ඇත්තටම ආදරේ කියන්නෙ මොකක් වෙන්න ඇතිද කියල අහන මෙන්ම ඇහෙන ප්‍රශ්න ගානත් අනන්තයි. ඒවගේම ඒකට තියෙන්න පුලුවන් උත්තර ගානත් ඒ තරම්ම සංකීර්න වෙන්න පුලුවන්. මමත් මගේ ජීවිතේ ඇතුලෙ මේ ප්‍රශ්න ගැන හිතපු, දැකපු අවස්ථා බහුලයි. ඒ හැම මොහොතකටම වඩා ආදරේ ගැන වෙනස්ම වෙනස් කෝනයකින් බලන්න හෝ දකින්න මට මේ මොහොතේ අවස්ථාව ලැබිල තියෙනවා. විශේශයෙන් ස්ටැපිඩි විසින් ආදරේ ගැන කියන දේවල් අමුතුයි කියල හිතුනත් ඒක සෑහෙන සරල කාරනයක් කියලත් ආයෙම මට හිතුනා.
මේ ජීවත්වෙන කෙටි කාලසීමාව ඇතුලෙ අපිට මුනගැසෙන, කතාබහ කරන, හමුවෙන බහුතරයක් අය අතරින් අපි සැබෑ සම්බන්ධතා ඇතිකරගන්නෙ ඉතා අතලොස්සක් එක්ක. මුනගැහෙන පිරිස අතරින් සීයට දෙකක් තුනක් තරම් සුලු සංඛ්‍යාවක් වන මේ අය එක්ක අපේ ගනුදෙනු කරන පරාසයනුත් එකිනෙකාට වෙනස්.
මගේ ජීවිතේ මට දැනෙන හැගෙන සියලු අර්බුදයන්, ගැටලු වගේම සංවේදීතා, අපහසුතා කිසි බයක් සැකක් නැතුව ගැඹුරින් හෙලිදරව් කරන්න පුලුවන් සමීපතමයෙක් මුනගැසෙන එක එක්තරා වාසනාවක්. නමුත් මම ඒ වාසනාව කියන තැනින් අඩියක් ඉදිරියට තැබුවොත් වාසනාවට වඩා එතන තියෙන්න පුලුවන් ප්‍රමුඛතම විභවය තමයි අපි විසින් සම්බන්ධය පෝශනය කරන්නා වූ ප්‍රමානයේ ගුනාත්මකබව. අපි වගා කරන්නාවූ සම්බන්ධතාවගේ සාරවත් බව ඒකට බලපානව කියලයි. ඕනම සම්බන්ධතාවයක තියෙන ආශ්චර්යාත්මකම දේ තමයි කිසිම සැගවීමක්, අපහැදිලිභාවයක් නැතිව විවෘතව අපේ සියලු හැගීම් දැනීම් කතාබහ කරන්නත් ඒ හැම මොහොතක් එක්කම ඒකාත්මිකව හෝ සහකම්පනයෙන් හරි ඒ සමග ගනුදෙනු කරන්න පුලුවන් පුද්ගලයෙක් මුනගැසීම. කොයියම්ම විදිහකට හෝ ආදරේ කියල අපි අරුත් ගන්වන්නෙ මෙන්න මේ විස්මිත සබැදියාවට බවයි මම අද විස්වාස කරන්නෙ.
ස්ටැපිඩි ඒක දකින්නෙ මෙහෙමයි.
ඔයා ඔයාගෙ අමාරුම තැනකදි ඔයාට තනියම විසඳගන්න බැරි සංකීර්න පටලැවිල්ලකදි ඒක කියන්න තෝරගන්න ඔයාගෙ සහකරු මත ඔයාට විස්වාසයක් ඇතිවෙලා තියෙනවා. එයා මේක තේරුම් ගනී. එයා මට විසඳුමක් නොදුන්නත් අඩුම තරමෙ මං මේක කිව්වට පස්සෙ මට සැහැල්ලුවක් දැනෙයි. එයාම විතරයි මට මේක කියන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ. එයා ඉදිරියේ හෙලිදරව් උනාට පස්සෙ මට තිබුනු බර තුනී වෙලාම යනවා. එහෙමත් නැත්නම් අපි ඒ කාරනේ ගැන පැය ගනන් වරු ගනන් අපි අපිට දැනෙන කෝනවලි බලමින් ඒ අර්බුදය දියවෙනකං සංවාද කරනවා. අර්බුදයකදි එහෙම ගතකිරීමක් ජීවිතයකට අවශ්‍යයි. අර්බුදයකදි විතරක්ම නෙමෙයි. මගේ විශාලතම සන්තෘශ්ටියේදිත් ඒක බෙදාහදාගන්න සහකරුවෙක් ඉන්නම ඕන. ඒක තමයි ආදරයක් ඇතුලෙ සිද්ධවෙන යහපත්ම හා වැදගත්ම දේ.
මෙතනදි ලිංගිකත්වය අදාල කාරනයක් වෙන්නෙ නෑ. අදාල උනත් ඒක ද්විතීයික කාරනයක් විතරයි. ගැහැනු පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව අපේ හැගීම්, දැනීම් විනිවිද දකිමින් අමාරුම තැනදිත් ජීවිතේ වින්දනීයම තැනදිත් අපිත් එක්ක බයක් සැකක් නැතුව සිටගන්නත් අපේ සිතිවිලි ලෝකය තේරුම් ගන්නත් කෙනෙක් මුනගැසෙන එක ජීවිතේදි ලබන්න පුලුවන් ඉහලම භාග්‍යයක්. සමහර මිනිස්සු ජීවිත කාලෙ ඇතුලෙ මොනම වෙලාවකවත් එහෙව් ආදරයක් නැතිව මැරිල යන්නත් පුලුවන්. සම්බන්ධතා, හමුවීම් ඉතා කලබලකාරී නුතන වටපිටාවක එහෙම වෙන්න පුලුවන් ජීවිත සංඛ්‍යාවත් එන්න එන්නම වැඩියි.
අම්මල තාත්තල දරුවො අතර, සහෝදර සහෝදරියන් අතරෙ ඇතිවන ආදරනීය බැඳීම් වගේම මිතුරු මිතුරියන් අතරත් මේ වගේ තදබල ආදර ඇතිවෙන්න ඉඩ තියෙනවා. කොහොම උනත් දෙමාපිය දූදරු ආදර වලදි වගේම සහෝදර සහෝදර ආදර වලදි ලේ ඥාතිත්වය වැනි සාධක ඉවහල් වන නිසා ඒව ගලනය වෙන්න පසුබිම ස්වභාවිකවම සැකසිලා තියෙනව කියල හිතන්නත් පුලුවන්. ඒත් මිතුරු සබඳතා එහෙම නෑ. ඒව අපි සමාජය ඉදිරියේ ගැටෙද්දි, ගනුදෙනු කරද්දි ඇතිවෙන දැන හදුනාගැනීම් මත ඉදිවන බැදීම් විදිහටයි ගොඩ නැගෙන්නෙ.
වැදගත්ම දේ අපි සම්බන්ධතා ඇතුලෙදි කොයිතරම් එකිනෙකාට අවංක වෙනවද, අනෙකා ඉදිරියේ කොතරම් නිරුවත් වෙනවද කියන කාරනය මත තමයි ආදරයක් නොබිඳී තදට රැකෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නෙ. ඒ වගේම සංවාදයක්, සාකච්ඡාවක් අපි නොදැනුවත්වම හෝ ඉතා දැනුවත්ම ගැඹුරින් ගැඹුරකට අරගෙන යන්න පුලුවන් සැහැල්ලුවක් සම්බන්ධතා ඇතුලෙදි පවත්වාගෙන යාම තමයි එහි ශක්තිවන්තභාවය තීරනය කරන සාධක වෙන්නෙත්.
අපේ නිවැරදි තීරන, ක්‍රියා වලදි ඒව අනුමත කරන ගමන්ම අපේ වැරදි, වගේම දුබලතා ඇගිල්ලෙන් ඇනල නිර්බයව පෙන්නුම් කරන්නත් අපේ ආදරනීයයන්ට පුලුවන් වෙන තරමට ඒ සම්බන්ධතා නිදහස් කරගන්න අපට බැරි වෙන එකක් නෑ. ඒක තීරනය වෙන්නෙ සමබන්ධතාවය ඇතුලෙදි එකිනෙකා එකිනෙකාව තේරුම් ගැනීම මතයි.
ස්ටැපිඩි මෙතනදි නියම කතාවක් කියනවා.
මේ ආදරේ විශ්මිතයි. සාමාන්‍ය තාරුන්‍ය ආදරේකදි එයා මැසේජ් නොකලත්, කෑවද කියල නෑහුවත් ඒකම ඇති අපිට අවුල් යන්න. නමුත් මේ ආදරේදි ඒක කිසිම අදාලත්වයක් නෑ. කොටින්ම එයා ඔයා එක්ක කතා කලේ මාස ගානකින් වෙන්න පුලුවන්, ඔයාට එයා අවුරුද්දකින්වත් මුන ගැහුනෙ නෑ වෙන්න පුලුවන්. නමුත් හදිසියේ අහම්බෙකින් වගේ හමුවුනත් මෙන්න ඔබේ ආදරේ ඇසිල්ලකින් පන ගැහෙන්න ගන්නවා.
ඒ වගේම එයා ඔයාගෙ උපන්දිනේට සුබ පැතුවෙ නැද්ද, ඔයාගෙ ගෙදර පාටියට එයා ආවෙ නැද්ද වගේ කාරනා ආදරේ ඇතුලෙදි මායිම් වෙන්නෙ නෑ. මොකද ඒ ගැඹුරු තේරුම් ගැනීම් ඇතුලෙදි ඔයා දන්නවා එයා නාව නම් ඒ නාවෙ මොකද කියල. අනිත් අතට එයාගෙ පැමිනීම, එයාගෙ අනිවාර්ය පැමිනීම ඔයාට අත්‍යවශ්‍ය කොන්දේසියක් නෙමෙයි කියලත් ඔයා දන්නවා.
ඇත්තටම මේක විශ්මිත තත්වයක්. ලිංගික ආදරයකදි ඒක කොයිතරම් මනරම් වුනත් ඒකෙන් අපිව අනාත කරන්න පුලුවන් ඉඩ සෑහෙන වැඩියි. එයා තවත් කා එක්ක හරි කතාබහ කලත්, ගමනක් ගියත් අපිව ඇතුලෙන් පිච්චෙන්න ගන්නවා. ඒත් ආදරේ කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අරගෙන බලද්දි ඒක එහෙම වෙන්න පුලුවන්ද? ස්ටැපිඩි ඒකට පුදුම හිතෙන කතාවක් කියනවා.
තාරුන්‍ය ලිංගික ආදරය කියන්නෙ ඇත්තටම ආදරේ කියන එකටම නෙමෙයි. එතන තියෙන්නෙ තන්හාවක්. එහෙමත් නැත්නං ලිංගිකත්වය වෙනුවෙන් නාබිගත වුනු ලිංගිකත්වයට අපි යොමුකරවන උත්තේජන කාරකයක්.
ස්ටැපිඩිම තව තැනක මෙහෙම කතාවක් කියනවා.
කෙනෙක් තව කෙනෙක්ගෙන් කෙනෙක්ගෙන් මං ඔයාට ආදරෙයි, ඔයා මට ආදරේද, මට කැමතිද කියල අහනවා. මට හිතෙන්නෙ ඒ තැනම විකාරයි. ඇත්තටම ඒක අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ඇතිවෙන්න ඕන තත්වයක්. අනෙක් අතට මේ ප්‍රශ්නෙට මුහුනදෙන කෙනාට ඇතිවෙන්න පුලුවන් සංකීර්නතාව කොහොමද? එයා හිතන්නෙ මෙහෙම. එයා මට ආදරේලු. එයාට තව කවුරුහරි ඉන්නවද? එයා හොඳ කෙනෙක්ද? අයා මාව රවට්ටයිද? මාව බඳිවිද? කවදහරි අපි එකට ජීවත් වෙනවා. අපේ පවුල් ගැලපේවිද? මෙන්න මේ වගේ විකාර ලෝකෙකට අනෙකා යනවා. ඇත්තටම ඔයාට හිතෙන්නෙ නැද්ද මේ තත්ව දෙකම විකාර ආකරයක් කියල.
දෙන්නෙක් එකිනෙකාට ආදරේ කරනවා. එතන තියෙන්නෙ මානව ගනුදෙනුවක උත්කෘශ්ට තැනක්. ඇයි ඒ වෙනුවෙන් අර තරමේ දහදුක් විඳින්නෙ?
ආදරේට ලිංගිකත්වය අදාලම නැද්ද. ස්ටැපිඩිගෙන් නිවේදකයෙක් අහනවා. ස්ටැපිඩි කියන්නෙ මෙහෙම. අදාලම නෑ කියන වචනෙ ම යන්න විතරක් අපි ඉවත් කරමු. මං හිතන්නෙ ඒක අදාලම නෑ කියල අපට කියන්න අමාරුයි. නමුත් ලිංගිකත්වය නෙමේ එතනදි මූලිකම කාරනය වෙන්නෙ. අපි මෙහෙම හිතමු. මම මගේ ආදරනීයයත් එක්ක හැමදේම බෙදාහදා ගන්නවා. මගේ හැමදේම හෙලිදරව් කරනවා. මගේ ආදරනීයයත් එහෙමමයි. ඉතින් ලිංගිකත්වය කියල කියන්නෙත් එතනදි එක කාරනයක් විතරයි. ඔව් අපි සෙක්ස් කරනවා. හරියට නිකං අපි කනව බොනව අතට අත දෙනව වගේ ඒකත් දැඩිව හෙලිදරව් වන නිමේශයක්. ඒත් ලිංගිකත්වය ඒ ආදරයට අත්‍යවශම කොන්දේසිය නොවෙන්න පුලුවන්.
ආදරේකදි තියෙන කොන්දේසි වල පැවැත්ම ගැනත් යමක් කියන්න වෙනවා. මෙහෙව් ආදරේකදි කිසිම ආකාරයක ගිවිසුමක් හෝ කොන්දේසියක් එකිනෙකා අතර ඇතිවෙන්නෙ නෑ. නෛතික හෝ සංස්කෘතිකමය සීමා එතනදි නොතිබෙන්න පුලුවන්. ඒත් ගැඹුරු හෙලිදරව් කරගැනීමක් ඇතුලෙදි අපි එකිනෙකාට ආදරය කරගන්නා පරිමාව අනුව මගේ ආදරනීයයගෙ රහස් බාහිර සමාජය දැනගැනීමෙන් එයාට හානියක් වෙනව කියල අනෙක් පාර්ශවයට දැනෙනවා මම මේක කාටවත් කියන්නෙ නෑ කියල එයා හිත ඇතුලෙම වාරනයක් දා ගනී. ඒක අනේ ඔයා මේක කාටවත්ම කියන්නෙපා කියල ඔවුනොවුන් ගනුදෙනු කරන්න ඕන තත්වයක් නෙමෙයි.
ඉතින් මේ ආදරය සැහැල්ලුයි. අපිට ජීවිතේ ජීවත් කරවන්න ඕනෙ නැති තරමට ඒක ඉබේ ගලාගෙන යන තැනට අරගෙන යන්න ආදරයකට පුලුවන්. එක මොහොතක් ඇතුලෙ මෙහෙව් ආදර සෑහෙන සංඛ්‍යාවක් කෙනෙක්ට තියෙන්න පුලුවන් වගේම එවැනි එකමෙක ආදරයක්වත් නැතිව තවත් කෙනෙක් මියැදිලා යන්නත් පුලුවන්.
ස්ටැපිඩිගෙ කතාවකින්ම මේක අවසන් කරන්නම්.
මේ ජීවිතේ කෙටියි කියල කිව්වත් ඒකෙ කෙටිබව හෝ දික් බව තීරනය කරන්නෙ අපි විසින්මයි. නිකමට හිතන්න ඔයා කිසිම ආදරයක් නැතිව ඔහේ කකා බිබී රස්සාවක් කරගෙන අවුරුදු තිහක් ජීවත් වෙනව කියල. ඒ ජීවිතේ මොනතරම් නං දීර්ඝද? ඒත් ආදර සම්බන්ධතා පොකුරක් තියාගෙන අවුරුදු හැටක් ජීවත් වෙන මනුස්සයෙක්ගෙ ජීවිතේ එයාට දැනෙනව ඇත්තෙ තත්පර ගානක් තරම් කෙටි එකක් විදිහට නෙමෙයිද?
අපි කාටවත් මේ ජීවිතේ ඇතුලෙ තනියම ජීවත් වෙන්න බෑ. හුදකලා දූපතක් විදිහට පවතින එකේ ආශ්චර්ය මොකක්ද? ඔයාගෙ ජීවිතේට දේවල් අරං එන්නත් ඔයාගෙ ජීවිතෙන් වටිනාම දේ තව කාටම හරි දෙන්නත් පාලම් හදාගන්න තරමට ජීවිතේ වගේම ලෝකයත් ලස්සන වේවි. තවත් කල් බලන්නෙ ඇයි?
එන්න අපි ආදරේ කරමු.
ස්ටැපිඩි කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ කියල කාටහරි හිතෙන්න පුලුවන්. ඒත් ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද? ඉන්නත් පුලුවන්. නොඉන්නත් පුලුවන්. ස්ටැපිඩි කියන්නෙ මම වෙන්නත් පුලුවන්. ඒත් ඒ තනි මමම නොවෙන්නත් පුලුවන්. කොහොමටත් ස්ටැපිඩි චරිතය හරහා මේ සංවාදය ලස්සන වෙනවනම් මට ඒ ඇති.
No comments:
Post a Comment