සමර විජේසිංහව මම මුලින් අඳුන ගන්නෙ චූල ගායිකාව නම් පොතෙන්. ඒක කෙටි කෙටිකතා පොතක්. අමුතු ආකාරයේ පොතක්. ලියන විදිහ, කතාව ගලාගෙන යන ආකාරය, ඒ තේමා සියල්ලෙහිම නැවුම් බවක් පෙනෙන්න තිබුණා. මම සමරව සොයන්න ගත්තා. ගෝත්‍රිකාව පොතත්, එක කවිය සියවරක් පොත් මට මුණගැසුනෙ එතකොට. සමර ෆේස්බුක් අවකාශය පාවිච්චි කරල තිබුණෙ අපි ෆේස්බුක් එන්න හුඟක් කලින් ඉඳල. ඔහු ඔහුටම අනන්‍ය කවි ධාරාවක් යටතේ සමකාලීන කවි කිවිඳියන් එක්ක හැපෙමින් කවි සංවාදයේ යෙදෙමින් කවි ගොමුවක් ඇතිකරගෙන බව මම දැනගත්තෙ ඔහුගෙ මරණෙනුත් පස්සෙ.
ජීවිතේ එකම එක දවසක් සමරව හැබහින් දකින්න මට පුලුවන්
උනා. ඒ 2010 දි විතර. නුගේගොඩ ක යන්න වි යන්න කියල කවි කියවන වැඩසටහනක් සංවිධානය
උනා ඔය කාලෙ. කවි ගැන කකියන උනන්දුවක් තිබ්බ ඒ කාලෙ අපි දුරබැහැර ඉඳන් පවා ඒවට
සහභාගී වෙන්න පුදුම ආසාවකින්. එක් වතාවක් ක යන්න වි යන්නෙ සංවිධානය උනේ සමරගෙ කවි
ගැන සංවාදයක්. සමර ගැන කුහුලක් උනන්දුවක් තිබ්බ නිසාම මමත් දෙපාරක් නොහිතා කයන්න
වියන්නට ගොඩ උනා. සමර පළමු වතාවෙ දැක්කම මගේ ඇස් අදහගන්න පවා අසීරු උනා. සමර නමින්
වගේම සමරගෙ ලියකියවිලි වලින් මං පරිකල්පනය
කරගෙන හිටියෙ තරුණ ලේඛකයෙක්. නමුත් හැබහින් මගේ ඇස් ඉස්සරහ උන්නෙ අවුරුදු 60ත් පැනපු
වයෝවෘද මනුස්සයෙක්. එතකොට ඒ වෘද්ධ මනුස්සයද අර තරුණ ආකෘති හරඹ සහිත කෙටිකතා, කවි ලියන්නේ? මං මගෙන්ම
ඇහුවා.
ඔය කාලෙ ආදර කවි වලට වඩා සමාජයේ මූලික තැන තිබුණෙ දේශපාලනික
ගැඹුරක් සහිත කවි වලට. දේශපාලනික කියන වචනය
අරන් මම මෙතනදි කියන්න අදහස් කළේ සමාජ,
සංස්කෘතික විශමතා සම්බන්ධ කවිවලට විචාර අවකාශයේ ලොකු ඉඩක් වෙන් උනා කියන එක. කවියේ දේශපාලනය වගේ තේමා තමයි නිරන්තරයෙන් කතාබහ
උනෙත්.
එදා සංවාදයේදී මට හැඟුනු ආකාරයට සමරගෛ කවිය ඇගයෙනවට වඩා
උනේ විවේචනය කිරීම. විශේෂයෙන්ම එක කවිය සියවරක් කෘතියේ කවි සම්බන්ධයෙන් තද
විවේචනයක් කිහිප දෙනෙකුගෙන්ම මතු උනා. සමර මේ සියල්ල සාවධානව සන්සුන් සිනාවකින් යුත්කව අසා සිටි බවක් මට මතකයි.
ඔය අතරෙ වසර කිහිපයකින් ආරංචියක් ආවා සමර ජීවිතය හැර
ගිහින් බව. සමරගෙ මරණයට හේතුවවත් ඔහුගේ මරණය සම්බන්ධයෙන්වත් කිසි දෙයක් මම ගැඹුරින්
දන්නෙ නැහැ. කොහොම හරි ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ ෆේස්බුක් ගිණුමත්, නොසිදුවීම් යනුවෙන්
පවත්වාගෙන ගිය ඔහුගේ බ්ලොග් පිටුවත් මරණයට පත්ව තිබුනා. තවමත් ඔහුගේ නිර්මාණ අන්තර්ජාලයෙන්
සොයන්නෙකුට හමුවෙන්නෙ නැති තරම්. ගොත්‍රිකාව, චූලගායිකාව හෝ එකකවිය සියවරක් කෘතිවල
අලුත් පිටපත් සොයාගන්න තිබෙනවාදැයි දන්නෙත් නැහැ.
සමරගෙ ෆේස්බුක් පිටුව අක්‍රිය කිරීමත්, බ්ලොග් පිටුව අක්‍රිය
කිරීමත් සමරගේ අවසන් කැමැත්ත මත සිදුවූවක්ද නැද්ද ගන්න ගැන පවා මම හරියාකාරව දැනුවත්
නැහැ. කොහොම උනත් සමරගෙ නොපළ නිර්මාණ බොහොමයක් අන්තර්ජාලයේ පලවී තිබුණු බවක් පමණක්
මා දැනුවත්. එවැනි නිර්මාණ සන්තකව ඇති කිසිවෙකු හෝ සිටී නම් එය කෘතියක් වශයෙන් පල
කිරීමට හෝ එසේත් නැතිනම් ඔහුගේ නිර්මාණ අඩංගු බ්ලොග් පිටු නැවත සක්‍රීය කරන්නේ නම්
එය සමරගේ පාඨකයන් පැත්තෙන් ගනු ලබන යහපත් තීරණයක් බව මට සිතෙනවා.
නිර්මාණකරුවන්ගේ අභාවයන්ගෙන් පසු එම නිර්මාණකරුවන්ගේ
අවසන් කැමැත්ත ද නොතකා ඔවුන්ගේ නොපළ කෘති පල කිරීමට පෙළඹුනු අවස්ථා ලෝකයේ කොතෙකුත්
අසන්නට දකින්නට පුලුවන්. එවැනි ඇතැම් නිර්මාණ ඉතා ආදරයෙන් පාඨකයන් වැලඳගත් අවස්ථා
ද නැත්තේ නැහැ.
අවසන් වශයෙන් මා සිතන්නේ සමර නැමති නිර්මාණකරුවා ඔහුගේ
භෞතික මරණයෙන් පසු මිය යාමට සැලැස්වීම සමරව
සහෘදයාට අහිමි කිරීමක් වන බවයි. ඔහුගේ නිර්මාණ හැකිතාක් ලෝකයට විවෘත විය යුතුයි.
එයින් රසිකයන් තව තවත් අමන්දානන්දයට පත් වීමට ඇති ඉඩකඩ අවහිර නොකළ යුතුයි. සමර
අමරණියත්වයට පත් වන්නේත් සමරව අපට සමරන්නට හැකි වන්නේත් එවැනි තත්වයක් තුළයි.
දිලිසෙන පියවර
අප එවා ඇත
වරක් පමණක්
මේ පොළොව මත
කෙටි දුරක් ඇවිද යාමට
සතුටු වෙමි
ඒ කෙටි දුරින්
බොහෝ දුරක් මා පැමිණි පසු
අප එකට
දිලිසෙන පියවර කිහිපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ
මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කිහිපයය
සමර විජේසිංහ
No comments:
Post a Comment