Sunday, December 22, 2024

දම්මි මිස්




දම්මි මිස් මට මිස් වෙච්ච චරිතයක් කියල හිතුනෙ මෑතක. දම්මි මිස් ගුරු උපදේශක කෙනෙක්. අවුරුදු 55 නම් පැනල ඇති. එයා මහතත් නැති කෙට්ටුත් නැති ඒත් කෙට්ටු පැත්තට බර කරල කියන්න පුලුවන් තරමේ ශරීරයක් තිබ්බ කෙනෙක්. සුදුයි. කොන්ඩෙ නම් ඉතින් ඒ වයසෙ ගැහැනුන්ට උරුම වෙන නකුටක් වගේ කොන්ඩ කෑල්ල. 

එයා කාලයක් අපේ ඔෆිස් එකට යනව එනව උනත් මම ඔහේ යාන්තම් දැකල තිබුනත් නම මොකක්ද කියලවත් මේ කවුද කින්ද මන්ද කියලවත් ලොකුවට හොයන්න ගිහින් නැහැ. එක අතකට වයසක අය ගැන තරුණ අයගෙ අවධානය තියෙන්නෙ ඔයවගේ තැනක වෙන්නත් ඇති. තනතුරෙන් හෝ වෙනයම්ම විශේෂීබවකින් දිලිසෙන්නෙ නැත්නම්  ඒ අය මේ ලෝකෙට අදාළ නොවන චරිත වගේ ගණන් නොගෙන ඉන්න ඉබේම වගේ පුරුදු වෙලාද මන්දා. 

හැම අඟහරුවාදම අපි කලාප අධීක්ෂණ ගියා. මම සංවර්ධන නිලධාරී තනතුරේ. කලාප අධීක්ෂණ කියන්නෙ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරු හා ගුරු උපදේශකවරු එකතුවෙලා සතියකට වතාවක් කලාපයට අයත් පාසලක් අධීක්ෂණය කරන්න යෑමේ ක්‍රියාවලිය. මම ඒකට සම්බන්ධ වෙන්නේ අධීක්ෂණය අවසානයේ ගුරු මණ්ඩලයේ රැස්වීමට ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඒ ප්‍රසන්ටේෂන් එක හදන වැඩේ කරන්නත් එක්ක. 

දවස් දෙකතුනක් යද්දිම දම්මි මිස්ගෙ ලොකු වෙනසක් මම දකිමින් තිබුනා. දම්මි මිස්ගෙ මවාගත්තු දැඩි බවක් හෝ මවාගත්තු කාරුණික බවක් නැහැ. ඇය තමාගේ හැඩයකින් තමයි අධීක්ෂණයට සහභාගී වුණේ. ඇයගෙ තිබුනෙ දයාබරිත බවක්. කරුණාවන්ත මවකගේ ගතිගුණ මුසුවක්. මුලින්ම මට ඒක තේරුනේ එක් සරල සිදුවීමක් නිසා. 

අධීක්ෂණයට යන අයට පාසලෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන එක සාමාන්‍ය සිරිතක්. ඉතින් මේ තේ බොද්දි අධ්‍යක්ෂකවරුන්ට ප්‍රමුඛ තැන ලැබිලා අපි වගේ අය පසු බැහැලා අන්තිමට තමයි යන්නෙ. දම්මි මිස් මේ තේ බොන හැමවෙලේම මාව හොයනවා. කෝ සුමිත් තේ බිව්ව ද... එන්න පුතේ... තේ බොමු කියල මාව කැඳෙව්වෙ දම්මි මිස්. පස්සෙ පස්සෙ මට තේරුණා දම්මි මිස් මේක කරන්නෙ මට තියෙන පුද්ගලික කැමැත්තටත් වඩා ඇගේ දයාවේ එක්තරා ස්වභාවයක් විදිහට බව. මොකද ඈ ඒ බොහෝ අවස්ථාවල ඩ්‍රයිවර් මල්ලිටත් කතා කළ නිසා. 

එක දවසක් අපිට අධීක්ෂණ සෙට් උනේ දුරබැහැර පාසලකට. මේකට සාමාන්‍යෙයන් පැය එකහමාරක වගේ දුරක් ගත වෙනවා. එදා වෑන් එකේ අපි හැමෝ වෙතම බොහොම රසවත්ව හදපු කඩල කෑම පෙට්ටියකුයි හැන්දකුයි පාස් වෙලා ආවා. ඒ කෑම පෙට්ටි හැම සීට් එකකටම එක ගානේ බෙදන බවක් පෙනුනා. හොයල බලද්දී මේ කඩල සකසාගෙන ඇවිත් තිබුනේ දම්මි මිස්. මම ඒක දැනගත්තේ අධීක්ෂණ අවසන් වෙලා ආපහු යද්දී හිස් කෑමපෙට්ටි ටික එකතු කරලා දම්මි මිස් බෑග් එකේ දා ගනිද්දී. මේක සුලු සිදුවීමක් ලෙස කාටම හරි හිතෙන්න පුලුවන්. ඒත් මම හිතනවා ඇගේ මේ ක්‍රියාදාමය පිටිපස්සේ තියෙන්නෙ ඈ මේ ලෝකය කෙරෙහි තියෙන්නේ වූ ස්නේහෙවන්තභාවය බව. ඇයගේ මනසේ නිරවුල්භාවය බව. ඇගේ මනසේ ඇති නිරෝගීභාවය බව. ලෝකයට දෙයක් දීමට තරම් ඇගේ මානසික සෞඛ්‍ය පොහොසත්ව පවතින බව. ඇය මේ ලෝකය සුහදත්වයෙන් වැලඳගන්නා බව. 

දම්මි මිස් විවාහකයි. ඇයට ලොකු දරුවන් ඉන්නා බව මම අහල තියෙනවා. නමුත් ඒ කවුරුන්ද මොනවද කරන්නේ වගේ සංකීර්ණ කතා නම් දන්නෙ නැහැ. ඇය ඉතා පිළිවෙළට අඳිනවා, පළඳිනවා. ඈ මාව අමතන්නේ පුතේ යන නමින්. ඈ මට කාරුණිකයි. ලෙන්ගතුයි. ඒක විශේෂ බවක් නම් පෙනේනන නැහැ. ඇය හැමෝටම ඒ වගේ. පාසලේදී පන්තිකාමරයක් අධීක්ෂණය කළත් ඇගේ ඒ දයාබරභාවය ඇගෙන් ගලනවා. 

රාජකාරී මොහොතවල්වල අපට පුතේ කියල කතා කරන අය ගොඩක් ඉන්නවා. සමහර ඩිරෙක්ටර්ලත් අපිව අමතන්නේ පුතේ නම් ලෙන්ගතු ආමන්ත්‍රණයෙන්. නමුත් දම්මි මිස්ගේ පුතේ... ආමන්ත්‍රණය ඒ සියල්ල අභිබවා දැනෙන බවක් මට දැනෙනවා. දම්මි මිස් වෙනුවෙන් අකලංක ආදරයක් මගේ ඇතුලේ පිළිසිඳිලා තියෙනවා. ඒක විරුද්ධ ලිංගික, ලිංගිකත්වය පදනම්වුණු ආදරයක් නෙමෙයි. නමුත් මම ඇයට ආදරේ ඇය විරුද්ධ ලිංගිකයෙක් නිසාමමත් තමයි. ඇගෙන් පෙරි පෙරී මා වෙත ගලන්නේ මාතෘත්වයේ සෙනෙහසක් ද? මා ඇගේ සෙවනැල්ල අසල ඉන්න කැමති ඒ දයාබර මාතෘත්වයට දක්වන ලෝලය නිසාද? නැත්නම් ඈ විශේෂයක් නොකර මානව සංහතිය වෙනුවෙන් අපරිමිත ස්නේහයක් නිර්ලෝභීව ප්‍රදානය කරන නිසද?

සුවහසක් මිනිසුන් අතරේ දම්මි මිස් වගේ මනුෂ්‍යත්වය යනු මෙයයි... යන්න පහදන, කියාදෙන චරිත ඉන්නේ ඉතාමත් සුලු පිරිසක් විතරයි. ඒ අතරිනුත් විවාහක, දරුවන්ද වැදූ වයසක කාන්තාවක් මෙලෙස සමාධි සුවයෙන් සිටීම පිළිබඳ මගේ සිත තුල ඇත්තේ විස්මයට බර වූ සන්තෝසයක්. 

දම්මි මිස්ගේ තොරතුරු වඩ වඩා නොසොයා ඉන්න මම ට්‍රයි කළා. මොකද අපි කෙනෙක්ට වඩ වඩා ලං වෙන්න වෙන්න ඒ අයගෙ අපි නොදකින අඩුපාඩු, දුබලතා, කැත තැන් පේන්න ගන්න බව මම විස්වාස කරන නිසා. දම්මි මිස්ගෙන් පේන මේ ලස්සන, හෘදයංගම බව මනුස්සත්වය වෙනුවෙන් මැරෙන තුරා උදාහරණයට ගත හැකි ආකෘතියක් ලෙස ස්මරණයේ  තබා ගන්න මම කැමතියි.

Sunday, November 10, 2024

ඒ විල මැද ඔබ සුවඳ මලයි...




මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට් කවුන්ටරයක බාල ස්පීකරේකින්. ඒත් දාවලේ කට්ට අව්වේත් කඨෝර හඬ පිරි නගරයේදිත් ඒ හඬේ අමුතු මිහිරියාවක් දැනුනා.. 


මේ ගීතයේ තියෙන්නේ සරල පද වැලක්.  හැබැයි ඒ සරල පද අස්සෙන් මහා සංකීර්ණ කතාවකුත් එළියට එනවා නේද කියල එවෙලෙ හිතුනා. 


සීතල දිය පිරි සුනිල විලයි

ඒ විල මැද ඔබ සුවඳ මලයි

ගිමන් නිවාලන සුළං රැලක් සේ 

ඔබේ සිනාමට පවන් සලයි


සර්ච් කරල බලද්දි පදවැල් ලියල තියෙන්නෙ මහගමසේකර කියල දැනගත්තම පුදුමත් හිතුනා . ඉතාම සරල පද ටිකක්. අපට බොහොම පැහැදිලිව පේනවා  පෙම්වතිය නිසා මේ පෙම්වතා සහනයකට පත්වෙලා කියලා. 


මේ ගීතයේ පළවෙනි හා දෙවෙනි අන්තරා කොටස්වල තියෙනවා මෙන්න මෙහෙම අදහසක්.


අසරණ වී මා ජීවිත කතරේ

අන්ධකාරයේ සැරිසැරුවා

ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්

උදාවෙලා මට අත වැනුවා


දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ

ඔබේ හදින් මා දෙස බැලුවා

දෑසට නොපෙනෙන මා හද පතුලේ

සුන්දරතාවය ඔබ දුටුවා


පෙම්වතාගේ ශක්‍යතාවන් හැකියාවන් වර්ධනය වෙන්නේ පෙම්වතිගෙ ප්‍රේමනීය බැල්ම, ඇල්ම ලැබුනට පස්සේ. නැත්නම් ඒ ආදරය හරහා මොහුගේ ජීවිතය උද්යෝගිමත් වෙනවා. මේ තාක් කල් ඔහුගේ ජීවිතේ නොපෙනුනු වර්ණවත් පැතිකඩක් ඔහුටම පේන්න ගන්නවා. ඒ වර්ණවත් බව එළියට ඇදලා ගන්න දයාබරිතබවක්, මිත්‍රශීලීබවක් පෙම්වතියගෙන් ලැබෙනවා. ඒ සහනය සීතල දියරක් වගේ ඔහුගේ සර්වාංගය පුරා ගලනවා. 


හුදකලා පුද්ගලයෙක් කියන්නෙ තනියම ගල් පර්වතයක් උඩ අවුරුදු ගානක් කරකුට්ටන් වෙවී නොවැඩී, දැඩි වෙවී   ඔහේ තියෙන ශාකයක් වගේ එකකට.  ඉර එළිය තෙතමනය  සාරවත් බව උකහාගෙන අතු ඉතිලා වැඩි මල් පිපෙන්න,ඵල දරන්න ගන්නව වගේ ජීවිතය විකසිත වෙන්නේ සැබෑ ආදරයක් ලැබුණාමයි. ඒ සහනදායී ආදරය ජීවිතය කොතෙක් සුවපත් කරනවාද..



ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන

ආදරයෙන් මා වෙත පිදුවා

ඒ මොහොතෙම තව සිය දහසක් මල්

මා වට කර හැමතැන පිපුණා

Monday, November 4, 2024

මැයි මාර ප්‍රසංගය ගැන..






මැයි මාර ප්රසංගය සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා. ඒක බොහොම හොඳ තත්වයක්. පොත මූලික කරගෙන ගැඹුරු හා සංකීර්ණ මනෝවිද්යාත්මක තේමා සාකච්ඡා වෙනවා. මේක පොත සම්බන්ධව විවේචනයක් හෝ ප්රසාදයක් මට්ටමෙන් ඔබ්බෙහි මෙවැනි සාකච්ඡා ඇතිවීම හැම අතින්ම හොඳයි.

අනිල් හේරත් සහ චින්තන ධර්මදාස ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම්වල මේ ගැන කතා කරල තියෙනවා දැක්කා. චින්තන සඳහන් කරල තිබුනේ මැයි මාර ප්රසංගය සමිධගේ චරිතය 90 දශකයේ බොහොමයක් තරුණයන්ගේ රෝගී මානසිකත්වය පිළිබිඹු කරන බවයි. අනිල් හේරත්ගෙ සටහනෙනුත් මතු කරන්න උත්සාහ කරල තියෙන්නෙ සමිධගේ චරිතයෙන් එවැනි මනෝව්යාධී ජනක තත්වයක් පෙන්නුම් කරනවා ද යන්න ගැන.
චින්තන මේක රෝගී තත්වයක් ලෙස ඍජුවම කියන එක හොඳ දෙයක්. ඒත් මම පුද්ගලිකව විස්වාස කරන්නේ නැහැ 90 දශකයේ මේ තත්වය වර්ධනය වුණා හෝ මේ තත්වය සහිත අය බහුල වූ බව. ඇතැම්විට යම් කාල වකවානුවක ඇති සමාජ ආර්ථික දේශාපාලන වටපිටාවේ යම් යම් බලපෑම් මත මෙවැනි මනෝභාවයන් සහිත පුද්ගලයන් බිහිවීම තීව්ර කරනවා ඇති. හැබැයි එයින් කියවෙන්නේ නැහැ අද අප ජීවත්වන යුගයේ එවැනි මානසිකත්වයක් සහිත අය බිහි නොවීමට ඉඩ නැති බව. ඒ අනූව මේක පුද්ගල මනෝ සැකැස්මක විදියක්, ආකාරයක් විදිහට දකින්න මම කැමතියි
මැයි මාර ප්රසංගයේ සමිධගේ චරිතය මළගිය ඇත්තෝ හි දෙවොන්දරා සං හා විරාගයේ අරවින්දගේ චරිතයට (තත් කාලීන බොහොමයක් සාංදෘෂ්ටික චරිත සහිත නවකතාවල ඇති චරිතවලට) යම් යම් සමානකම් අඩුවැඩි වශයෙන් තිබෙන බව නිගමනය කරමින්ම මේ සාකච්ඡාව කරන්න හිතෙනවා.
කොහොම නමුත් මැයි මාර ප්රසංගයේ සමිධගේ චරිතය අරවින්ද තරම්වත්, දෙවොන්දරා සන් තරම්වත් සංකීර්ණව විස්තාරණය වෙලා නැහැ. සමිධගේ චරිතය මේ කතාව ඇතුලේ නිරූපණය වෙන්නේ අභ්යන්තරය විශාල වශයෙන් හෙලිදරව් නොවන උපරි හෝ උත්කෘෂ්ඨ තලයක. ඒකට මේ නවකතා සඳහා ගන්නා වූ දෘෂ්ටිකෝණ පැහැදිලි බලපෑමක් කරන්න ඇති. මළගිය ඇත්තෝ සහ විරාගයේ දෘෂ්ටිකෝණ උත්තමපුරුෂයෙන් යද්දී සමිධගේ චරිතය පරිභාහිර චරිතයක් මගින් මතු කරන්නට උත්සාහ කර තිබෙනවා. විරාගයේ අරවින්දත්, දෙවොන්දරා සංගේ චරිතයේ ඇතැම් තැන්වලදිත් ඔවුන්ගේ මානසිකත්වය හැසිරෙන විකාර ආකාරය අප ඉදිරියේ සැත්කමක් කරන්නාක් මෙන් අනාවරණය වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගල මනෝභාවය ව්යාධිමය තත්වයක් ලෙසත් ඇතමෙකුට නිගමනය කරන්න පුලුවන් වන්නේ එනිසා විය හැකියි.
මේ ව්යාධිජනක බව මම ගන්නේ පටු හෝ නරක තැනකින් නෙමෙයි. කොහොම වෙතත් මේ මානසික ස්වභාවය තමාගේ ඇතුළට නැමුණු, බාහිර පරිසරය නිසා ස්වකීය තීරණ හකුලා ගන්නා, පසුබට වන, පසුගාමී හෝ ඇතැම් තැන්වල අවිහිංසක හෝ අති අවංක විලාසයක් අරගෙන තියෙනවා. මේ චරිතය ඇතුලේ හොඳ හා දුර්වලබවේ කවලමක් ඇතිබව දකින්න පුලුවන් වන්නේ ඒ නිසයි. කොහොම උනත් ඔවුන් සමාජය ඉදිරියේ දක්වන කුලෑටි හෝ නුහුරු ගති ස්වභාවයත් ඇතැම් සංකීර්ණ මානසික තෙරපුම් ඔස්සේ සිදුවන තීරණ නොගැනීම් හමුවේ ඔවුන් වෙත ඇති කරන සමාජ සානුකම්පිතවීම් පාඨක, විචාරක තලයේදී මතුවෙන බවක් පෙනෙනවා. නමුත් පැහැදිලිවම දෙවොන්දරාසං හා අරවින්දගේ චරිතවල මේ ගතිස්වභාවයන් තනි සුදු හෝ විශිෂ්ට මානව ධර්මතාවන් ලෙස හෙලිදරව් කරන්න කතුවරුන් උත්සාහ ගෙන නැහැ.
මළගිය ඇත්තෝ නවකතාවේම එක් තැනක දෙවොන්දරා සං ඔහුගේ මනෝභාවය පෙන්වන්න නොරිකෝට වෙස්මුහුණක් (යක් මුහුණක් වගේ මතක) තෑගි දෙනවා.. තමාගේ සත්ය ස්වරූපය මෙය බව ඔහු එතැනදී නොරිකෝට කියනවා. මෙවැනි සාධකවලින් අපට පැහැදිලි වන්නේ මේ සාංදෘෂ්ටික චරිතවල ඇති මනෝව්යාධිය(?) උත්කෘෂ්ඨ නොකොට එහි නිර්ව්යජී ගුණය පෙන්වන්නට එවැනි නවකතාවලින් උත්සාහ ගත් බව.
මැයි මාර ප්රසංගයේදී මෙය 'මාර' කතාවක්/ චරිතයක් ලෙස පෙනී යන්නට පටන්ගන්නේ සමිධගේ චරිතය කතාවේ කථකයා විසින් මාර පුද්ගලයෙකු ලෙස දැකීම හරහායි. ඒ අනූව සමිධගේ චරිතය අපිට යම් දුරස්ථ කියවීමක් පමණයි මෙතැනදී සිදුවන්නේ. කතාව කියන්නේ සමිධ නෙමෙයි. සමිධව අදහන, සමිධව විස්වාස කරන අනෙකෙක්. ඒ අනෙකා සමිධගේ මනෝභාවය මනෝව්යාධියක් ලෙස නොව උත්කෘෂ්ඨ මනෝභාවයක් ලෙස දකිනවා. මේ හේතුවෙන් සමිධගේ චරිතයේ ඇති කළු සුදු මිශ්රිත භාවය කියවීම පාඨකටන් අතින් දුරස්ථ කරවන අතර ප්රේමයේ මහා උත්තුංගභාවයක්, කැපකිරීමක පැතිකඩක් අප හමුවේ නිරාවරණය වෙන්න පටන් ගන්නවා.
මම කියන්න උත්සාහ ගන්නේ මේ පැතිකඩ නිරූපනය කිරීම වැරදියි හෝ නවකතාවේ අඩුපාඩුවක් බව නෙමෙයි. සමිධගේ චරිතය පාඨකයන් අතර වීරයෙක් හෝ ප්රතිවීරයෙක් ලෙස උත්පාදනය වන්නට බලපෑ හේතු මේවා විය හැකි බව දැනවීමටයි.
සමහරවිට මේ යුගයේ පාඨකයන් හෝ රසිකයන් මෙවැනි චරිතයක් වීරයෙක් හෝ උත්කෘෂ්ට ලෙස කියවා ගැනීමම එක්තරා ආකාරයකට විමර්ෂණය කළ යුතු තැනක්. මවිත විය යුතු තැනක්. මස්ඉඹුල ඒ නිගමනය අප ඉදිරියට ගෙනත් තියෙනවා. මින් පෙර මම විශ්වාස කළේ මේ යුගයේ තරුණ තරුණියයන් අතර හෝ මිනිසුන් අතර වඩාත් විශාල ප්රතිවීරයෙක් ලෙස මතුවන්නට ඉඩ ඇත්තේ ඉන්දියානු සිනමාව කැලඹූ ඇනිමල් චිත්රපටයේ රන්බීර් කපූර් නිරූපනය කළ චරිතය බවයි. නමුත් ලංකා සමාජය ඒ චරිතය විවච්ඡේදනය කළ බවක් මෙතෙක් දුටුවේ නැහැ.

Thursday, August 1, 2024

දුම්රිය දිවෙයි දුරාතීතෙට




කාලෙකින් දුම්රියේ යන්න ලැබුනා. කෝච්චිය කියනවට වඩා මං කැමති දුම්රිය කියල කියන්න. දුම්රියක කියන වචනාර්ථයේ දැනවෙන තරමේ දුමක් දැන්  නොනැගෙතත් දුම්රිය වචනයේ සෞන්දර්ය අපිව පැරනි බවක හැඟීම තවමත් දනවන්න සමත් බවක් තියෙනවා.  දුම්රියක් කිව්වම හිතට එන්නෙම අතීතයට අයත් වස්තුවක් වගේ හැඟීමක්. අවට ලෝකයේ සෑම සියලු දෙයක්ම නවීකරණය උනත් දුම්රිය   පද්ධතියට තුල පවතින සියලු අංගෝපාංග එක්කම අතීතය තුළ පැවතීම එක්තරා ආකාරයකට අතීතකාමී සන්තෝසය ද කවලම් වූ විස්මය දනවන්නක්. ලංකාවෙ අති නවීන නගරෙක උනත් පිහිටා තිබෙන ඉස්ටේසමක් පැරණි බංගලාවක් වගේ තවමත් නවීන ගොඩනැගිලි අස්සේ පාඩුවේ  ඉඳගෙන ඉන්නව දකින්න පුලුවන්.  

දුම්රියේ ගමන වෙහෙසකර නොවන ගමනක්. දුම්රිය කවුලුවකින් එලිය බලාගෙන ඕනතරම් දුරක් යන්න පුලුවන් කමකුත් තියෙනවා. ඉස්සර පේරාදෙනි ඉන්න කාලෙ තමයි දුම්රියේ නිතරම ගියේ ආවේ.   දවස්වල ගාල්ලෙන් දුම්රියේ නැග්ගෙ හවස 2.45 එකට. මාතර ඉඳන් ආපු දුම්රියේ ඇතැම් දවස්වලට වාඩිවෙන්න ආසනයක් සෙට් උනෙත් නැහැ. වගේ දවසට එලියෙ දොරටුවකට වෙලා කල්පනාවක් දාගෙන ඔහේ පැද්දි පැද්දී යන එකෙත් වෙනම සුන්දරත්වයක් තිබුණා.

ගාල්ලෙ ඉඳන් පේරාදෙනියට සම්පූර්ණ දුම්රිය ගමන පැය 07ක් විතර ඇති. පේරාදෙනියට දුම්රිය ලඟා වෙද්දී රෑ 9ත් පහු වෙනවා. වේයන්ගොඩ, රාගම වගේ පහුවෙද්දී දුම්රියේ මගී තදබදය අවම වෙනවා. ඊට සමගාමීව රාත්රී අන්ධකාරය මුළු පරිසරයත්, දුම්රියත් වෙලා ගැනෙනවා. දුම්රිය ඇතුලේ තියෙන්නෙ මුඩු පැහැ ආලෝකයක්. අන්ධකාරය මුහුවෙච්ච මුඩු ආලෝකය ඇතුළෙ අපි අනිර්වචනීය  කාල අවකාශයක තනි වෙන්න ගන්නවා.  

එහෙම දවසට කවුලුවට මූන බර කරගෙන ඈත අනන්තයක් වෙත නෙත් එල්ලගෙන යන ගමනේ සුවදායී බවක් මට නිරන්තරයෙන් දැනී තියෙනවා. හවසත් රෑත් අතර අතරමැදි මොහොතක තැඹිලිපාට වලාකුළු පසුබිමක හාත්පස පරිසරයේ ගස්, ලයිට් කනු, ලයිට් කම්බි කළු හෙවනැලි වගේ සිත්තම් වෙනවා. ඒක හඳ තියෙන දවසක් නම් හඳත් දුම්රියේ ගමනේ වේගයට එක්කාසු වෙලා ගමනේ නිරත වෙනවා.

රඹුක්කන පහුවෙද්දි දුම්රිය බොහෝදුරට හිස් වෙනවා. අපිට එක් අසුනක නිදාගන්න තරම් සැහැල්ලුවක්, නිදහසක් දුම්රිය පෙට්ටිවල පාවෙනවා. දුම්රිය පෙට්ටි අතරේ එහා මෙහා යද්දී ඇතැම් අසුනක පෙම්වතුන් යුවලවල් නිදහසේ පෙම් සුව විඳිනු දකින්නත් ලැබෙනවා. එතකොට මට චන්දන ලියනාරච්චි කියන මේ සින්දුව මතකෙට නැගෙනවා. මම ඒ සින්දුව සිතින් මුමුනනවා.

අහස් තලාවේ

කවුලු දොරෙන් පිට

සේද වලා සිතුවම් නිසලයි

අපගෙ නවාතැන

පෙර ඒ අසුනෙම

සුපෙම්වතුන් හසරැල් මුමුණයි

 

සමරු පොතේ ඔබ ලියු ඒ සොඳුරු කවි

අදත් තවම එහෙමයි

දුම්රිය අසුනේ ඔබ ලඟට වෙලා හිදී

සුසුම් සුවඳ විතරක් අහිමියි.

https://www.youtube.com/watch?v=92NWXB1skJY

 

 තෙමි තෙමිම මම පොතේ අඩංගු මේ කවිය ලියවෙන්න ඇත්තේ ඔහොම හුදකලා පාලු ගමන්වල සාරය මගේ මතක අස්සේ තිබුනු නිසා බවයි අද මට සිතෙන්නෙ.

 

 

කවුලුවෙන් සුලං වද්දමින් මුහනට

දුම්රිය දිවෙයි  දුරාතීතෙට

 

නා නා රූ

වැදි වැදී දෑස් මත

මතක පීලි දිගේ - විසිවෙයි

අමතකය වෙත

 

ගනාඳුරු බිංගෙයින් පසුව

එලඹෙයි එලිමහන් අඳුරකට

 

සුපුරුදුම ගීයක

නුපුරුදු සංවේදනා මතුකරයි

බටනලාවක කටහඬ

 

 

දුම්රිය වචනෙ වගේම ඉස්ටේසම කියන වචනෙ ඇතුලෙත් මොකක්දෝ සාහිත්යාත්මක සෞන්දර්යයක් තියෙනවා. මේ තාක් මම ලියල තියෙන බොහෝ කවි, කෙටිකතාවල ඉස්ටේසමක්, දුම්රියක් තියෙනවා කියල මට දැන් දැන් මතක් වෙනවා.

දුම්රියේ තුන්වන පන්තියේ තියෙන්නෙ සම්මුඛ ආසන. මුහුනට මුහුන බලාගෙන යන ආසන. අපිට ආගන්තුක, අඳුනන්නෙවත් නැති මිනිස්සු එක්ක මුහුනට මුහුණලා වාඩිවෙලා ගමනක් යන එක දුම්රියක ඇරෙන්න වෙනත් කොහෙන්වත් ගන්න පුලුවන් විරල අත්දැකීමකුත් නෙමෙයි. කැම්පස් කාලෙ දුම්රියේ යන අතරෙ එහෙම අත්දැකීම් ගොන්නකටත් මුහුනදීල තියෙනවා. යන එන අතරෙ ලියවුනු ළාමක කවියක් දැනුත් මට මතකයි

 

ඔබත් මමත් දුම්රිය තුළ

මුනගැසි මේ සොඳුරු මොහොත

මා ඉදිරියෙ අසුනෙහි හිඳ

ඔබ නෙත බිම බලාන ඇත

 

පෙරට ඇදෙන දුම්රිය මත

මම ඔබවෙත ඇදෙනා කළ

ඔබව රැගත් අසුන සමඟ

ඔබ යයි තව ආපස්සට

 

ටකස් ඩකස් ටකස් ඩකස්

දුම්රිය හඬ සහනයක්ය

මා හදවත ගැහෙනා හඬ

එවිට ඔබට නෑසෙනු ඇත

 

ඈත ඉඳන් සොඳුරු දසුන්

මාවෙත වේගෙන් ඇවිදින්

මා පසුකර දිවයන යුරු

කවුළු මතින් දුටුවෙමි මම

 

මෙම දුම්රිය රැගෙන ඇදෙන

පීලි වගෙ ඔබ සහ මම

ඉඳගෙන සිටියට එකලඟ

කෙදිනකවත් එක් වේවිද?

 

ඉඟි නැති ප්‍රෙහේලිකාවක් - ජයතිලක කම්මැල්ලවිර

  කෙටිකතාවක අන්තර්ගතය හා ව්‍යුහය අතර සම්බන්ධය පැහැදිලි කිරීමක්. “ නන්දිකාගේ වයස දැන් අවුරුදු තිස් දෙකයි. නන්දිකා කසාද බැඳල දැන් අවුරුදු ...