේ සංවාදෙදි කවුරුවත් අදාල කරගන්න බවක් ‍මට පෙනුනෙ නෑ.  අනෙක් උදාහරනය තමයි මහත්මා ගාන්ධි. ගාන්ධි ගැන නම් චින්තනගෙ නම අදාල කරගෙන උපහාසාත්මක ස්වරයෙන් හරි සාකච්ඡාවට ඇවිත් තිබුනා. 


බුදුන්, ජේසුස් ක්‍රිස්තුස් වගේ නායකයින් නිරන්තරයෙක් කතා කරන්නෙ සාමය, ආදරය වගේ සංකල්ප ගැන. සෑම ආගමකම මූලික හරය වෙන්නෙත් එකිනෙකාට  මෛත්‍රී කිරීම, අසල්වැසියාට ප්‍රේම කිරීම වැනි සංකල්ප ගැන. 


ප්‍රචන්ඩත්වය ගැටුමකට ස්ථිර සාර විසඳුම නොවෙයි කියන එක වාද තර්ක කරගත යුතු නැති සත්‍යක්. අවසන් වශයෙන්  කියන්නෙ ප්‍රචන්ඩත්වය උත්තරයක් කියල කියන්නෙම  අරගලයක් නිර්මානශීලීව ජයග්‍රහනය කරා ගෙනයන්න  බැරි මිනිස්සු හරි පුද්ගල කන්ඩායම් කියන එකයි. ජීවිත හානි, දේපල හානි මොන විදිහෙ හානියකින් උනත් ඉතිරි කරන්නෙ, වපුරන්නෙ, පැලකරන්නෙ වෛරයක්. ඒක ජයග්‍රහනයක් විදිහට එකහෙලා සලකන්න කොහෙත්තම බැරි තරමේ ‍වින්දිතයො බිහි කරන ක්‍රමයක්. වාමාංශික කඳවුරෙන් උනත් ධනවාදී කඳවුරෙන් උනත් දියත් කරන්නෙ ප්‍රචන්ඩත්වයනම් අපට ඒක පිලිගන්න බැහැ. 
ඉතින්  මේක මේ තරමටම ඇදි ඇදි යන්න ඕන වාදයක් වෙන්නෙ කොහොමද? මේක වාදයක් තරමටම දුර දිග ගියපු එකම තමයි එක අතකට ප්‍රශ්න කරන්න ඕන.


Tuesday, June 9, 2020

සියුම් ඇසකින් ජීවිත විනිවිද දකින වෙලඳ සංචාරකයා - ගඩ්නේවාලා










ගඩ්නේවාලා කියන්නෙ සඳනි ප්‍රාර්ථනාගෙ කුලුඳුල් කෙටිකතා පොත. දන්න විදිහට සඳනි ඊට කලියෙන් වෙන මොනවත් පොත් ලියලත් නෑ. සඳනිගේ මේ පලවෙනි වැඩේම මේ තරං හොඳට කෙරිල තියෙන විදිහ දැක්කම මාව පුදුම කෙරෙව්වා. මේ සටහන ඒ වෙනුවෙන්.


ගඩ්නේවාලා කියන්නෙ හැම  අතින්ම මට සහනදායී හැගීමක් කැන්දගෙන ආපු පොතක්. 

මේ  කෙටිකතාවල මට පෙනුනු විශේශම දේ තමයි ඒවට ඈ යොදා ගත්තු තේමා වල තියෙන නැවුම් බව. අරගත්තු ගොඩක් තේමා සාමාන්‍යයෙන් තරුනයි කියල හිතෙන ලේඛක ලේඛිකාවන් අතින් කොහෙත්ම අතපත ගෑවෙන දිශානතියන් නෙමෙයි. ගොඩක් වෙලාවට සදනි තෝරගෙන තියෙන්නෙ වැඩිහිටි පරම්පරාව නැත්නම් මැදිවියේ ගැහැනු මිනිසුනගෙ පවුල් අභ්‍යන්තරයේ තියෙන කතාවල අති සියුම් පැතිකඩයන්. නිර්මානකාරිනියක් විදිහට සදනි සලකුනු කරන තැන ඒක වෙන්නත් පුලුවන්. එයා කතාව කියන්නෙ සරලව. සරල වාක්‍ය ඛන්ඩ වලින්. කියවන්නාට මැවෙන සුලු ආකාරයේ වාක්‍ය රටාවක් එක්ක ඒ කෙටිකතා දිගේ නිරායාසයෙන් ගාලාගෙන යන්න පාඨකයට අවස්ථාව උදාකරල දෙන්න තරම් සදනිගෙ ලිවීමේ විලාසය දියුනුයි. 

සදනිට අහුවෙන්නෙ තමාගෙන් පිටස්තර ලෝකය. අවට වටපිටාව හොදින් නිරීක්ශනය කරන්නෙකුට හරි ඒ ගැන අවංක වේදනාවකින් සිටින කෙනෙක්ට හරි  විතරයි ඒ බාහිර ලෝක‍යේ වේදනා කලාප ඒ තරම්ම සියුම්ව මුනගැසෙන්නෙ.  නිර්මානකාරිනියක් විදිහට හෝ ස්ත්‍රියක් විදිහට එහෙව් දැක්මක් ලෝකය වෙත යොමුකිරීමට හැකි වීමම නැවත නැවතත් මාව විස්මිත කරවනවා. 

වයස්ගත මිනිසුන්, රෝගාතුර අසරන මිනිසුන් වගේ සුලබ, දුක්ඛිත චරිත දිහා මේ කෙටිකතා හරහා එල‍ඹෙන්නෙ ඒ පොදු දැක්මෙන් මිදුනු වෙනමම සංවේදී ‍වගේම අතිශය සියුම් ගවේශනාත්මක එලඹුමකින්. ඒ හැම චරිතයකම විලාසයන් අපට මැවෙන සුලු ආකාරයේ යථා නිරූපනයකින්. 

නිර්මාන ගැන කතා කරද්දි මම හැමදාමත් හිතන හා කියන විදිහටම මේ කෙටිකතාවලිනුත් ඒ ඒ කතාවට මහා බොරු බරසාර දේශපාලනයක් ඈදා ගන්නවා වෙනුවට ඒ ඒ කතාවෙ චරිත ඇතුලෙන්ම, ඒ ඒ චරිතවලට අනන්‍ය වූ ඛේදයන් පෙරා අරගන්න තරම් සදනිගෙ මානව විද්‍යා පරීක්ශනය ප්‍රබල තැනකයි පවතින්නෙ.
‍මේ හැම කතාවක්ම ගොඩනැගෙන්නෙ, ගලාගෙන යන්නෙ දෙබස්, සංවාද හරහා නිසාම ඒවා සජීවී වන ගුනය වැඩියි. මේක තේමාත්මක අගය වගේම ඒක නිරූපනය කරන නෛසර්ගික ගුනය නිසාම මතුවෙන සුවිශේශී ගුනයක් බවයි මට හිතෙන්නෙ.

ගඩ්නේවාලා කියන්නෙ අතීතයේ ගම් දනව් හරහා ඇවිදිමින්, නවතිමින්, විවේක ගනිමින් යන වෙලෙදුන්ට බවත් එසේ යද්දි එද්දී එකී වෙලෙන්දන් රසමුසු කතා කියන බවත් ඒ අර්තයෙන් ඒ වෙලෙන්දාට කියන සැබෑ හින්දි නාමය මෙම පොතට යෙදූ බවක් කෘතිය ආරම්භයේදීම කියවෙනවා. 

ඇත්ත. මේ තරමට මිනිස් ජීවිත වලට කිදා බහින්නත්, ඒ ජීවිතවල ඇති ඇත්ත අර්බුදයන් විනිවිද දකින්නත් හැකි වන්නේ එහෙව් සංචාරය කරන්නෙකුටම විතරයි. ඒ සංචාරකයා නොයෙක් තල වල ජීවිත ස්පර්ශ කරමින්, දකිමින්, ඔවුන්ගේ දුක්ඛයන් ඉවසමින්, දරමින් සංවර ගමනක නිරතවන අයුරු මේ කතා පොතෙන් ද කදිමට පිලිඹිබු වෙනවා. 

අවසන් වශයෙන් සදනිට ස්තූතියි. කාලෙකින් හරි රසයෙන් මත් කරන නිර්මානයක් අ‍රගෙන ආව එකට.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...