චාලි කියන්නෙ අවුරුදු 25ත් 30ත් අතර අවිවාහක තරුණයෙක්. ඔහු දැඩි ආර්ථික අර්බුදයක ගැලිල ඉන්න මොහොතකයි චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. හිටි අඩියෙම ඔහුට ආරංචි වෙනවා තමන්ගෙ පියා මියගොසින් බව. චාලි තමන්ගෙ පියා එක්ක සියලු ගනුදෙනු අතහැරල ස්වාධීනව ජීවිකාව පවත්වාගෙන යන්නෙක්. පියාගෙ මියයාමත් තමන් මේ මෙහොතේ සිරවෙලා ඉන්න උග්‍ර අර්ථික අර්බුදයත් සමඟ පියාගෙ අන්තිම කැමත්ත කවරාකාර වෙන්න ඇත්ද කියල චාලිට කුතුහලයක් ඇතිවෙනවා. ඒ ඔස්සේ ලුහුබදින චාලිට අවසානයේ දැනගන්න ලැබෙන්නෙ කිසිදු ආකාරයෙන් නොසිතූ නොපැතූ තොරතුරු ගොන්නක්. තමන්ගෙ පියා තමාට පවරල තියෙන්නෙ කාර් එකකුත් රෝස මල් පදුරකුත් පමණක් බව චාලි දැනගන්නවා. එසේම පියාගෙ සියලු ධනස්කන්ධය එතෙක් ඔහු නොදැන සිටි ඔහුගේම වැඩිමහල් සහෝදරයෙක් වෙත පවරන්න පියා කටයුතු කරල තියෙන බවත් චාලි දැනගන්නවා. චාලි තමන් කිසිදා නොදුටු, නොඇසූ එකී සහෝදරයා සොයා ගමන් ආරම්භ කරනවා.
චාලිගෙ සහෝදරය රේමන්ඩ් චිත්‍රපටය ඇතුළෙ හැඳින්වෙන්නෙ මානසික ආබාධයකින්
පෙලෙන්නෙක් හැටියට. ඒත් මොකක්ද ඔහුගෙ ආබාධය. මොකක්ද අර්බුදය කියල කවුරුම හරි
ඇහුවොත් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. රේමන්ඩ් බුද්ධි ඌනතාවකින් පෙළෙනවද කියල
ඇහුවොත් කියන්න වෙන්නෙ නෑ කියල. එහෙනම් ඔහු මන්දමානසික තත්වයේ කෙනෙක්ද? ඒකත්
එහෙමයි කියල කියන්න අමාරුයි. කොහොම උනත් රේමන්ඩ් සාමාන්‍ය මනුෂ්‍යයෙකුත් නෙමෙයි. හැබැයි
බැලූ බැල්මට ඔහුගෙ ගැටලුව මොකක්දැයි හෝ ඒ ගැටලුව විග්‍රහ කරගන්නවත් ලෙහෙසියෙන්
කෙනෙකුට බැහැ.
රේන් මෑන් චිත්‍රපටය ඇතුලෙ ඔටිසම් කියන වචනෙ කොතනකවත්
සඳහන් වෙන්නෙ නෑ. නමුත් ඔටිසම් වැඩිහිටියෙක් ක්‍රියාකරන අන්දම ගැන මේ චිත්‍රපටයෙ
තරම් හොඳට සාක්ෂි සපයන වෙනත් චිත්‍රපටයක් මට මෙතෙක් මුණගැහිල නෑ. ඔටිසම් සංකීර්ණ
මානසික තත්වයක් වෙන්නෙ ඒ නිසාමයි. කොටින්ම කිව්වොත් රේමන්ඩ් මිනිස් පරිගණකයකට
සමානයි. රේමන්ඩ්ගෙ මතක ශක්තිය අති ප්‍රබලයි වගේම ගණිතමය හැකියාව විස්මිතයි. ඔහුට
බොහෝ සිදුවීම්වල දත්තමය අගය සැනින් කියන්න පුලුවන්. යම් වාහනයක අංක තහඩුවත්,
දුරකතන අංකයක්, ඉකුත් වර්ෂයක රිය අනතුරු සංඛ්‍යාව වගේ දත්තමය අගයන් රේමන්ඩ්ගෙ මතකය
ඇතුලෙ අමුතු පිලිවෙලකට පැලපදියම් වෙලා තියෙනවා. ඒත් හැඟීම් සම්බන්ධව රේමන්ඩ්ගෙ මනස
ක්‍රියා කරන්නෙ ඉතා දුප්පත් ආකාරයකට. ආදරයක්, සිපවැළඳගැනීමක්, හමුවීමක්,
සමුගැනීමක් සම්බන්ධව රේමන්ඩ් ක්‍රියාකරන්නෙ එකම යාන්ත්‍රික මනෝභාවයකින්.
චිත්‍රපටය අවසන් කොටසෙදි වෛද්‍යවරයෙක් රේමන්ඩ්ගෙන අහනවා
ඔයා සහෝදරයත් එක්ක දිගටම ඉන්න කැමතිද කියල. ඔව්. මං සහෝදරයත් එක්ක ඉන්න කැමතියි.
රේමන්ඩ් රොබෝ කෙනෙක් වගේ පිලිතුරු දෙනවා. ඔයා ආයෙමත් එයාගෙ පරන නවාතැනට යන්න කැමති
නැද්ද? වෛද්‍යවරයා නැවත රේමන්ඩ්ගෙන් ප්‍රශ්න කරනවා. ඔව්. මං එහේ යන්න කැමතියි.
රේමන්ඩ් පිලිතුරු දෙනවා.
දවසක් රේමන්ඩ් චාලිව මග ඇරලා පාරෙ මාරු වෙන්න යද්දි
හරියටම කහ ඉර මැදදි ඩිජිටල් තිරයේ සටහන් වෙනවා වහාම නවතින්න කියන වදන. චාලි උන්
හිටි තැනම නතර වෙනවා. ඒ කහ ඉර උඩ පාර මැද. රේමන්ඩ් දෙන ලද විධානයට කටයුතු කරනවා
මිසක් ඔහුට තේරෙන්නෙ නෑ යථා පොලොවෙ සිද්ධවෙන දේට ප්‍රතිචාර දක්වන්න.
කොහොම උනත් මේ චිත්‍රපටයෙන් අපේ අනුකම්පාව හෝ හැඟීම
දැල්වෙන්නෙ රේමන්ඩ වෙතටත් වඩා චාලි වෙතට. චාලි කුඩා කාලෙම තාත්තගෙන් වෙන්වෙලා
ඇවිත් ගතකරන සටන්කාමී ජීවන අරගලය මේ වෙද්දිත් විස දිලා නෑ. ඔහු ඉන්නෙ දැඩි ආර්ථික
අර්බුදයක බව පේනවා. ඒත් චාලිගෙ ඇත්තම අර්බුදය ආර්ථිකය නෙමෙයි කියන එක චාලිවත්
දන්නෙ නෑ. චාලිට නැත්තෙ තමන්ගෙම කියල ආදරනීය තැනැත්තෙක්. තමන්ගෙම ඥාතියෙක්. ගමන්
සගයෙක්. අවසානයේ චාලිට මුනගැසෙන්නෙ තමන්ගෙ සහෝදරයා යැයි කියන තමන් එතෙක් කිසිදා
නොදුටු රොබෝවරයෙක් වගේ මනුස්සයෙක්. චාලි චිත්‍රපටය පුරාවට වෙහෙසෙන්නෙ මේ
රොබෝවරයාගෙන් හැඟීම් කඳුලක් අරගන්න. තමන්ගෙ සගයෙක් කරගන්න. ඔහු හරහා ආර්ථිකව
දියුනු වෙන්න චාලිට උවමනාබව මතුපිටින් පෙනී ගියත් ඇතුලාන්තයෙන් චාලි ඉල්ලන්නෙ
තමාගෙම හිතවතෙක්. තමන්ගෙ දුක සතුට බෙදාගන්න පුලුවන් මිනිසෙක්. ඒක අවසානයේ චාලි
රේමන්ඩ් වෙත සමුදෙන මොහොතේ ඔහුගේ මුහුනෙ හෙඳින්ම සනිටුහන් වෙලා තියෙනවා කියලයි මට
හිතෙන්නෙ. චාලි අසරණ බැල්මෙන් බලා ඉඳලා රේමන්ඩ්ට සමු දෙනවා. රේමන්ඩ් තම ජංගම
රූපවාහිනී යන්ත්‍රය එක්ක තමන්ගෙ ඇතුලෙම නන්නත්තාර ගමනක නිරතවෙලා.
No comments:
Post a Comment