තිත්ත තොල් තුල තිත්ත තොල්
තිත්ත තොල්
චින්තන ධර්මදාස
විදර්ශන ප්‍රකාශන
තිත්ත
තොල් සාහිත්‍ය විචාර කතිකාව ඇතුලෙ එතරම් කතාබහට ලක් නොවූ කෘතියක් විදියටයි මම
දකින්නෙ. මේ වනතුරු ඒ ගැන විදිමත් සාහිත්‍ය කතිකාවක් කොහේවත් යනව දැක්කෙත් නැහැ. ඒ
කොහොම උනත් මේක සිංහල නවකතාවේ හෝ සාහිත්‍ය ඇතුලේ අලුත් හැඩයක්, විලාසිතාවකින්
යුතුව ගමන් ගත් පොතක් විදියට බය නැතුව නම් කරන්න බැරිකමකුත් නැහැ.
තිත්ත
තොල්. ඒ නමින් හැඳින්වූවත් මේක කෙටි නවකතා තුනකින් සමන්විත පොතක්. තිත්ත තොල්,
කෝපිත් එක්ක අයිස්ක්‍රීම්, මිනිත්තු එකොලහට පස්සේ.. වශයෙන් ඒ ඒ කතා නම් කරල තියෙන
බවක් පේනවා. මේ කතා තුනෙන් මගේ හිත ඇදිල ගියේ පලවෙනි කතාවට. ඒ කියන්නෙ තිත්ත තොල්
වලට.
විශේශයක්
විදියට කාන්තා චරිතයක් කතා නායිකාව විදියට මේ කතා තුනේදිම දකින්න පුලුවන් උනත්
පලවෙනි කතාවෙ එන චරිතය අමුම අමු මිනිස් ජීවියෙක් විදියටම මවන්න කතුවරය සමත් වෙලා
තියෙනවා. කාන්තා චරිතයක් ප්‍රධාන චරිතයක් උනාම අපට හිතෙන්නෙ පුරුශාධිපත්‍යය නිසා
අසාධාරනයට ලක්වූ හෝ ස්ත්‍රීවාදී ස්වරූපයක් ගන්නා ලිංගික සූරාකෑමට එරෙහිව අරගලයක්
කරන ආකාරයේ කාන්තාවක් වගේ වෙයි කියල උනත් මේ තිත්ත තොල් සහිත එවැනි සමාජයක් හරහා
උනත් ගමන් කරන්නෙ පුදුම හිතෙන තරමේ උපේක්ශාවකින් වගේ. ඇත්තෙන්ම මේ කතාව පුරාවටම ඒ
කාන්තා චරිතය ඒ ඒ දේවල් දිහා හෙලන නව්‍ය වූ දෘශ්ටිය තමයි සමහරවිට මාව කලඹන්න ඇත්තෙත්. ආදරය, ලිංගිකත්වය, විවාහය හෝ
පසුබිමේ පවතින දේශපාලන සමාජයත් සමඟ බද්ද වෙමින් සහ ඒවා සමඟ ගැටෙමින් ඈ නන්නත්තාර
මාවතක ඉදිරියට තල්ලු වෙනවා. නමුත් ඒ නන්නත්තාරකම හෝ උපේක්ශාත්මක දෘශ්ටිය අපිට
යෝජනා කරන්නෙ මොකක්ද කියලවත් අපිට නිශ්චිත නැහැ.
ඒ චරිතය එක්ක ඒ ඒ මොහොතවල් තුල ජීවත් වෙන්න ගන්නවා මිසක් මේක ඇත්තක් ද
කියලවත් හොයන්න උවමනාවක් ඇති ඇති උනෙත් නැහැ. ඒ ඒ පිරිමි චරිත ඇයට මුනගැහෙන අවස්ථා
වලදි උනත් ඒ සිදුවීම් හරහා මොනම චරිතයක්වත් සාධාරන - අසාධාරන වගේ මිමි වලින්
මැනෙන්නෙ නැහැ. ඒ හැමකෙනාතුලම පවතින් ස්වභාවික මිනිස් ආශාවන් හා මුහුවෙමින්ම ඈ ඔවුන්ව මෙන්ම ඔවුන්ගේ සිහින පවා අපරිමිත
ස්නේහයකින් වැලඳගන්න බවක් පෙනෙනවා. සාමාන්‍ය නාගරික පෙම්වතුන්ගේ සිට කුඩු -
ගංජාකාරයන්, හාමුදුරුවන් හෝ අලුත්ම පරම්පාරවේ තරුනයන් අතර ප්‍රේමය ප්‍රේමයක්
විදියට භුක්ති විදිමින් ඇගේ ගමන් කරන නිදහස් ආර මෙතෙක් සිංහල නවකතාවකින් නොදුටු නැවුම්
සුන්දරත්වයක රසය මතු කරනවා. ඒ වගේම මිනිස් මනසෙහි ඇති ගතික ස්වාභාවය මේ කතාවේ
කදිමට පෙන්වනවා. ඒ ඒ අවස්ථාවන් වල මිනිස්සු ක්‍රියාකරන්න පුලුවන් යථාර්ථවාදීම හෝ
විස්වාසනීයම ස්වභාවය කියල අපිට හිතෙන දේ වෙනුවට වෙනස්ම ක්‍රියාවකට පෙලඹෙන්න මේ
චරිත දරන තැත කතා තුනේදීම යථාර්ථය දියුනු තියුනු කරන හැඟීමක් දෙනවා.
ඒ
තේමාවටම ගැලපෙන විදියේ භාශා භාවිතයකුත් තියෙන නිසා කතාවේ නිදහස් භාවය දෙතුන්
ගුනයකින් වර්ධනය වෙලාදෝ කියලත් හිතුනු අවස්ථා තිබුනා. මම විස්වාස කරන විදියට භාශාව තමයි මේ කතාවේ
නොපෙනෙන ජීවය. ඒක කොයියම්ම වෙලාවකවත් කෘතිම නැහැ. පාඨකයා කලඹවන සුලු මොනයම්ම
අවස්ථාවකටවත් වචන බර ගානක් වියදම් කරනවා වෙනුවට ඒ අවස්ථා වචනෙන් දෙකෙන් අවසන් කරන
ඒ වැඩේ කාව්‍යාත්මකයි.
ඉතින්
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තිත්ත උනත් ඒක තොල් දෙකක්, තොල් දෙකක් උනත් ඒක
තිත්තයි, තොල් දෙකක් උරනකොට තිත්ත උනත් ඒක අලුත්ම රසයක් ජනිත කරනවා වෙන්න පුලුවන්. ඒ හන්දාම තොල් පෙති ගාවල බලමුද හිත් හඳුනනව ද කියලා... කියලයි
No comments:
Post a Comment