ඉකාරස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කතාවක චරිතයක්. ඒ කතාව දැනටමත් ගොඩක් අය දන්නවා ඇති. කතාව නොදන්න අය වෙනුවෙන් සරලව කතාව කිව්වොත් මෙහෙමයි. තාත්ත කෙනෙක් සහ පුතෙක් ඔවුන්ගේ නසරානි වැඩ නිසා හිරගෙදරකට දාල ඉඳල තියෙනවා කාලයක්. මුහුදක් අද්දර. ඉතින් මේ තාත්තට අදහසක් ඇවිල්ල තියෙනවා අපි මේ හිරෙන් පැනල යන්න නම් අත්තටු නිර්මාණය කළ යුතුයි කියල. ඒ අනූව දෙන්න සිරගෙදර ඇතුළට වැටෙන කුරුලු පිහාටු කාලාන්තරයක් තිස්සේ එක්කාසු කරලා කරලා පියාපත් හදාගත්තලු. කුරුලු පිහාටු ගණනාවක් එස්කාසු කරලා ඉටිවලින් අලවලා තමයි මේ ලොකු පියාපත් නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙම හදාගෙන දෙන්නා යම් නිශ්චිත දිනයක පියාඹන්න පටන් අරන් තියෙනවා.
පියාඹන දවසේ තාත්තා පුතාට අවවාද කරල තියෙනවා වැඩි දුර යන්නෙ හෝ සූර්යයා දෙසට යන්න එපා කියල. නමුත් තරමක් දුර පියාඹද්දී පුතාට හිතිල තියෙනවා හිතුමතේ පියාඹන්න. සූර්යයා දෙසට ගමන් කරන්න. ඒ වෙලාවෙ ඉර පායලා රශ්මිය ගොඩක් දැනුන් වෙලාවක්. ඉතින් සූර්ය රශ්මිය වැඩි නිසා අලවලා තිබ්බ ඉටි දියවෙලා ඉකාරස් මුහුදට වැටිලා මිය ගිහින්.
ග්‍රීක මිත්‍යා කතාව ඔහොමයි.
හැබැයි මේ ඉකාරස් කතාවෙන් ඉකාරස්ගේ ඇද වැටීම කියන සිතුවම ඇඳල තියෙන pieter bruegel නම් චිත්‍ර ශිල්පියා අපිට පෙන්වන්නෙ වෙනම යථාර්ථයක්. ඉහත කිව්ව කතාවට වැඩි කතාවට වැඩි කතාවක් මේ චිත්‍රයේ දකින්න පුලුවන්. Pieterට වස්තු විෂය වෙලා තියෙන්නෙ ඉකාරස් පිහාටු දියවෙලා, මුහුදට වැටෙන මොහොත. නිකමට හිතන්න අපි හුඟ දෙනෙක් මේ මොහොත පරිකල්පනය කළොත් අපිට හිතෙන්නෙ අහසේ ඉඳන් පිහාටු දියවෙලා බිමට වැටෙන තරුණයෙක්වනෙ.
නමුත් පීටර් බෘවේගල් මේක ඇඳල තියෙන්නෙ ඉකාරස්ව නාබිගත කරල නෙමෙයි. මේ සිත්තම ඇතුලෙ ඉකාරස්ව හොයාගන්නත් තරමක් අසීරුයි. ඔහු පෙන්වන්නෙ ඒ තරම් විශේෂ නොවන අඳුරු තැනක. ඉකාරස් ඇද වැටේ නම් වැටිය යුත්තේ මුහුදේ ආලෝකය එල්ල වී ඇති කේන්ද්‍රයට වුවත් එතැන පවතින්නේ හිස්ව. සිතුවමේ පෙරබිමට මතුවෙලා පෙනෙන්නෙ කම්කරුවන්. ගොවියන්, එඩේරයෙක්, ධීවරයෙක් වැනි චරිත.
ඉකාරස් පිහාටු ගැලවී මුහුදට වැටෙන්නේ ධීවරයෙක් ආසන්නයේ වන නමුත් ධීවරයා එදෙස බලන බවක් පෙනෙන්නේ නැහැ.
සත්තකින්ම මෙය 1560 දී අඳින ලද්දක් වුවත් මේ සිතුවමෙන් බෘවේගල් නිරූපනය කරන යථාර්ථය නූතනය දක්වාම එකසේ ගැලපෙන එකක් බව පෙනෙනවා. ඉකාරස් පතිත වෙද්දී අවට ලෝකය ඒ දෙස ගණනක් නැතිව තම තමන්ගේ පුද්ගලික කාර්යයන්වල නිරතවෙමින් ඉන්නවා. ඉකාරස් වැටෙනවාද, ඔහු බේරගත යුතුද, ඔහුගේ ඉරණම කුමක්ද වැනි කිසියම්ම කම්පිත දෙයක් ඔවුන්ට සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. අනෙකාගේ ඛේදවාචකය පොදු සමාජය කම්පනය නොකරන බව ද මේ සිත්තම මගින් පීටර් බෘවේගල් අපට සැල කර සිටින්නේ? අපි වටෙත් ඉකාරස්ල ඕනෑ තරම් පිහාටු ගැලවෙමින් ඇද වැටෙමින් පවතිනවාද?
මේ සිත්තමේ කම්කරුවන් වගේ අපිත් අපේ වැඩ කරමින් සිටිනවාද?
No comments:
Post a Comment