සුනිල්
කියන්නෙ මගෙ අතීත යාලුවෙක්. අතීත යාලුවෙක් කීවම දැන් යාලුවෙක් නෙමේද කියල ප්‍රශ්නෙකුත්
ඉතිරි වෙනවා. මහින්දෙ ඉගෙන ගන්නා කාලෙ, ඒ ලෙවල් කාලෙ මගෙ හොඳම යාලුවා උනේ සුනිල්.
හීනයක් වගේ බොඳ වෙච්ච ඒ අතීත කාලෙ සුනිල් ප්‍රදානය කරපු නිරේලෝභී මනුස්සකම් මට
තාමත් තියුණු විදිහට මතකයි. යාලුවෙක් විදිහටත් පොදුවේ මනුස්සයෙක් විදිහටත් ඒ තරම්
මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් මුනගැසීම ඒ යෞවන කාලෙදි මාව විශ්මයට පත් කලා. පොත්
ලියන ආසාව තදින්ම මෝරමින් තිබ්බ කාලෙ මං මගේ හිතටම කියා ගත්තා කවදකම හරි පොත් ලියන
කාලෙක ඒ පොතක් සුනිල් වෙනුවෙන් පුද කරන බව.
කාලයේ
ගග ගලාගෙන යද්දි ජීවිතේ වෙච්චි හැල හැප්පීම් ඇදවැටීම්, වෙනස් මුනගැසීම් එක්ක
සුනිල්ව මට මග ඇරුණා. එකම සරසවියක වෙලත් නිතර මුණගැසිලත් අපිට අපිව මග හැරෙන එක
වලක්වගන්න බැරි නියතයක් උනා. මුලදි මං ඒ ගැන තදින් කල්පනා කලත් තවදුරටත් නොනවත්වාම
අපේ සම්බන්ධතා ලිහි ලිහී යද්දි ඒක විය යුතු දෙයක් බවට මං මගේ හිතටම අවධාරණය කර
ගත්තා. සරසවියෙන් වෙන් උනාම අපි කලින්ටත් වඩා දුරස්ථ අය උනා. මාස පහ හයකට හෝ
අවුරුද්දකට දෙකකට සැරයක් උවමනාවකට විතරක් කතා කරන දන්න අදුනන අය විදිහට අපේ
සම්බන්ධතා දුරින් දුරට ඈතකට තල්ලු උනා.
දැන්
සුනිල්ගෙ කෙටිකතා පොතකට ගොඩගේ අත්පිටපත් තරඟෙ හොඳම පොතට හිමි සම්මානය ලැබිලා. මං
ඒක දැනගත්තෙත් අදාළ දැන්වීම ගොඩගේ එකෙන්ම දාල තිබුනට පස්සෙ. පොත ගෙනත් කියෙව්වට
පස්සෙ ඒ ගැන ලියන්න තද උවමනාවක් ආවා. නමුත් ඊට කලින් ඒ පූර්විකාව ලියන්නම ඕන එකක්
කියලයි හිතුනෙ. මොකද සුනිල්ගෙ මේ පොත අපි අතරෙ ඒ දුරස්ථ සම්බන්ධය නිශ්චිත
තීරණාත්මක ඛන්ඩනයකට පත් කරන්න හේතු උන නිසා.
කොහොම
උනත් පොත ගැන මගේ අවංක මතය/ අදහස කියන එක මේ සියලු පෞද්ගලික දුරස්ථ හෝ සමීපතා
වලින් හැකිතාක් ඈත් කර ස්වාධිනව කිරීමටයි මගෙ වෑයම.
සංසාර
කමටහන්
පොත
පුරාවටම දිවෙන කෙටිකතා විස්ස අතරින් බහුතරයක් කතා හරහා මට පෙනුනෙ දෙමාපිය ආදරය
අහිමි අනාථ දරුවෙක්ගෙ හිත කීරි ගැස්සෙන සංවේදානාත්මක මතක ආවලියක්. තේමාවක් විදිහට මොන මොන දිශානතීන් ගත්තත් මේ තමන්ගෙම
නංගියෙක් හරි මල්ලියෙක් හරි ඔක්කේ ගහගෙන හැම කතාවක් අස්සේම ඉකිබිඳිමින් ආදර
ඇබින්දක් ඉල්ලාගෙන යන කොල්ලෙක්ගෙ රූපයක් මට පේනවා. සමස්තයක් විදිහට කෙටිකතා ගොන්නම ගොනුවෙන්නෙ පහල
නිර්ධන පාන්තික ජීවන ඉසව් ඇසුරින්. අපි දන්න අඳුනන කාලෙ ඉදන් සුනිල් කියපු විදිහට
හෝ සමහර කාලවල මමත් අත් දැක්ක විදිහට සුනිල්ට ඒ සියල්ල සම්බන්ධයෙන්ම ලෙහෙසියෙන්
අතහැර දැමිය නොහැකි අත්දැකීම් සම්භාරයක් තියෙනවා. තමන්ගෙ ඇතුලෙම කාලයක් තිස්සේ
එක්කාසු උනු සැරව ගුලියක් මිරිකලා දානව වගේ මේ කතා සියල්ලෙහිම එන්නෙ සුනිල් තමන්
කුඩා කාලෙ හදවතේ පතුලෙන්ම වින්ද සාහසික ජීවන අත්දැකීම්වල නිර්මානාත්මක ප්‍රකාශනයක්ද
කියලත් වෙලාවකට හිතෙනවා.
අම්ම
හෝ තාත්ත අහිමි එහෙමත් නැත්නම් දෙන්නම අහිමි දරුවෙක් අහල පහල ගෙවල් එක්ක දබර
කරගන්නා බේබදු තාත්තෙක් මේ සියල්ල උහුලා සිටින ආත්තම්මෙක්, සියල්ල දෙස උපේක්ශාවෙන්
බලන හාමුදුරුවො නමක් මේ කතාවල පොදු සාධයකයක් වගේ.
හුදු
ආර්ථික පීඩාවම නොවෙතත් ඔහු ආවරණය කරන ජීවන කලාපය තුළ සංසාරයක් වගේ මිනිස් ජීවිත
වෙලාගෙන, ඔවුන්ව මිරිකගෙන ඉන්න සදාකාලික අන්ධකාරයක් මේ කතා තුලින් නිරුත්සාහිකවම
මතුවෙන්න ගන්නවා. අන්ත දුගී ජීවිත ඇතුලත සජීවී චිත්‍රයක් මේ ඔස්සේ මැවෙනවා. අවසාන
කෙටිකතා කිහිපයක දුගී බව වෙත සානුකම්පිතව බර වීම සීමාව ඉක්මවන ගතියක් පෙනුනත් බොහෝ
කතාවල සජීවී පන ගැහෙන බව සුරකින්න සුනිල් සමත් වෙලා තිබුනා
මට
හිතෙන්නෙ මේ කතාවල සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව තමන්ගෙ සන්තානයේ නිධන්ගත වෙලා කියාගන්න
බැරිව, මුක්ත කරගන්න බැරිව තිබ්බ ඇත්ත අත්දැකීම් මේ ප්‍රකාශනය හරහා උත්පාදනය වීමයි.
මොනම සම්මානයකටත් වඩා සුනිල්ට වටින්නෙ ඒ මහා බර හෑල්ලු කිරීමෙන් ලැබෙන මානසික
නිදහස වෙන්න ඕන.
මේ
කතා කෙටියි. සමහරක් කතා ඉතාමත් කෙටියි. ඒ කෙටි බව නිසාම සිදුවීම්, අවස්ථා
නිරූපනයේදි පුරුදු සිත්තරෙක් පින්සල් පහරකින් දෙකකින් අඳින රුවක් වගේ ඡායාත්මක
සිදුවීම් පෙලහරක් විතරයි මේ කතා හැම එකකම වගේ තියෙන්නෙ. ශෛලියක් විදිහට ඒක ඔහුගෙ
අනන්‍යතාවය පෙන්නන අතරෙම වචන වියදම් නොකර ජීවිතවල සංකීර්ණ පටලැවිලි පෙන්නුම් කරන
කලාවක් නිර්මානය කරගෙන තියෙනවා. ඒක හැම අතින්ම අලුත්.
අවස්ථා
සිද්ධි වර්ණනයේදි සුනිල් සරල හා නැවුම් වාග් විලාසයක් උපයෝගි කරගන්නවා. සියුම්
වර්ණනා කුඩා අවස්ථා නිරූපනය මේ ක්ශුද්‍ර කෙටිකතා හරඹයේදි අකැප උනත් ඔහු ඇතැම්
අවස්ථා වෙතට නැවුම් බරක් අරගෙන එනවා.
ඊලඟ
පෝය දවසෙ හවසම සිල් පවාරණය කරපු ඇත්තො පෝය අහසෙ හඳ කඩාගෙන ගියා.
උඩ
කැරකෙන ෆෑන් පෙති වෙහෙස ගෙනාව හින්දා හාමුදුරුවො පුටුවෙ වාඩි උනා.
එදා
හවස බස් එකෙන් බැස්ස අම්මා තාත්තව ලුණු කරේ තියාගත්තා.
වතුර
කලය බිම තියල මානෙල් නැන්ද අඬන්න ගත්තා. එයාගෙ කඳුලු ලිඳට වැටුනා. වතුරෙ දියවුණා.
මෙවැනි
අවස්ථා සරලවත්, ඒ සරල කම ඔස්සේම අලුත් බරක් සහිතවක් කතාව ගලාගෙන යාමට සලස්සනවා.
අවසන්
වශයෙන් සුනිල්ගෙ කුලුඳුල් කෘතිය සාර්ථක මාවතකට ප්‍රවේශ වෙලා කියල අවංකව කියන්න
පුලුවන්. ඒකෙ තියෙන්නෙ සුනිල්මය සංවේදනාවක්. සුනිල්මය හැඟීමක්. ඔහු ඒ තමන්ට අනන්‍ය
වෙචච අත්දැකීම් සම්භාරය පෙරවදනේත් ඔහු කියනව වගේ දේශජ නවගත්තේගම සිහිකරවනා සුලු නන්නාඳුනන/
කාල නිර්නය කළ නොහැකි අතීතයක් වෙතට අපව කැන්දාගෙන යනවා. ඒ අතීතය ඇත්තේ අපේ
ඇස්පනාපිටම උනත් මොකක්දෝ අපැහැදිලි දුමාරයක් ද ඒ කතා ඇසුරෙහිම පවතිනවා. මේ කතාවල
අපූර්වත්වය පවතින්න ඒ දුමාරයත් වැදගත් බවයි මට අවසන් වශයෙන් හිතෙන්නෙ.
බොහෝම ස්තුතියි දමිත් මේ ලියවිල්ලට.
ReplyDelete