යොවුන් නවකතා කියවන පුරුද්දක් ඇත්තටම මට තිබිල නැහැ. ඒක මට අයිති නැති වෙනම ධාරාවක් වගේ අදහසක් තමයි මගේ හිත ඇතුලෙ තියෙන්න ඇත්තෙ. කොහොම උනත් ජා ජා ඩිං මෑත කාලයේ හොඳම යොවුන් නවකතාව බවට සම්මාන දිනා තිබීමත්, ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක්ම මේ කතාවේ යම් විශේෂී බවක් තිබෙන බව සඳහන් කළ නිසාම හා මින් පෙර කසුන් සමරතුංගගේ කළුවරට බය කාමරේ ඇතුලෙ නම් කෙටිකතා පොත කියවා තිබීම යන කාරණා සියල්ලෙහිම අඩුවැඩි බලපෑමෙන් ජා ජා ඩිං කියවන්න යොමුවුණා.
නම අමුතු උනත් මේ කතාව ආරම්භ වෙන්නෙ ඉතාම සරල හෝ විශේෂී නොවන තැනකින්. සඳරු නම් ප්‍රධාන
චරිතයේ උත්තමපුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාව ගලාගෙන යතත් මේක උත්තම පුරුෂ
දෘෂ්ටිකොණයෙනුත් ඔබ්බට ගොස් විඥ්ඥානධාරා රීතියට ද නෑකම් කියන බවක් පේනවා. මේ කතාවෙ
ගොඩක් තැන්වල කථකයාගේ මනෝභාවය නිරූපනය කිරීම නිසයි එහෙම දැනෙන්නෙ.
මෙතනදි කසුන් ප්‍රධාන චරිතයේ පවුල් පසුබිම ගොඩනගන විදිහ
ඉතාම වැදගත්. සඳරු ජීවත් වෙන්නෙ නිරෝගී පවුලක. ඔහු තාත්ත එක්ක තියෙන්නෙ යහළුවෙක්
එක්ක තියෙනව වගේ සමීප සම්බන්ධයක්. එසේම සඳරු තමන්ගෙ අයිය එක්ක තියෙන්නෙත් එවැනිම
පොහොසත් මිත්‍ර සම්බන්ධයක්. තමන්ගෙ ගැඹුරුම
රහසක් පවා සඳරු හෙළි කරන්නෙ තමන්ගෙ සහෝදරයට. අයියට. සහෝදරය පවා ඒකට ඇහුම්කන් දෙන්නෙ ඉතා වැදගත් ආකාරයකට.
ඒ කතාවට වටිනාකමක් දෙන ආකාරයට.
සඳරුට මුණගැසෙන බෝතල් අඩි දාන අමුතු මිත්‍රයා වෙනස් කෙනෙක්. ඔහු වෙනත්
පන්තිවලින් ප්‍රතික්ෂේප වෙච්ච, අසාධාරණයට ලක් වෙච්ච හුදකලා ජීවිතයක් ගත කරන යහළුවන්
ගොඩනගාගන්න අසමත් පිරිමි ළමයෙක්. අනෙක් විශේෂම කාරණය ඔහු රෝගයකින් ද පීඩා විඳිනවා.
සඳරු හා මේ හුදකලා පිරිමි ළමයා වටා ඇතිවන මිත්‍ර
සම්බන්දයේ සුන්දරත්වය තමයි ජා ජා ඩිං කතාව ඇසුරින් අප ඉදිරියේ දිග හැරෙන්නෙ.
යහළුවන් ජීවිතයට කොතරම් වැදගත්ද, අපේ ජීවිතයේ රහස්, වේදනා, සතුටු ඉතිරෙන තැන්වලදී
කොන්දේසි විරහිතව අපිව භාරගන්න, විනිවිද දකින්න, විස්වාස කරන්න පුලුවන් සමීපතමයෙක්
සිටින එකේ වැදගත් කම මේ යොවුන් නවකතාව ඇසුරින් ඉතා සියුම්ව පෙන්නුම් කරනවා.
මනුජ නම් වූ හුදකලා රෝගී ළමයාගේ පවුල් පසුබිම සඳරුට සාපේක්ෂව
ඉතා අන්ධකාර තැනකයි තියෙන්නෙ. මධ්‍යමපාන්තික පවුලක් වෙන ඔවුන්ගේ දෙමාපියන් අවිවේකී ජීවිත ගත කරන්නන්. මනුජට
වෙනත් සහෝදරයන් කිසිවෙක් නැහැ. ඔහු හැමදාම සිටින්නේ මේ හුදකලා බරින් මිරිකෙමින්.
ඔහුගේ ජීවතයට ඔහුව විශ්වාස කරන සමීපතමයෙකුගේ අවශ්‍යතාව පිපාසයක් සේ දැනෙමින් තිබෙන
මොහොතකයි සඳරු ඔහු වෙත යොමුවෙන්නේ. ඒකත් සඳරු විසින්ම හිතා මතා ගන්න තීරණයක් අනූව
නෙමෙයි. මුලින් කිව්වාක් සේ සඳරු වටා තියෙන මිනිසු පවුර පොහොසත්. ශක්තිමක්. තමා
වෙත පැමිණෙන, තමන් සමඟ මිත්‍ර වන්නට පැමිණෙන අසාමාන්‍ය ගති ඇති ළමයා ගැන සඳරු තම
අයියා එක්ක කියනවා. සහෝදරයන් අතර ගනුදෙනුව ඉතා සාර්ථක හා දියුණු එකක් නිසාම අයියා
ඔහුට ඇහුම්කන් දෙනවා පමණක් නෙමෙයි සඳරු කළ යුතු දේ ගැන විස්තර කරමින් ඔහුව ඒ වෙත යොමු
කරන්නත් පියවර ගන්නවා. මහේල සර් නම් සඳරුලාගේ පන්තිභාර ගුරුවරයාගෙන් ද මෙතැනදී ලැබෙන
සේවය ඉතා විශිෂ්ටයි.
සමාජය තියුණු ලෙස විවේචනය කරන නිර්මාණ මගින් සේම සමාජයේ
විරල යහපත් හෝ පොහොසත් පුද්ගලයන් පියවර ගන්නා ආකාරය පෙන්වීම තුළින් ද ඉතා හොඳ
සමාජයක් ප්‍රතිනිර්මාණය කරන්නට හැකි බව ජා
ජා ඩිං යොවුන් නවකතාව හරහා අපට කියා දෙනවා.
ජා ජා ඩිං සරල කතාවක් විදිහට ගලාගෙන ගියත් මේකෙ චරිත
පුද්ගලයන් ක්‍රියාකරන ආකාරය අනුව ඉතා සියුම් මානෝවිද්‍යාත්මක තලයක් ද ස්පර්ෂ කරනවා.
ඒ අතින් ජා ජා ඩිං කියන්නෙ යොවුන්, වැඩිහිටි සැවොම කියවිය යුතු ආකාරයේ කෘතියක්.