Sunday, September 1, 2019


සිහිනය සුපිපෙන ඈතක
දුර කොයි කොතරම්දෝ..









මම ඒ ලෙවෙල් කරන කාලෙ අපේ අක්කට ප්‍රේම සම්බන්ධයක් තිබුනා. ඒක තමයි අක්කගෙ පලවෙනි ලව් එක. එයා තංගල්ල පැත්තෙ පදිංචි නේවි එකේ කොල්ලෙක්.

අක්කගෙ නේවි පෙම්වතා දෙතුන් වතාවක් අපේ ගෙදර ඇවිත් ගියා මට මතකයි. ලස්සන පෙනුමක් තියෙන සුදු කඩවසම් හාදයෙක්. සම්බන්දෙ පටන් ගෙන වැඩි කාලයක් යන්න කලියෙන් එයාට ගෙදර එන්න සිද්ධ උනේ අපේ අම්මල අක්කට එයත් එක්ක කොහේවත් යන්න ඉඩ සලස්වල දුන්නෙ නැති නිසයි. අනිත් ඕනම කාරනාවකදි නිදහස ඕනවටත් වඩා පිරිනමල තියෙන අපේ ගෙදර ආදර සම්බන්ධතාවලදි ගැහැනු කෙනෙක්ට අත්වෙන ඉරනම ඒකයි කියල අපේ ලොකු අක්කගෙනුත් අපි ඉගෙනගෙනයි තිබුනෙ ඒ වෙද්දිත්.

අම්මගෙ සැකය සනාථ කරමින් ඒ නේවි කොල්ල හිටි හැටියෙ එකපාරටම අපේ ගෙදර නෑවිත් ඉන්න තීරනය කරල තිබුන. අද වගේ දුරකථන, විද්‍යුත්, සන්නිවේදනය දියුනු නැති ඒ කාලෙ අක්ක සිහි විකාරවෙලා වගේ දවස් ගතකර හැටි මම හොඳාකාරවම අත්වින්ඳා.

කොල්ල, බැඳල දරුවෙකුත් ඉන්න කෙනෙක් විත්තිය වටින් ගොඩින් ආරංචි වෙද්දි අපේ අම්ම ආරක්ශක වැට තවදුරටත් තර කරල අක්කට කඩේට තනියම යන්නවත් ඉඩ නොදෙන තැනට වැඩ සිද්ධ කලා. එහෙම කලේ අක්ක කඩේ ගෙදරට ගිහින් කෑම්ප් එකේ නම්බර් එකට කොල් එකක් ගන්න එක දවසක් උත්සාහ කරපු එක අම්මට අතටම අහුවුනු හින්දයි.

නේවි පෙම්වතාගෙන් ආරංචි ඇබින්දක්වත් නැතිව නන්නත්තාරවෙලා අක්ක හිච්චි කාමරේ ඇඳ උඩටම වෙලා අඩ අඬා කාලය ගත කලා. අක්ක තමන්ට සිද්ධවෙන ඕනම දෙයක්, රහසක් කියන්න පුරුදුවෙල උන්නෙ මාත් එක්ක. ඒත් අක්ක,එයාගෙ දුක, පෙම්වතාට කෝල් එකක්, ලියුමක් යවන්න, හරියට ඇත්ත විස්තරයක් දැනගන්න අක්කට තිබුනු කැලඹිලිකාර හැඟීම් ඔක්කොම මගෙත් එක්ක නොකියන්න තීරනේ කරල තිබුනෙ මොකද මන්ද. ඒ පොඩිවයසෙදි අක්කට උපකාරයක් කරන්න තරම් ශක්තියක් ඇත්තටම මට තිබුනෙ නැහැ. මට තියා වැඩිමල් කවුරුම හරි කෙනෙක්ටවත් ඒක කරන්න බැරි බව මට අද තේරුම් ගන්න පුලුවන්.

නේවි පෙම්වතා ඒවිද -නේවිද කිය කියා හිච්චි කාමරේ ඇඳ උඩ තෙරපිලා ඉන්න අක්කා තමන්ගෙ දුක ලියල තැබුවෙ ඒ කොල්ල දවසක් ගෙනත් දීපු නේවි කැලැන්ඩරේ පිටිපස්සෙ. එක එක නැව් වල, බෝට්ටුවල ෆොටෝ තිබුනු පිටු ගානක් තියෙන කැලැන්ඩරේ අක්ක නිල් පෑනෙන් සින්දු කෑලි, පත්තරවලින් ගත්තු හිත හීරෙන වචන ගොඩගහමින් කාලය ගලා යන්න සැලැස්සුවා.

කරදිය සුලඟට සුසුමක් හැරදා මුරකුටියේ නිදි වැරුවද - අයියන්ඩී..

ඔය මුලු සින්දුවම අක්ක කැලැන්ඩරේ ලියල තිබුනහැටි මං දැක්කෙ අවුරුද්දකට විතර පස්සෙ. අක්කගෙ අත් අකුරු ඒ හැටි ලස්සනක් නෑ. ඒත් එයා පුලුවන් උපරිම පැහැදිලි අකුරෙන් ඒක ලියල තිබුනා, නිල් පෑනෙන් එකම අකුර උඩ දෙපාරක් ලියවෙන විදියට. තදට. ඒ සින්දුව මොකක්ද, මොකක් වෙනුවෙන් ලියපු දෙයක්ද කියල හරියාකාර අදහසක් ඒ කාලෙ මගේ ඔලුව ඇතුලෙ තිබුනෙ නෑ.

තවත් දවසක ඒ සින්දුව රේඩි එකේ යද්දි අක්ක කොහේදෝ ඉඳල දුවල ඇවිත් පරන කැසට් පීස් එකක් හොයාගෙන ඒක රෙකෝඩ් කෙරුවා මට මතකයි.

පස්සෙ රේඩියෙක නවත්තලා පීස් එක රිවයින් කරලා ආයෙ අර සින්දුව ඇහුවා දවසට දෙතුන් වතාවක්
කැසට් පීස් එකෙන් අර සින්දුව ඇහෙන්නෙ රේඩියෙකේ යන කොලිටියටම නෙමේ උනත් ඒකෙන් ඇහෙන ශබ්ද, තාල ඔක්කොම එක්කාසුවෙලා මොකක්දෝ සංවේදනාත්මක හැඟුම් රැලි ගසන සාගරයක් දිහාට මගේ සිතිවිලි හෙමි හෙමින් පාවෙලා ගියා. කැසට් පීස් එකේසින්දුව පටන් ගත්තෙ මැදක් හරියෙ ඉඳගෙන.

වියටදැයි කියන්නෙ ලං ලං වී...

අක්කගෙ දුක වෙනුවෙන් සහසම්පනය වෙමින් මුලු ඇඟම හිරිගඩුපිපෙන හීතලක් දුවවන දුකකින් ඇලලිලා යනව ඇරෙන්න අක්ක වෙනුවෙන් මට කල හැකි වෙන කිසි දෙයක් තිබුනෙ නෑ.
නිහඬව සුසුමක යා කල

දුක සුලඟෙක යාදෝ
සිහිනය සුපිපෙන ඈතක
දුර කොයි කොතරම්දෝ..

අද පවා නිරෝශා විරාජනීගෙ හඬින් මේ ගීතය තේරුමත් එක්ක ඇහෙද්දි මම ඒ සංවේදනා මතකය මතකෙට නගා ගන්නවා. නේවි කොල්ල කලේ ජරා වැඩක්ද, මිනිහ මහ පාදඩයෙක්ද වගේ මොනවත්ම හිතන්නෙ නැතුව අක්කගෙ අවංක - කුලුඳුල් ආදරේ කීරි ගැස්සෙන හැඟුම් එක්ක මං ඒකාත්මික උනේ මොකටද කියල අදටත් හිතාගන්න බැරිවුනත් ඒක එහෙම වීම ගැන නන්නාදුනන සන්තෝසෙකුත් හිත අස්සේ හිරවෙලා ඒ සින්දුවත් එක්කම කලතිලා ඒ සින්දුවට යටින් ගායනා කෙරෙනවා මට තාමත් ඇහෙන බවඅපේ අක්කවත් තාම දන්නෙ නෑ.


Thursday, May 2, 2019

ස්ත්‍රීන්ට බය පිරිමි ලෝකය


සාමාන්‍ය යෙන් අපි අහන දකින ලෝකයේ  කතිකා  වන ප්‍රධාන මාතෘකාවක්  වන්නේ ස්ත්‍රීන් යටත් කරගෙන ඉන්න පිරිමි ලෝකයක් සම්බන්ධවයි. එසේත් නැතිනම් පුරුෂ මූලික සමාජ තන්ත්‍රයක ස්ත්‍රියට අයත් ඉරනම පිලිබඳ සමාජ දේශපාලනික වශයෙනුත් , කලා කෘති මගිනුත් බොහෝ සේ කතාවෙනවා. නමුත් මේ කතාබහ ඊට සපුරා වෙනස් එකක්.
මුලු මහත් ලෝකයේම සිටින්නේ ගැහැනුන්ට බය වූ පිරිමි කොට්ඨාසයක්. 
මේක වාක්‍යයක් ලෙස දකිද්දි එකපාරටම තිගැස්සෙන්න පුලුවන් සහ එකඟ වෙන්න බැරි කතාවක් කියල පේන්න පුලුවන්. නමුත් වඩ වඩා හාරාගෙන කපාගෙන ගියොත් මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන සාවධානවීමක් වෙන්න ඉඩ සැලසේවි. 



මෑතකදී මම කියවපු, බලපු කලාකෘති දෙකක් මම මේ සඳහා නිදසුන් විදිහට අරගන්නවා. එකක් සිරිමල් විජේසිංහගෙ ඔබාමා මහත්මයාගෙ ස්ත්‍ර ප්‍රශ්නය. අනෙක් එක චිත්‍රපටයක්. බව දුක. මට හිතෙන්නෙ මේ කලා නිර්මාන දෙකෙන්ම ඍජුව හෝ වක්‍රව මම ඉහත සඳහන් කල ස්ත්‍රීන්ට බය වී සිටින පිරිමි ලෝකය සම්බන්ධයෙන් වෙනස් මානවලින් කතා වෙනවා. 
බවදුක චිතපටයේ මේක මුලු කතා දේහය පුරාවටම අපව කම්පනය කරවමින් නිරූපනය වෙලා තියෙන බව පේනවා. එක කතා නායකයා වන පේදුරුගේ චරිතව ආරම්භයේ සිට ගලාගෙන යන දිශාව සන්සුන්ව බලා සිටීමේදී මේක හොඳින් දකින්න පුලුවන්. පේදුරු විසින් විවාහ කරගන්නා නොනහාමි විසින් ක්‍රමයෙන් පේදුරුව ආක්‍රමනය කරනවා. පේදුරු ප්‍රතාපවත් දේහදාරී පිරිමියාගේ සිට නොන්ජල් පිරිමියෙක් දක්වා පල්ලම් බහිද්දී නොනහාමි අහිංසක ලමාතැනීගේ සිට දිරිය කතක් දක්වා වේගවත් ගමනක නිරත වෙනවා. මට හිතෙන්නේ ලංකාවෙ බහුතරයක් විවාහ සංස්ථාව ඇතුලෙ මේක පොදු තත්වයක්. බවදුක චිත්‍රපටය ඇතුලෙ පේදුරුට මේ ඉරනම අත්වීමට බලපෑ සමාජ දේශපාලන හේතුවක් තිබුනත් පොදු විවාහ සංස්කෘතිය ඇතුලෙ පිරිමියා මෙවැනි නිශ්ක්‍රීයත්වයට පත් වන්නේ ඉබේටම වගේ. එක් ආකාරයකට පිරිමියා විසින් අවිඥානිකවම ගැහැනියට වගකීම හෝ මූලාසනය පවරා පසුබසින ස්වභාවයක් දකින්න පුලුවන්. ඒක හේතු ගනනාවක් බලපාන බවත් පේනවා. කොහොමටත් අවුරුදු පනහේ සීමාව ඉක්මවද්දි පිරිමියාගේ භූමිකාව පවුල ඇතුලට අවශ්‍ය නොවන තත්වයක් දක්වා විකාශය වීම නිසා පිරිමි තාත්තා අවලංගු කාසියක් ලෙසින් ඔහේ සමාජය වෙත ඇදෙන්න ගන්න බවක් දකින්න පුලුවන්. ගම් මට්ටමින් කසිප්පු තිත්පලවල් දක්වා හිස නමා ඇදෙන මෙවැනි පිරිමි ඕනෑතරම් දකිව්ව අපහසුත් නැහැ. 
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඇතුලෙ නිරන්තරයෙන් සංසරනය යන විහිලු ඇතුලේ දකින්න පුලුවන් පොදු මූලය වන්නේම ගැහැනියට බය පිරිමි කොටසක් ගැන හෙලිදරව්වක්. 

ඔබාමා මහත්මයාගේ ස්ත්‍රී ප්‍රශ්නය මේ කාරනාව බවදුකට වඩා ඍජුව හා උපහාසාත්මකව විවිධ මානයෙන් සාකච්ඡා කරන කෙටිකතාවක්. මේක ස්ථානගත වන චරිත ගත්තමත් ඒ උපහාසාත්මක ගතිය කොහොමද කියල කියන්න පුලුවන්. ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සිතෙහි හටගන්නා ප්‍රශ්නයක් මේ කෙටිකතාව පුරාවට දාර්ශනික, සමාජ විද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක  ආදී නොයෙක් ආකාරයෙන් කතාබහ කෙරෙනවා. ඇමරිකාවේ ජනාධිපති යනු ලොව බලවත්ම පුද්ගලයා ලෙස ප්‍රකටයි. නමුත් ඔහු පවා විස්වාස කරන්නේ පිරිමි ගැහැනුන්ට බය බවයි. පිරිමි මේ විදියට ගැහැනුන්ට බයෙන් ජීවත් වීමට හේතු වන්නේ කුමන කරුනක් ද යන ගවේශනය ඇසුරෙන් ඔහු මේ තේමාවේ නොයෙක් පැති සොයා බලන්න පෙලඹෙනවා. එය රසවත්. 
මේ සියල්ලෙන් අපට කැපී පෙනෙන නමුත් පොදු තේමාවක් ලෙස අපි කතාබහට නොගන්නා, නැතිනම් අපට ඍජුව නොපෙනෙන හෝ අප පිලි නොගන්නා කාරනයක් අපට මුනගස්වන මේ තේමාව යලි යලි හිතාබලන්න අපට බැරිකමක් නැහැ. 
ඇත්තටම අපි ගැහැනුන්ට බය සමාජයක්ද? පුරුශාධිපත්‍ය යයි අපි පිලිගන්නා සමාජයේම ඇත්තේ මාතෘමූලික ස්වරූපයක නටඹුන් ද? නැතිනම් මාතෘමූලික සමාජයේ අති දියුනු මොඩලයක්ද?


Thursday, April 25, 2019


රතුපාට මාලු පැටවුන්ගේ ලෝකය Turtles Can Fly 



චිත්‍රපටයකින් මේ තරමට මාව කැලඹුවේ සෑහෙන කාලෙකින්.

ඒ කැලඹීමට හේතුව කොහෙන් ආපු එකක් ද  කියල ආපස්සට මම කල්පනා ලෝකෙ ඇතුලෙ සැරිසරන්න පටන් ගත්තා. මේක මුලු චිත්‍රපටය පුරාවටම ලමයි විතරක් මූලික නිරූපනය වන කතාවක් කියල කියන්න පුලුවන්. වැඩිහිටි ලෝකය පසුබිමේ පැවතියත්, ක්‍රියාත්මක වෙන්නෙ, ඛේදවාචකවලට මුහුන දෙන්නෙ විතරක් නෙමෙයි තීරන අරගන්නෙත් ලමයි වීම නිසා ඒක තනිකර ලමා කතාවක් ලෙස එකපාරටම පේන්න පුලුවන්.
සිදුවීමට පසුබිම වෙන්නෙ ඉරාකයේ එක්තරා ගමක්. මේ ගම ඉරාක - ඇමෙරිකා යුද්ධයට මුහුන දෙමින් ඉන්න අතරවාරෙ ලමා වීරයෙක් සෙසු ලමුන් හා ඔවුන්ව මෙහෙයවන ලමා වීර චරිතයක අපේක්ශා පෙන්වමින් චිත්‍රපටය ගලාගෙන යනවා.

කතාව පසුබිමේ තියෙන්නෙ ලමා ලෝකය යුද්ධයෙන් කොයිතරම් බිහිසුනු ඉරනමක් වෙතට සංක්‍රමනය වෙමින් පවතිනවද කියන එකයි. අත් පය නැති, කකුල් කැඩුනු, දෙමාපියන් අහිමි දරුවන් ඔවුන්ගේ වීර චාරිකාවක් වෙතට දිව යමින් පවතින හැටි නිර්මානකරුවා පෙන්වල දෙන්නෙ උපේක්ශාත්මක දෘශ්ටියකින්.
යුද්ධය මේ මුලු කතාවම වසාගෙන සිටින අන්ධකාර සෙවනැල්ල උනත් වෙඩිතැබීමක්, යුද්ධයක් නොපෙන්වා එහි සාහසිකබාවය පරම්පරා ගනනාවකගේ ජීවිත විනාශ කරන ආකාරය පෙන්වන්න තරම් සිනමා භාශාව සූක්ශමයි.

මේ කතාවෙ විශේශතම කාරනය වන්නෙ මේ ඉහතින් කතාකරපු මොනවත්ම නෙමෙයි. මේකට තෝරගත්තු ලමා නලු නිලියන්ගෙ රංගනය. ඔවුන්ගෙ චරිත ස්වභාවයන්. ඒක අපිව පුදුම කරවනවා. ඒ නිසාම තමයි මේ තරම් තදට අපි මේ චිත්‍රපටය හා බැදෙන්නෙත්.

ආරම්භයේ ඉදන් අවසනය තෙක්ම ලමා ලෝකයේ වීරත්වයන්, හාස්‍යය හා සංවේදී ස්වභාවයන් මුසු කරමින් දරුනු ඛේදවාචක කතාවක් ඉවසීමෙන් නිරූපනය කිරීම නිසාත් මේ ලමුන්ගේ සජීවී රංගන කාර්යයන් නිසාම අපි මේ කතාව තදින් බැදෙන්න ගන්නවා. 

ඒ අරුම කැලඹුම වෙනුවෙන් Turtles Can Fly චිත්‍රපටයේ සෑම නිර්මානකරුවෙක් වෙතම මගේ ස්තූතිය පුදකර සිටිනවා.

Wednesday, April 17, 2019


විස්වසනීයත්වය අනිවාර්යයි





යථාර්ථය හා විස්වසනීයත්වය යනු එකක් ද දෙයක් ද?

මේ මාතෘකාව ගැන බොහෝ වෙලාවට මම  කල්පනා කලේ වැඩට යද්දී බයිසිකලේ උඩ ඉඳගෙන. ඒක කොයිතරම් දුරට යථාර්ථවාදීයිද, නැත්නම් විස්වසනීයයිද? මෙතනදි නම් විස්වසනීයත්වය හා යථාර්ථවාදය එකම සංකල්පයක් විදියට ඔබට පේන්න පුලුවන්. නමුත් ම තර්ක කරන්නෙ මේ දෙක පැහැදිලිවම දෙකක් කියන මතයේ ඉඳගෙනයි.

ඒක විස්තරාත්මකව පැහැදිලි කරන්න පුලුවන්ද?

ඔව්. ඒක පැහැදිලි කරන්න මම මෙතනට තව වචනයක් ඈඳාගන්නවා. ඒක තමයි හේතුඵලය.

යථාර්ථය ගැන මම වැඩිදුරට කරනු කියන්න මහන්සි ගන්නෙ නැහැ. මොකද ඒක වෙහෙසකර වැඩක් සහ මේ වෙනකොට ඒ ගැන උවමනාවටත් වැඩි තරම් සාකච්ඡා සංවාද පැවැත්විලා තියෙනවා. ඒ නිසා යථාර්ථය ගැන න්‍යායික ප්‍ර වේශයන් මේ සංවාදයට අවශ්‍යම නැහැ කියලා මම විස්වාස කරනවා.

කිසිම කලා කෘතියක් යථාර්ථවාදී නැහැ කියා කිසිවෙක් හෝ පැවසුවොත් මමත් ඒ අදහසට එකඟ වෙනවා. මොකද කලා කෘති කියන්නෙම ප්‍රබන්ධාත්මක හෝ නිර්මානාත්මක දේවල් නිසා ඒවා යථාර්ථය ඒ ආකාරයටම පිලිඹිබු කිරීමට නොහැකියි. අතිශය සජීවී සිනමාව තුල පවා සම්පූර්න යථාර්ථවාදී යමක් පෙන්වීම අසීරුයි. කලාකෘති මගින් සමාජ යථාර්ථය පෙන්වීම කියන්නේ තව කතාවක්.

අපට දිශානතිගත වෙන්න ඕන එතැනට නෙමෙයි. කලා කෘති යථාර්ථවාදී විය යුතුද වැනි ප්‍රශ්න නොයෙක් වෙලාවට ඇසෙනවා. බොහෝ පශ්චාත් නූතන විග්‍රහයන් මගින් කියවෙන්නෙ ඒක අවශ්‍ය නැහැ කියලා. මේ වෙනකොට අධියථාර්ථවාදී නිර්මානකෘති පවා බිහිවෙලා බොහෝ කල් ඉක්ම ගිහිල්ලා බව අපි දන්නවා.
නමුත් විස්වසනීයත්වය කියල කියන්නෙ යථාර්ථයටම නෙමෙයි. සියලු කලාකෘති විස්වසනීය විය යුතුදැයි මගෙන් කිසිවෙක් ඇසුවහොත් මම එකහෙලාම පිලිතුරු දෙන්නේ ඔව්. සියලු කලා කෘති විස්වසනීය විය යුතුයි කියලායි.

කලාකෘතියක් යථාර්ථවාදී විය යුතු නැති අතරේ විස්වසනීය විය යුත්තේ කොහොමද?

ඒකයි මම මුලදීම කිව්වේ යථාර්ථවාදය කියන්නේ විස්වසනීයත්වය නෙමෙයි කියලා. විස්වසනීයත්වය කියන්නේ අදාල නිර්මානය අපට කොයිතරම් දුරට විස්වාස කරනන්න හෝ ඒ ගැන විස්වාසය තබන්න පුලුවන් ද එකඟ වෙන්න පුලුවන්ද කියන පැනයට ලැබෙන පිලිතුරයි. විස්වසනීයත්වය ආරක්ශා වීමෙන් එය යථාර්ථවාදී විය යුතු යයි කියන්න බැහැ. විස්වසනීයත්වය ආරක්ශා වීමෙන් එය හේතුපලවාදී වන බව නම් අපට කිව හැකියි.

මම නම් හිතන්නේ ඕනෑම නිර්මානයක් තුලින් පාඨකයා විස්වසනීයත්වය හෝ හේතුපල තර්කනය විමසා බලනවා. ඒ වගේම නිර්මානකරුවාත් තම නිර්මානය උපරිම ආකාරයෙන් විස්වසනීයත්වයෙන් හා හේතුපල තර්කනය ආරක්ශා වන අයුරින් කටයුතු කරනවා. මේවා සාමාන්‍යෙයන් යථාර්ථවාදී නිර්මානවලදී වගේම ෆැන්ටසික හා අධියථාර්ථවාදී කෘති වලදිත් එසේමයි.

ඔබ පවසන දේ තවමත් යම් පැටලිලි සහගත බවක් ගේනවා. මේක අපි නිදසුන් මගින් පැහැදිලි කරමුද?

හොඳයි, අපි ගනිමු හින්දි චිත්‍රපටයක්. පෙම්යුවලක් යථා ලෝකයේ මාර්ගයේ ගී කියමින් නටන්නේ නැති බව සහ ඔවුන් නටන විට මාර්ගයේ මිනිසුන් ඔවුන්ට එක්වී එකම රිද්මයකට නර්තනයේ නිරත නොවන බව අපි දන්නවා. ඒ කියන්නේ ඒක යථාර්ථවාදී නැති බව අපි දන්නවා. නමුත් එම  චිත්‍රපටයේම පෙම්වතා හෝ දුශ්ටයා මිය ගියහෝත් ඔහුට නැවත පන නොඑන බව අපි විස්වාස කරනවා. කන්දකින් පහලට වැටී විනාශවන දුශ්ටයා නැවත පැමිනිය හොත් අපේ විස්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා ඒ දුශ්ටයා කන්දෙන් පහලට වැටී මිය යාම ගැන හේතුපල තර්කයක් සිනමාකරුවා අලුතෙන් ගොඩනගනවා. ඒ මෙහෙම. ඔහු කන්දෙන් පහලට වැටුනත් වැල් ගොන්නක රැඳුනා. වයසක සීයා කෙනෙක් ඔහුට වෙදකම් කර සුවපත් කලා. මේ නැවත පැමින සිටින්නේ ඔහුයි. මේ හේතුඵලය ලුහුඩින් හෝ සිනමා කරුවා අපට ඉදිරිපත් කලොත් අපේ විස්වාසයන් තහවුරු වෙනවා.
ඇතැම් පුරාන රජ කතා සිනමාවට ගැනීමේ දීත් මේ තත්වය පැහැදිලි වෙනවා. නලු නිලුයන් තත්කාලීන බව ඇඟවෙන ආකාරයේ ඇඳුම් පැලැදුම් වලින් සැරසෙනවා. ඒ කාලයට සරිලන දෙබස් භාවිත කරනවා.  අන්තපුරයේ බිසවුන්ද ප්‍රීතිමත් මොහොතක ගී කියා නටමින් රාජ මන්දිරය පුරා දුවයන ආකාරය වැනි දේ යථාරථවාදී නොවන බව අපි දන්නවා. සහ ඒක අපේ විස්වාසය බිඳෙන තරමේ ගැටලුවක් නෙමෙයි. නමුත් අපි හිතමු ඒ චිත්‍රපටයේම සටන් ජවනිකාවක් සිදුවෙන විට ඈත අහසේ ගුවන් යානයක් පියාසර කරනවා කියල. එතකොට මොකද වෙන්නේ. ඔන්න විස්වාසය බිඳ වැටෙනවා. මොකද එය එම චිත්‍රපටය ඇතුලත ගොඩනගන සත්‍යයට බද්ධ නොවන නිසා. එහෙම දැක්කම ඒක විචේචනය වෙන එක බොහෝවිට සිදුවෙන දෙයක්. ඒ නිසා විස්වසනීයත්වය සෑම කලා කෘතියකම දක්නට ලැබෙන්නක් බව පේනවා.  

මෙය තවදුරටත් විග්‍රහ කරන්න නම් නිදසුන් අවශ්‍ය වෙනවා. නිදසුන් මගින්ම මේවා අර්ථ නිරූපයන කරගනිමු.
එසේම අපි ගමු හොරර් ගනයට අයත් කතාවක්. අපේ ලෝක දැක්ම හෝ තාර්කික ඥානය අනූව හොල්මන් කියා දෙයක් නැතැයි කියමින් අපි එවැනි නිර්මාන බැහැර කරන්න පෙලඹෙන්නේ නැහැ. ඒ කියන්නෙ අපි යථාර්ථය ප්‍රශ්න කරන්න පෙලඹෙන්නෙ නැහැ කියන එකයි.  එය විස්වාසකල හැකි මට්ටමකට සිදු නොකලහොත් නම් අපි අපේ තර්ක අවි අමෝරාගන්න කටයුතු කිරීම ස්වභාවිකයි.

මම මේ තාක් නිදසුනට ගත්තේ සාමාන්‍යෙයන් යථාර්ථවාදයට කිට්ටු කලාකෘති කිහිපයක්. දැන් අපිට යථාර්ථවාදයට බොහෝ දුර නිර්මානයක් මගින් විස්වාසය හෝ හේතුඵලය ආරක්ශා වියයුතුදැයි විමසා බලන්න පුලුවන්. මම අපි දන්න ගොඩක් අය අඳුනන කාටූන් එකක් මේ සඳහා අරගන්නම්. සූරපප්පා කාටූනයේ පප්පලා සියල්ලන්ටම බලය ලැබෙන්නේ අරිශ්ට බීමෙන් බව අපි කවුරුත් දන්නවා. අරිශ්ට බොන්නේ නැතිව බලයක් තිබෙන එකම පප්පා ජිම් පප්පා විතරයි. ඉතින් සෑම කාටූන් එකකින්ම නිර්මානකරු අපේ හිතේ විස්වාසය ගොඩනගනවා මේ අයට බලය එන්නේ අරිශ්ටය බීමෙන් බව. ඉතින් අරිශ්ටය නොබොන යම් දවසක් වේද මේ අයට අසීමිත බලයක් ලැබෙන්නෙ නැහැ. තව දෙයක්. මේ අරිශ්ටය සෑම කෙනෙකුටමත් හදන්න බැරි බව මේ කාටූනයේ දැක්වෙන  සත්‍යයක්. එය හදන්න පුලුවන් වෙද පප්පාට විතරයි. ඉතින් වෙද පප්පා නැතිව වෙන අයෙක් අරිශ්ටෙ හැදුවොත් හෝ අර්ශ්ටය නොබී මේ පප්පලා අසීමිත බලයක් සහිතව ක්‍රියා කලහොත් ඔන්න අපේ විස්වාසය බිඳ වැටෙනවා. ඉතින් කාටූන් නිර්මානකරු නිතරම අර විස්වාසය ආරක්ශා කරන්න වෙහෙසෙනවා. ඒක යථාර්ථවාදය ආරක්ශා කිරීමක් නෙමෙයි. විස්වාසය ආරක්ශා කිරීමක්. ඒ කාටූනය ඇතුලේ හේතුඵල සම්බන්ධයක් ගොඩනැගීමක්.

ඉතින් දැන් ඔබට යම් වැටහීමක් ඇති යථාර්ථවාදය සහ විස්වාසනීයත්වය ගැන. කිසිම කලාකෘතියකින් යථාර්ථය ආරක්ශා කල යුතු නැතත් ඒ සෑම කලා කෘතියකින්ම විස්වාසය ආරක්ශා කිරීම අනිවාර්යයක් බව මම කියනවා. මේ විස්වාසය ආරක්ශා විය යුතු වන්නේ ඒ ඒ නිර්මානය ඇතුලතින්ම නිර්මානය වන නිර්නායක හෝ සත්‍යතා හරහායි. ඒක සෑම නිර්මානයකටම පොදු මිනුම්දන්ඩක් නෙමෙයි. ඒ ඒ කලාකෘතියේ ස්වරූපය අනූව විස්වාසනීයත්වයේ මිනුම් දන්ඩේ දිග පලල වෙනස් ස්වරූප ගන්නවා. නමුත් අපි සෑම කෙනෙක්ම නිර්මානය මත විස්වාසනීයත්වයේ මිනුම් දන්ඩ යොදා මනිනවාමයි. ඒක නිර්මාන කියවීමට අත්‍යවශය මිනුම් දන්ඩක් බව මම මේ මොහොතේ විස්වාස කරනවා.

 අපේ රටේ නිර්මානකරුවන් විස්වසනීයත්වය ආරක්ශා කරන බවක් පේනවද?

මට හිතෙන්නේ ඔවුන් ඒ පිලිබඳව තැකීම ඉතාමත් අඩු බව. ඊට වඩා ඔවුන් වෙහෙසෙන්නේ එහි ඇති සාරගර්භ තේමාත්මක මානය සම්බන්ධව. අන්තර්ගතතේ විශිශ්ට බව කෙරෙහි අති අවධානයක් දීමෙන් ඔවුන් නිර්මානවල විස්වසනීයත්වය නොදැනුවත්වම බිඳ වැටෙනවා. හුඟක්ම යථාර්ථවාදී නිර්මානවල චරිත හැසිරීම්, ඔවුන්ගේ ඉරනම වගේ දේවල් ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට සිදුවිය හැකි අයුරින් නිර්මානකරුගේ රූකඩයක් වන අවස්ථා අපි දැක තිබෙනවා. එමගින් සිදුවන්නේ පාඨකයා එය සමඟ අනන්‍ය විය නොහැකි තරමට දුරස්වීමයි.

අධියථාර්ථවාදී නිර්මානවල මේ තත්වය මීට වඩා ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. යථාර්ථයට පිටුපා යන සැනින් ඔවුන් විස්වාස කරන්නේ විස්වාසකල නොහැකි ඕනෑම සිදුවීමක් ඒ තම සිත්තම් කරන්න පුලුවන් බවයි. එව සාවද්‍ය මතයක්. අධියථාර්ථවාදී නිර්මානයක වුවත් විස්වසනීයත්වය කඩ නොකර ආරක්ශාකිරීමට නිර්මානකරුවන් දක්ශවිය යුතුයි.

විස්වසනීයත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ශ කාරනයක් නෙමේද?

මතුපිටින් බැලුවාම එහෙම හිතෙන්න පුලුවන් තමයි. අපි අරගනිමු ලිංගික කාරනයක්. යම් තරුනයෙක් තරුනියක් සමඟ ලිංගික ඇසුරකට පත්වීමේ මොහොත කෙනෙකුට විස්වසනීය නැහැයි කියන්න පුලුවන්. එම සිදුවීමම තව කෙනෙකුට විස්වසනීය බවත් තමාද එවැනි සිදුවීමකට මුහුනදුන් බවද කියන්න පුලුවන්. මෙතන සංකීර්නත්වයක් තිබෙනබව පෙනුනත් විස්වසනීයත්වය කියන කාරනය ඇතුලෙන් ගත්තම ඇත්තටම මේක හරි සරලයි.
අපි අත්දැකල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තර්කය වෙන්න ඕන. නිර්මානය ඇතුලෙදි ඒක නිරූපනය වෙලා තියෙන ස්වභාවය විස්වසනීය ද කියන එකයි. ඒක කොයියම්ම දිනක සිදුවෙන්න බැරි දෙයක් වුනත් කමක් නැහැ. නිර්මානය ඇතුලෙ සැකසී තිබෙන යථාර්ථයට, පසුබිමට ගොඩනගා ඇති පරිසරයට ඒ මොහොත ගැලපෙනවද කියන එකයි අපි බලන්න ඕන. එහෙමත් නැත්නම් අපිට පිලිගන්න පුලුවන් විදිහට ඒක කරල තියෙනවද කියන එක තරයි අපි බලන්නෙ. ඒක තමයි විස්වසනීයත්වය කියන්නෙ.මේක මම තවදුරටත් පැහැදිලි කරන්නම් මැජික් ආශ්‍ර යෙන්.

මැජික් කියන්නෙ ඇස්බැන්දුමක්, බොරුවක් බව අපි දන්නවා. නමුත් අපිව හොඳටම රවට්ටන කෙනා තමයි විශිශ්ටයි කියල අපි පිලිගන්නෙ. අපිට අහුවෙන විදිහට ඒක කලොත් අපි එයාව විශිශ්ටයෙක් විදිහට බාරගන්නෙ නැහැ. මැජික් නිරූපනයෙදි එයා අපිට පිලිගන්න පුලුවන් මට්ටමට ඒක කරනවද කියන එකයි අපි බලන්නෙ.

මේ යකා කරන්නෙ බොරුවක් බව දැන දැනම අපි ඒ යකාගෙන්ම ඒක ඇත්ත විදිහට කරන්න කියල ඉල්ලනවා.

ඒකම නේද විස්වසනීයත්වය කියල අපි නිර්මානයෙනුත් ඉල්ලන්නෙ.

Sunday, March 17, 2019


දිනිතිගේ ඇසින් දැකල පුරුදු කෙනෙක්...




දැකල පුරුදු කෙනෙක් නිසැක වශයෙන්ම මෑත කාලීන සිංහල සිනමාවෙ දැකල පුරුදු නැති ඉසව්වක් වෙත පියවර තැබීමක් බව අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්. එසේම සමස්තයක් විදිහට එය මාව කම්පනය කල, මාව තිගැස්සුව සිනමාපටයක්. කතා පුවත ඇතුලත චරිත හැසිරීම්, රූප, දෙබස් ආදී සියල්ල තුල එක්තරා නැවුම් බවකුත්, එසේම ඒ එකිනෙක හා බැඳුනු අවියෝජනීය බවකුත් තිබෙන බව කිව හැකියි.

නමුත් මගේ මේ සූදානම චිත්‍රපටය නරඹා මාතර සිට ගාල්ල තෙක් පැයක පමන බයිසිකල් දුර ගමන අතරතුර මගේ සිහියට නැගුනු හා බිරිඳ සමඟ සාකච්ඡා කල හා මෙතෙක් බොහොමයක් සිනමා විචාර වලින් දැකල පුරුදු නැතැයි මට පෙනුනු අදහස් කිහිපයක් ලියා තැබීමටයි. සාමාන්‍යයෙන් මට දැනෙන හෝ මාව කලඹවාලූ කලා කෘතියක් පිලිබඳ වින්දන මාත්‍රයන් ලියා තබනු මිස මගේ සිත් නොගත් නිර්මාන ගැන විචේචන ඉදිරිපත් කිරීම මගේ අතින් මෙතෙක් සිදු වූයේ අති විරල මට්ටමින් වුවත් දැකල පුරුදු කෙනෙක් වෙනුවෙන් මේ සිදු කිරීමට උත්සාහ කරන්නෙත් ඒ අති විරල කාර්යයම තමයි. කෙසේ හෝ වේවා මගේ විවේචන, මතිමතාන්තර වලින් මතු සිදුකෙරෙන අදහස් නිර්මානයට හෝ යම් රුකුලක් වේ නම් එය මට යම් සන්තෝසයක් ලබා දෙනු ඇති.

චිත්‍රපටයේ කතා පුවත  අනූව දිනිති යනු මින් පෙරාතුව විවාහය ඇතුලේ සිට යම් අනියම් සම්බන්ධතාවයකට ගොස් එය ස්වාමිපුරුශයාට හෙලිදරව් වීමෙන් පසු නැවත පවුල් ජීවිතයටපිවිසීමට වෙර දරමින් සිටින්නියක්. චිත්‍රපටය මූලාරම්භයේ සිටම එකී සිදුවීම නිරාවරනය වන දිනිතිගේ තාත්තා සචිත්‍රගේ නිවසට පැමින සචිත්‍ර සමඟ දොඩමලු වන අවස්ථාව කදිමයි. නරඹන්නා තිගස්සන සුලුයි. එතැන් සිට දිගහැරෙන කතාවේ දිනිතිගේ පාර්ශවය වෙත අපට අනන්‍ය විය හැකි වුවත් සචිත්‍ර ගේ පාර්ශවය තිබෙන්නේ ඊට වඩා අඳුරු හෝ කෘතිම තැනක බව මම ගෙනෙන  පලවෙනි විචේචනයයි. සචිත්‍ර සිය බිරිඳගේ නැවත පැමිනීමට සමාව දීමට හෝ ඇගේ ක්‍රියාව අභ්‍යන්තරයෙන්ම භාර ගැනීමට හෝ එය අමතක කර දැමීමට අසමත්/ පරාජිත චරිතයක් බව අපට පැහැදිලියි. නමුත් චිත්‍රපටය අවසානය තෙක් දිග හැරෙන්නේ ඒ පැතලි, අප දක්නා ස්වරූපයෙන්ම පමනයි. මට සිතෙන ආකාරයට සචිත්‍රගේ චේතනාව හෝ ක්‍රියාව අසාධාරන විය හැකි වුවත් ඊට හිමි විය යුතු හැඩයක්, සංකීර්න මනෝ භාවයක පැටලීමකින් වෙහෙසෙන්නෙක් ඔහුගේ චරිතයෙන් මතුකෙරෙන්නේ ඉතා අඩුවෙන්. සචිත්‍ර අභියස ඇති අර්බුදය හුදෙක් ඔහුගේ පුද්ගලිකත්වයේම ගැටලුවක් හෝ සමාජ සංස්කෘතික විලාසය ඔස්සේ ඔහුගේ හදට කඩාපාත් වූ එකක්  වුවත් ඔහු මුහුනදෙන අර්බුදයේ සැබෑ සාහසිකත්වය( අභ්‍යන්තරිකව ඔහු පැටලී ඇති සංකීර්න අවුල් ජාලය) මේ සිනමාපටය මගින් අල්ලා ගන්නේ මතුපිටින්. නැත්නම් සිනමා කෘතිය හරහා අප එකී කලාපය වෙත ඇතුලු වන්නේ ආධ්‍යහාරයෙන්. ඊට මූලික හේතුව ලෙස මා දකින්නේ නිර්මානකරුවා දිනිතිගේ ඛේදවාදකය වෙත හෝ ඇගේ කලාපය වෙත දක්වන ලෝලයයි. නැත්නම් අවිඥානිකව හෝ සවිඥානිකව නිර්මානකරුවා දිනිතිගේ ඛේදවාචකයේ උගුලට හසු වෙනවා. දිනිතිගේ ඛේදවාචකය කලමනාකරනය කරගන්නවා වෙනුවට නිර්මානකරුවා අබිබවා දිනිතිගේ රූපකාය මතු වීමක් ලෙස එය මා දකින්නේ එනිසයි. ඒ අනූව ඉතා සූක්ශම ලෙස දිනිති වෙනුවෙන් පෙනී සිටීමේ/ සිටගැනීමේ කාර්ය නිර්මානකරුවා අතින් සිදුවන බවක් ද මට හැඟෙනවා.ඊට හේතු කිහිපයක් චිත්‍රපටය ඇතුලතින්ම මතුකරගත හැකියි.චිත්‍රපටයේ කියවෙන ආකාරයට දිනිති අසම්මත සම්බන්ධයක් ඇතිකරගත් පෙම්වතා සමඟ කායිකව එක්වී නැහැ. එය සචිත්‍ර ගෙන් නොලැබුනු (ආදරනීය) පාර්ශවයක් ඇයට ලබා ගැනීමට ඈ ගත් අහිංසක උත්සාහයක් බව නිරූපනය වෙනවා. එසේම ත්‍රීවිල් රියදුරා, ඥාති මල්ලී හෝ ෆුඩ් සිටියේ දී දකින වෙනත් තරුනයන් දෙස දිනිති බලන්නේ හෝ ඔවුන්ට ලොල් වන්නියක් ද නෙමෙයි. ඥාති මල්ලී සමඟ පවත්වන සම්බන්ධය පවා ඈ කෙරෙහි අනුකම්පාව ඉපදවීම වෙනුවෙන් කල මතුපිට රංගනයක් බව පෙනෙන්නේ ඔහු පැමිනි මොහොතේ සිදුවන අධිනාටකීය ගනුදෙනුව ඉන් අනතුරුව දලු ලා වැඩීමක් හෝ සුලු ඉඟි බිඟියක් වත් නොලැබෙන නිසයි. ඇඳුමින් පැලඳුමින් හෝ වෙනත් ලක්ශනයන්ගෙන් ඈ එවැනි සම්බන්ධයක් වෙත එලඹිය හැකි ලක්ශන පෙන්නුම් කලත් ඇගේ හැසිරීම් රටාව තුල ඈව සූක්ශම හෝ සම්භාව්‍ය ආකාරයට සුද්ද කිරීමක්,ඇයට 'ලකුනු ලබා දීමක්'කෘතිය තුලින් මට පෙනෙන බව කියන්න සිදුවෙනවා. එක්තරා ආකාරයකට නිර්මානය අපේ ඇසට කඳුලක් උනන තැන දක්වා අපව කම්පනය කරන හැඟීම මතුකරන නාබිය වන්නේද මේ ස්ත්‍රීවාදී සූක්ශම වියමන විය හැකි බවද මට යලිත් සිතෙනවා.

නමුත් වඩා පුලුල්ව අර්ථකතනය කරන විට දිනිතිට වඩා හෝ දිනිති තරම්ම සංකීර්න මනෝභාවයන්හි සිරවෙන සචිත්‍ර දිනිති වෙනුවෙන් දික්කසාදය ලබා දෙන්නේ නැහැ. ඔහු එය නොදෙන්නේ ඇයි? ඒ වෙනුවෙන් දිය හැකි පිලිතුරු ඕනෑතරම් විය හැකි වනවා සේම සචිත්‍ර ගේ අර්බුදයේ සැබෑ මුහුනුවරත් ඒ තරම්ම දිගු විය හැකි බව උපකල්පනය කරන්න පුලුවන්. ඔහු දික්කසාදය නොදීම සරල නොවන්නා සේම දිනිති දික්කසාදය ඉල්ලා සිටීමට මැලි නොවීම ද එක්තරා සංකීර්නත්වයක් නිරූපනය වන බව කියන්න පුලුවන්. මේ අනූව එකිනෙකාගෙන් සැබෑවට ගැලවීමට නොහැක්කේ මේ දෙදෙනාගෙන් කවුරුන්ට ද? නැතිනම් මේ දෙදෙනාම මේ වියවුලේ සිරවීමට තරම් සංස්කෘතික මූලයන් විසින් තෙරපවන ආධ්‍යාත්මික ගැටය හිර වැඩි ද?

මෙවැනි ප්‍රශ්න වෙත අති සංකීර්නය යොමුවිය හැකි කවුලු විවර කරගැනීම මේ කතා පුවතේ ගලන දිශාව අනූව ඉතා පහසු වන නමුත් නිර්මානකරුවා ඒ වෙත එලඹෙන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නැහැ. අති සංකීර්න මොහොතවල් අතරින් ලිස්සමින් හෝ පරිස්සමින් අඩිය තබමින් කතාව අවසානය වෙත ගමන් කරන්නේ දිනිතිගේ විශාල සෙවනැල්ලකට යටත්ව බව මට යලි යලිත් සිතෙන්නේ ඒ නිසයි.

අනෙක් කාරනය වන්නේ මොවුන්ගේ ඛේදවාදකය අතර මොවුන් තවත් ඒ මතම තෙරපවන කාරකය විය හැකි දුවගේ සම්බන්ධය මෙයට අදාල කරගන්නේ ඉතා අල්ප වශයෙන් වීමයි. නැතිනම් දුවගේ සම්බන්ධය මීට හේතුකාරයක් නොවන තරමට සරල තැනක ස්ථානගත වී ඇති බවයි හැඟෙන්නේ. දෙමාපියන් ලෙස ඇයට ඇති සම්බන්ධයේ ස්වරූපය ඉතා අජීවී සේම දුරස්ථ එකක්. එය ආසියාතික පවුල් පසුබිමක් තුල විස්වසනීය යයි බාරගත හැකි තත්වයකුත් නෙමෙයි. පවුල් සංස්ථා අර්බුද ඇසුරින් නිමැවුනු ලෝක මට්ටමේ (බටහිර/ජනප්‍රිය) සිනමා කෘති වන රිවලූශනලි රෝඩ්, බ්ලූ වැලන්ටයින්, අන්ෆේත්ෆුල් වැනි චිතපටවල ඔවුන්ගේ අර්බුදයට දරුවන් සම්බන්ධ වූ ප්‍රමානය කොතෙක්දැයි නිකමට මං සිතන්න ගත්තේත් මේ නිසයි. අන්ෆේත්ෆුල් හැරෙන්නට අනෙක් සිනමාපට දෙකේදීම දරුවන් ඔවුන්ගේ ඛේදවාචකය මිරිකවන හේතුකාරකයක් නොවන බව ආපස්සට මට පිලිගන්න වෙනවා. නමුත් දැකල පුරුදු කෙනෙක් තුලට මීට වඩා කල්පනාකාරී වූවා නම්  දරුවා මේ සංකීර්නත්වය උපරිමත්වයකට පත්කල හැකි කාරකයක් වීමෙන් නිර්මානකරුවාට මොනම වාදයකටත් පක්ශග්‍රාහී නොවන තැනක සිට උපේක්ශාවෙන් නිර්මානය දෙස බැලීමේ කවුලුවක් විවර කර ගත හැකිව තිබූ බව යලි යලිත් සිතෙනවා.

ඥාති තරුනයාගේ(මල්ලීගේ) ආගමනය සිදුවන පලමු මොහොත තුල දිනිතියේ හැසිරීම අධිනාටකීය හෝ පමන ඉක්මවා ගිය අස්වාභාවික ස්වභාවයක් ගන්නා බව මට දැනුනා. එසේම දිනිතිගේ නැගනිය, ත්‍රීවිල් රියදුරා, සචිත්‍ර ගේ මිතුරා වැනි චරිත නිරූපනයන් බොහෝ පැතලි ස්වරූපයක් අරගන්නවා. ඉතා අල්ප චරිත වුවත් ඔවුන්ට හිමි ජීවය රංගනයන් තුලින්වත් මතුකරගන්නට උත්සාහ ගෙන නැති බවයි මා දකින්නේ.


මගේ අදහස පුරාවට චිත්‍රපටයේ මා දකින දොස් මෙසේ ලියා තැබුවේ සමස්තයක් ලෙස කෘතිය සාර්ථක බව මා පිලිගන්නා අතරම බව යලි සිහිපත් කල යුතුයි. සැබවින්ම ඒ කාර්යයට, ඒ නව්‍ය සිනමා විලාසිතාවට මා ගරුකරනවා. එය සාර්ථක ආරම්භයක්. සචිත්‍රත්, දිනිතිගේ දෙමාපියනුත්, දිනිතිත් අතර ඇතිවන දෙබස්, මත ගැටුම් ඉතා සියුම් තලයන් විවරනය වන විදිහට මේ කෘතිය තුල ගොඩනගා ඇති ආකාරය අපූරුයි. පුදුම සහගතයි. එසේම මුල සිට එය ප්‍රේක්ශකයා වෙත දිගහැරෙන ආකාරයත් විශේශිතයි. පවුල්කාරයෙක් විදිහට නැවත මාවම ප්‍රශ්න කරන සුලුයි. තිගස්සන සුලුයි. වෙනත් කෝනයක් පවුල වෙත එලඹෙන්නැයි මාව දිගු නින්දකින් අවදි කිරීමක් වැනියි. ඒ අතින් මේ සිනමා ප්‍රයත්නය වෙත මා අත්පොලසන් දෙන අතරේම මෙවැනි විවේචන අදහස් ලියා තබන්නේ ද ඒ ලැබූ කම්පනය ඔස්සේ හටගත් සැබෑ ආදරය ප්‍රකාශ කිරීමක් විදිහටමයි. නැවත ඒ නිර්මානකරුවන්ගෙන් වඩා හොඳ සිනමාවක් දැකීමේ අපේක්ශාව පෙරදැරිකරගෙනයි.


Monday, January 21, 2019


තේමාත්වකවාදය සම්බන්ධ ප්‍රශ්න සහ පිලිතුරු


නිර්මානයක සංකේත, යටි අරුත්, රූපක සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කිව්වොත්?

සංකේත, යටි අරුත්, රූපක වගේ දේවල් නිර්මානයක සාර්ථකභාවය නිර්නය කරන අංග කියල පිලිගන්න පුලුවන්. බොහෝ විට මේ සංකල්ප වඩාත් සමීප වන්නේ නිර්මානයක තේමාත්මකය පැත්තටයි. යම් නිර්මානයක එවැනි දෑ මනාව සංගෘහිත කිරීමෙන් ඊට ආලෝකයක්, හෝ එහි විශිශ්ට භාවය වර්ධනය වීමක් සිදුවිය හැකියි. නමුත් නිර්මානයක විශිශ්ටභාවය හෝ සාර්ථක භාවය මනින එකම හා වැදගත්ම මිනුම්දඬු ඒවා යයි අපට එක හෙලාම පිලිගන්නත් බැහැ. එවැනි කිසිදු අංගයක් නොමැතිව සාර්ථකත්වයට පත්විය හැකි නිර්මාන තිබෙන්න පුලුවන් බව අප අමතක කලයුතු නැහැ.

කෙසේ වුවත් මේ නිර්නායක කෙරෙහි වත්මන් විචාරකයා මෙන්ම නිර්මානකරුවන් ද අධිතක්සේරුවෙන් වර්නනා කිරීම හරහා නිර්මාන තුල මේවා පැවතීම අනිවාර්ය අංගයක් බවට වන වක්‍ර බලහත්කාරකමක් සිදුවන බවයි මගේ අදහස. අනෙක් පැත්තෙන් අපේ කලානිර්මාන බොහොමයක් දෙස විමසිලිමත්ව බැලීමේදී පේනවා මෙවැනි අංග යොදා ගැනීම පුරුද්දකට ගොස් ඇති බව. එක් අතකින් එය වැරදි යයි කියන්නට බැහැ. නමුත් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ එකී පුරුද්ද මත සාමාන්‍ය සරල සිදුවීමක, අදහසක් සහිත නිර්මානයක ද එවැනි දෑ සොයාන්නට යාමෙන් විචාරකයාත්, පාඨකයාත් අතරමං වන තත්වයකට පත්වීමයි.

ඔබ අවසානයට දැක්වූ අදහස තව දුරටත් විග්‍රහ කරල කිව්වොත්?

මෙහෙමයි. මම අත්දකින ආකාරයට අපේ ජාතික සංකේත වල සිටම තියෙන්නෙ යම් ගැඹුරක්, සංකේතයක්, තේරුම් සමුදායක් ලබාදෙන්නට දරන වෑයමක්. අපේ ජාතික කොඩිය ගත්තම ඒ තුල තියෙන සෑම ඉරි කැබැල්ලකටත් තේරුමක් දෙන්නට නිර්මානකරුවන් හෝ එකී රාජ්‍ය තාන්ත්‍රිකයන් උත්සාහ ගෙන තිබෙනවා. වෙනත් රටක ජාතික කොඩියක් එක්ක සංසන්දනය කිරීමේදී මේ තත්වය විශේශී බවයි පේන්නෙ. බොහෝ රටවල කොඩිවල තිබෙන්නේ සරල වර්නයක්, දෙකක්. නැත්නම් කුඩා ජ්‍යාමිතික හැඩතලයන්. තම රට නියෝජනය කිරීමේ සරල වර්නාවලියක්. නමුත් අපේ රටේ තත්වය අනූව සිංහයාගේ කේශර වලින් පවා ගැඹුරු අර්ථයක් විදහා පාන ආකාරයෙනුයි එය නිමවලා තියෙන්නෙ.

අලුතෙන් උපන් දරුවෙකුට නමක් දැමීමේදී පවා බොහෝ අය සිතන්නේ එය තේරුමක්, අදහසක් ඇතිව කල යුතු බවයි. මෑතකදී මගේ මිතුරු මිතුරියන් කිහිප පොලකට කුලුඳුල් දරුවා ලැබුනා. ඔවුන් මට කතාකොට නමක් යෝජනා කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවල මම මගේ සිහියට පැමිනි, සුන්දරයි යයි සිතෙන නම් කිසිපයක් යෝජනා කලා. ඇත්තෙන්ම ඒ බොහොමයක තිබුනේ සුන්දර ශබ්ද පමනයි. එසේ යෝජනා කලාම ඔවුන් පෙරලා මගෙන් විමසන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නම නම් ලස්සනයි. තේරුම මොකක් ද ඒ නමේ? එවිට මම තේරුමක් මම පවා දන්නේ නැති බවත් එහි තේරුම එකී දරුවාම වන බවත් ඔවුන්ට කීවා. කෙසේ වෙතත් අනතුරුව ඒ අය දරුවන්ට එම නම යොදා ගත්තාදැයි කියන්න නම් මම දන්නේ නැහැ.

සැබවින්ම බිම් මට්ටමේ සිට ඉහල තලය දක්වාම අපේ රටේ තත්වය ඕකයි. අපට කිසියම් දෙයක් සරලව භාරගත හැකි පුරුද්දක් හෝ ශක්තියක් නැහැ. යම් සංකේතයක්, ව්‍යංගයක්, ගැඹුරක් සහිත දේ පමනක් විඳින තැනට අපව පුහුනු කර තිබෙන බවයි මට සිතෙන්නේ. කොටින්ම ගීතයක් පවා සරලව වින්දනය කරන්න බොහෝ අය අසමත්. ඇයි බහුතරයක් විචාරකයන් ගීතයක පදරචනාවක් අරගෙන ඔය තරම් විග්‍රහ, ගැඹුරු තේරුම් සපයන්නේ? එය සැබවින්ම විඳිනවානම් ඔවැනි දේ කිරීම අවශ්‍යමයි කියා මම නම් සිතන්නේ නැහැ.
මම මේ කියන කාරනාව වරදවා වටහා ගන්න එපා. කොටින්ම මම කියන්නේ නිර්මානවල ගැඹුරු අරුත් හෝ සංකේත, ව්‍යංග, රූපක තිබීම අනවශ්‍යයි හෝ එසේ කිරීම සුදුසු නොවේය යන අර්ථයෙන් නෙමෙයි. එසේ තිබෙන්නා වූ නිර්මාන ද රසවත්. නමුත් මා කියන්නේ එසේ නොවන නිර්මාන ද රසවිඳීමේ හැකියාවක්, සැබෑ වින්දනයක් අප සතුව තිබෙද්දීත් අප පුහුනු කල වින්දනයක් පසුපස දිවීම මොන විදිහේ විකාරයක්දැයි කියායි. මගේ පසුගිය පිලිතුරේ අවසානයේ තිබෙන්නේ අප රසවත් නිර්මානයක් වින්දනය කිරීමේ දී නිරන්තරයෙන්ම සංකේත, ගැඹුරු අරුත් සොයන්නට යාම අත්‍යාවශ්‍ය ද එසේ සොයා බලා නිර්මානවල සාර්ථක අසාර්ථක භාවය නිර්නය කිරීම මොන තරමේ ආකෘතික ගත දෙයක් ද කියායි.

නමුත් නිර්මානකරුවා දක්වන අරමුනෙන්ම විචාරකයා/රසිකයා නිර්මානය වින්දනය කල යුතු නැහැ. රෝලන්ඩ් බාත් කර්තෘ ඝාතනයෙදි කියන්නෙත් නිර්මානකරුවාගේ අරමුනම නිර්මානය වින්දනයේදී බලනොපාන බව වගේ අදහසක් නේද?

ඔව්. එය  වෙනම තර්කයක්  බවයි මට සිතෙන්නෙ.‍ විචාරකයා හෝ රසිකයා නිර්මානකරුවාගේ අරමුන අනූවමනිර්මානය දෙස  බැලිය යුතු බව නෙමෙයි මම කියන්නේ.  හොඳයි අපි හිතමු යම් රසිකයෙක් සරල අදහසක් ඇති කවියක සංකේත දකිමින්, යටි අරුත් පාදා ගනිමින් වින්දනයේ යෙදෙනවා කියලා. නමුත් ඔහුගේ ඒ වින්දනය පවා ඔහුගේ සැබෑ අවංක වින්දනයමද යනුවෙන් එතැනදී ගැටලුවක් මතු වෙනවා. ඒක යම් ආකාරයකට සමාජ ක්‍රමයට අනූව පුහුනු කරපු/ ඇබ්බැහි වුනු ක්‍රමයක්. මම කලිනුත් කිව්වේ ඒකයි. අපට යමක් සරලව භාරගන්න බැහැ. සරලව විඳින්න බැහැ. නැත්නම් ගැඹුරු තේරුමක් නැති නිර්මානයක් තුල වටිනාකමක්/වැදගත්කමක් නැති බව අප විස්වාස කරනවා.  අපි කරන්නේ විශිශ්ට යයි සම්මත සියල්ලකම ගැඹුරක්, යටි අරුතක් සොයන්න ගන්නඑකයි. එහෙම නැති එකක් විශිශ්ට නෑ වගේ අදහසක් ඒ හරහාම ස්ථාපිත වෙලා. මම කියන්නෙ මේක සමාජයක් විදිහට අපිව ආකෘතිගත කිරීමෙන්/සූක්ශම වූ බලහත්කාරී මැදිහත්වීමක් මත සිදුවෙලා කියලයි. අද අපි අපට පේන දකින හැම එකකම තේරුම හොය හොයා දුවනවා

ජාතික කොඩිය සම්බන්ධයෙන් ඔබ අරගත් තර්කයේදී අපට සිතන්න බැරිද මෙය අප රටේ අනන්‍යතාවයක් කියල. එහෙම සංකේත දකින එක හෝ ඒවාට හොඳ තේරුමක් දෙන එක අපට ආවේනික දෙයක් වෙන්න බැරිද?

ඒක වැදගත් අදහසක්. අපි තරමක් විමසිලිමත්ව බලන්න ඕනෑ අපේ රටේ අනන්‍යතාවය මත ද එහෙම නිර්මානවල හෝ වෙනයම් දෙයක සංකේත, තේරුම්, යටි අරුත් හොයන්න වෙහෙසෙන්නෙ හෝ එසේ නිර්මාන කරන්නේ  කියලා. මතුපිටින් බැලුවාම නම් තේරෙනවා ඉස්සර ඉඳන්ම බොහොමයක් විශිශ්ට යයි සම්මත නිර්මානවල ගැඹුරු අරුත්, තේරුම්, උපමා, සංකේත, වගේ දේවල් මගින් යම් තේරුමක් දෙන්න වෙහෙසුනු බව.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යෙය් නැගීම පොත හරහා මෙන්ම ඔහුගේ බොහොමයක් විචාර පොත් හරහා මතුකරන තර්කයක් මෙතනදී අපට මේ සංවාදය වෙනුවෙනුත් භාවිත කල හැකියි. එතනදී වික්‍රමසිංහ කියන්නෙ සංක්කෘත, පාලි සාහිත්‍යෙය් බලපෑමෙන් අපේ දේශීය සැබෑ සාහිත්‍ය ක්‍රමට යට ගිය බව හෝ අර(පාලි සංස්කෘත) අධිපති සාහිත්‍ය ක්‍රමය උවමනාවට වඩා ස්ථාපිත වූ බව. වික්‍රමසිංහගේ තර්කයට අනූව අපට පැහැදිලියි අතීතයේ ඉඳන්ම සාහිත්‍යෙය් මේ විදග්ධ අධිපති කතිකාව කොතරම් ප්‍රබල උනා ද කියන එක. පාලි, සංස්කෘත උගත් ලේඛකයන් කලේ තමන්ගෙ දැනුම ප්‍රකට කරන්න වගේම විශිශ්ට යයි සම්මත කරන්න පොදු ජනතාවගෙන් දුරස්ථ, යම් තේරුමක්, සංකීර්න අදහසක්, වර්නනා  සහිත උගතුන්ට පමනක් යෝග්‍ය නිර්මාන බිහිකිරීමයි. අනෙක් අතට ඔවුන් ඇසුරු කරපු සංස්කෘත භාශාවේ/ සාහිත්‍ය යේ ආභාසය මත ඉබේම ඒක සිදුවුනා වෙන්නත් පුලුවන්. මේ අනූව පේනවා ඒක අපට අනන්‍ය වූ ක්‍රමයක් නොවන බව. වික්‍රමසිංහ සිංහල සාහිත්‍ය යේ නැගීම කෘතිය හරහා වැඩි වැඩියෙන් වර්නනා කරන්නෙ ගුත්තිලය, සද්ධර්මරත්නාවලිය වැනි දේශීය ඌරුවක් සහිත කෘති. ඔහු තර්ක කරන්නෙ මේ කෘතිවල අර සංස්කෘත බලපෑමෙන් තොර දේශීය ලේඛන ශෛලිය ඇතුලත්ව ඇති බවයි.

සද්ධර්මරත්නාවලිය, ගුත්තිලය ගත්තත් සංකේත, ගැඹුරු අරුත්, තේරුම් වෙනුවට වින්දනයට මුල් තැන දීපු සරල බවක් ඒ තුල තිබෙන බව අපට පිලිගන්න පුලුවන්. අනෙක් අතට සාමාන්‍ය ජනයා  මැදිහත් වූ ජන කවි, ජන නාට්‍ය, කැටයම්, චිත්‍ර වගේ, සීගිරි ගී වගේ දේවල් නිරීක්ශනය කලාම තේරෙනවා දේශීය අනන්‍යතාවය තිබුනේ කොතැනද,  අපේ වින්දන පාරාසය තුල තිබුනෙ කවරාකාර ලක්ශන ද කියලා.

එතකොට තේමාත්මකවාදය නැත්නම් අන්තර්ගතානුවාදය යනුවෙන් ඔබ නම් කරන්නෙ මේ තත්වයද?

මෙහෙමයි. මේ කාරනා තරමක් දීර්ඝව සහ සෙමෙන් කතාබහ කල යුතු ඒවා. නමුත් ඔබ ඇසූ ප්‍රශ්නයට යම් විදිමත් පිලිතුරක් මෙතනදී දක්වන්නම්. ආකෘතිවාදය නැත්නම් ව්‍යුහවාදය ගැන අප අසා තිබෙනවා. තවත් විදිහකට නිර්මානයක ආකෘතිය, අන්තර්ගතය ගැනත් කතා වෙනවනෙ. ලෝකයේ හෝ අපේ රටේ ආකෘතිවාදීන් හෝ ආකෘතිවාදය ගැන සාකච්ඡා කෙරුනත් ලෝකයේ කොතනකවත් අන්තර්ගතානුවාදයක් ගැන කතාවෙලා තිබෙනවා යයි මම අසා නැහැ. හැබැයි අපට මෙහෙම අදහස් කරන්න පුලුවන්. නිර්මානයක ආකෘතිකමය ස්වභාවය, ව්‍යුහාත්මක සැකැස්ම ගැන සාකච්ඡා කරන අය ආකෘතිවාදීන් නම්  එසේ ඔවුන්ව වර්ග කරනු ලබන අනිත් කන්ඩායම කවුරුන් විය හැකිද? සැබවින්ම නිර්මානයක තේමාත්මකය, අන්තර්ගතය ගැන බහුල ලෙස අවධානය යොමු කරන අය ඉබේටම අන්තර්ගතානුවාදීන්/තේමාත්මකවාදීන් බව මේ අනූව නිගමනය කල හැකියි.

මට නම් පෙනෙන්නෙ අපේ රටේ බොහොමයක් විචාරකයන් සේම නිර්මානකරුවන් ද තේමාත්මකවාදීන් බවයි. මොකද අද අපි දකින විචාරවලින්, සාකච්ඡා, පොත් එලිදැක්වීම් වලින් නිරන්තරයෙන් වර්නනා කෙරෙන්නේ, අදහස් පල කරන්නේ තේමාත්මකය ගැන පමනක් නිසා. මේ තත්වය කොතරම් සූක්ශමව විකාශනය වෙලා ද කිව්වොත් බහුතරයක් පාඨකයා නිර්මානයක් සැබෑවට විඳිනවා වෙනුවට කරනු ලබන්නේ නිර්මානයක් කියවා එහි තේරුම, යටි අරුත්, සංකේත සොයා පාදා ගැනීම පමනයි. පාඨකයා/රසිකයා සිතනවා නිර්මානයකින් අප කලයුතු එකම කාර්යය එය පමනක්ය කියා. ඒක සමීකරනයක් විසඳනවා වැනි වැඩක් බවයි ඔවුන් සිතන්නේ. මම මගේ ලඟම මිතුරෙක් සමඟ ලඟදි මේ ගැන කතා කලාම ඔහු හරි අපූරු කතාවක් ඒ ගැන කීවා. රසිකයාත්, විචාරකයාත් සිතන්නේ නිර්මානයකින් නිර්මානකරුවා අප වෙත ගෙනෙන්නේ ප්‍ර හේලිකාවක් කියලයි. ඒ ප්‍ර හේලිකාවේ හරහට,  පහලට ඇත්තේ මොනවාදැයි ඉඟි වැකි නිර්මානය තුල සැඟවී ඇතියි කියල හිතලා ඒ අය කරන්නෙ ඒ ප්‍ර හේලිකාව පුරවන එක. විචාරකයන් කරන්නෙ ප්‍ර හේලිකාව පුරවගන්න බැරි අයට පත්තර පිටු හරහා, පොත් හරහා නැත්නම් සංවාද හරහා විචාරකයා ඒ ප්‍ර හේලිකාව පුරවලා පෙන්නන එකයි. අද නිර්මානයක් රසවිඳිනවා යයි සම්මත වෙලා තියෙන්නේ මේ තත්වයයි. එය තේමාත්මකවාදීන්ගේ ග්‍රහනයට හසුවී ඇතැයි මම ප්‍රකාශ කරන්නේ ඒ නිසයි.

ඇත්තෙන්ම නිර්මානයක් වින්දනය කරනවා කියන්නෙම ඊට වඩා පුලුල් මෙන්ම සංකීර්න කාර්යයක් වෙනවා. නිර්මානයක ඇත්තේ හකුලුවා ගන්න පුලුවන් කතාවකුත්, පෙන්නන්න පුලුවන් තරමේ තේරුමකුත් පමනක් නෙමෙයි. බොහෝ විට නිර්මානයකින් අප ලබන කම්පනය වචන වලට හැරවීම පවා කල හැකි පහසු කාර්යයක් නෙමෙයි. මේ ගැන රයිනර් මරියා රිල්ක තරුන කවියෙක් වෙත යවනු ලැබූ ලිපියක අපූරුවට කියල තියෙනවා. එයාගෙ අදහස මෙහෙමයි.

විචාරාත්මක වචන තරම් කලා කෘතියකට දුරස්ත අන් කිසිවක් නැහැ. ඒවායින් හැමවිටම සිදුවන්නේ යම් තරමක වැරදි වටහා ගැනීම්. කල හැකි යැයි මිනිසුන් විස්වාස කරන තරමට, දේවල් විශද හෝ ප්‍රකාශ කල නොහැකියි. බොහෝ අත්දැකීම් ප්‍රකාශ කරන්නට බැහැ. ඒවා සිදුවන්නේ කෙදිනක හෝ වචනයක් ඇතුලුවී නැති අවකාශයකයි. මේ අන් කිසිවකටත් වඩා, කලා කෘතීන් පිලිබඳව කතා කල නොහැකියි. කලා කෘතීන් පිලිබඳව - අපේම කුඩා අනිත්‍ය ජීවිතය පසෙක ඉවසා දරා සිටින්නා වූ ඒ ගුප්ත ජීවන අස්තිත්වයන් පිලිබඳව- කතා කිරීම අපහසුයි.

රිල්ක දක්වන ඒ අදහස වගේම තරුන නවකතාකරුවෙක් වෙත යවන ලිපි අනූව සැකසුනු මාරියා වර්ගාස් ලෝසාගේ අදහසකුත් මට මෙතනදී මතක් වෙනවා. එයා විචාරය සම්බන්ධව දරන අදහස මෙහෙමයි.

සාර්ථක ප්‍රබන්ධයක හෝ කවියක හැම විටම මොකක් හරි අංගයක් හෝ මානයක් තියෙනව තාර්කික විචාරාත්මක විග්‍රහයෙන් හරියටම අල්ලගන්න බැරි. ඒකට හේතුව විචාරය තර්කයේ සහ විචාරයේ ව්‍යායාමයක් වීමත්සාහිත්‍යයික නිර්මානයේදී සහජඥානය, සංවේදීතාව, අනාගතය දැකීමේ ශක්තිය සහ අහම්බය ආදිය මැදිහත් වීමත් ඒ අංග ඉතාම සියුම් විචාරයේ දැලට හසු නොවීමත්.

මේ අදහස් දෙක හරහාම අපට මතක් කරන දෙයක් තියෙනවා. නිර්මානයක් මගින් අප වෙත ගෙන එන වින්දනය, සංතෘප්තිය විචාරය හරහා මතු කිරීම කොතරම් අසීරු ද යන වග. නමුත් මට පෙනෙන විදිහට අපේ විචාරකයන් සිදුකරන්නෙ ඒ අපහසුතාවය මත සක්මන් කරන්න වෙර දැරීම නෙමෙයි. නිර්මානයක තමා සොයාගත්, පාදාගත් අදහසක් තේරුමක් හෝ සංකේතයක් අනෙක් අයට පෙන්වීම තමාගේ එකම කාර්යය කියායි විචාරයකන් සිතන්නේ.

හැබැයි ඔතනදී කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නේද නිර්මානයක් මගින් ඇඟවෙන බොහෝ දේ ප්‍රකාශ කල නොහැකි නම්, අසීරුනම් අපට විචාරය ඇතුලේ දී කල හැකි එකම කාර්යය ඒවායින් මතුවෙන තේමාත්මකය ගැන සාකච්ඡා කිරීම පමනක් නේද කියලා?

ඒක ඒ තරම්ම දෙයක් නෙමෙයි. මම නම් නිරන්තරයෙන් අත් දකින්නේ පාඨකයාත් විචාරකයාත් සෑම විටකම යම් පුහුනුවකින්, සීමාවකින් නිර්මානයක් වෙත එලඹෙනවා කියලයි. මොකද අපට පාසල් අධ්‍යාපන යේදී පවා නිර්මාන රස විඳින්න උගන්වන්නේ ඒවායෙහි යටි අරුත් ගැන හාරා අවුස්සන්න පමනයි. භාශාව ගැනවත් වෙනත් රසවිඳීම් අලංකාර ගැනවත් නෙමෙයි. නිර්මානයේ ගැඹුර ගැන වෙහෙසෙන්න අපට එතැනදී පුහුනුවක් දෙනවා. මට මතකයි අපට උසස්පෙල විභාගයට නියමිත සැලලිහිනි සංදේශය, මනමේ නාට්‍යය, නූතන පද්‍ය සංග්‍රහය වගේ සෑම පොතකම වචනයක් වචනයක් පාසා ඒවා මගින් පෙන්වන සමාජ යථාර්ථය, යටි අරුත් වගේ දේවල් අපට කටපාඩම් කෙරෙව්වා. නිර්මානයක් රස විඳිනවා යනු ඒවායෙහි අරුත් හාරා ගොඩ ගැනීම යයි අපට මූලික බලකිරීම සිදුවන්නේ පාසලින් බව පෙනෙනවා.

නිකමට හෝ අප ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය වල ගී රස වින්දන වැඩසටහනක් අරගෙන බලමු. එවැනි වැඩසටහන්වල දීර්ඝ ලෙස රසවිඳින්නේ හෝ වඩා විශිශ්ට ගීත ලෙස පෙන්වා දෙන්නේ කවරාකාර ගීත ද? ගීතයක විශිශ්ට භාවය බොහෝ විචාරකයන් විසින් තීන්දු කරන්නේ පද රචනාව හරහාම විතරයි. ගුවන් විදුලියේ ගීත තෝරන්න එන වැදගත් පුද්ගලයන් ද තමාගේ කැමතිම ගීත 10 විදිහට තෝරන්නේ මොකක් හෝ තේරුමක් තියෙන, යටි අරුතක් ඇති ගීත දහයක්. නමුත් ඇත්තටම ඒ ඔවුන් කැමති ගීතද? වැඩසටහනක් වෙනුවෙන් යමක් කතා කිරීමට,නැත්නම් තමාගේ තත්වය පෙන්වීමට සුදුසු විශිශ්ට යයි සම්මත ගීත ද ඔවුන් තෝරනු ලබන්නේ? මෙවැනි ගීත තෝරාගැනීම දිහා බැලුවාම පේනවා ඒවා තුල යම් වට්ටෝරුගත ස්වභාවයක් තිබෙන බව.

ගීත සම්බන්ධව විචාරය කරන අය අතර ගීතයේ ගායකයාගේ කටහඬ, ඒ තනුව කොතරම් මිහිරිද, එසේත් නැතිනම් සංගීතය හරහා කොතරම් මිහිරක් ජනනය වෙනවද කියල නිකමටවත් හිතන්නෙ, අදහස් පල කරන්නෙ නෑ. ඔවුන් ගීතයේ වෙනත් ගැඹුරු අරුතක් වෙනුවන් සමාජ පනිවිඩයක් ගෙනහැර පාන්න වෙහෙසෙන බවක් පමනයි මටනම් පෙනෙන්නෙ.

දැන් ඔබගේ ප්‍රශ්නයට යම් සාධනීය පිලිතුරක් මෙතන ඇති. ඇත්තෙන්ම නිර්මානයක අපේ සැබෑ වින්දන පාර්ශවය ගැන කතා කිරීම අපහසු වෙන්න පුලුවන්. අපි හිතමු කවියක් කියලා. ඒ කවිය මගින් අපට නිර්වචනය කල නොහැකි හැඟුමක් ගෙන එනවා නම් අප ඒ සැබෑවම දන්වා ඒ කවිය විචාරය ඇතුලේ උපුටා දැක්වීම කල හැකියි. මෙහි මෙවැනි මෙවැනි වදන්, පද බෙදීම් වල රසවත් භාවය ගැන කතා කල හැකියි. නමුත් තේමාත්මකවාදී විචාරකයා කවිය යයි නිරන්තරයෙන් බදා ගන්නේම යටි අරුත්, සමාජ දේශපාලනික යථාර්ථ ගොන්නක් පිඬු කල දෙයකට යයි සිතා ඒක විශ්ලේශනය කිරීමට වෙහෙසෙන බවක් පමනයි පෙනෙන්නේ.

නමුත් ඔබ තේමාත්මකවාදීන් යයි වෙන් කරනු ලැබූවත් ඔවුන් සංකේත, රූපක,   වගේම වෙනත් ව්‍යුහීය අංගත් එතනදී මතු කරනවා නේද?

ඒ කුමක් වෙනුවෙන්ද? තේමාත්මකවාදීන්ගේ මූලික අරමුන තේමාත්මකය තුල ඇති සාරගර්භ අදහස සමාජගත කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන් තමාගේ අතට හසුවෙන සියල්ල තේමාත්මකය වෙනුවෙන් භාවිතා කරනවා. හරියට දේශපාලඥයින් වගේ. දේශපාලඥයින් කරන්නේ තමා අභිමුව ඇති ඕනෑම දෙයක්, වස්තුවක් දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කිරීමයි. ඕනෑම දේශපාලන මතවාදයක පිරිසක් කරන්නේ මේ තත්වයම තමයි. ධනවාදී සමාජවාදී ඕනෑම දේශපාලන කඳවුරක් තමා අභිමුව ඇති සියල්ලක්ම දේශපාලන අරමුනක් වෙනුවෙන් භාවිතා කරන ආකාරයක් පෙනෙනවා. තේමාත්මකවාදී විචාරකයා ද එසේමයි. එක්කෝ ඔවුන් යම් අරමුනක් වෙනුවෙන් එවැනි නිර්මාන භාවිතා කරනවා. නැතිනම් සමාජ යථාර්ථය පෙන්වීමේ පරම අභිලාශය සඳහා නිර්මානයක සෑම අංගයක්ම සූක්ශමව භාවිතා කරනු ලබනවා.

එතකොට ඔබේ අදහස තේමාත්මකවාදය හෝ තේමාත්මකවාදීන් නිර්මාන හෝ විචාර කාර්යය දූශිත කරනවා කියන එකද?

නැහැ. කොහෙත්ම එහෙම අදහසක් නෙමෙයි. මට උවමනා වන්නේ තේමාත්මකවාදය කියා දෙයක් ද ඇති බව පෙන්වීම පමනයි. කොටින්ම එය හොඳයි ද හෝ නරකයි ද කියා කියන්න මට බැහැ. මට කියන්න පුලුවන් එකම කාර්යය තේමාත්මකවාදය යනු නිර්මානයක් රසවිඳිය යුතු එකම සහ හොඳම විදික්‍රමය යයි අප පිලිගත යුතු නැති බව. එය නිර්මානයක් විඳිය හැකි එක් මානයක් පමනයි. එය අති විශිශ්ට හෝ හොඳම මොඩලය යයි හෝ එහි අධිකාරීත්වය අපේ සමාජය තුල කොතරම් ව්‍යාප්ත වෙලා ද කියන එක කියන්නයි මම උත්සාහ කලේ. ඒ වෙනුවෙන් තවත් අදහස් මතවාද අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු. ඒ තාක් මේ සංවාදයට බාහිර පිරිස් සම්බන්ධ වී ගැටලු, තර්ක, සිය අදහස්, විවේචනයන් ඉදිරිපත් කරනවානම් හොඳයි. මොකද මෙහි අප දකින්නේ එක් පටු මානයකින් පමනක් විය හැකියි. ඔවුන් දක්වන අදහස් හරහා, විවේචන හරහා අපට මේ සංවාදය වඩාත් ඔපමට්ටම් කරගන්නත්, ගැටලු ඇති තැන් නිරාකරනය කරගන්නත් පහසුවක් වේවි. දැනට එපමනයි.



INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...