මම මැරිලින් මොන්රෝ ගැන හොයන්න ගත්තෙ my week with Marilyn චිත්රපටය බැලුවට පස්සෙ. චිත්රපටය ඇතුලෙ කතා නායක ක්ලාක් නැමති තරුණයා( මැරිලින්ට වඩා වයසින් බාල) එක්තරා චිත්රපටයත් රූගත කරන අතරෙදි මැරිලින් එක්ක පෙමින් බැඳෙනවා. මේ ප්රේමයේ ආයු කාලය සතියක් පමණ කෙටි එකක් වුණත් ඒ ප්රේමය ඇතුලෙ තරුණයගෙ මනෝභාවයත්, මැරිලින් ඒ කාලසීමාව ඇතුළෙ කොතරම් මානසික ආතතියකින් සිටියද කියන එකත් හොඳින් අනාවරණය වෙනව. මැරිලින් ඒ වෙද්දිත් සිනමා ලෝකයේ බැබලෙන තරුවක්. ක්ලාක් වගේ නිකම්ම නිකං සහාය අධ්යක්ෂක වරයෙක්ට මැරිලින්ගෙ ආදරය දිනා ගැනීම කෙසේ වෙතත් මැරිලින් නිකං හැරිල බලයිවත් කියල හිතාගන්න බැරි තරමේ ජනප්රියත්වයකයි ඈ ඒ වෙද්දිත් පසුවෙන්නෙ. කෙසේ නමුත් චිත්රපටය රූගත වෙන ඉතා කෙටි කාලසීමාවක් ඇතුලෙ ක්ලාක් මැරිලින්ව නොව මැර්ලින් ක්ලාක්ව පතාගෙන පැමිණෙනවා.
Friday, August 5, 2022
මැරිලින් මොන්රෝ එක්ක සතියක්
Thursday, August 4, 2022
සහෘද සාක්ෂිය - අමරකීර්තිත්තෙක්ක වෙනසක
නජිලා අධිකාරි කියල අලුත් කිවිඳියක්ගෙ කවි කිහිපයක් කියෙව්වා ලියනගේ අමරකීර්ති සර්ගෙ වෝල් එකේ තිබිලා. ඔහු කියන විදිහට ඒ ඔහු හා වට්ස්ඇප් මාර්ගයෙන් කවි ගනුදෙනු කරනා 19 හැවිරිදි කිවිඳියක්.
මේ කවි
කියවිල්ල මාව රැගෙන ගියා අවුරුදු 10ක් 12ක් විතර ඈතට. හරියටම කැම්පස් කාලෙට. ඒ
කාලෙ මං පිරිසක් ඉදිරියේ වචනයක්වත් අමුණගන්න බැරි තරමේ ඔතෑනි - සිරිමත් වගේ
ළමයෙක්. ඒ නමුත් පේරාදෙණි එද්දිම සාහිත්‍ය
උන තදටම වැදිල තිබුණා අන් කවර දේකටත් වඩා.
ඒක අමරකීර්ති
පේරාදෙණියෙ ඇවිත් දෙවනි අවුරුද්ද වගෙයි මතක. ඒ කියන්නෙ අපි වගේම ඔහුත් පේරාදෙණියට
අලුත්. ඔහු පළමුකොටම අපිට ඉගැන්වීම් කලේ
සිංහල විෂයටම අදාළ කෙටි නාට්‍ය සම්බන්ධ දේශනයක්. ධනංජය කරුණාරත්නගෙ ඔබ සාපේකෂයි
නාට්‍ටියේ පිටපත අපිට කියවන්න නිර්දේශ කරපු ඔහු අපි දෙන්නෙක්ට ඒකෙ දෙබස් දේශනය
අතරතුර නාට්‍යානුසාරීව කියවන්න පවා දුන්නා.
ඒ නාට්ටියේ මට
කියන්න තිබුණු දෙබසක කෑල්ලක් මට තාම මතකයි..
එතකොට කවුද මට
කලින් ඒ නරුම වැඩේ කරපු පො.න්නයා...
මං ලෙක්චර්
හෝල් එක දෙවනත් වෙන්න මේ දෙබස කිව්වා. මගේ ඇතුලෙන් පවා මට දැනුනෙ දෙදරීමක්. සර් නං
ඒක සාමාන්‍ය දෙබසක් විදිහට තැකුව වගෙයි පෙනුනෙ. අපිට හඳුන්වාදෙන මේ අමුතු නාට්ටි,
කවි, කෙටිකතා එක්ක සර්ගෙ අමුතු ගති
පැවතුම්, ආකල්ප වගේම දේශනයේදි හැසිරෙන ආකාරය පවා අපේ සිත් ගත්තා. කොටින්ම දේශනයක්
අතරතුරදි ඔහුගෙ අත් වැඩකරන - හැඩකරන රිද්මය ඔහු නැති තැන්වල අනුකරණය කොට අනෙක්
ළමයින්ට පෙන්වා හිනා ගැස්වීමට පවා මං ඒ කාලෙ පෙළඹුනා.
ඇත්තෙන්ම මට
කියන්න ඕන මේකයි. අමරකීර්ති සර් ගුරුවරයෙක් විදිහට වගේම මිත්‍රයෙක් හෝ සමීපතමයෙක්
විදිහට අපේ සාහිත්‍ය - කලා ලෝලී ගමන් මාර්ගය වෙත විශාල ආලෝක ධාරාවක් එල්ල කරන්න ඒ
කාලෙ ලොකු උත්සාහයක් ගත්තා. මේ ඒ ආලෝක ධාරා ඇතිකළ ගමන ගැන කෙටි සටහනක්.
ලියනගේ සර්ගෙ
මේ අමුතු විප්ලවකාරී පොලාපැනීම සිංහල විෂයක් විදිහට හදාරන කිහිපදෙනෙක්වම වසඟකරගෙන
තිබුණා. මාත් සුදර්ශනත් ඒ අතර ඔහුට
විශේෂිත වෙන්න ඇති. සිව්වන වසර වෙද්දි අනෙක් දේශන වලට යාම සහමුලින්ම අතහැර තිබුණ
නමුත් ලියනගේ සර්ගෙ දේශන මග නොහැරම යන්න මම තීරණය කළාටත් වඩා නිරුත්සාහිකවම උනේ
ඒක.
සුදර්ශනත්
මාත් දෙන්නම ඒ වෙනකොටත් බූන්දියට කවි ලියන්න පටන් ගෙනයි තිබුනෙ. බූන්දියේ අපේ කවි
වලට යම් සාධනීය ප්‍රතිචාර එමින් තිබුණු කාලයක් ඒක. එතකොට ෆේස්බුක් මේ තරම් සමාජය
ආක්‍රමණය කරගෙන තිබුණෙත් නැති නිසා බූන්දියට සාහිත්‍ය ලෝකයේ විශාල ඉඩකුත් විවර
වෙලා තිබුණ.
කෙමෙන් අපේ
සමීපතමයෙක් බවට පත්වෙමින් සිටි අමරකීර්ති මටත් සුදර්ශනටත් කාමරයක් පුරවා අසුරා ඇති
තම පුස්තකාලය අස්පරස් කිරීමට ඔහුගෙ නිවසට එන්නැයි ආරාධනා කළා. අපි ඊට සහභාගී උනේ
එක පයින්. ඒ පොත් ගොඩ අස්සේ දවසක් ගත කරන එක අපිට හීනයක්. පොත් අස්කරනවා වෙනුවට
අපි කළේ වාඩිවෙලා පොත් පෙරලපු එක. පොත් අතගාන එක. අලුත් කවි පොත් වගේම පරණ හම්පඩ
කවි පොත් ගානක් ඒ රාක්කවල අසුරලා තිබුණා. ගොඩක්ම පරණ පොත්වල කතුවරයගෙ අත්සන සහිතවම
තිබුණු පොත් පවා අපි බැලුවෙ පුදුම අනුරාගෙකින්. එහෙම පුස්තකාලය අස්කරද්දි ඔහුත්
අපි එක්ක ඒව තෝරනවා. එහෙ මෙහෙ කරනවා. සරෝජනී මිස් අපට තේ - බීම ගෙනත් දෙනවා.
සමහරවිට දවල් කෑම පවා ලැබෙනවා. කතාබහට ඔතෑනි මම කතාබතා නැතිවම පොත් පීරනවා. පෙරලලා
කවි කියවනවා. භූගත කවි සිත... චන්ද්‍රකුමාරගෙ පොත මට මුලින්ම මුනගැසුනෙ මේ පොත්
රාක්කවල තියෙද්දියි.
සුදර්ශනට ඔහු
එක්ක ලොකු දුරස්බවක් තිබුනෙ නෑ. සුදර්ශනට අමරකීර්ති සර් කියන්නෙ ගුරුවරයෙක්ට වඩා
බොක්කෙ යාලුවෙක් වගේ වෙලයි තිබුණෙ. ඔහුගෙන්
කෙලින්ම පොත් ගැන අහනවා. මේ පොත කොහොමද? මං මෙයාගෙ අහවල් පොත බලල තියෙනවා වගේ
කතාවකින් මුල පිරුවම ඒ කතාව දිග සාහිත්‍ය සංවාදයක් බවටත් පෙරලෙනවා. මං මහත්
ආසාවකින් මොකක් හෝ පොතක් දිහා බලන් ඉන්නව දැක්කම දමිත්ට ඔය පොත ඕනද? අරන් ගිහින්
කියවන්න... ඔහු ප්‍රශ්නයත් අසා පිළිතුරත් ලබා දුන් අවස්ථා තාමත් මට මතකයි.
ඔයාකාරගෙන්
ලියනගේ අමරකීර්තිගෙ පොත්ගුලේ අපි කිහිපවතාවක් පොත් පත් අස්පරස් කරන්නට යොමු උනා.
කාලය ගතවෙන එක සෙමෙන් වෙද්දි සුදර්ශනම මූලික වෙලා අහනවා සර් අපි පුස්තකාලෙ අස්
කරන්න එන්නදැයි කියා. ඔහොම බලෙන් පොත් කාමරේ පිරිසිදු කරල දුන්නු අවස්ථාත් නැතිවම
නෙමෙයි.
කාලයක් ගිහින්
හිතද්දි හිතුනෙ අමරකීර්ති සර් මේ වගේ අවස්ථා අපට ලබා දුන්නෙ හිතාමතා නේද කියල.
සමහරදාට ඔහුගෙ මුළු පවුලෙම අය කුලියාපිටියෙ යද්දි ඒ නිවාඩු දවස් දෙක තුන තමන්ගෙ
නිවසෙ නවාතැන් ගන්න කියල ඔහු තම නිවසේ යතුරු අපිට භාරදීල ගියා. ඒක විස්මිත අවස්ථාවක්.
සුදර්ශනත් මාත් මේ පනිවිඩ ලද විගස ඉන්නෙ දින ගැන ගැන නොඉවසිල්ලෙන්. දවස් දෙකක් හෝ
තුනක් අපි සාහිත්‍ය රාජධානියක ලැගුම්ගන්නව වගේ හැඟීමක්. කඳුගැටයක හැඩේට හදල -
නිමවල කියෙන ඒ නිවස තට්ටු දෙක තුනක වගේ පඩි නගින්න තිබුණා. පුස්තකාලෙ තිබුනෙ උඩම.
කුස්සිය, සාලෙ තිබුනෙ යටම. උයාගෙන කාල නාල පොතක් කියවල ෆිල්ම් බලල සර්ල ගෙදර
එනතුරා කල් ගෙවන්නයි අපිට නියමිත වෙලා තිබුනෙ.
දවස ගතකරන
ආකාරය ගැන අපි දෙන්නටම අදහසක් තිබුනෙ නැ. ෆිල්ම් බලනවද, පොත් කියවනවද, හොඳ කෑමක්
උයාගෙන කාල සර්ගෙ සැර බීමක් ගසල වෙරි වෙනවද වගේ දාහකුත් ආසාවල් එකට තෙරපුනා. අපි
මේ හැමකක්ම කරන්න ගිහින් එකක්වත් හරියට කරගන්න බැරි උනා වගේ හැඟීමකුත් ආවා.
නිවාඩුව
අවසන්වෙලා ආපහු ගෙදර එද්දි සර් අපිට මොනවමහරි තෑග්ගකුත් ගෙනාව හැටි මට මතකයි.
වතාවක් මටත් සුදර්ශනටත් දෙන්නටම ටී ෂර්ට් එක ගානෙ තෑගි ලැබුනා. තව දවසක් ඔහු එද්දි
සැර බීමක් (වොඩ්ක වගේ මතක) අරගෙන ආවා. එදාට අපි අයිස් කැට දාල මහත වීදුරුවල ඒ බීම
බිව්වෙ සර් එක්ක කලා ලෝකෙක කරක් ගහමිනුයි.
කලාවත්තෙක්ක
වෙනසක කියන සංවාද කවය අපි පටන්ගත්තෙ ඔයකාලෙමයි. මේකෙ අරමුණ උනේ කැම්පස් එකේ අය අතර
සාහිත්‍ය - කලා කතිකාවක් ඇතිකරන්න. කවි හඬනගා කියවන්න. ඒකෙන් ආකල්පමය වෙනසක් වෙත
කැඳවාගෙන යන්න. මේකට අපි පොඩි හෑන්ඩ් බිලක් හැදුවා. සුදර්ශන තමයි මේකෙ අරමුණ දිගට
ලියන්නෙ. ඒ ලිවීම්වල අමුතු ගැඹුරක් - බරක් තිබ්බා. මං ඒ දවස්වල යතුර කියන නමින්
බිත්තු පුවත්පතක් කලා. ඒකත් තරමක් නැගල ගියා. ලෙක්චර් හෝල් එකකට යන අතරෙ අනෙක්
ළමයි වගේම ඔහුත් යතුර ලඟ නැවතිලා කවියක් දෙකක් කියවලා යන්න අමතක කළේ නෑ.
මේ හැමකකින්ම
ලියනගේ සර් උත්සහ ගත්තෙ නිර්මානකරුවො විදිහට අපිට යම් තල්ලුවක් දෙන්න බව මට අද
හිතෙනවා.මේ නජිලගෙ කවි උපුටද්දි මට ඒ මතක දෙගුණ වෙලා මතකෙට එනවා. මගේ හෝ සුදර්ශනගෙ කවියක් නැත්නම් නිර්මාණයක්
තදින් වැඩ කළා නම් ඔහු ඇමතුමක් අරගෙනම ඒ ගැන කියන්න පසුබට උනේ නෑ. පේරා අවසාන කාලෙ
මාත් සුදර්ශනත් එක්කාසුවෙලා කරපු සුමිත්ත කියන කෙටි නාට්ටිය ඔහුගෙ නොමද පැසසීමට
ලක් උනා. සුදර්ශනටත් මටත් අංකුර නිර්මාන ශිල්පීන් විදිහට මතුවෙන්න අපේ සාහිත්‍ය
කලා ගමන වෙනුවෙන් නිර්ලෝභී පරිත්‍යාග ගොඩක් කරන්න ඔහු දායක උන බව කිව යුතුයි.
තමන්ගෙ ශිෂ්‍යයෙක් හෝ තමන්ගෙන් ගුරුහරුකම් ලබන්නෙක් ඉතා හොඳ නිර්මාණශිල්පියෙක්
විදිහට වැඩෙමින් තමන්ටත් වඩා ඉහළට ඇදෙද්දි එන මහා සන්තෝසය මාත් ගුරුවරයෙක් නිසා
මටත් අද වැටහෙනවා. ඔහු ඒ නිරාමිස ප්‍රීතිය අප නිසා අත්විඳින්න ඇති.
නජිලගෙ කවි
දකිද්දි, ඔහු ඒ කවි උපුටද්දි ඒ දවස්වල අපිට ගුරුහරුකම් දුන්නා වගේ සාහිත්‍යාත්මක
ඔවදන් දෙන අස්සේ ආඩම්බරකාර සන්තෝසකුත් - ජොලියකුත් ඔහුගෙ හිත ඇතුලෙ තදබද වෙලා ඇති.
ගුරුවරයෙකුට ඒ සතුට තරම් සතුටක් කොයින්ද?
Wednesday, June 1, 2022
හැන්දෑවරු
ගාලු කොටුවෙ හවසක් කියන්නෙ වචනෙන් කියන්න බැරි අත්දැකීමක්. කොහොමටත් ගාලු කොටුව ඇතුලෙ රවුමක් ගහන එක ඇතිකරන හැඟීම අන් කවර අත්දැකීමකටත් වඩා වෙනස්. මට හැමවෙලාවෙම දැනෙන්නෙ මං නන්නාඳුනන විදෙස් රටක ඇවිදිනව වගේ දැනීමක්. ඉස්සර - මීට අවුරුදු දෙක තුනකට කලින් මායි ඩිලක්ෂනුයි හැම සතිඅන්කෙම වගේ ගාලු කොටුවෙ ඇවිදින්න ගියා.
සමහරක් දාට
කලුවර වැටෙනකම්ම අපි ඔහේ වැතිරිලා ඉන්නවා. ඇත්තටම අපි කරන දෙයක් නෑ - අපි දෙන්න
කතා බහ කරන්නෙත් නැති තරං. තේරුමක් ඇතිව හෝ නැතිව ඔහේ මුහුද දිහා බලාගෙන ඉන්නවා.
කාලය ඔහේ හුලඟෙ ගහගෙන යනවා. අන්ධකාරෙ තැවරිච්ච නන්නාඳුනන මිනිස්සු අපිව පසුකරගෙන
ඇවිදිනවා. ළමයි සරුංගල් අරිනවා. සමහරු ක්‍රිකට් ගහනවා. අහසක් කියල කිව්වට අපේ ඔලුවට උඩින් මේ තියෙන්නෙ
නිමක් නැති - තෙරක් නැති හිස්ම හිස් අවකාශයක් නේද කියල මට මොහොතකට හිතෙනවා. මම කොටුව
උඩ මොහොතකට හෝ කොටු නොවෙච්චි ජීවියෙක් වගේ හාන්සිවෙලා ඒ මහා හිස්කම දිහාට ඇස් ඇරගෙන ඉන්නවා. ඒ වලාකුළු
ඇබින්දක්වත් නැති හිස්ම හිස් අහසක්. ඩිම්බයක් හොයාගෙන යන ශුක්‍රානුවක් වගේ වල්ගය නලියන
නයාපට්ටමමක් වරින් වර මගේ ඇසට හසුවන මායිමේ පාවෙනවා.
පළවෙනි
කවිපොත නම් කරන්න ඕනත් හැන්දෑව කියල බව හැන්දෑවකින් මන්මත්වෙච්චි එක්තරා හවසක මං
හිතුවා. හිතේ මොකක්දෝ සහනයක් - සංයමයක් ඇතිකරනසුලු දැනීමක් හැන්දෑවක තැවරිලා
තියෙනවා. ඒ අන්ධකාරයයි, ආලෝකයයි මුහුවෙච්ච සංක්‍රාන්ති මොහොතේ සදාකාලිකවම ලෝකය නතර
වෙලා තියෙනවනම්...
ඉස්සර පේරාදෙණියෙ
අරුනාචලම් එකේ අඹගහ ලඟ බංකුවට වෙලා ඒ ඉදිරියේ තියෙන පිට්ටනි තුනේ දුවන - ඇවිදින -
සෙල්ලම්කරන ළමයි මිනිස්සු දිහා වගේම පාරෙ ඈත කෙලවරට වෙනකං ඇදෙන යාන වාහන දිහාත්
බලා ඉන්න එකේ කියාගන්න බැරි මිහිරියාවක් තිබුනා. පේරාදෙනි අහස යට මේ වෙලාවට නොයෙක්
මාළු රෑන් රෑන් පීනන මාළු ටැංකියක් වගේ. එල්ලයක් නැතිව මගේ ඇස් ඒ සමස්තය දිහාම
එල්ලවෙලා තියෙනවා. කල්පනා බැමි ලිහිල අයාලේ ඇදී යනවා. නිශ්චිත අරමුණක් නැතිව
හැඟුම් විසිරිලා යන මේ වගේ වෙලාව දන්න අඳුනන කවුරුවමත්ම මුන නොගැසේවා කියල මගේ
ඇතුළු හදවත ප්‍රාර්ථනා කරනව
ඒ ලෙවල්
කරන කාලෙ හවස පන්ති ඇරිලා හියාරෙ හන්දියෙන් බැහැල කිලෝමීටර් තුන හතරක දුර පයින් ගෑටුවෙ
පුදුම ආසාවකින්. කල්පනාවකට කරට අත දාගෙන ඒ තනිකම් හැන්දෑවෙ ඇවිදින එකෙන් ලැබෙන
ආශ්වාදය වෙන කොහෙන්වත් ගන්නත් බෑ. ඇත්තටම ඒකට කියන්නෙ කල්පනා කරනව කියන එකද
නැත්නම් කල්පනාවක් නැතිව හිත හිස්ම හිස් කරලා ඒ හිස්කමේ ප්‍රමෝදෙන් වල්මත්වෙන එකද
කියන්න මං හරියටම දන්නෙ නෑ.
මං ලියන්න
ගත්තෙ හැන්දෑව ගැන ද, කල්පනාවක් නැති කල්පනාවක තියෙන ආශ්වාදය ගැන ද, තනිකමේ
සෞන්දර්යගැන ද කියල හිතාගන්නවත් බෑ. ඒ හැමකක්ම කවලම්වෙච්ච මේකත් අයාලේ ගියපු
ලියමනක් ද මන්දා...
Tuesday, January 25, 2022
රේන් මෑන් - රේමන්ඩ්ගේ ජීවිතෙත් එක්ක චාලිගේ ජීවිතෙන් කොටසක්
චාලි කියන්නෙ අවුරුදු 25ත් 30ත් අතර අවිවාහක තරුණයෙක්. ඔහු දැඩි ආර්ථික අර්බුදයක ගැලිල ඉන්න මොහොතකයි චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. හිටි අඩියෙම ඔහුට ආරංචි වෙනවා තමන්ගෙ පියා මියගොසින් බව. චාලි තමන්ගෙ පියා එක්ක සියලු ගනුදෙනු අතහැරල ස්වාධීනව ජීවිකාව පවත්වාගෙන යන්නෙක්. පියාගෙ මියයාමත් තමන් මේ මෙහොතේ සිරවෙලා ඉන්න උග්‍ර අර්ථික අර්බුදයත් සමඟ පියාගෙ අන්තිම කැමත්ත කවරාකාර වෙන්න ඇත්ද කියල චාලිට කුතුහලයක් ඇතිවෙනවා. ඒ ඔස්සේ ලුහුබදින චාලිට අවසානයේ දැනගන්න ලැබෙන්නෙ කිසිදු ආකාරයෙන් නොසිතූ නොපැතූ තොරතුරු ගොන්නක්. තමන්ගෙ පියා තමාට පවරල තියෙන්නෙ කාර් එකකුත් රෝස මල් පදුරකුත් පමණක් බව චාලි දැනගන්නවා. එසේම පියාගෙ සියලු ධනස්කන්ධය එතෙක් ඔහු නොදැන සිටි ඔහුගේම වැඩිමහල් සහෝදරයෙක් වෙත පවරන්න පියා කටයුතු කරල තියෙන බවත් චාලි දැනගන්නවා. චාලි තමන් කිසිදා නොදුටු, නොඇසූ එකී සහෝදරයා සොයා ගමන් ආරම්භ කරනවා.
චාලිගෙ සහෝදරය රේමන්ඩ් චිත්‍රපටය ඇතුළෙ හැඳින්වෙන්නෙ මානසික ආබාධයකින්
පෙලෙන්නෙක් හැටියට. ඒත් මොකක්ද ඔහුගෙ ආබාධය. මොකක්ද අර්බුදය කියල කවුරුම හරි
ඇහුවොත් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. රේමන්ඩ් බුද්ධි ඌනතාවකින් පෙළෙනවද කියල
ඇහුවොත් කියන්න වෙන්නෙ නෑ කියල. එහෙනම් ඔහු මන්දමානසික තත්වයේ කෙනෙක්ද? ඒකත්
එහෙමයි කියල කියන්න අමාරුයි. කොහොම උනත් රේමන්ඩ් සාමාන්‍ය මනුෂ්‍යයෙකුත් නෙමෙයි. හැබැයි
බැලූ බැල්මට ඔහුගෙ ගැටලුව මොකක්දැයි හෝ ඒ ගැටලුව විග්‍රහ කරගන්නවත් ලෙහෙසියෙන්
කෙනෙකුට බැහැ.
රේන් මෑන් චිත්‍රපටය ඇතුලෙ ඔටිසම් කියන වචනෙ කොතනකවත්
සඳහන් වෙන්නෙ නෑ. නමුත් ඔටිසම් වැඩිහිටියෙක් ක්‍රියාකරන අන්දම ගැන මේ චිත්‍රපටයෙ
තරම් හොඳට සාක්ෂි සපයන වෙනත් චිත්‍රපටයක් මට මෙතෙක් මුණගැහිල නෑ. ඔටිසම් සංකීර්ණ
මානසික තත්වයක් වෙන්නෙ ඒ නිසාමයි. කොටින්ම කිව්වොත් රේමන්ඩ් මිනිස් පරිගණකයකට
සමානයි. රේමන්ඩ්ගෙ මතක ශක්තිය අති ප්‍රබලයි වගේම ගණිතමය හැකියාව විස්මිතයි. ඔහුට
බොහෝ සිදුවීම්වල දත්තමය අගය සැනින් කියන්න පුලුවන්. යම් වාහනයක අංක තහඩුවත්,
දුරකතන අංකයක්, ඉකුත් වර්ෂයක රිය අනතුරු සංඛ්‍යාව වගේ දත්තමය අගයන් රේමන්ඩ්ගෙ මතකය
ඇතුලෙ අමුතු පිලිවෙලකට පැලපදියම් වෙලා තියෙනවා. ඒත් හැඟීම් සම්බන්ධව රේමන්ඩ්ගෙ මනස
ක්‍රියා කරන්නෙ ඉතා දුප්පත් ආකාරයකට. ආදරයක්, සිපවැළඳගැනීමක්, හමුවීමක්,
සමුගැනීමක් සම්බන්ධව රේමන්ඩ් ක්‍රියාකරන්නෙ එකම යාන්ත්‍රික මනෝභාවයකින්.
චිත්‍රපටය අවසන් කොටසෙදි වෛද්‍යවරයෙක් රේමන්ඩ්ගෙන අහනවා
ඔයා සහෝදරයත් එක්ක දිගටම ඉන්න කැමතිද කියල. ඔව්. මං සහෝදරයත් එක්ක ඉන්න කැමතියි.
රේමන්ඩ් රොබෝ කෙනෙක් වගේ පිලිතුරු දෙනවා. ඔයා ආයෙමත් එයාගෙ පරන නවාතැනට යන්න කැමති
නැද්ද? වෛද්‍යවරයා නැවත රේමන්ඩ්ගෙන් ප්‍රශ්න කරනවා. ඔව්. මං එහේ යන්න කැමතියි.
රේමන්ඩ් පිලිතුරු දෙනවා.
දවසක් රේමන්ඩ් චාලිව මග ඇරලා පාරෙ මාරු වෙන්න යද්දි
හරියටම කහ ඉර මැදදි ඩිජිටල් තිරයේ සටහන් වෙනවා වහාම නවතින්න කියන වදන. චාලි උන්
හිටි තැනම නතර වෙනවා. ඒ කහ ඉර උඩ පාර මැද. රේමන්ඩ් දෙන ලද විධානයට කටයුතු කරනවා
මිසක් ඔහුට තේරෙන්නෙ නෑ යථා පොලොවෙ සිද්ධවෙන දේට ප්‍රතිචාර දක්වන්න.
කොහොම උනත් මේ චිත්‍රපටයෙන් අපේ අනුකම්පාව හෝ හැඟීම
දැල්වෙන්නෙ රේමන්ඩ වෙතටත් වඩා චාලි වෙතට. චාලි කුඩා කාලෙම තාත්තගෙන් වෙන්වෙලා
ඇවිත් ගතකරන සටන්කාමී ජීවන අරගලය මේ වෙද්දිත් විස දිලා නෑ. ඔහු ඉන්නෙ දැඩි ආර්ථික
අර්බුදයක බව පේනවා. ඒත් චාලිගෙ ඇත්තම අර්බුදය ආර්ථිකය නෙමෙයි කියන එක චාලිවත්
දන්නෙ නෑ. චාලිට නැත්තෙ තමන්ගෙම කියල ආදරනීය තැනැත්තෙක්. තමන්ගෙම ඥාතියෙක්. ගමන්
සගයෙක්. අවසානයේ චාලිට මුනගැසෙන්නෙ තමන්ගෙ සහෝදරයා යැයි කියන තමන් එතෙක් කිසිදා
නොදුටු රොබෝවරයෙක් වගේ මනුස්සයෙක්. චාලි චිත්‍රපටය පුරාවට වෙහෙසෙන්නෙ මේ
රොබෝවරයාගෙන් හැඟීම් කඳුලක් අරගන්න. තමන්ගෙ සගයෙක් කරගන්න. ඔහු හරහා ආර්ථිකව
දියුනු වෙන්න චාලිට උවමනාබව මතුපිටින් පෙනී ගියත් ඇතුලාන්තයෙන් චාලි ඉල්ලන්නෙ
තමාගෙම හිතවතෙක්. තමන්ගෙ දුක සතුට බෙදාගන්න පුලුවන් මිනිසෙක්. ඒක අවසානයේ චාලි
රේමන්ඩ් වෙත සමුදෙන මොහොතේ ඔහුගේ මුහුනෙ හෙඳින්ම සනිටුහන් වෙලා තියෙනවා කියලයි මට
හිතෙන්නෙ. චාලි අසරණ බැල්මෙන් බලා ඉඳලා රේමන්ඩ්ට සමු දෙනවා. රේමන්ඩ් තම ජංගම
රූපවාහිනී යන්ත්‍රය එක්ක තමන්ගෙ ඇතුලෙම නන්නත්තාර ගමනක නිරතවෙලා.
ඒ විල මැද ඔබ සුවඳ මලයි...
මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...
-
වත්මන් ලොව භාවිත කරනු ලබන සාම්ප්‍රදායික බුද්ධි පරිමානවලින් තක්සේරු කරනු ලබන්නේ මනුෂ්‍ය විභව්යතාවලින් ඉතා ස්වල්පයකි. බො...
-
චයිනමන් - අග්‍රගන්‍ය කෘතියක්. බැලූ බැල්මට අමුතු නමකින් මෙන්ම අමුතු පිටකවරයකින් සැරසිලා එන චයිනමන් ආරම්භයේ ඉඳන්ම එක්තරා...
-
සිංහලෙන් ලියූ ජපන් ලේඛකයා - තදශි නොගුචි කොකොරෝ ජපන් ජාතික නත්සුමෙ සෝසෙකිගේ නවකතාවක්. මේක කොකොරෝ නමින්ම සිංහලට පරිවර්ත...