Thursday, August 1, 2024

දුම්රිය දිවෙයි දුරාතීතෙට




කාලෙකින් දුම්රියේ යන්න ලැබුනා. කෝච්චිය කියනවට වඩා මං කැමති දුම්රිය කියල කියන්න. දුම්රියක කියන වචනාර්ථයේ දැනවෙන තරමේ දුමක් දැන්  නොනැගෙතත් දුම්රිය වචනයේ සෞන්දර්ය අපිව පැරනි බවක හැඟීම තවමත් දනවන්න සමත් බවක් තියෙනවා.  දුම්රියක් කිව්වම හිතට එන්නෙම අතීතයට අයත් වස්තුවක් වගේ හැඟීමක්. අවට ලෝකයේ සෑම සියලු දෙයක්ම නවීකරණය උනත් දුම්රිය   පද්ධතියට තුල පවතින සියලු අංගෝපාංග එක්කම අතීතය තුළ පැවතීම එක්තරා ආකාරයකට අතීතකාමී සන්තෝසය ද කවලම් වූ විස්මය දනවන්නක්. ලංකාවෙ අති නවීන නගරෙක උනත් පිහිටා තිබෙන ඉස්ටේසමක් පැරණි බංගලාවක් වගේ තවමත් නවීන ගොඩනැගිලි අස්සේ පාඩුවේ  ඉඳගෙන ඉන්නව දකින්න පුලුවන්.  

දුම්රියේ ගමන වෙහෙසකර නොවන ගමනක්. දුම්රිය කවුලුවකින් එලිය බලාගෙන ඕනතරම් දුරක් යන්න පුලුවන් කමකුත් තියෙනවා. ඉස්සර පේරාදෙනි ඉන්න කාලෙ තමයි දුම්රියේ නිතරම ගියේ ආවේ.   දවස්වල ගාල්ලෙන් දුම්රියේ නැග්ගෙ හවස 2.45 එකට. මාතර ඉඳන් ආපු දුම්රියේ ඇතැම් දවස්වලට වාඩිවෙන්න ආසනයක් සෙට් උනෙත් නැහැ. වගේ දවසට එලියෙ දොරටුවකට වෙලා කල්පනාවක් දාගෙන ඔහේ පැද්දි පැද්දී යන එකෙත් වෙනම සුන්දරත්වයක් තිබුණා.

ගාල්ලෙ ඉඳන් පේරාදෙනියට සම්පූර්ණ දුම්රිය ගමන පැය 07ක් විතර ඇති. පේරාදෙනියට දුම්රිය ලඟා වෙද්දී රෑ 9ත් පහු වෙනවා. වේයන්ගොඩ, රාගම වගේ පහුවෙද්දී දුම්රියේ මගී තදබදය අවම වෙනවා. ඊට සමගාමීව රාත්රී අන්ධකාරය මුළු පරිසරයත්, දුම්රියත් වෙලා ගැනෙනවා. දුම්රිය ඇතුලේ තියෙන්නෙ මුඩු පැහැ ආලෝකයක්. අන්ධකාරය මුහුවෙච්ච මුඩු ආලෝකය ඇතුළෙ අපි අනිර්වචනීය  කාල අවකාශයක තනි වෙන්න ගන්නවා.  

එහෙම දවසට කවුලුවට මූන බර කරගෙන ඈත අනන්තයක් වෙත නෙත් එල්ලගෙන යන ගමනේ සුවදායී බවක් මට නිරන්තරයෙන් දැනී තියෙනවා. හවසත් රෑත් අතර අතරමැදි මොහොතක තැඹිලිපාට වලාකුළු පසුබිමක හාත්පස පරිසරයේ ගස්, ලයිට් කනු, ලයිට් කම්බි කළු හෙවනැලි වගේ සිත්තම් වෙනවා. ඒක හඳ තියෙන දවසක් නම් හඳත් දුම්රියේ ගමනේ වේගයට එක්කාසු වෙලා ගමනේ නිරත වෙනවා.

රඹුක්කන පහුවෙද්දි දුම්රිය බොහෝදුරට හිස් වෙනවා. අපිට එක් අසුනක නිදාගන්න තරම් සැහැල්ලුවක්, නිදහසක් දුම්රිය පෙට්ටිවල පාවෙනවා. දුම්රිය පෙට්ටි අතරේ එහා මෙහා යද්දී ඇතැම් අසුනක පෙම්වතුන් යුවලවල් නිදහසේ පෙම් සුව විඳිනු දකින්නත් ලැබෙනවා. එතකොට මට චන්දන ලියනාරච්චි කියන මේ සින්දුව මතකෙට නැගෙනවා. මම ඒ සින්දුව සිතින් මුමුනනවා.

අහස් තලාවේ

කවුලු දොරෙන් පිට

සේද වලා සිතුවම් නිසලයි

අපගෙ නවාතැන

පෙර ඒ අසුනෙම

සුපෙම්වතුන් හසරැල් මුමුණයි

 

සමරු පොතේ ඔබ ලියු ඒ සොඳුරු කවි

අදත් තවම එහෙමයි

දුම්රිය අසුනේ ඔබ ලඟට වෙලා හිදී

සුසුම් සුවඳ විතරක් අහිමියි.

https://www.youtube.com/watch?v=92NWXB1skJY

 

 තෙමි තෙමිම මම පොතේ අඩංගු මේ කවිය ලියවෙන්න ඇත්තේ ඔහොම හුදකලා පාලු ගමන්වල සාරය මගේ මතක අස්සේ තිබුනු නිසා බවයි අද මට සිතෙන්නෙ.

 

 

කවුලුවෙන් සුලං වද්දමින් මුහනට

දුම්රිය දිවෙයි  දුරාතීතෙට

 

නා නා රූ

වැදි වැදී දෑස් මත

මතක පීලි දිගේ - විසිවෙයි

අමතකය වෙත

 

ගනාඳුරු බිංගෙයින් පසුව

එලඹෙයි එලිමහන් අඳුරකට

 

සුපුරුදුම ගීයක

නුපුරුදු සංවේදනා මතුකරයි

බටනලාවක කටහඬ

 

 

දුම්රිය වචනෙ වගේම ඉස්ටේසම කියන වචනෙ ඇතුලෙත් මොකක්දෝ සාහිත්යාත්මක සෞන්දර්යයක් තියෙනවා. මේ තාක් මම ලියල තියෙන බොහෝ කවි, කෙටිකතාවල ඉස්ටේසමක්, දුම්රියක් තියෙනවා කියල මට දැන් දැන් මතක් වෙනවා.

දුම්රියේ තුන්වන පන්තියේ තියෙන්නෙ සම්මුඛ ආසන. මුහුනට මුහුන බලාගෙන යන ආසන. අපිට ආගන්තුක, අඳුනන්නෙවත් නැති මිනිස්සු එක්ක මුහුනට මුහුණලා වාඩිවෙලා ගමනක් යන එක දුම්රියක ඇරෙන්න වෙනත් කොහෙන්වත් ගන්න පුලුවන් විරල අත්දැකීමකුත් නෙමෙයි. කැම්පස් කාලෙ දුම්රියේ යන අතරෙ එහෙම අත්දැකීම් ගොන්නකටත් මුහුනදීල තියෙනවා. යන එන අතරෙ ලියවුනු ළාමක කවියක් දැනුත් මට මතකයි

 

ඔබත් මමත් දුම්රිය තුළ

මුනගැසි මේ සොඳුරු මොහොත

මා ඉදිරියෙ අසුනෙහි හිඳ

ඔබ නෙත බිම බලාන ඇත

 

පෙරට ඇදෙන දුම්රිය මත

මම ඔබවෙත ඇදෙනා කළ

ඔබව රැගත් අසුන සමඟ

ඔබ යයි තව ආපස්සට

 

ටකස් ඩකස් ටකස් ඩකස්

දුම්රිය හඬ සහනයක්ය

මා හදවත ගැහෙනා හඬ

එවිට ඔබට නෑසෙනු ඇත

 

ඈත ඉඳන් සොඳුරු දසුන්

මාවෙත වේගෙන් ඇවිදින්

මා පසුකර දිවයන යුරු

කවුළු මතින් දුටුවෙමි මම

 

මෙම දුම්රිය රැගෙන ඇදෙන

පීලි වගෙ ඔබ සහ මම

ඉඳගෙන සිටියට එකලඟ

කෙදිනකවත් එක් වේවිද?

 

පාරාදීසයට යන පාර දිගේ

 


පැරඩයිස් චිත්‍රපටය ගැන කොතෙකුත් විචාර, අදහස් පළවෙලා තිබුණත් ඒ එකක්වත් නොකියවා ෆිල්ම් එක බැලුවා. සාමාන්‍යයෙන් ඒක තමයි මගේ විදිහ. කොටින්ම නිර්මාණයක් ගැන බාහිර සමාජයේ ඇතිවන කතිකාව මගේ රසවින්දවයට විශාල බලපෑමක් කර නොගෙන යම් තාක් දුරකට හෝ ස්වාධීන හා පැහැදිලි මනසකින් ඒක බලන්න මම කැමතියි. 

මූලිකවම පැරඩයිස් මාව කැළඹිමට ලක්කළ චිත්‍රපටයක් නෙමෙයි. ෆිල්ම් එකේ අවසානය වෙත ගමන් කරද්දී ඒකත්  එක්ක අනන්‍ය වෙන්න බැරි වියවුල තදින්ම දැනෙන්න ගත්තා. මාත් එක්ක චිත්‍රපටය නරඹපු අනෙක් මිතුරන් තිදෙනාම පැරඩයිස් ගැන කතා කළේ දැඩි වර්ණනා මුඛයෙන්. ෆිල්ම් එක ගැන විචාර සටහන් එකින් එක කියවන්න යොමු වුනේ ඊට පස්සෙයි.   චිත්‍රපටය විසින් මාව වසඟයට නොගැනීමත්, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා උද්දාමයෙන් වරණනා කිරීමත් අතරේ  පැරඩයිස් මාව නොකැලඹූ හේතුව හොයා පාදගන්න, මටම පැහැදිලි කරගන්න මම උත්සාහ ගත්තා. මේ සටහන ලියවෙන්නේ ඒ ගැනයි. 

මට තදින්ම දැනුනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක (කේශව හා අම්රිතා) ඔවුන්ගේ අභ්‍යන්තරයන් ගැටෙන සංකීර්ණත්වය ෆිල්ම් ඒක ඇතුලෙන් සියුම්ව හෝ නිර්මාණාත්මක ආකාරයෙන් ආරම්භයේ සිට අවසානය තෙක් විකාශනය නොවන බවයි. ඒ කතාවම තව විදිහකට කිව්වොත් අම්රිතාට කේශව එක්ක ඇති අවුල හෝ ගැටුම ගොඩනැංවීමේදී ප්‍රසන්න විතානගේ සිමනාකරුවෙක් වශයෙන් දක්ෂ වෙලා නැහැ. අම්රිතා කේශවට වෙඩි තබන අවසන් ජවනිකාවන් දක්වා  මේ යුවලගේ චාරිකාව ගලාගෙන ඒමේදී ඒසේ වෙඩි තැබීම සාධාරණීකරණය කළ හැකි හෝ  විශ්වාස කළ හැකි තරමේ අභ්‍යන්තර සංකීර්ණතවයක් චරිත හරහා සන්නිවේදනය වෙන්නේ නැහැ. මනා ඉවසීමකින් හෝ ජීවිත පරිඥානයකින් මේ චරිතවල අභ්‍යන්තරික මනෝභාවයන් කිරා මැනගන්නටත් සිනමාත්මකව නිරූපයන කරන්න අධ්‍යක්ෂකවරයාට නොහැකි වූයේ ඇයි දැයි කාටම හරි හිතෙන්න පුලුවන්. 

චිත්‍රපටයේ කේන්ද්‍රය වන කේශව හා අම්රිතා අතර ගැටුමට පසුබිම වශයෙන් ප්‍රසන්න තෝරා ගන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගොඩනැගෙන අරගල වටපිටාව. මෙතනදී සමාජ, ආර්ථික දේශපාලන අර්ථ ගැඹුරක් ඔස්සේ කරනම් ගැසීමට හැකි පිටියක් නිධානයක් වගේ ඔහුට ලැබී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. එහෙමත් නැත්නම් මේ පසුබිමින් ලැබුණු විශාල දේශපාලනමය අර්ථයට ඇති ලෝලය විසින් මම අර මුලින් සඳහන් කළ සියුම් සිනමා භාවිතාව ප්‍රසන්න අතින් ගිලිහෙනවා. නැත්නම් ඔහු හිතාමතාම මග හරිනවාත් ඇති. 

අම්රිතා හා කේශව යනු විවාහක යුවලක්. මේ ඔවුන්ගේ විවාහයේ පස්වන අවුරුද්ද බව හෙළිවෙනවා. මෙකී පස්  වසර ඇතුළත දෙදෙනාගේ සම්බන්ධයේ ස්වභාවය ගැන ඉඟිකිරීමක් සියුම් නිරූපයනයක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රසන්න ඒ වෙනුවට අරගලකාරී ලංකා පසුබිම වෙත වැඩි අවධානයක් යොමු කරවන බවක් පෙනෙනවා. යුවළ ඉතා ප්‍රේමනීයවත් එකිනෙකා කෙරෙහි බන්ධනයකිනුත් කල් ගෙවන බවක් පෙන්වනවා. මට හිතෙන්නේ මේ මුල් අර්ධය චිත්‍රපටයේ කතා සාරය වෙත විශාල බලපෑමක් කළ හැකි වැඩබිමක් ලෙස පැවතියත් එම කාල අවකාශය නිරපරාදේ නාස්ති වී ඇති බවයි. පැහැදිලිවම ඒ ඒ අවස්ථා ඊටත් වඩා දියුණු ආකාරයෙන් පාවිච්චි කළ හැකිව තිබූ බවයි. ප්‍රසන්න අර්ථ නිෂ්පාදිත සංකේත භාවිතය ඔස්සේ දිව යන අතරේ ඔහුට සජීවී ජීවිතය මගහැරී තිබෙනවා. 

අරගලය, රාම රාවනා කතාව ඇන්ඩෲ විසින් නැවත නැවතත් ගෙන ඒම ඇතුලේත් පොලීසිය නීතිය අවභාවිතාව ඇතුලේත් අසරණ දෙමළ තරණයන් නිරපරාදේ දඬුවම් විදීමත් කෙරෙහි සංවේදීතාවත් චිත්‍රපටයෙන් මතු කරන්න සමත් වෙලා නැහැ. ඒ සියල්ල දෙස නිර්මාණකරුවා බලන්නේ සංකල්පරූපී, ගැඹරු අර්ථ නිෂ්පාදිත බැල්මකින්. ඒ අර්ථයෙන් බලද්දී පැරඩයිස් චිත්‍රපයට යනු අපූරු සත්වයකුගේ ඇට සැකිල්ලක් විතරයි. ඒ සැකිල්ල මස්, ලේ සම පිරී පෝෂණය වී ලස්සනක් මතු කරන්න හැකියාවක් තිබුණත් අවාසනාවකට ඒ දේ සිද්ධ වෙලා නැහැ. 

පොලීසියේ හැසිරීම, නිවසේ මෙහෙකරුවා වන ශ්‍රී, මුස්ලිම් කෝකියා සම්බන්ධ ගොඩක් සිදුවීම් ගොඩනැගීමේදී නිර්මාණකරුවා එය ආයාසයෙන් ගොතා ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. එවැනි සිදුවීම් අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේශපාලන ගැඹුර ලබා ගැනීමෙ වෙනුවෙන් මේ චරිත පාවිච්චි වන බවක් පෙනෙන්නට ති‌යෙනවා. 


සිද්ධිමය වශයෙන් අරගත්තත් මේ චිත්‍රපටය ඇතුලේ ඇතැම් අවස්ථා නිරූපනය වන්නේ විශිවසනීයත්වයෙන් තොර ආකාරයකට. මුවාට වෙඩි තැබීමට සැරසෙන මොහොත, සොර කණ්ඩායම පැන යන මොහොත, පොලිස් මුරපොළට ගැමියන් පහර දෙන ආකාරය හා පොලීසිය පැන යන ආකාරය, රාත්‍රියේ  පොලිස් කණ්ඩායමක් පැමිණ ගැමියන්ට තර්ජනය කරන ආකාරය, තරුණයාගේ මරණය හා ඒ වෙනුවෙන් මිනිසුන්ගේ ප්‍රතිචාරය නිරූපනය, සාජන් බණ්ඩාරට ශ්‍රී වෙඩි තබන්නට සැරසෙන මොහොත, ගැමියන් සංචාරක බංගලාවට පහරදීම අවසන් කූටප්‍රාප්තිය නිරූපනය කිරීමේදී එම අවස්ථා ඉතා සාර්ථක ආකාරයෙන් ගොඩනැගී නොමැති බවක් පෙනෙනවා. මේ බොහෝ අවස්ථා බලා සිටීමට බැරි තරම් විකාර සහගත හෝ අවිශ්වසනිය බවක් පෙනුනා. 


අවසන් වශයෙන් හිතෙන්නේ නිර්මාණය ඇතුලේ කතා සාරයත්, දේශපාලනික හෝ අර්ථමය ගැඹුරත් ඒකිනෙක ඓන්ද්‍රීයව බැඳී නොමැති බවයි. සංකේත, රූපක භාවිතය ඔස්සේ ගැඹුරු දේශපාලනික කාරණා වෙත යොමුවීම තුල චිත්‍රපටයේ මතුපිට තලය නොතකා හැර තිබෙනවා. දේශපාලන අර්ථ ගැඹුර වෙනමමත්, කතා සාරය වෙන වෙනමත් ගලවා බැලිය හැකි තරමට මේ තල දෙක වෙන වෙනම පුරුද්දා ඇති බවක් ගැටගසා ඇති බවක් පෙනෙන්න ගන්නවා. ඇතැම්විට මෙය ප්‍රසන්නගේ අවුලක් පමණක් විය නොහැකියි. සමස්ත ලාංකේය නිර්මාණකරණයේම ගැටලුවක් ද විය හැකියි.

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...